ඔෂීන්, Tiananmen සහ ලංකාවේ අරගලය!

47

සකුරා මල් පිපෙන ජපානය ප්‍රෞඪ ඉතිහාසයක් තිබුණු රටක්. හැබැයි එක්තරා ආකාරයට ජපානය මුළු ලෝකයම ආක්‍රමණය කරලා අධිරාජ්‍යයක් ගොඩ නගන්න කල්පනා කළා. බලයෙන් උමතු වෙන ඕනෑම පුද්ගලයකුට හෝ ඕනෑම රටකට සිදුවන අනිවාර්ය ඛේදවාචකයට ජපානයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවසානයේ දී ජපානයට උරුම වුණේ බරපතළ පරමාණු බෝම්බ දෙකකින් බැටකාලා බිතුසිතුවමක් බවට පත් වෙච්චි අළු ධූලි බිමක් විතරයි.

හැබැයි මේ බරපතළ ඛේදවාචකයෙන් පස්සේ ජපානය පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි, යුද්ධයට වඩා ලෝකෙ දිනන්න වෙනත් ක්‍රමයක් තියෙනවා කියන එක. ඒ තමයි සංහිඳියාව. මනුස්සකම, සහෝදරත්වය, සහෝදරත්වයේ සංහිඳියාවයි සේරම එකට එකතු කරගෙන, ජපන්නු කියන සන්නාමය දර්ශනය බවට පත් කරගෙන ඔවුන් ආපහු හිස ඔසවන්න පටන් ගත්තා.

අවුරුදු 15ක් යන්නත් කලින්, ජපානෙට බෝම්බ දාපු ඇමරිකාවටම සුපිරි මෝටර් රථ විකුණන ජපානය ලංකාවට රූපවාහිනී සංස්ථාවක්ම නොමිලේ දෙනවා. 1960 වෙනකොට ටයිම් සඟරාවේ මුල් පිටුවේ “ජපාන ආර්ථික ආක්‍රමණයට මුහුණදෙන්නෙ කොහොමද?” කියලා සංවාදාත්මක ලිපි යන්නට පටන් ගන්නවා. ඒ තරමටම ජපානය සිය වෙළෙඳ ඒකාධිකාරය ලොවපුරා පතුරුවනවා.

ජපානය මෙහෙම අසාමාන්‍ය ආර්ථික විප්ලවයක් කරපු රහස් දෙකක් තියෙනවා. ඒ රහස් දෙකම කියා දෙන්නේ පාසලේ දී. පාසල තමයි ජපානය ඔසවා තබපු තෝතැන්න. එකක් “ගන්බත්තේ කුදසයි”. ඒ කියන්නේ “ඔබට පුළුවන් තරං උපරිමෙන් වැඩකරන්න”.’ වැඩක් පටන්ගන්න හදනකොට එතන ජපන් එක්කෙනෙක් හිටියොත් මෙහෙම කියනවා. “ගන්බත්තේ කුදසයි”. එතකොට වැඩේ පටන්ගන්න කෙනා මෙහෙම කියනවා. “හයි! ගන්බරිමසු.” (ඔව්! මම උපරිමෙන්ම වැඩ කරනවා) අන්න ඒ උත්තරය ජපානය අද ඉන්න තැනට ඔසවගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම මේ අසාමාන්‍ය ජයග්‍රහණය ගැන ලෝකයට කියන්නට ජපානයට අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ තමන්ගෙ නිර්මාණශීලී සංකල්පය වෙච්ච ටෙලි නාට්‍යය.

එයින් ප්‍රධාන වෙන්නේ ඔෂීන් ටෙලිනාට්‍ය. පතුලට වැටුණු ජීවිතය ගොඩ ගන්න යුවතියක් විඳින දුක ඒ ටෙලිනාට්‍ය පුරාම තිබෙනවා. ඇත්තටම ඒ යුවතිය එක් යුවතියක් පමණක් නෙවෙයි. ඒ යුවතියගෙන් සංකේතවත් වෙන්නේ මුළු ජපානයම යි. අවුරුදු 80 ඇතුළත ජපානය හුදකලා දුප්පත්කමින් ලෝක ආර්ථික බලවතෙක් දක්වා යන ගමනේ අසීමිත කැපවීම ඔෂීන් තුළ තිබෙනවා.

රටක් හැටියටත් අද වන විට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ඉතාමත් බරපතළ ඛේදවාචකයකට. අවාසනාවකට මේ තත්ත්වය පිළිබඳව නිසි දැක්මක් රටේ පාලන තන්ත්‍රයට නැහැ. ඔවුන්ට තිබෙන්නේ තවදුරටත් තමන්ගේ බල න්‍යායපත්‍රය ශක්තිමත් කරගැනීම සහ සිය ගජමිතුරු කල්ලිය සුරක්ෂිත කර ගැනීමේ අපේක්ෂාවක් පමණයි.

එක් අතකින් අරගලයට සම්බන්ධ වූ නියමුවන් පිටුපස ලුහුබඳිමින් ආණ්ඩුව ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීම දියත් කොට තිබෙනවා. දේශපාලන අර්බුදය හා දිනපතා සිදුවන ගිනිඅවි භීෂණය මැද පොලිසිය අරගලකරුවන් පසුපස ලුහුබඳිමින් සිටිනවා. අරගලයේ මුල්පෙළ ක්‍රියාකාරීන් කිහිපදෙනකු පසුගියදා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කොට තිබෙනවා.

“ජෝසප් ස්ටාලින් ජාත්‍යන්තරය දන්න වෘත්තීය සමිති නායකයෙක්. ජොසප් අත්අඩංගුවට ගැනීම නිසා ඨීඡ සහනය පවා නැතිවෙන්න පුළුවන්.” යැයි 2021 ජුලි මාසයේදී නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ බවට එවකට ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ පාර්ලිමේන්තුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ අතර, ඔහු ජනාධිපති ලෙස පත් වූ ආණ්ඩුව යටතේ ජෝසප් ස්ටාලින්ව අත්අඩංගුවට පත්වෙනවා.

සංහිඳියාව සහ සර්වපාක්ෂික එකමුතුව වෙනුවට ආණ්ඩුව දේශපාලන බල නියාය පත්‍රය මෙහෙයවන බවට එය කදිම උදාහරණයක්. අනෙක් අතට ඒ හරහා රටපුරා අනියත භීතියක් වපුරා තිබෙනවා.

ලංකාවේ කුසගින්නට ලක්ව සිටින ජනතාවට ආධාර සැපයීම සඳහා ලෝක ආහාර වැඩසටහන ඩොලර් මිලියන 63 ක හදිසි අරමුදලක් දියත් කළා. ඒත් යුද්ධය සඳහා බිලියන සිය ගණන් වැය කරන ලෝකයේ ධනවත් රටවල්, ලබන දෙසැම්බර් මාසය දක්වා එම අරමුදලට මෙතෙක් ලබා දී ඇත්තේ මිලියන 18 ක් පමණයි.

ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව මේ මොහොත වන විට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බරපතළ ලෙස ලෝකයේ සියලු රටවල් සමග සමීපව ගනුදෙනු කළ යුතු අවස්ථාවකට.

එහෙත් ඒ වෙනුවට සිදු වෙමින් තිබෙන්නේ ජාත්‍යන්තරය තුළ පවා කොන් වෙන තැනට රට තුළ කටයුතු මෙහෙයවීම. මෙදා, නිදහසෙන් පසු අපේ රටේ බිහිවූ බලවත්ම ආණ්ඩුවත්, බලවත්ම ජනාධිපතිවරයාත් ජනතා අරගලයකින් පෙරළා දමන්නට මේ රටේ පුරවැසියන්ට හැකියාව ලැබුණා.ඇත්තටම ඒ අරගලය ඓතිහාසිකව ඉල්ලා සිටි අරගලයක්. පීඩනය, මර්දනය දරාගත නොහැකි තැන ඒ පීඩනය පුපුරා යනවා. අපේ රටේ සිදුවූයේ එවැනි පුපුරා යෑමක්.’

නමුත්, ඒ පුරවැසි අරගලයේ නියමුවන් පිටුපස ආණ්ඩුව ලුහුබඳිනවා නම් අපට සිහිපත් වන්නේ චීනයේ තියෙන්මාන් චතුරස්‍රයේ කතාවයි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හිස් කතා සිය ගණන් කළත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ව්‍යාජ ලේබල් වලින් චරිත සරසාගෙන හිටියත් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වීමේ දී ඔවුන් තුළ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ෆැසිස්ට්වාදය නම් එය අතිශයින් ඛේදනීය තත්ත්වයක්. එනිසා මේ මොහොතේ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ “ලේබල ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන්.” ඒ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය නමැති උතුම් වචනයට මුවා වී ෆැසිස්ට්වාදීත්වය ප්‍රායෝගිකව අත්හදා බලමින් සිටින නිසා.

advertistmentadvertistment
advertistmentadvertistment