ඔස්ටේ්‍රලියාව ඉන්දියාව පරදවා ටෙස්ට් ශූරයෝ වෙති

218

2021 – 2023 අයි.සී.සී. ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරයෝ ලෙස කිරුළු පැළඳීමට ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ ඊයේ (11 වැනිදා) සමත් වූහ.

දෙවන වරට පැවති මෙම තරගාවලියේ (පළමු අවස්ථාවේ දී නවසීලන්තය ශූරතාවය හිමිකර ගත්තේය.) ශූරතාවය දිනා ගැනීමත් සමග ඔස්ටේ්‍රලියාවට රුපියල් කෝටි 48 ක මුදලක් තෑගි ලෙස හිමිවිය.

ඉන්දියාව සමග ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ ලකුණු 209 ක ජයග්‍රහණය ක් වාර්තා කරමින් පැට් කමින්ස් ප්‍රමුඛ ඔස්ටේ්‍රලියනු ක්‍රීඩකයෝ එම ශූරතාවයට හිමිකම් කීහ.

තරගයේ අවසන් දිනය වූ ඊයේ තරගය ආරම්භ කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 164 ක් ලබා සිටි ඉන්දියා කණ්ඩායමේ ඉතිරි කඩුලු 7 ලකුණු 70ක් තුළ දවාගත් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ ඉන්දීය දෙවන ඉනිම ලකුණු 234 කට සීමා කළහ. ඊයේ දිනයේ ඉන්දියාවේ පළමු කඩුල්ල ලෙස විරාත් කෝලි ලකුණු 49 කට දැවී ගිය අතර එම පන්දුවාරයේ දීම රවීන්ද්‍ර ජඩේජා ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ස්කොට් බෝලන්ඩ් සමත් වූයේය. කේ එස් භාරත් ලකුණු

23 කට දැවී ගිය අතර, ශර්දුල් තාකූර් ලකුණු නොලබාත්, අජින්කෙයා රහානේ ලකුණු 46 කටත් දැවී යෑමෙන් පසු ඉන්දීය ඉනිම ගොඩනගන්නට ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

පන්දු යැවීමේ දී ස්කොට් බෝලන්ඩ් ලකුණු 46 කට කඩුලු 3 ක් දවා ගත් අතර, නේදන් ලයන් ලකුණු 41 කට කඩුලු 4 ක් බිඳ හෙලුවේය. මිචෙල් ස්ටක් කඩුලු 2ක් ද, පැට් කමින්ස් එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

ඔස්ටේ්‍රලියා පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 469 ක් ලබා ගත් අතර ඉන්දීය ක්‍රීඩකයෝ පළමු ඉනිමේ සියලු දෙනා ලකුණු 296 කට දැවී ගියහ.

ඔස්ටේ්‍රලියාව සිය දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදී අත්හිටු වූ අතර ඉන්දියාවට ලකුණු 434 ක ඉලක්කයක් හිමිවිය. අයිසීසී ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයේ වීරයා ලෙස පළමු ඉනිමේ දී ලකුණු 163 ක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ් සම්මාන ලබා ගත්තේය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට පස් වන ස්ථානය හිමි විය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ප්‍රධාන තරගාවලි සියල්ලේම කුසලාන හිමි එකම රට ලෙස ඔස්ටේ්‍රලියාව ඊයේ සම්මානයට පාත්‍ර වූ අතර ඉන්දියාවට අඛණ්ඩව දෙවන වරටත් ලෝක ටෙස්ට් අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

ඔස්ටේ්‍රලියාව ඊයේ ජයග්‍රහණය කළේ සිය 25 වන ලෝක කුසලානයයි. 1987, 1999, 2003, 2007, 2015 වසරවල එක්දින ලෝක කුසලාන, 2023 ලෝක ටෙස්ට් ශූරතාවය, 2006 සහ 2009 වසරවල චැම්පියන්ස් ශූරතාවය 2021 පන්දු වාර 20- 20 ලෝක කුසලානය සහ 19න් පහළ ලෝක කුසලාන – 3 ක් ඔස්ටේ්‍රලියාව ජයග්‍රහණය කර ඇත. ඊට අමතරව ඔස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම එක්දින ලෝක කුසලානය 7 වරක් ද පන්දු වාර විස්සයි 20 කුසලානය 6 වතාවක් ද ජයග්‍රහණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment