ඔව්, අධිවේගී මාර්ග හදන සල්ලිවලින් ජනතාවට කන්න දෙන්න ඕන – පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණ

156

යුගදනවි ගිවිසුම’ කියන්නේ සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු ගිවිසුමක්.

විස්සට අපි විරුද්ධ වුණා

මම නැනෝ තාක්‍ෂණය ලංකාවට ගේන්න යනකොට එක්තරා ඉහළ නිලධාරියෙක් ඡන්දයක් ළඟ එන නිසා ඒක කරන්න බැහැ කිව්වා.

හෙතෙම වෛරසවේදය පිළිබඳව මහැදුරෙකි. ‘ජාත්‍යන්තරය පිළිගත් විද්වතෙකි. එමෙන්ම දිගු කාලයක් ‘වමේ ව්‍යාපාරය’ අත නොහැර දේශපාලන කි‍්‍රයාකාරිකයකු ලෙස කටයුතු කරන්නෙකි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය තිස්ස විතාරණ නම ඉදිරියෙන් තව බොහෝ දේ ලිවිය හැකි මුත් වත්මන් දේශපාලන පසුබිම තුළ ඔහුගේ භූමිකාව ඒ සියල්ලට වඩා වැදගත්ය. වත්මන් ආණ්ඩුවේම මන්තී‍්‍රවරයකු වුවද එතරම් කලඑළියට නොපෙනෙන චරිතයක් බවට පත්ව ඇති ඔහුගේ කළකිරීම වචන බවට පෙරළී මාධ්‍ය හරහා ප‍්‍රකාශ වූ අවස්ථාද වේ. පසුගිය දිනෙක නැවත වතාවක් තිස්ස විතාරණ මහතා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිවරයා ලෙසද පත්කෙරිණි. සිය සමාජවාදී ප‍්‍රතිපත්ති න්‍යායන් සමග ගැටෙන වත්මන් දේශපාලනයේ අර්බුදකාරී තැන් ගැන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස විතාරණ සිය අදහස් ගොනු කළේ මෙසේය.

ප‍්‍රශ්නය– මේ වන විට රටේ සිදුවෙමින් පවතින දේ ගැන ඔබේ විග‍්‍රහය මොකක්ද?

පිළිතුර– මේ වෙනකොට රටේ සිදුවෙමින් තිබෙන්නේ ගෝලීය වශයෙන් ධනවත් ආර්ථික ක‍්‍රමය විසින් නිර්මාණය කරපු තත්ත්වයක්. විටින් විට වසර හත අටකට වරක් මේ වගේ ආර්ථික අර්බුදයක් ලෝකය පුරාම ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. ඒක සිද්ධවෙන්නේ නිෂ්පාදනය ඉල්ලූමට වඩා වැඩිවෙන කොට. ඉංගී‍්‍රසියෙන් කිව්වොත් ීමචචකහ ැංජැැාි ාැප්බා එතකොට ඇතිවෙන ආර්ථික ව්‍යාකූලත්වය නිසා මිල පාලනයක් නැතුව යනවා. ඒවා ශ‍්‍රමිකයන්ගේ පිටින් අරින්න හාම්පුතුන් උත්සාහ කරනවා. ඒ එක්කම සමහර ආයතන වහන්න සිද්ධවෙනවා. මේක ධනවාදී ආර්ථික ක‍්‍රමය නිසා ඇතිවෙන දෙයක්. දැන් දරුණු ආර්ථික අවපාතයක් ඇතිවෙලා තියෙනවා. 1929-1933 ඒ වගේ එකක් ඇතිවුණා. දැන් ලෝක ආර්ථික අර්බුදයත් එක්කම මේ කොවිඞ් වසංගතයත් ලෝකය පුරා පැතිරෙන්න ගත්තා. අර්බුදය උත්සන්න වෙන්න ඒකත් එක හේතුවක්. ඒත් එක්කම අපේ විදේශ විනිමය සංචිතයත් පහළ බැස්සා. රටේ ආනයන ආදායමට වඩා අපි ආනයනත් වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඒක කාලයක් තිස්සේ වෙච්ච දෙයක්. අපි ඩොලර් සංචිතය වර්ධනය කර ගත්තම අපිට මේ තත්ත්වයෙන් ගොඩගන්න පුළුවනි. මේකට අපේ ආණ්ඩුව වගේම පසුගිය ආණ්ඩුත් වගකියන්න ඕන. අපි වගේ කුඩා රටකට ඔරොත්තු නොදෙන විදිහට හැම ආණ්ඩුවක්ම වැඩ කළා.

ප‍්‍රශ්නය– ඔබේ උත්තරය අර්ධ වාමාංශික අර්ධ ධනපති මට්ටමේ එකක්. අන්තිමට ඔබ සඳහන් කළේ වත්මන් ආණ්ඩුව නිතර කියන කතාවම තමයි. පසුගිය ආණ්ඩු කළ වරද නිසා මේ වතාවේ මේක පිපුරුවේ කියන කතාව ෂේප් න්‍යායට බරයි.

පිළිතුර– නෑ… නෑ… මම මෙහෙම කියන්නම්, වසංගතයත් එක්ක ආර්ථික අර්බුදයක් එනකොට ඒක වැඩි වශයෙන් බලපාන්නේ අපි වගේ රටවලට. ධනවත් ක‍්‍රමය අනුව ඒක තමයි විග‍්‍රහය. ආනයනයන්ගෙන් 60%ක් විතර ගියේ ඇමරිකාවට. දැන් එකත් ආර්ථික බැස්මක් තියනවා. අපේ ආර්ථික ක‍්‍රමයට ඒක දරුණු විදිහට බලපානවා. ධනවත් ක‍්‍රමය නිසා ඇතිවන ඒ තත්ත්වය වැඩි වශයෙන් බලපාන්නේ අපිට. ඉතිං මේ තත්ත්වයෙන් හැඟවෙන්නෙ වත්මන් ආණ්ඩුව පවා කරන්නේ කලින් ආණ්ඩු කරපු දේමයි. නව ලිබරල් ආර්ථිකය ඇතුළේ රටේ ආර්ථිකය, දේශීය නිෂ්පාදන, ආරක්‍ෂා වීමක් සිදුවන්නේ නෑ. නව ලිබරල් ආර්ථිකයේදී අපි ලෝකයේ එක් කොටසක් බවට පත්වෙනවා. යහපාලන ආණ්ඩුව මේ ප‍්‍රතිපත්තිය උපරිම මට්ටමට පාව්චිචි කළා. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහල්ලූ බවට පත්වෙන්න සිද්ධ වෙන්නෙත් ඔය හේතුව උඩයි. දේශීය සම්පත් පිටරටට විකුණන්න සිද්ධවෙන්නේ ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නයි. සමසමාජ පක්‍ෂය හැටියට අපි 56 ආණ්ඩුවේ ඉඳලම කියන්නේ දේශීය ආර්ථිකය ගොඩනැංවිය යුතුයි කියන එකයි. මම විද්‍යා හා තාක්‍ෂණික ඇමැති හැටියට කටයුතු කරන කාලයේ ‘විදාතා’ මධ්‍යස්ථානය පටන් ගත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩ ගන්නයි. ඒ අය තමයි රටේ ආර්ථිකයට විශාල හයියක් වෙන්නේ. විදාතා මධ්‍යස්ථාන නිසා බොහෝ දෙනෙකුට හැකියාව ලැබුණා ඒ අයගේ නිෂ්පාදනවලට විදේශීය වෙළෙඳපළක් නිර්මාණය කරගන්න.

  • ප‍්‍රශ්නය– දැන් වත්මන් ආණ්ඩුවට එවැනි යෝජනා හා සංකල්ප ඉදිරිපත් කළේ නැද්ද?

පිළිතුර– අපි ඉදිරිපත් කළා. යම්කිසි පක්‍ෂයක් සන්ධානගත වෙනකොට තම තමන්ගේ ප‍්‍රතිපත්ති යෝජනා ප‍්‍රධාන පක්‍ෂය සමග සාකච්ඡා කරන එක ඉදිරිපත් කරන එක සාමාන්‍ය දෙයක්. ඒවා ඇසුරින් තමයි බොහෝවිට මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වුණත් සකස් කරන්නේ. ප‍්‍රශ්නය තියෙන්නේ එහෙම වුණේ නැති එකයි. ඇත්තම කිව්වොත් මම විද්‍යා හා තාක්‍ෂණ ඇමැති හැටියට ඉන්න කාලේ ඉඳලම ආණ්ඩුවල මේ දුර්වලතාව තිබුණා. අපි නිවැරදි දේ ප‍්‍රයෝජනයට ගන්නේ නෑ. මම එකවතාවක් ගියා බ‍්‍රසල්ස් නුවරට යුරෝපා සංගමයේ මූල්‍යාතනයේ සමුළුවකට සහභාගි වෙන්න. එතැන විද්‍යා හා තාක්‍ෂණ ඇමැති අයර්ලන්ත කාන්තාවක්. එයාගෙන් මම ඇහුවා යුරෝපයේ ආර්ථික තත්ත්වය නංවන්න තියෙන සැලසුම් මොනවද කියලා. ඇය මට කිව්වා, මිනිරන් යොදාගෙන කරන නිෂ්පාදන වර්ගවලට ඒ අය මුල්තැන දෙනවා කියලා. මට තවමත් මතකයි ඒ අවුරුද්දේ යූරෝ බිලියනයක් ඔවුන් වෙන් කරලා තිබුණා ඒ අදාළ පර්යේෂණ කටයුතුවලට. ඉතිං මං ඇහුවා ඇයගෙන් මේ මිනිරන් සපයා ගන්නේ කොහෙන්ද කියලා. ඇයගේ උත්තරය වුණේ ‘ශී‍්‍ර ලංකාවෙන්’ කියන එකයි. අපේ අය තුට්ටු දෙකට මිනිරන් දෙනවා. ඒ අය ඒවායෙන් ඩොලර්-යූරෝ බිලියන ගණනින් ආදායම් උපද්දවන නිෂ්පාදන කරනවා. මේ සූරා කෑම පදනම් කරගෙන අපි එන්න එන්නම දුප්පත් වෙනවා. ඒ අය පෝසත් වෙනවා. පුල්මුඬේ ඉල්මනයිට් අපි නැව්වලට පටවලා පිටරට යවනවා. ඒ අය තීන්ත නිෂ්පාදනය කරන්න විතරක් නෙවෙයි ටයිටේනියම් ලෝහය නිෂ්පාදනය කරන්නත් ඒවා භාවිතා කරනවා.

ප‍්‍රශ්නය– මේක ගැන එවකට ජනාධිපතිවරයා හෝ අදාළ නිලධාරීන් එක්ක කතා කළේ නැද්ද?

පිළිතුර– කතා කළා. ප‍්‍රයෝජනයක් නෑ. ඒ කාලයේ නැනෝ තාක්‍ෂණය කි‍්‍රයාත්මක වුණේ රටවල් 17ක විතරයි. අපේ අසල්වැසි රට ඉන්දියාවෙත් නෑ. මම නැනෝ තාක්‍ෂණ ව්‍යාපාරයක් පටන් ගන්න තීරණය කරලා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහත්තයට කිව්වා අපි නැනෝ තාක්‍ෂණය පටන් ගන්න 18 වැනි රට බවට පත්වෙන්න ඕන. දකුණු ආසියාවේ පළමු වැනියා වෙන්න ඕන කියලා ඒ යෝජනාව ඉදිරිපත් කළා.

ප‍්‍රශ්නය– අපිට 18 වැනි රට වෙන්න අවස්ථාව ලැබුණාද?

පිළිතුර- මම කියන්නම්. යෝජනාව ඉදිරිපත් කළාම එතුමා ඒක අහගෙන හිටියා. ඊටපස්සේ මම කිහිප විටක්ම මේ ගැන මතක් කළා. ඒ ගැන ලිපි ලේඛන ඉදිරිපත් කළා. අන්තිමේදී මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඒ කාලයේ එක්තරා නිලධාරියෙකුට මේ ගැන කියන්න කීවා. මම නැනෝ තාක්‍ෂණය ආරම්භ කිරීමේ වැදගත්කම ඉපැයිය හැකි මුදල මේ වගේ දේවල් එක්ක ඒ නිලධාරි මහත්මයාට (වත්මනෙහි පවා ප‍්‍රකට නිලධාරි චරිතයක නම සඳහන් කරයි.) විස්තර කිව්වා. එතකොට එතුමා මගෙන් අහනවා ‘මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කොච්චරකල් යයි’ද කියලා. මම කිව්වා තව අවුරුදු තුන හතරක් යයි කියලා. එතකොට එතුමා කියනවා ‘අපොයි එච්චර කල් ගන්න බෑ. ඊළඟ අවුරුද්දේ ඡන්දයක් තියෙනවා කියලා. ඉතිං වැඬේ කෙරුණා වුණත් අපේ රටේ වැඩ කෙරෙන්නේ ඔය විදිහට තමයි.

ප‍්‍රශ්නය– පසුගිය කාලේ ඒ ‘නිලධාරියාට’ තැන අහිමිවීම සාධාරණයි බලනකොට.

පිළිතුර– (සිනා වෙයි.) මම එයාට පැහැදිලි කළා ඊළඟ මැතිවරණයෙන් දිනන්නේ පරදින්නේ කවුද කියන එකට වඩා වැදගත් වන්නේ මේකෙන් අනාගත ශී‍්‍ර ලංකාවකට පරපුරකට ලැබෙන ප‍්‍රතිලාභයයි කියලා.

ප‍්‍රශ්නය– ප‍්‍රබල ආණ්ඩුවක විද්‍යා හා තාක්‍ෂණ ඇමැති හැටියට කටයුතු කළ ඔබට මේ වගේ ශක්තිමත් ආණ්ඩුවක අමැති ධුරයක්වත් නෑ. එහෙම හිතද්දී ඔය කරන යෝජනාවලට වලංගු බාවයක් තියේවිද? උදාහරණයක් හැටියට පසුගිය කාලයේ ඔබ කීවා ඉන්දියාවෙන් 4%ක පමණ නයිටි‍්‍රජන් ප‍්‍රමාණයක් තිබෙන කාබනික පොහොර ගෙන්වන්න යන්නේ අපේ රටේ 43%ක ප‍්‍රතිශතයක් ඇති යූරියා නයිටි‍්‍රජන් තිබියදී බව. හැබැයි ඒ කතාවට වැඩි අවධානයක් යොමුවුණේ නෑ.

පිළිතුර– ඔව්… වෙන්න පුළුවන්. හැබැයි මම කිව්වේ ඇත්ත. ආචාර්ය නිල්වලා කෝට්ටේගොඩ ඇතුළු කණ්ඩායම 43%ක ප‍්‍රමාණයකින් යුත් පොහොර නිෂ්පාදනය කරනවා. ආචාර්ය නිල්වලා කෝට්ටේගොඩ වී වගාව සම්බන්ධයෙන් ඒ ගැන පර්යේෂණ කරලත් තිබුණා. නමුත් රජය පාර්ශ්වයෙන් ඒ ගැන කිසිම ප‍්‍රතිචාරයක් නෑ. අපි විශාල වියදමක් කරලා ඉන්දියාවෙන් නැනෝ දියර ගෙන්නනවා වෙනුවට භාවිත කළ හැකි ඉහළම පොහොරක් වුණාට කවුරුත් ඒ ගැන සැලකිලිමත් වෙන්නේ නෑ. මේවා අපි නිෂ්පාදනය කරලත් අපිට විතරක් කලාපයට ආනයනය කරන්නත් පුළුවන්. අපි තවත් පමා නොකර කාර්මික රටක් බවට පත්විය යුතුයි. අපි නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.

ප‍්‍රශ්නය– ඔබ එහෙම කිව්වට දැන් සෑහෙන කාලයක් තිස්සේ නව ලිබරල් ආර්ථික ක‍්‍රමයත් එක්ක යන ආණ්ඩුවක් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවානේ. අපිට හිතෙන්නේ වමේ බොහෝ පක්‍ෂ ඒකට එකඟයි කියලා.

පිළිතුර– නෑ… වැරදියි අපි එකඟ නෑ.

ප‍්‍රශ්නය– නව ලිබරල් ආර්ථික ක‍්‍රමය පිළිගන්න ප‍්‍රධාන පක්‍ෂයක වලිගයේ එල්ලෙනවා කියන්නේ ඒ එක්ක ගමනක් යනවා කියන එකනේ?

පිළිතුර– මෙහෙමයි යටත් විජිත රටවල් කලින් ගි‍්‍රජුව සූරා කෑවා. දැන් රටවල් නිදහස් වෙලා. ඒ නිසා මේ යුගයට ගැළපෙන සූරාකන ක‍්‍රමයක් ඕනෑ. ඒක තමයි නව ලිබරල් ක‍්‍රමවේදය. දැන් ලංකාවේ ඉන්න ආර්ථික විශේෂඥයෝ සහ දේශපාලනඥයෝ පවා විශ්වාස කරනවා මේක තමයි මාර්ගය කියලා. ඔබ ඕනෑම අන්තයක් පරීක්‍ෂා කරලා බලන්න, එන්න එන්නම දුප්පතුන් වැඩිවෙලා තියෙනවා. පොහොසතුන් අඩුවෙලා තියෙනවා. කාල් මාක්ස් මේක කිව්වා. කාර්මික ධනපති ක‍්‍රමය තුළින් මූල්‍ය ධනය ඇති කිරීමේ ප‍්‍රවණතාව වැඩිවෙන්න වැඩිවෙන්න මූල්‍ය ධනය තමයි ප‍්‍රධාන ප‍්‍රාග් ධනය වෙන්නේ. ලෝක වශයෙන් බැලූවම ඒ ඒ මූල්‍ය ආයතන තමයි ප‍්‍රධාන වෙලා තියෙන්නේ. මේ ආර්ථික කඩා වැටීම්වලට හේතුව ඒකයි.

ප‍්‍රශ්නය– එකඟද? නැද්ද? කියන කාරණයට උත්තරයක් ලැබිලා නෑ.

පිළිතුර– එකඟ නෑ. ඒක වෙනස් කරන්න පුළුවන් ආණ්ඩුවක් ගැනයි අපි කල්පනා කරන්නේ?

ප‍්‍රශ්නය– ඒ කියන්නේ වත්මන් ආණ්ඩුව ගැනත් විශ්වාසයක් නැහැ.

පිළිතුර– නෑ… මම අදහස් කරන්නේ ඒක නෙවෙයි. අපිට මේ මොහොතේ තත්ත්වය වෙනස් කළ හැකි ආණ්ඩුවක් හැටියට පෙනෙන්නේ වත්මන් ආණ්ඩුවයි. නිකමට හිතන්න යහපාලන ආණ්ඩුව වගේ එකක් තිබුණානම් මොකද වෙන්නේ කියලා. මේ රටේ සම්පත් විදේශයට විකුණමින් විදේශ අතපෙවීම්වලට ඉඩ දෙමින් කරපු දේ හරිද?

ප‍්‍රශ්නය– ලෙනින් කිව්වා ‘අවස්ථාවාදය අපේ ප‍්‍රධාන හතුරා’ කියලා. මේ මොහොතේ ඔබ ඔය කියන විදිහට වමේ පක්‍ෂවලට අත්වී තිබෙන ඉරණමට හේතුවත් අවස්ථාවාදයම තමයි කියලා මම යෝජනා කරනවා.

පිළිතුර– ඒකෙන් මොකක්ද අදහස් කරන්නේ.

ප‍්‍රශ්නය– දැන් වමේ ව්‍යාපාර නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති පිළිගන්න ආණ්ඩු එක්ක ගනුදෙනු කරන ස්වභාවය අවස්ථාවාදයට කිට්ටුයි.

පිළිතුර– නෑ දැන් මාධ්‍යවේදියක් විදියට ඔයත් මම කියන ඒවා ඒ විදියටම පළ කරන්නේ නෑ. ආයතනයේ වුවමනා විදියට කපලා කොටලා තමයි පළ කරන්නේ. ඒකත් අවස්ථාවාදයද? මොකක්ද මේ වෙනකොට ලෝකය නව ලිබරල්වාදය එක්ක අනතුරකට ගමන් කරලයි තියෙන්නේ. 56 ආණ්ඩුවත් එක්ක පටන්ගත්ත දේශීය ආර්ථික ක‍්‍රමය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමසමාජ පක්‍ෂයට තනියම කරන්න වුවමනාව තිබ්බට ජන පදනම මදි. අපේ රට කාර්මිකරණය වෙච්ච රටක් නෙවෙයි. කම්කරු පන්තිය එතරම් ශක්තිමත් නෑ. වැඩියෙන්ම ඉන්නේ ගොවි ජනතාව. එහෙමත් නැත්නම් ගම්බද ජනතාව. මධ්‍යම පන්තියේ ජනතාව ශී‍්‍රලනිප ප‍්‍රධාන පක්‍ෂය කළා. ඉතිං අපි මොනතරම් දේවල් කළත් රටේ ජනතාවට ඒක ඒ තරම් දැනුනේ නෑ. එජාපයත් එක්ක එකතු වුණු පක්‍ෂ සහ පිරිස් අධිරාජ්‍යවාදී ධනපති පන්තියක්. 48 ඩොමිනියන් නිදහසක් ලැබුණාට අපිට පූර්ණ නිදහස ලැබුණේ 72 දී ජනරජ ව්‍යවස්ථාවෙන්. ඒකට මුල්වුණේ වමේ ව්‍යාපාරය. ඒත් 47 දී ඩොමිනියන් නිදහසක් අත්පත් කරගත්ත ඉන්දියාව ඒ රටේ ධනපති පන්තිය බලවත් නිසා අවුරුදු තුනකින් පූර්ණ නිදහස ලබා ගත්තා. ධනපති පන්තියේ සුළු පිරිස මධ්‍යම පන්තියේ පිරිස සමග එකතුවෙලා හදපු ශී‍්‍රලනිපය සමගයි අපි ගමන ගියේ. නමුත් එජාපය එතැන නෑ. මේ රට විකුණන එක ඔවුන්ගේ ප‍්‍රතිපත්තියයි. එදා එම්.සී.සී ගිවිසුම ගෙනාවනම් මොකද වෙන්නේ. මේ රට පාලනය කරන්නේ ඇමරිකාව. සෝෆා, ඇක්සා ගිවිසුම් වුණත් එහෙමයි.

ප‍්‍රශ්නය– හැබැයි වත්මන් ආණ්ඩුවේම හවුල්කාර පක්‍ෂ කීවා එම්සීසී ගිවිසුමේ අපේ රටට අහිතකර වගන්ති ඉවත් කරලා ඒක ගෙනාවට කමක් නෑ කියලා.

පිළිතුර– අපි නම් කීවේ නැහැ. මම කිහිප විටක්ම ප‍්‍රසිද්ධියේ කීවා මේකට විරුද්ධයි කියලා. එහෙම කවුරුහරි කිව්වනම් ඒ අය නියෝජනය කරන්නේ මේ රට නෙමෙයි අධිරාජ්‍යවාදය.

ප‍්‍රශ්නය– එජාපය එහෙමත් නැත්නම් යහපාලන ආණ්ඩුව රටේ සම්පත් හූරා කන වග සහ විකුණන බව ඔබ කීවා. එතකොට වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙනුත් ඒ චෝදනාවම තියෙනවානේ. යුගදනවි ගිවිසුම, ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය, පෝට්සිටිය සහ රටේ වටිනා ඉඩම් සම්බන්ධයෙන් ඔය චෝදනාව වත්මන් ආණ්ඩුවට එල්ලවෙනවා.

පිළිතුර– ඔව්. යුගදනවි පැවරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක අපේ රටේ සම්පතක් ඇමරිකාවට පවරා දීමක්. මෙය අහෝසි කළ යුතුයි.

ප‍්‍රශ්නය– ඒක තමයි ඔබේ ස්ථාවරය හරියටම පැහැදිලි මදි.

පිළිතුර– මෙහෙමයි. අපි අපේ අදහස් ඉදිරිපත් කරනවා. අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. නමුත් බලය අපේ අතේ නෙවෙයි. ජනතාව අපිට නෙවෙයි බලය දීලා තියෙන්නේ. ඉතිං ඒ අයගේ මතය තමයි ජය ගන්නේ.

ප‍්‍රශ්නය– වෛරසවේදයේ විශේෂඥයෙක් වන ඔබෙන් ආණ්ඩුව හරිහැටි වැඩක් නොගත්තෙත් ඒ නිසාද?

පිළිතුර– ඔව්. මට විශාල කනගාටුවක් තියෙනවා ඒ ගැන. දැනගෙන හිටියත් යමක් කරන්න වුවමනා වුණත් මට එකම අවස්ථාවක් ලැබුණේ නෑ. නිවැරදිව කිව්වොත් දුන්නේ නෑ. ඇත්තටම අපේ අදහස්වලට අවශ්‍ය අවධානය ලැබෙන්නෙම නැති තරම්. දැන් තිබෙන ආර්ථික අර්බුදය ගැන පවා අපි ඉදිරිපත් කරන අදහස්වලට තැනක් ලැබෙන්නේ නෑ.

ප‍්‍රශ්නය– අධිවේගී මාර්ග හදන්න වෙන්කර ඇති මුදල් ආර්ථික අර්බුදය හමුවේ අසරණවී සිටින ජනතාවට අවශ්‍ය ආහාර ලබාදීමට යොදා ගත යුතු යැයි ඔබ මාධ්‍ය හමුවකදී කීවා. ඒ දේටත් ආණ්ඩුව කන්දෙන එකක් නැද්ද?

පිළිතුර– මම හිතන්නේ නෑ ඒ වගේ දේවල්

ගැන උනන්දුවෙන බවක් පේන්නත් නෑ.

ප‍්‍රශ්නය– ඒත් විවිධ රටවලින් දෙන ආධාර, ණය අදාළ ව්‍යාපාරවලට මිස වෙනත් කාරණාවලට යොදා ගැනීම ප‍්‍රායෝගිකද?

පිළිතුර– ආණ්ඩුවට සැලැස්මක් තියෙන්න ඕන. ඒවා යොදා ගන්නේ කොහොමද කියන එක. අනික මේ අය උත්සාහ කරන්නේ තව තව ණය අරගෙන පැවැත්ම තහවුරු කර ගන්නයි. උද්ධමන අනුපාතිකය සියයට දහහතරත් පැනලා. මුලදී තිබුණේ සියයට පහයි හයයි. මේකට කි‍්‍රයාත්මක කරන්න තියෙන්නේ 72, 73 එන්. එම්. පෙරේරා කරපු දේයි. ඒ යුගයෙත් ලෝක ආහාර අර්බුදයක් ඇතිවුණා. එන්.එම්. ඒ කාලයේ පිටරට ණය ගැනීම අඩු කළා. ඔහු කළේ දේශීය ධනපති පන්තියෙන් සියයට හැත්තෑවක් බදු අය කිරීමයි. අද වෙනකොට අපේ රටේ බදු ආදායම සියයට 14යි. යුරෝපයේ සියයට 40යි. දේශීය ධනපති පන්තිය පෝෂණය වෙන්නේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවගේ ශ‍්‍රමයෙන්. ඒ නිසා දුප්පත් ජනතාවට වක‍්‍ර බදු පනවලා බර දෙන්නේ නැතුව ඒ බර ධනපති පන්තියට දෙන්න ඕන.

ප‍්‍රශ්නය– ඔය කියන කතා අනුව පේන්නේ ආණ්ඩුව ගැන ඔබට විවේචනයක් තිබෙන බවයි.

පිළිතුර– ඔව්… අනිවාර්යයෙන්.

ප‍්‍රශ්නය– කලකට ඉස්සර ඔබ කියා තිබුණා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වී ආවේ නැත්නම් අමාත්‍ය ධුරයක් දෙන බවට පොරොන්දු වූ නිසා බව. ඒ නිසාම ඔබට කලකිරීමක් තිබෙන බවත් ඔබ කියා තිබුණා.

පිළිතුර– ඇමැතිකමක් නොලැබුණු නිසාම නෙවෙයි මට කලකිරීමක් තියෙන්නේ. අපෙන් වැඩක් නොගන්න එකටයි.

ප‍්‍රශ්නය– වැඩක් ගන්න පක්‍ෂයකට හෝ බලවේගයකට එකතු වෙනවද?

පිළිතුර– මම දැන් සමසමාජ පක්‍ෂයේ ලේකම්. රාජා කොල්ලූරේ මහත්මයා මියගිය පසු සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් හැටියටත් මාව පත්කළා. ඒ පෙරමුණේ සමාජවාදී පක්‍ෂ පහක් තියෙනවා. අපිට මේ ජනාධිපතිවරයා පත්වෙච්චදා ඉඳලා කිසිම රැස්වීමකට කතා කරලා නෑ. පොදුජන පෙරමුණට අයත් පක්‍ෂ හමුවකටත් ඉඩක් ලැබිලා නෑ. 20 වැනි සංශෝධනයට මම විරුද්ධ වුණාම ජනාධිපතිවරයා හමුවෙන්න අවස්ථාවක් හදලා දුන්නා. අපි අලූත් බලවේගයක් ගැන කල්පනා කරලා නෑ. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ ආණ්ඩුව නිවැරදි පාරට අරගෙන රටේ ජනතාවට යහපතක් කරන්නයි. ඒක කොයි විදිහට සිද්ධ වෙයිද කියලා කියන්න අමාරුයි.

සාකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment