ඔය කියන දේවල් කරන්න අයිඑම්එෆ්  ජනාධිපති කෙනෙක් පත් කරගත්ත නම් හරිනේ

133

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාතරදී කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන වට්ටෝරුවට වැඩ කරන්න නම් මූල්‍ය අරමුදලේ කෙනෙක් ජනාධිපති කරගත්තාම ප්‍රමාණවත්යැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

දැන් ෂඵත්‍ එක කියනවා, මහ බැංකු අධිපතිව, මුදල් අමාත්‍යංශයේ ලේකම්ව වෙනස් කරන්න එපා කියා. ඇමරිකානු තානාපතිනියද එයම කියනවා. අපි දැන් තියාගෙන ඉන්නේ එයාලාට ඕනෙ අයවයි. ඔවුන්ගේ ජයග්‍රහණ පිණිස සියල්ල සිදු කරවා ගැනීමේ න්‍යාය පත්‍රයයි මේ ක්‍රියාත්මක වන්නේයැයිද ඒ මහතා කියා සිටියේය.

පෙරේදා (15දා) මාතර නූපේ සණස ශාලාවේදී උත්තර ලංකා සභාගයේ ‘මාතර සම්ප්‍රාප්තිය’ නමින් පැවති සමුළුවේදී ඒමහතා මේබව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා

මේ ආර්ථික අර්බුදය ඇති වුණේ කොහොමද, මේක කලින් දැක්කේ නැද්ද? කියා සමහරු අහනවානේ. අපි මේ අර්බුදය කලින් දැක්කා. අපේ මේ පක්ෂවල නායකයෝ එය කලින් දැක්කා. නමුත් 2013දී සිටි මුදල් අමාත්‍යවරයාට හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටවත් එවැනි දෙයක් ගැන සාකච්ඡා කිරීමට හෝ අඩුම තරමින් හිතන්නවත් ඕනෙ කමක් තිබුණේ නැහැ. අන්තිමේදී අපි අර්බුදයේ කරවටට ගිලෙන තෙක් ඉදිරියට ආවා.

හෙම්බිරිස්සාවට සීතල වතුර නෑවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලන ආණ්ඩුව කාලයේදීයි’ කියා. එයා නාපු සීතල වතුරවලට එයාට හෙම්බිරිස්සාව හැදුණේ නැහැ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හෙම්බිරිස්සාව හැදුණා. නමුත් අපි හෙම්බිරිසාව හැදෙන්න කලින් කිවිසුමක් දෙකක් එන කොට කීවා, ‘මේක සරලව

ගන්න එපා! නියමිත ප්‍රතිකර්ම සිදු කරන්න. නැතිනම් නිව්මෝනියාවෙන් නතර වෙන්නේ කියා. නමුත් එයා අපි කියන එක ඇහුවේ නැහැ. එයා බෙහෙත් ගත්තේ ඇමෙරිකානු ඥානක්කාගෙන්. ඇමරිකානු ඥානක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අන්දාගන්න හරි ලස්සන මැච් එකක් ගැහුවා. දිනපතාම හමුවෙලා, ‘අරක කරන්න එපා, මේක කරන්න එපා’ කියා පැවසුවා. ඇමරිකානු ඥානක්කාගේ ප්‍රතිකර්මය ගන්න ගිය ගෝඨාභය රාජපක්ෂ අවසානයේ ඉතාම අවාසනාවන්ත විදියට රටම අමාරුවෙ දමලා තමන් 99න් බේරුණා.

දැන් බලන්න අර ෆොන්සේකා මහත්තයා කියනවනේ, ‘ඩොලර් එවන්න එපා! මුන් හොරා කනවා’ කියලා. අනික් පැත්තට කියනවා, ‘ඉස්පිරිතාලෙ බෙහෙත් නැහැ’ කියලා. ඩොලර් එවන්න එපා, කියන එකයි ඉස්පිරිතාලෙ බෙහෙත් නැහැ, කියන එකයි දෙකම කියන්න අපට අයිතියක් නැහැ. ‘ඩොලර් එවපල්ලා දරුවනේ, ඉස්පිරිතාලෙ බෙහෙත් නැහැ‘ කියන එකනේ කිවයුත්තේ. කවුරු හරි ඩොලර් එවන්න එපා, කියනවා නම් එමගින් කියවෙන්නේ, මේ රටේ මිනිස්සුන්ට පාරේ මැරෙන්න ඉඩ දීපල්ලා කියන එකයි. ආණ්ඩුව සමග තිබෙන කෝන්තරය සහ රාජ්‍ය සමග තිබෙන කෝන්තරය කියන්නේ දෙකක්. ඒ දෙක එකට පටලවා ගන්න එපා. රාජ්‍ය අපට ඕනේ. ආණ්ඩුව එලවන්න ඕන.

දැන් බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්‍රාම සුවයෙන් ‘අපට ඇත්තටම මොකද වුණේ? කියා නිදහසේ සිතිය යුතු කාලයනේ. දැන් ‘අනේ නැගිටිමු’ කියන්න රට වටේ රැගෙන යනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැන් මතකත් නැහැ. ‘කවුද ජනාධිපති, ගෝඨාභයද ජනාධිපති කියා. එයා කියනවා

‘ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යමු, කියා අනෙක් පැත්තෙන් මතක් කරනවා ‘රනිල්, රනිල්‘ කියා. මහින්ද රාජපක්ෂ කියන්නේ මෙහෙම කරන්න ඕනේ මනුස්සයෙක් ද? බේබිලා බලන්නේ, මැරෙන්න ඔන්න මෙන්න තියලා හරි තාත්තාව ඉස්සරහට දාලා මොකක් හරි මැච් එකක් ගහගන්නයි. බේබිලා නිසයි ඒ තත්ත්වයට වැටුණේ. දැන් මේ අරවා, මේවා නැගිට්ටවලා වැඩක් නැහැ. රටයි නැගිට්ටවන්න ඕනේ. මේ රටේ ලාංකීය ජාතියයි නැගිට්ටවන්න ඕනේ. උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” අමතා එහි ජාතික සංවිධායක වාසුදේව නානායක්කාර, නියෝජ්‍ය සභාපති මහාචාර්ය තිස්ස විතාරණ යන හිටපු අමාත්‍යවරුද අනුශාසක, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, විධායක සභිකවරු වන තිළිණ පීරිස්, වීරසුමන වීරසිංහ යන මහත්වරුද අදහස් දැක්වූහ. මෙම අවස්ථාවට ‘නිදහස’ ජනතා සභාවේ සභාපති හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment