ඔවුන් පාපන්දුවක් කරගත් දිළිඳුභාවයේ ඛේදවාචකය අපි අවසන් කරනවා

33

ජාජබ නායක අනුර කුමාර දිසානායක
NPP සමෘද්ධි ජාතික සාමුහිකයේ මාතර සමුළුවේදී කියයි

දිළිඳුභාවය ඔවුන්ට දේශපාලන පාපන්දුවක් වුණත් අපට අවසන් කළ යුතු සමාජ ඛේදවාචකයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

NPP සමෘද්ධි ජාතික සාමුහිකයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පසුගියදා වැඩිදුරටත් කතා කළ ඒමහතා මෙසේද කීය.

ඡන්දය ඉල්ලන අය සහ ඔවුන්ට ඡන්දය දෙන අය අතරේ කොතරම් වෙනස්කම් තිබෙනවාද? වේදිකාවේ සුකුමාර ජීවිත ගත කරන අය ඉන්නා අතර, වේදිකාව ඉදිරිපිට දුප්පත්කමේ පතුලේම යාචකභාවයට පත් කළ ජනතාවක් ඉන්නවා. කෑම පැකැට් එකක්, රුපියල් දාහක්, අරක්කු කාලක්, සාරියක් බෙදා රැස්වීම්වලට ගෙන්වා ගන්න උත්සාහ කරනවා. මේ ජනතාව දිළිඳු බවේ පතුලටම හිර කර නැත්නම්, ඇත්ත දේශපාලන සංවාදය එළියට එනවා. ඒ සංවාදය කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, පුරවැසියන්ගේ නිදහස, වංචා, දූෂණ, මහජනයාගේ ධනය හොරකම් කිරීමේ අපරාධය වාගේ සංවාද ඉදිරියට එනවා. හොරකම් කිරීම අපරාධයක් ලෙස භාර නොගෙන ඒ හොරකම් කළ දෙයින් සුළු කොටසක් ජනතාවට බෙදාදීම ලබාගෙන සැනසීමට පත් වෙන ජනතාවක් නිර්මාණය වී සිටිනවා. දුප්පත්භාවය විසින් සියලු‍ සමාජ සාරධර්ම පසෙකට හෙළා තිබෙනවා. ඒ නිසා දුප්පත්භාවය පවත්වාගෙන යාම ඔවුන්ගේ දේශපාලනය බවට පත් කර තිබෙනවා. 2009 වර්ෂයට කලින් ලංකාවේ දුප්පත්භාවයේ සිටියේ මිලියන 03යි. අද දුප්පත්භාවය ලක්‍ෂ 70යි. මාසික ඒකපුද්ගල ආදායම රුපියල් 17,317ට වඩා අඩු අය දුප්පත් අය ලෙස සලකනවා. අපේ රටේ තුනෙන් එකක් දුප්පත්භාවයේ වෙළී සිටිනවා. ඡන්ද කාලයේදී සමෘද්ධි දීමනාව වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාව ඉදිරියට ගේනවා. අස්වැසුම මුලින් සැලැසුම් කර තිබුණේ එයට සහභාගී කර ගන්න පවුල් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කිරීමටයි. නමුත්, හදිසියේ ඡන්දය එන නිසා ඒ සහනාධාරය දෙන පිරිස වැඩි කරමින් ඉදිරියට යනවා. ඊට අමතරව හාල් කිලෝ විස්ස ගාණේ අතිරේකව ලබා දෙන්නත් ලෑස්ති වෙනවා. දිළිඳුභාවය පිළිබඳ ප්‍රශ්නය ඉතිහාසය පුරාම ඔවුන්ගේ දේශපාලන පිටියේ පාපන්දුවක් බවට පත් කරගෙන තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපට දිළිඳුභාවය සමාජ ඛේදවාචකයක්; ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්; සමාජ අර්බුදයක් පිළිබඳ ප්‍රශ්නයක්.

දිළිඳුභාවයෙන් පෙළෙන ජනතාව එයින් මුදා ගැනීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් පිළිබඳව දන්නේවත් නැතිව ළමුන් මිය යනවා. පාසල් 1200ක දරුවන් අධ්‍යාපනය අත්හැර ගොස් සිටිනවා. ඒ දරුවන්ට අධ්‍යාපනයක් ලබාදීමේ සාධාරණ අවස්ථාව මඟහැර තිබෙනවා. ආරම්භයේ දීම ඒ දරුවන්ව අධ්‍යාපනයෙන් පිටමං කිරීමට දුප්පත්භාවය හේතු වී තිබෙනවා. අපි මේ ප්‍රශ්නය ඡන්ද ලබාගැනීමේ මෙවලමක් ලෙස නොව සමාජ ඛේදවාචකයක් ලෙස දකිනවා. අපට පෞද්ගලිකව ගත්තොත්, දුප්පත්කම පැෂන් එකක් නොවෙයි, ජීවිතය පිළිබඳ අත්විඳීමක්. ග්‍රාමීය දුප්පත් ජනතාව එයින් මුදා ගැනීම සඳහා සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. ආරම්භයේ ජනතාවට ආහාර ලබාදීම, සෞඛ්‍ය පහසුකම් ලබාදීම, දරුවන්ට අධ්‍යාපනය ලබාදීම වැනි සෘජු සහනාධාර පුරවැසියන්ට ලබාදී ක්‍රමානුකූලව සක්‍රිය ආර්ථික වැඩපිළිවෙළක කොටස්කරුවන් බවට පත් කර ගනිමින්, ආධාරවලින් මුදා ගන්න ඕනෑ. අපේ ප්‍රතිපත්තිය ඒක. දිළිඳු ජනතාව සක්‍රියව ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරගන්නා තෙක් සෘජු මැදිහත් වීමකින් ඔවුන් රැකබලාගත යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment