ඔව් අපි හොරු පන්නන්න යන්නේ… අරගලයේ අයත් කිව්වේ ඒකනේ – රුවන් විජයවර්ධන

183

පොත්වල නොතිබුණු බොහෝ කාරණා හොරකම් කරන බොහෝ දෙනෙක්ගේ හිත්වල තිබුණා.
පක්ෂ දේශපාලනය අමතක කරලා මේ වෙලාවේ රට වෙනුවෙන් එකතු වෙන්න ඕන
සුදු අලි නඩත්තු කරනවට වඩා පෞද්ගලීකරණය කරන එක හොඳයි

පාර්ලිමේන්තුව තුළ මේ වනවිට එජාපයක් නැත. එහෙත් එජාපයේ ජනාධිපතිවරයෙක් සමග ආණ්ඩුවක් තිබේ. ඒ අපූරු තත්ත්වය මතම එජාපය සිය 76 වැනි සංවත්සරය එළැඹෙන හය වැනිදා සැමරීමට නියමිතය. එජාපය තිබෙන්නේ බින්දුවේ ය. එවැනි මොහොතක පැවැත්වෙන සමුළුවක් ගැන විමසිය හැක්කේ එජාපයේ ජනාධිපතිවරයා හැරුණුවිට එහි නියෝජ්‍ය නායකයා ගෙනි. ඒ රුවන් විජයවර්ධනය.රුවන් විජයවර්ධන ගැන අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඒ දේශපාලන පරපුරක වත්මන් නියෝජනය යි. එදා රටේ පවතින අර්බුදය ගැනත් තවත් බොහෝ කරුණු කාරණා ගැනත් දිවයින ඉරිදා සංග්‍රහය සමග අදහස් බෙදා ගත්තේ මෙසේය.

ප්‍රශ්නය – මේ සම්මුඛ සාකච්ඡාව පළවන එළැඹෙන හය වැනිදා පක්ෂයේ සමළුව පවත්වන් සූදානම්. ඒකත් රටේ ජනාධිපතිවරයා ජනවරමකින් පත් වෙච්චි කෙනෙක් නෙවෙයි. පක්ෂයේ උදවිය විතරක් නොවෙයි, පාක්ෂිකයන් අවතැන් වෙලා. ඉතින් මේ සමුළුවේ සාර්ථකත්වය ගැන ඔබට තියෙන්නේ මොන වගේ තක්සේරුවක්ද?

පිළිතුර – මුලින්ම කියන්න ඕන ජනාධිපතිවරයා පත් වෙලා තිබෙන්නේ ජනවරමකින් නොවෙයි කියන කතාව පුහු තර්කයක් බව. මොකද ජනාධිපතිවරයා පත්වුණේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් ඡන්දයෙන්. පාර්ලිමේන්තුව නියෝජිතයන් නියෝජනය කරන්නේ රටේ ජනතාව. ඉතින් ජනාධිපතිවරයා පත්කිරීම ගැන ඒ ජනතා නියෝජිතයන්ට කිසිවකුත් විරෝධය දක්වන බවක් අපි දැක්කේ නැහැ. මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්නේ රටේ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන්. ඊළඟට ගත්තොත් අපේ පක්ෂයේ සංවත්සර සමුළුව. මම විශ්වාස කරන්නේ මේක තමයි අපි පවත්වන සුවිශේෂීම සමුළුව. ඒකට හේතුව එ. ජා. පයේ ජනාධිපතිවරයෙක් යටතේ ඉතා දීර්ඝ කාලයකට පසුව පවත්වන පළමු සමුළුව මෙය නිසා. ඊළඟට රටේ විශාල අර්බුදයක් පැන නැඟුණු මොහොතක වුණත් එ. ජා. පාක්ෂිකයන් තුළ විශාල පිබිදීමක් ඇති වී තිබෙනවා. නැවත එජාපය ශක්තිමත්ව ගොඩනැඟෙන ආකාරය ගැන. මේ වෙනකොට අපි ඒ සඳහා වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. සැප්තැම්බර් හය වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අපි මේ සමුළුව උත්සවාකාරයෙන් පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ පවතින තත්ත්වය ඉන්ධන හිඟය වැනි කරුණු සලකා බලා අපි මේ සමුළුව ඉතා චාම්ව පවත්වනයි කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒත් අපි අපේ පාක්ෂිකයන්ට ආරාධනා කරනවා හැකියාවක් තිබේ නම් ඊට සහභාගිවෙන්න කියලා. අපි විශ්වාස කරනවා පොදු ප්‍රවාහනය භාවිත කර හෝ රටේ ජනතාව ඊට සහභාගි වෙයි කියලා.

ප්‍රශ්නය – ලැයිස්තුවෙන් ආපු ජනාධිපතිවරයෙක් හැරුණුවිට කිසිදු ආසනයක් නැති පරාජිත පක්ෂයක් වෙනුවෙන් ජනතාව එයි කියන කතාව විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි.

පිළිතුර – ජනතාව විශ්වාස කරපු නිසා තමයි මේ වෙනකොට මේ තරම් සාමකාමීව, මේ තරම් අර්බුදයක් මැද ඉවසීමෙන් ජනතාව කටයුතු කරන්නේ.

ප්‍රශ්නය – ගෝඨාභයටත් බැරි වුණු මිලිටරි බලය යොදවලා, මර්දනය කළාම කොහොමත් සාමකාමී වගේ තමයි පෙන්නේ.

පිළිතුර – නැහැ. ඒක මර්දනය කිරීමක් නොවෙයි. මේ වෙනකොට සිදුවුණ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඉතාම නීත්‍යානුකූලවයි. පවතින නීතියට පිටින් යමක් සිද්ධ වී තිබෙනවාද කියන එක ඔබ මට කියන්න. රට හරි පීල්ලට වැටෙනකොට ඒක ඉවසන් ඉන්න බැරි සුළුතරයක් එහෙම කීවාට කිසිම දේකට තහංචි දාලා නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා.

ප්‍රශ්නය – එහෙනම් අත්අඩංගුවට ගන්නා ශිෂ්‍ය ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනතට යටත් කරන්නේ ඇයි?

පිළිතුර – ඔය කතාවට පැහැදිලි උත්තරයක් අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී දීලා තිබුණා. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නෑ.

ඇත්තට ම මම අර මුලින් කිව්ව වගේ ජනතාව විතරක් නොවෙයි, එජාපයෙන් කැඩිලා ගිය පිරිස ගෙන් බහුතරයක් දෙනාත් පොදුජන පෙරමුණේ පිරිසකුත් එජාපය සමග කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ මේ දූරදර්ශී වැඩපිළිවෙළ නිසයි. ඩී. එස්. සේනානායක ඇතුළු එජාපයේ සියලු නායකවරු එජාපයේ ප්‍රතිපත්ති හැදුවේ රටට සේවයක් කරන්න. අපිට සමහරක් දේශපාලන පක්ෂ වගේ ව්‍යාජ ජාතිවාදය අවුස්සලා, රටේ භීෂණය වපුරලා රටේ බලය අල්ලන්න වුවමනා නැහැ. නිවැරදිව කිව්වොත් මේ රටේ ආර්ථිකය බේරගන්න පුළුවන් එජාපයට විතරයි. දැන් රටේ ජනතාවත් ඒක විශ්වාස කරනවා. දැන් මේ වෙනකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඒ දවස්වල බැනපු උදවියම කියනාව “රට බේර ගන්න පුළුවන් ඔබතුමාට විතරයි” කියලා. නැවත එජාපය ගැන රටේ ජනතාවට උනන්දුවක් ඇති වෙලා තියෙන්නෙත් ඒ නිසයි. කොහොමත් කිසි කෙනෙක් මේ අර්බුදය ඇති වූ මුල්ම වේලාවේ ඒ අභියෝගය භාරගන්න ඉදිරිපත් වුණේ නෑ. ඔබ ඔය කියන පරාජිත තනි අසුන හිමි පුද්ගලයා තමයි, ඒ අභියෝගය භාරගත්තේ. විවේචනය කරන බැන අඬ ගහන හැමෝම බය වුණා. එජාප නායකතුමා, වත්මන් ජනාධිපතිවරයා පක්ෂ, පාට, වාසි කිසිම දෙයහක් නොබලා ඒ අභියෝගය භාර ගත්තා. ඒ නිසා මම කියන්නේ මේ මොහොතේ අනෙක් පක්ෂ පවා දේශපාලන වාසි ගැන අමතක කරලා, පක්ෂ දේශපාලනය අමතක කරලා මේ ගමනත් එක්ක එකතු වෙන්න ඕන.

ප්‍රශ්නය – ස. ජ. බ.යේ පොහොට්ටුවේ පිරිසක් එජාපයට නැති නම් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහයෝගය දක්වනවා කීවාට, තවමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක්වත් හදා ගන්න බැරි වෙලා තියෙනවා.

පිළිතුර- ඔව්. අනිවාර්යයෙන්ම ඒක තමයි මම කිව්වේ මේ වේලාවේ පක්ෂ පාට අමතක කරලා අපි එකතු වෙන්න ඕන කියලා. නමුත් තවමත් සමහර අයට තමන්ගේ ඔළුව හදාගන්න බැරි වෙලා තියෙනවා. තවමත්, කාටද ඇමැතිකම් ලැබෙන්නේ කාටද? නො ලැබෙන්නේ කාටද වගේ ප්‍රශ්න කිහියක් ඉතිරි වෙලා තියෙනවා. මම නැවතත් අවධාරණය කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා ඉතාම ඉක්මනින් මේ රටේ අර්බුදවලට විසඳුම් හොයලා රට හරි මාර්ගයට ගන්න ඕන කියලා විශ්වාස කරන ඒකට කැමති පිරිසක් ස. ජ. බ. යෙත් පොහොට්ටුවෙත් ඉන්නවා. දැන් මේ කඹ ඇදිල්ල නිසා ම පක්ෂ දේශපාලනය රටේ මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඔබ වත්මන් ආණ්ඩුවේ, ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක්. ඒ වගේම එජාපයේ නියෝජ්‍ය නායකයා. හැබැයි දේශගුණයට කාලගුණයට අයිති දේවල් ගැන තමයි උපදෙස් දෙන්න වෙලා තියෙන්නේ.

පිළිතුර – ඇත්තට ම ඕක ඔබට වගේම තවත් බොහෝ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒකට හේතුව මේ විෂය ගැන ප්‍රාමාණික අවබෝධයක් නැතිකම. මේ විෂයයන් ගණනාවක් එකට බැඳුණු පුළුල් විෂයයක්. විශේෂයෙන් ගත්තොත් මේ විෂය ඇතුළෙම තමයි තියෙන්නේ ආහාර සුරක්ෂිතතාවය. පරිසර සංරක්ෂණය වගේ දේවලුත්. ආහාර සුරක්ෂිතතාවය ගැන ප්‍රශ්න මතුවීම, පරිසර සාධක මේ සියල්ල ඍජුවම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙනුත් ඍජුවම බලපාන කාරණා. ඒ නිසාම පැවරෙන වගකීම අතිශය භාරදූර එකක්. අපි රටේ අමාත්‍යාංශ වශයෙන් ගත්තත් ඒ බොහෝමයකටත් මේ විෂයය කෙලින්ම බද්ධ වෙනවා. ඔය කාරණය නිසාම තමයි ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම මට පැවරුවේ. මම විශ්වාස කරනවා ඉදිරියේදී විවිධ ජාත්‍යන්තර සංවිධාන ආහාර සුරක්ෂිතතාව මෙන්ම පරිසර සංරක්ෂණ සම්බන්ධයෙනුත් අපට බොහෝ ආධාර උපකාර ලබාදෙයි කියලා. පුනර්ජනනීය බලශක්ති විෂයත් මේ ක්‍රියාවලියට අයත්. ඒ නිසා ම ඉදියේදී අපි විකල්ප බලශක්ති ප්‍රභවයන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා අගමැති, ජනාධිපති වූ පසු පෝලිම් යුගය අවසන් වනවා යැයි කීවාට තවමත් පාරවල්වල පෝලිම්….

පිළිතුර – රටේ ආර්ථික අර්බුදය මාසයකින් දෙකිනන් නැත්නම් අවුරුද්දකින් විසඳන්න පුළුවන් එකක් නෙවෙයි. ඉන්ධන ප්‍රශ්නයටත් හේතුව ඩොලර් සංචිතයක් නොමැති වීම. එසේ තිබියදීත් යම් ප්‍රමාණයකට පෝලිම් අවම කරගෙන මේ පද්ධතිය නඩත්තු කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා. අයි. එම්. එෆ්. සාකච්ඡා සාර්ථක වූ පසු යුරෝපයේ බොහෝ රටවල් අපට උපකාර කරන්න ඉදිරිපත් වෙයි. ආසියාතික රටවල් පවා මේ වෙනකොටත් අපිට උදවු කරනවා. කොහොමත් තව වසරක් හෝ දෙකක් යන කොට මේ ප්‍රශ්නවලට යම් පමණක විසඳුමක් ලබාදෙන්න පුළුවන් වෙයි. ඒ අතරම අපි බලශක්ති අර්බුදය ජයගන්න පුනර්ජනීනය බලශක්ති ක්‍රමවේදයන් භාවිත කරන්න පටන්න ගන්න ඕන. ඒවාටත් සැලසුම් සකස් කරගෙන යනවා. මුලින්ම ඉන්ධන සඳහා වැයවන මුදල් ප්‍රමාණය අවම කරගන්න ඕන. කොහොම නමුත් ජනාධිපතිවරයාගේ වුවමනාව තව වසර දෙකක් දෙකාහමාරක් වැනි කාලයක් තුළ මේ සියල්ලට ම ස්ථිරසාර විසඳුමක් සෙවීමයි.

ප්‍රශ්නය – ඔබ ඔහොම කීවාට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියටත් ජනාධිපති පදවියටත් පත් වෙලා දැන් මාස හයක් ඉකුත් වෙලා තියෙනවා. ඒත් ස්ථිරසාර විසඳුමකට අවශ්‍ය මඟ පෙන්වීමක්වත් වෙලා බවක් පෙන්න නෑ.

පිළිතුර – දැන් පසුගිය සැප්තැම්බර් පළමු වැනිදා වෙනකොට ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ඇවිත් තියෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියට දෙන්නට නියමිතයි. මම මේ කිව්වේ ඔබ ඔය දැන් කිව්ව “ස්ථිරසාර විසඳුමකට අවශ්‍ය මඟ පෙන්වීමක්වත් නෑ” කියන කතාවට එක් උදාහරණයක් විතරයි. මාස හතළිස් අටක් කියන්නේ අවුරුදු හතරක්. ඒ කියන්නේ ඒ අවුරුදු හතර ඇතුළත අපට අයි. එම්. එෆ්. එක අපි එක්ක ඉන්නවා. අයි. එම්. එෆ් එකේ ඒ ස්ථාවරය නිසා ම අපට අනෙකුත් රටවලුත් උදවු උපකාර කිරීමට පෙළඹෙනවා. බොහෝ රටවල් කර ඇරියේ මේ ස්ථාවරත්වය නැති නිසයි. ආයෝජකයන් පවා ඉදිරිපත් වීමේ ප්‍රවණතාව වැඩි වෙනවා. ඒ අතරතුර ජනාධිපතිවරයාගේ සැලැස්ම වෙන්නේ අපනයනය මූලික කරගත්ත ආර්ථිකයක් ස්ථාපිත කිරීමයි. මේවා බොහොම හිමින් ඒත් සැලසුම් සහගතව සිද්ධ වෙයි. අපිට ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. බින්දුවට ම වැටිච්ච රටක්, ලෝකයේ බංකොලොත් රාජ්‍යයක් හැටියට නම් වෙච්ච රටක් දවසින් දෙකින් ගොඩ දාන්න බෑ. දැන් ඒකට අපි කාගේ කාගේත් කැපවීම අවශ්‍යයි.

ප්‍රශ්නය – ඒත් සාමාන්‍ය පවුලක 63,000ට තිබ්බ මාසේ වියදම එක්ලක්ෂ විසිදහසක් පැනලා. තුන්වේල දෙවේලෙට වැටිලා. යුනිසෙෆ් එක කියනවා රටේ දරුවන් මහ විනාශයක, හරි අඩකට හදිසි උපකාර ඕනෑ කියලා. ජනතාව ඒ කැපවීම ඕනෑවටත් වඩා ඉහළින් මේ වෙනකොට කරනවා.

පිළිතුර- ඒක ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා ම තමයි මෙවර අතුරු අයවැයෙන් සියලු සංවර්ධන වැඩ කටයුතු අත්හිටුවලා රටේ ජනතාවට සහන දෙන්න ජනාධිපතිවරයා කටයුතු කළේ. අඩු ආදායම්ලාභීන්ට දස දහසක මාසික දීමනාවක්, ගැබිනි මවුවරුන්ට මේ වෙනකොට ලැබෙන දීමනාවට තවත් රු. 2500ක් එකතු කිරීම, සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ඉන්න හත්ලක්ෂයකට පන්දහසක දීමනාවක් ලබාදීම වැනි යෝජනා කරන්නේ ඒ නිසයි. අපිට මේ තත්ත්වය නොතේරෙනවා නෙවෙයි.

ප්‍රශ්නය- හැබැයි ඒ අතරේම අයි. එම්. එෆ්. එකේ යෝජනාවලට අනුව රාජ්‍ය සේවය කප්පාදු කිරීම, බදු වැඩි කිරීම්, නව බදු පැනවීම් එහෙමත් ක්‍රියාත්මක් කරන්න නියමිතයි. සහන ලබාදීම් පවා අවිනිශ්චිතයි.

පිළිතුර – මුලින්ම කියන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ණය ගන්න පළමු වතාව මේක නෙවෙයි. අපි දැනට 16 වතාවක් ණය අරගෙන තියෙනවා. මේ දාහත්වැනි වතාව. ඒ හැම මොහොතකම ඔය වගේ කතා කීවා. ඒත් ඒ බවක් රටේ ජනතාවට දැනුණ ද? ඇත්ත ම කිව්වොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන්නේ සාධනීය යෝජනා. දැන් අපි ගත්තොත්, මූල්‍ය විනිවිදභාවය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැඩි දියුණු කිරීමත් ශක්තිමත් දූෂණ විරෝධී නෛතික රාමුවක් හඳුන්වා දීමත් තුළින් දූෂණ වංචා අවම කිරීම කියලා මේ රටේ ක්‍රියාත්මක කිරීමට නියමිත අයි. එම්. එෆ්. වැඩසටහනේ එක් අංගයක් තියෙනවා. මේකට විරෝධය දක්වන වැඩි දෙනෙක් රාජ්‍ය සේවය කප්පාදු කරනවා කියන්නේ මේ වගේ දේවල් අල්ලගෙන. මාධ්‍යවේදියෝ හැටියට ඔබම දන්නවා මේ වෙනකොට රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ වංචා, මූල්‍ය අක්‍රමිකතා, නාස්තිය කොපමණද කියලා. කෝප් කමිටුවලදී මේ ගැන කොපමණ කතා වෙනවද? ඉතින් මේවා වැළැක්විය යුතු නැද්ද? හොරකමට වංචාවට පුරුදු වෙච්ච දේශපාලනඥයන්ටත්, නිලධාරීන්ටත් මේ තත්ත්වය දිගට ම පවත්වාගෙන යා යුතු වුණත් රටේ ජනතාවට එහෙම වුවමනාවක් නෑ. අරගලයේ එක තේමාවක් වුණෙත් ‘හොරු පන්නමු’ කියන එකනේ. අපි ඒක කරන්න යන්නේ.

ප්‍රශ්නය – එජාපයේ නමත් ඉදිරියේ නිතරම රාජ්‍ය දේපළ විකිණීම කියන කාරණයත් සිද්ධ වෙලා තියෙනවා. ආපහු එතැනට ම යන බවක් තමයි පේන්න තියෙන්නේ.

පිළිතුර – රාජ්‍ය දේපළ නෙවෙයි පාඩු ලබන රාජ්‍ය ආයතන. රාජ්‍ය දේපළ විකිණුවේ කවුද කොහොමද කාගේ සාක්කුවට ද ඒ සල්ලි ගියේ කියලා දැන් රට ම දන්නවා.

ගෝල්ෆේස් එක වටේට ම වික්කේ රටේ දේපළ. ඇත්තට ම කළ යුත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුගත කරන එක හෝ පෞද්ගලීකරණය කරන එක. ඒ කියන්නේ කරන්න පුළුවන් කෙනෙකුට ඒවා දෙන්න ඕන කියන එකයි. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා ගුවන් සේවය ගන්න. සම්පූර්ණ සුදු අලියෙකි. ඇත්තට ම මේ වගේ මූල්‍ය අර්බුදයක් නොමැති තත්ත්වයක් තුළ පවා ගුවන් සේවය තිබුණේ කරන කෙනෙකුට දෙන්න ඕන තත්ත්වයක. ඒ වගේ පාඩු ලබන පාඩු ලබද්දීත් විශාල මූල්‍ය අක්‍රමිකතා, නාස්තිය සිද්ධ වෙන ආයතන තියෙනවා. ඒවා නඩත්තු කිරීම රාජ්‍යයකට, ආණ්ඩුවකට කරන්න අමාරුනම් රටට ආදායමක් එන විදියට සැලසුමක් හදන්න ඕන. ඉන්දියානු ගුවන් සේවය පවා ටාටා සමාගම මිලදී ගත්තා. මේවා ගැන අපි සාධාරණව කල්පනා කරන්න ඕන.

ප්‍රශ්නය – එ. ජා. ප.යේ ආණ්ඩුවක් වගේ පෙනුනට මේ තියෙන්නේ අච්චාරු ආණ්ඩුවක්. ජනාධිපතිවරයා පමණයි. එ. ජා. ප.යේ ඉන්නේ. එතකොට ඔබ ඔය කියන ‘සාධාරණ’ වැඩපිළිවෙළට ඒ අය කැමැති වෙයිද? පෞද්ගලීකරණය කියන කාරණය ඒ අයගේ පොත්වල නෑ.!

පිළිතුර – පොත්වල තිබුණේ නෑ. හැබැයි හිත්වල තිබුණා. එහෙම වෙනකොට ‘හොරකම්’ කරන්න ලේසියි. පොත්වල නොතිබුණු නිසා රටේ ජනතාවගේ ඇස් වහලා රටේ දේපළ විකුණුවේ ඒ උදවියම තමයි. බොහෝම පරණ ආර්ථික මොඩලයක් එකක් අපිට කවදාවත් ගනුදෙනු කරන්න බෑ. එහෙම කරලා රට ගොඩගන්නත් බෑ. මේ රට සිංගප්පූරුවක් කරන්නත් බෑ.

උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment