ඕක්‌ලන්ඩ් තනි වෘකයා සම්සුදීන් හා ලංකාව

161

2019 මාර්තු 15 වැනිදා සිය වාහනයට තුවක්කු කිහිපයක් දමාගත් බ්‍රෙන්ටන් හැරිසන් වේගයෙන් රිය පදවාගෙන ගියේ අල්නුර් මුස්ලිම් පල්ලිය වෙතය. ඉවක් බවක් නැතිව වෙඩි ප‍්‍රහාර එල්ල කළ ඔහු පසුව තවත් ඉස්ලාමික මධ්‍යස්ථානයක් වෙත ගොස් ප‍්‍රහාර එල්ල කළේය. මෙය ඉතිහාසයේ ලියැවුණේ ත‍්‍රයිස්චර්ච් ප‍්‍රහාරය ලෙසයි. එදින මුස්ලිම් ආගමිකයන් 51 දෙනකු මරණයට පත්වූ අතර තවත් 40 දෙනකු තුවාල ලැබීය. බ්‍රෙන්ටන් මේ ප‍්‍රහාර එල්ල කළේ කිසිවකුගේ අණ පරිදි නොවේ. තමන්ම වෙහෙයවීමෙන් මුස්ලිම් විරෝධී ප‍්‍රහාරයක් එල්ල කළ ඔහු එදිනම අත්අඩංගුවට පත්විය. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප‍්‍රහාරය සිදුවූ අවස්ථාවේ මුලින්ම ප‍්‍රකාශ වූයේ මෙය නවසීලන්ත ප‍්‍රහාරයට පලිගැනීමට කළ එකක් යනුවෙනි. නමුත් ඇත්ත මෙය නොවේ. බ්‍රෙන්ටන් ප‍්‍රහාර එල්ල කළද නොකළද සහරාන් හෂීම් ඇතුළු පිරිස කොච්චිකඬේ පල්ලිය ඇතුළු ස්ථානවල බෝම්බ පිපිරවීම් අනිවාර්යයෙන්ම සිදුකරනු ලබයි. හෂීම්ගේ කතාව වෙනම එකකි. අබු බකර් බැග්ඩෑඩිද පාස්කු ප‍්‍රහාරයෙන් පසුව යළි මතුවී ප‍්‍රකාශ නිකුත් කළේ හෂීම්ගේ කණ්ඩායම හරහා තමන්ට ලකුණු දමා ගැනීමටය. අබු බකර් නොව සහරාන්ගේ කි‍්‍රයාකාරකම් ඉන්දීය ඔත්තු සේවා හොඳින් දැන සිටි බවත් රහසක් නොවේ. එය වෙනම කතාවකි.

බ්‍රෙන්ටන්ගේ ප‍්‍රහාරය ගැන යළි සිහි කරන්නට සිදුවූයේ නවසීලන්තය යළිත් ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් සලිත වී ඇති නිසාය. ඒ අයිසිස් සංවිධානයේ තනිවෘක ප‍්‍රහාරයකි. මේ අන්තවාදී වෘකයා කවරෙක්ද? 2011 දී ලංකාවෙන් නවසීලන්තය බලා ගිය අහමඞ් අදීල් මොහොමඞ් සම්සුදීන් නැමැති 32 හැවිරිදි අන්තවාදියාය.

ඕක්‌ලන්ඩ් තනි වෘකයා සම්සුදීන් හා ලංකාව
සම්සුදීන් අදීල්

ප‍්‍රසිද්ධියේ අයිසිස් සංවිධානයට සහය පළකරමින් තමන් මාධ්‍යයේ පෙනී සිටි සම්සුදීන් 2016 සිට නවසීලන්ත බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව සිටි පුද්ගලයෙකි. මොහු පිළිබඳ පැය 24 පුරාම නිරීක්‍ෂණ කටයුතුවල යෙදීමට සිවිල් ආරක්‍ෂක නිලධාරීන් යොදවා තිබුණි. නමුත් පසුගිය සිකුරාදා පස්වරුවේ ලින් ටොල් සාප්පු සංකීර්ණයට ඇතුළුවූ සම්සුදීන් තම පිහියෙන් හයදෙනකුට ප‍්‍රහාර එල්ල කළේ ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් කෑගසමිනි. වහා කි‍්‍රයාත්මක වූ ආරක්‍ෂක අංශ විනාඩියක් ඇතුළත මේ අයිසිස් වෘකයා මරණයට පත්කළ බව නවසීලන්ත පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර තිබිණි. නමුත් මෙවැනි හානිදායක පුද්ගලයකුට එරෙහිව දැඩි පියවර ගැනීමට නවසීලන්තයට නීති නැද්ද? අගමැති ජසින්ඩා ආර්ඩන් පවා මේ පුද්ගලයා සමාජයට ඉතා හානිකර බව මුල සිටම දැන සිටියාය. අන්තවාදී හුරතලයක් සිදුවී ඇත්ද? අගමැතිනිය ප‍්‍රහාරකයාගේ නම හෝ ඔහු අයත් ආගමික කණ්ඩායම හෙළි නොකළත් ඔහු ශ‍්‍රී ලාංකිකයකු බව පවසා සිටියාය. සිදුවූ දේ නින්දිත කි‍්‍රයාවකි. වෛරීසහගත කි‍්‍රයාවන් වැරැද්දක් බව මේ අගමැතිනිය සිකුරාදා දිනයේ මාධ්‍ය අමතමින් පවසා තිබිණි. පසුගිය මැයි මාසයේදී නවසීලන්තයේ ඩන්ඩන්හි සුපිරි වෙළෙඳසලකදී පුද්ගලයන් දෙදෙනකුට පිහි ප‍්‍රහාර එල්ල විය.

සම්සුදීන්ගේ ප‍්‍රහාරය ත‍්‍රස්ත කි‍්‍රයාවකි. නමුත් අන්තවාදීන්ට එරෙහිව දැඩි නීති රීති කි‍්‍රයාත්මක නොකිරීම ගැන ජසින්ඩා අගමැතිනියට චෝදනා එල්ල වෙමින් පවතී. කොරෝනා රෝගියෙක් හමුවූ විට රටම ලොක්ඩවුන් කළ හැකි වුවත් ත‍්‍රස්තයන් සම්බන්ධව එවැනි පියවර ගත නොහැකිය. අන්තවාදයට එරෙහිව දියාරු ප‍්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා නවසීලන්තය වුවමනාවෙන්ම අනතුරට පත්ව ඇත.

නවසීලන්ත පොලිස් නිල ඇ`දුමට හිජාබය එක් කිරීමට අගමැතිනිය ඉඩ දුන්නද ත‍්‍රස්ත මර්දන නීති දැඩි කිරීමට කටයුතු නොකළේ මන්ද යන්න ප‍්‍රශ්නයකි.

‘‘විවිධත්වයෙන් යුතු ප‍්‍රජාව’’ වෙනුවෙන් නවසීලන්ත රජය කැපවන විට අයිසිස් සාමාජිකයෝ පිහි වනමින් රු`ගුම් දක්වති. 2019 ත‍්‍රයිස්චර්ච් ප‍්‍රහාරය එල්ල වූ පසු ජාතිවාදයට එරෙහිව එක්වන අගමැතිනි ජසින්ඩා විවෘත ආරාධනාවක් කළත් මේ තනි වෘක ප‍්‍රහාරයෙන් පසුව නම් ආගම්වාදී උමතුවට එරෙහිව පෙළ ගැසෙන ලෙස ඇය ආරාධනා කළේ නැත. එයට හේතුව කුමක්ද?

මේ අයිසිස් අන්තවාදියා නිසා ලංකාවේ හොඳ නමටත් කැළලක් ඇතිවිය. 2019 සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම මෙරට අයිසිස් අනුගාමික ප‍්‍රහාරක කණ්ඩායම් ඇති බව ලෙයින් සැකවින්ම තහවුරු කළ අතර එය තවදුරටත් සනාථ කිරීමට ඕක්ලන්ඞ් ප‍්‍රහාරකයාට හැකිවිය. මෙය ලංකාවේ ආරක්‍ෂාවටද බරපතළ තර්ජනයකි. යහපාලන ආණ්ඩුව කාලයේ සිරියාවට ගොස් සටන්වැදුණු මුස්ලිම් ජාතිකයන් පිළිබඳව නිසි සොයා බැලීමක් සිදුවූයේ නැත. පාස්කු ප‍්‍රහාරය එල්ල වූ පසු සියලූ දෙනා උඩගොස් බිම වැටිණි. 37 හැවිරිදි සෆ්රාස් නිලාම් සිරියාවට ගොස් සටන් වැදී මියගිය පළමු මුස්ලිම් ජාතිකයා විය. නමුත් මොහු ගැන හොයන්නට කිසිවකු උනන්දු වූයේ නැත. ඒ සඳහා අණක් ලැබුණේද නැත. ඒ දිනවල ආරක්‍ෂක මණ්ඩලයේ කතාවී ඇත්තේ රිළවුන් මර්දනයට වායු රයිෆල ලබාදීම පිළිබඳවය.

කාත්තන්කුඩියේ උපන් සම්සුදීන් 2011 වසරේ නවසීලන්තය බලාගොස් ඇත්තේ උසස් අධ්‍යාපනය සඳහාය. මොහුගේ පියා විදුහල්පතිවරයකු බව කියැවේ. කාතන්කුඩියේ වහාබ් අන්තවාදී අදහස් මොහු නවසීලන්තයට ගෙන ගියාද නැත්නම් පසුව අන්තවාදියකු බවට පත්වූයේ ද නැද්ද යන්න පැහැදිලි නැත. දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලක බාලයා වූ මොහු කොළඹදී මූලික අධ්‍යාපනය ලබා ඇති බවත් හෙළිව තිබේ. සම්සුදීන් ආදිල්ගේ සොහොයුරකු හා මවගෙන් ප‍්‍රශ්න කිරීම සෙනසුරාදා දිනයේම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබිණි.

කාත්තන්කුඩියේ සහරාන් හෂීම් මවුලවි මෙන්ම දීර්ඝ ගමනක් යන්නට සම්සුදීන් ආදිල් උත්සාහ කර ඇති බව පෙනේ. නමුත් ආදිල්ගේ උමතුව ඉතා ප‍්‍රබලය. කඩුව රැුගෙන පාරට පැන සියලූම මුස්ලිම් නොවන අය කැති ගැසීම ඔහුගේ අරමුණ වී තිබිණි. මේ අන්තවාදී වියරුව නිසා ඉදිරියේදී සෙසු

ශ‍්‍රී ලාංකිකයන්ටද විදේශ රටකට වීසා ලබා ගැනීමේදී නොයෙක් ප‍්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇත. තැන තැන රහසේ කි‍්‍රයාත්මක වන අයිසිස් හිතවාදීන්ගේ කුඩා කණ්ඩායම් සියල්ල නිෂ්ක‍්‍රීය කිරීම සඳහා වේගවත් වැඩපිළිවෙළක් මෙරට ආරක්‍ෂක අංශ මගින්ද කි‍්‍රයාත්මක කළ යුතුය. ජසින්ඩා මෙන් සම්සුදීන්ලා හුරතල් කිරීම අපට කළ නොහැක. මොවුන් අත නොව බෙල්ලම හපා කා යනතෙක් අවසානයේ කිසිවකු දන්නේ නැත.

සම්සුදීන්ගේ ප‍්‍රහාරයේද මහමොලකරුවකු නැත. මහමොලකරු වන්නේ ජිහාඞ් මතවාදයයි. ලංකාවේ පාස්කු ප‍්‍රහාරයේ මහමොලකරුවන් සොයා දෙන්නැයි වැළපෙන කණ්ඩායමටද මෙය හොඳ උදාහරණයකි. සම්සුදීන්ට අණදුන් පුද්ගලයකු හෝ කණ්ඩායමක් නැත. නමුත් ඔහු අයිසිස් සංවිධානයේ කි‍්‍රයාකාරකම් ප‍්‍රචණ්ඩත්වය හා සැහැසිකම් වලින් ආදර්ශ ලබාගත්තේය. සිරියාව හා ඉරාකයෙන් අයිසිස් සංවිධානය යුදමය වශයෙන් පරාජය කළද ඔවුනගේ මතවාදය පැතිරීම අවසන්ව නැත. නවසීලන්ත හෙරල්ඞ් පුවත්පත පවසන්නේ අන්තර්ජාලය හරහා මේ මතවාදය පැතිරවීම වැළැක්වීම හමුදාමය වශයෙන් පරාජය කිරීමටත් වඩා අපහසු දෙයක් බවයි.

පසුගිය අගෝස්තු 15 වැනිදා කාබුල් නුවර බලය යළි තලේබාන් සංවිධානය සතුවිය. එදිනම ඇෆ්ගනිස්ථාන මුස්ලිම් එමීරය ප‍්‍රකාශයට පත්කෙරිණි. සතියක් ගතවෙද්දී අයිසිස් කෝරසාන් කල්ලිය කාබුල් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගේට්ටුව අසලදී කි‍්‍රයාත්මක විය. කෝරසාන් කල්ලියේ බෝම්බයට ඇමෙරිකානු සෙබළුන් 13 ක් බිළිවිය. තවත් සිවිල් වැසියන් 150 ක් පමණ කෑලි කෑලිවලට කුඩුවී මරණයට පත්විය. කාලයක් නිහඬව සිටි අයිසිස් කල්ලිය පණ ලැබුවේ කාබුල් පාලනය තලේබාන්වරුන්ට ලැබීම නිසාය. එසේම රටපුරා සිරගතකර සිටි අයිසිස් සාමාජිකයන් දෙදහසකට අධික පිරිසකට නිදහස ලැබිණි. මේ නිදහස හරහා ලැබෙන පණිවුඩය කුමක්ද? මුස්ලිම් අන්තවාදය නැවත වේගයෙන් සක‍්‍රීය වී ඇති බව නොවේද? කෝරසාන් කල්ලියේ ප‍්‍රහාර ලෝකයේ විසිරී සිිටින ජිහාද් සාමාජිකයන්ට ආශිර්වාදයකි. නිහඬව සැඟවී සිටින අයට නැවත සංවිධානය වීමට කෙරෙන ආරාධනයකි. සම්සුදීන් පිහි නැටුමක් නැටුවේද මේ ප‍්‍රහර්ෂය නිසාම විය හැකිය.

චතුර පමුණුව

advertistmentadvertistment