ඕඩර් දුන්නේ ආබ්‍රේව්: අහුන්ගල්ලේ වෙඩිල්ල ඝාතන කොන්ත්‍රාත්තුව නොකළාට පළිගන්න කළ වැඩක්

370

ගෙන්නාගෙන තියෙන්නේ අයිස් දෙන්නම් කියලා

අහුන්ගල්ලේදී 27 හැවිරිදි තරුණයකුට පෙරේදා (17 වැනිදා) රාත්‍රියේ වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඇත්තේ ඩුබායි හි සැඟවි සිටින ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක නායකයකු විසින් ලබාදී තිබූ ඝාතන කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඊට පළිගැනීමක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයා බළපිටිය රෝහලට ඇතුළත් කර සිටියි. විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඩුබායිහි සැඟ වී සිටින ‘ආබ්‍රේව්’ නමැති පාතාල නායකයාගේ නියෝග මත බවයි.

ආබ්‍රේව් නමැත්තා විසින් 27 හැවිරිදි තරුණයා වෙත තම විරුද්ධ වාදියකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබූ බවත් එම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක නොකිරීම නිසා ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

පෙරේදා රාත්‍රි 9.48ට පමණ මෙම 27 හැවිරිදි තරුණයාගේ ජංගම දුරකථනය වෙත යම් පුද්ගලයකු ඇමැතුමක් ලබාදී අයිස් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් ලබාගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව මෙම 27 හැවිරිදි තරුණයා ත්‍රිරෝද රථයකින් අහුංගල්ල බළපිටිය රේවත ප්‍රාථමික විiාලය අසලට පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණ කුලී ඝාතකයකු 27 හැවිරිදි තරුණයාට වෙඩි ප්‍රහාර 3ක් එල්ල කර පලා ගොස් ඇත.

ප්‍රහාරයෙන් තරුණයා තුවාල ලැබූ අතර ඔහු තමන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම අහුන්ගල්ල පොලිසිය වෙත ගොස් තිබේ. පසුව තුවාල ලබා සිටි තරුණයා බළපිටිය රෝහලට ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment