මහ ඡන්දය හෙටයි. මේ දවස එනතුරු සෑහෙන පිරිසක් ඇඟිලි ගණිමින් බලා සිටිය දී තවත් පිරිසක් බලා සිටියේ මේ දවස නොඑන්නේ නම් යහපතයි සිතමිනි. ඡන්දයකට කැමැති වන්නේ දිනන එකා පමණි. පරදින එකා එයට කැමැති නැත. මෙය සෑම ජනාධිපතිවරණයකටත්, සෑම මහ මැතිවරණයකටත් පොදු ලක්‍ෂණයකි. ලංකාව පමණක් නොව මුළු ලෝකයේම තත්ත්වය ද මෙය විය යුතුය. එහෙත් එක පක්‍ෂයක් පමණක් බලයේ සිටින චීනය, රුසියාව, උතුරු කොරියාව, කියුබාව ඇතුළු රටවල් ස්වල්පයකට මේ ප්‍රශ්නය නැත. ඉරානයේ පවා ආණ්ඩුව වෙනස් වුවද දේශපාලන අධිකාරිය වෙනස් නොවේ. ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයත් එසේමය. ඒ රටවල් පාලනය කරන්නේ මුල්ලාවරුන් විසිනි. ඊට අමතරව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට් වැනි ඉස්ලාමීය රාජාණ්ඩු සහිත රටවලට ද මැතිවරණය පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැත. ඔවුන් මුළු ජීවිතයේම දකින්නේ එකම එක රජ පරම්පරාවකි.
තාත්තාගෙන් පසු පුතා රජවෙයි. ඒ පුතාගෙන් පසු පුතාගේ පුතා රජවෙයි. මේ ආකාරයට දිගින් දිගටම රාජ සම්ප්‍රදාය නොකැඩී පවතින තාක්කල් එම රටවල ඇත්තේ රාජ්‍ය පාලනයේ වෙනත් කිසිදු ප්‍රතිපත්තිමය වෙනසක් නැති එකම මොඩලයේ ආණ්ඩුවකි. හිටපු ගමන් කවුරු හෝ මතුවී තුවක්කුවකින් වෙඩි තබා රජා ද ඔහුගේ පවුලේ අය ද මරනු ලැබේ. මෙවැන්නක් මෙයට කලකට පෙර නේපාලයේ දී සිදුවිය. නේපාලයේ රජ මාලිගය තුළදී රජ කුමරකු විසින් රජතුමාත්, රජ බිසවත්, රජුගේ දරු මුණුබුරනුත් ඇතුළු හත්මුතු පරම්පරාවෙන් 75% ක් පමණ සංහාරය කරන ලදි. ඉන් පසු නේපාලය කැරලිකරුවන්ගේ අතට ගියේය. දැන් ඒ රට තුළ සිටින්නේ නාමික රජෙක් පමණි. වෙන වෙනම දේශපාලන පක්‍ෂ කිහිපයක් ඇති අතර ඒ පිරිස කාලයෙන් කාලයට ඡන්දයක් පවත්වා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනිති. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදයේ දේශපාලන ස්වරූපයයි. ධනවාදයේ වේදිකාව මත සිට ක්‍රියාත්මක වන්නක් වුවද ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාවට යම් සහනයක් තිබේ. අපේ රටේ හෙට පැවැත්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකි. රාජාණ්ඩු නැති, ඒකපාර්ශ්වික පාලනයක් නැති, අන්තවාමවාදී අලුගෝසුවන් නැති, අන්ත දක්‍ෂිණාංශික උගුඩුවන් නැති මේ ඡන්දයේ උපරිම ඵල නෙළා ගැනීම සඳහා කකුල පාවිච්චි කර නොව අත පාවිච්චි කර කතිරය ගසන ලෙස අපි ඔබෙන් ඉල්ලමු. රටට හොඳම ආණ්ඩුව කුමක්දැයි ඔබේ හිත දනී. ඒ ආණ්ඩුව පත්වුණොත් ඔබට හොඳය.
අවුරුදු සිය ගණනක් තිස්සේ බ්‍රිතාන්‍ය කොලනියක්ව පැවැති ශ්‍රී ලංකාවට 1931 දී සර්වජන ඡන්ද බලය ලැබිණ. ලංකා මන්ත්‍රණ සභාව හෙවත් එවකට පැවැති පාර්ලිමේන්තු සැකිල්ලේ නියෝජිතයන් පත් කර ගැනීම සඳහා 1931 ජුනි 13 වැනිදා සිට ජුනි 20 වැනිදා දක්වා 7 දවසක් මේ ඡන්දය පැවැත්විණ. එකල බොහෝ දේ හත් දවසක සීමාවට යටත් විය. මිනිහෙක් මැරුණු විට සෙස්සෝ හත් දවසක් දුක් වූහ. ජෝඩුවක් කසාද බඳින විට හත් දවසක් මඟුල් කෑහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පස්ස පැත්තට කටින් පිඹිමින් සිටි සිංහල වංශවතකුට මුදලි මුහන්දිරම් තනතුරක් ලැබුණු විට හත් දවසක් උත්සව පවත්වන ලදි. වේල්ස් කුමාරයා ලංකාවට පැමිණීම නිමිත්තෙන් මේ රටේ ජනයා හත් දවසක් තොරණ බැන්දාහ. එළිසබෙත් කුමරිය රජ වූ විට හත් දවසක් උත්සව පවත්වන ලදි. මේ හත් දවසේ කාලසටහන ලංකාවේ පළමු වැනි මහ මැතිවරණයට බෝ වූයේ කෙසේ දැයි අපි නොදනිමු. කෙසේ හෝ වේවා වැඩේ එසේම සිදුවිය. අද වන විට ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ පැය 8ක කාලයක් පමණි. ඡන්දය පැවැත්වෙන අතරම ඉන්න පාලකයන් වට්ටි මුට්ටි සහ රෙදි පොට්ටනි පොදි බැඳගෙන තම කාර්යාලවලින් එළියට බසින අතර මීළඟ විනාඩියේ දී අලුත් පිරිස පැමිණ පරණ අයගේ පුටුවල ඉඳ ගනිති. මේ හැමෝම පුටුවල වාඩි වෙන්නේ යළි කවදාවත් එළියට නොබසින තීරණයක් යටි සිතේ සඟවා ගෙනය. එහෙත් එසේ එන බොහෝ දෙනකුට අවුරුදු පහකට පසු ගෙදර යෑමට සිදුවෙයි. එන එන ආණ්ඩුව යටතේ දුක් විඳින පුරවැසියා සෑම අවුරුදු පහක් අවසානයේ දීම අලුත් යමපල්ලන් සෙට් එකක් තෝරා ගනිති. මේ අලුත් යමපල්ලෝ ද පරණ අයගේම දිගුවකි. සමහර විට ඔවුන් අතේ තිබෙන ආයුධ වෙනස් වීමට ඉඩ තිබේ. ආයුධය වෙනස් වුවද එය දරන්නාගේ හිත වෙනස් වී නැත. ඔහු මේ රටේ පරණ දේශපාලන සැම්පලය නියෝජනය කරන කෙනෙකි. ඔහුට ඕනෑ වන්නේ බලයේ රැඳී සිටීමය. ඔහුට ඕනෑ වන්නේ තම දූ දරුවනුත්, ඥාතීනුත්, සුරතලුනුත් බලයට ගෙන ඒමටය. මෙය එදත් සිදුවිය. අදත් සිදුවෙයි. හෙටත් සිදුවනවා ඇත. සමාජවාදයෙන් හෝ ධනවාදයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හෝ මේ රටේ සාමාන්‍ය ජනයා වන අපට කිසිදු ගැලවීමක් නොලැබේ. මනුෂ්‍යයන් වශයෙන් අපට ගැලවීමක් ලැබෙන්නේ අපේ බෙල්ල කඳින් ගැලවී බිම වැටුණු දාටය.