ඕනෑම අරගලයක මානව ලක්ෂණ සහ එහි වන ප්‍රකෘතිතාව තිබිය යුතුයි – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

162

යම් රටක් තුළ වඩාත් යහපත් හෙටක් නිර්මාණය කිරීමේ අභිලාෂය පෙරදැරිව දියත් කරන ලද සමාජ අරගලයන්හි ජීවමය බව පවත්වා ගැනීම පිණිස කවිය, ගීතය ඇතුළු අනිකුත් සාහිත්‍ය ශානරයන් විසින් ඉටු කරන ලද කාර්යභාර්ය බොහෝ ය. මෙරට සම්බන්ධයෙන් ද එහි වෙනසක් නැත.

 නිදහසින් පසු වැඩිම ජන සහභාගිත්වයක් සහිතව ක්‍රියාත්මක ගාලු මුවදොර නිර්පාක්ෂික ජන අරගලය තුළ ඉහත සඳහන් සාහිත්‍ය ශානරයන් සහ සාහිත්‍යකරුවන් විසින් කරන ලද මැදිහත්වීම පිළිබඳ සම්මානනීය කවියකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග සිදු කළ සංවාදයක් පහත පළ වේ.

● මානව ඉතිහාසයේ වරින් වර සිදු වූ ජාත්‍යන්තර විප්ලව එසේත් නැත්නම් ජනතා අරගල ආදිය ගත්විට සාහිත්‍යකරුවා එහි ස්ථානගතව සිටි ආකාරය පිළිබඳව ඔබේ පොදු කියවීම කෙබඳු ද?
 

 මා සිතනවා බොහෝ විප්ලව හෝ අරගලවලින් ඇති වූ දේ තරමට ම, විටෙක ඇති වූ දේටත් වඩා නැති වූ දේ විශාලයි කියලා. විශේෂයෙන්ම නැති වූ භෞතික සම්පත්වලට වඩා නැති වූ ජීවිත. ඒ අඩුපාඩුව නැවත පියවෙතැයි අපට සිතන්න පුළුවන් කොතැනින් ද? විශේෂයෙන්ම ලංකාවේ 71 අරගලය මුළුමනින්ම වාගේ නැති වූයේ නිදහස් අධ්‍යාපනයේ මුල් පෙළේ වටිනාම සාරය. ඉතින් එහෙම බලද්දී ඉතිරි වූ යමක් ඇද්දැයි කල්පනා කරලා බලනකොට මට නම් සිතෙන්නේ ඉතිරි වූයේ සාහිත්‍යයක් විතරයි කියලයි. ලෝකයේ බොහෝ දුරට නොගිහින් මම 1971 ලංකාවේ අත්දැකීමකට එන්නම්.

 මේ කවිය මට හමු වූයේ යූ. ආර්. පෙරේරා සකස් කළ ‘71 කුරුටු ගී’ කෘතියේ තිබිලා. මේ කවිය නම් කරලා තියෙන්නේ ‘චූටි නංගියේ’ කියලා.

 කලා මැදිරි නිල් පහනින් අඳුරු                       පැලේ
 ගලා ආ අඳුර යන්තම් පමා                              කළේ
 අලි කොටි වලස් කැළ ගොළු වී සිටින            වෙලේ
 මල්වර වුණා නුඹ විල්පත්තු මහ                     කැලේ


 කවියේ යටින් තිබුණා මෙන්න මෙහෙම

 ‘විල්පත්තුවට පසුබසින කණ්ඩායමේ සිටි ළඳැරියක වූ චූටි නංගීගේ මල්වර වීම පිළිබඳ පාලිත සහෝදරයාගේ කාව්‍ය සංකල්පනාවකි’

● යම් සමාජ අරගලයක පැවැතිය යුතු ජීවමය බව පිණිස කවිය, ගීතය ඇතුළු අනිකුත් සාහිත්‍ය ශානරයන් මගින් කළ හැකි කාර්යභාරය මොන වගේද?
 

 මා හිතනවා ඕනෑම අරගලයක මානව ලක්ෂණ සහ එහි වන ප්‍රකෘතිතාව වැදගත්. මානව ශිෂ්ටාචාරයේ මුල් කාර්තුවල විප්ලව, අරගල කරපු ක්‍රමයට දැන් කරන්න ඕනි නෑ. කරන්නත් බෑ. අරගලයක් කියන්නේ සතුරෙක් නිර්මාණය කර ගැනීමක් නෙවෙයිනෙ. ඉතින් එතැනදී ගීතය, කවිය අතිශය වැදගත්. එය ලෝක මට්ටමෙන් ගත්තත් ඉතාම බහුලව, සජීවීව භාවිත වුණු අරගලය තමයි 2022 අප්‍රේල් ලංකාවේ අරගලය. ඔවුන් මුලින්ම තැනුයේ අරගල බිමේ පුස්තකාලයක්, කලාගාරයක්,

 නාට්‍යාගාරයක්, සංගීතාගාරයක්, පුංචි දරුවන්ට වෙනම පොත් කියවන්න, චිත්‍ර අඳින්න පවා සකස් කළ තැන් තිබුණා. මෙයට පෙර අන් බොහෝ අරගලවලට වඩා විධිමත්ව නිර්මාණය වුණු කවි, ගීත තිබුණා. අන් කවරදාවත් වඩා තාක්ෂණය ඔවුන්ගේ පිහිට ට හිටියා.

● මෙරට ගත්විට ඉතිහාසය තුළ වරින් වර සිදු වූ සමාජ නැඟිටීම් තුළ සාහිත්‍යකරුවන් විසින් කරන ලද මැදිහත්වීම කෙබඳු ද?
 

 මුල් යුග පිළිබඳව සෑහීමකට පත් වෙන්න බෑ. රජවරුන්ගේ කාලෙ නම් තිබුණෙ රාජ ස්තෝත්‍ර, ප්‍රශස්ති වාගේ දේවල්නේ. ඒ එක්කම හටන් කවි සාහිත්‍යය බිහි වෙනවා. නමුත් මේවායේ දෘෂ්ටියන් නෑ. ජයග්‍රාහකයා තමයි වර්ණනාවට ලක් වුණේ. ඒක සිදු වුණේ යුද ජයග්‍රහකයාගේ පැත්තෙන්මයි. මේවා ලියන්නෝ සිටියේ රජු යටතේම ඔහුගේ වරප්‍රසාදය ලබමින්. මේ අය හැඳින්වූයේ වන්දිබට්ටයෝ කියලා. අද ප්‍රශස්ති, වන්දිබට්ට වගේ වචන පාවිච්චි වෙන්නෙ එදා අර්ථයෙන් නෙවෙයි. නමුත් මේ ප්‍රශස්ති සහ හටන් කවිවල වෙනත් වැදගත්කම් තියෙනවා. මේවායේ රිද්ම, දත්ත, මාවත් – කඩඉම් තොරතුරු ආදිය අතිශය වැදගත්ය.

 මේ තත්ත්වය වෙනස් වෙනවා 70 දශකය වෙද්දී. පතිරාජගේ සිනමාව, පරාක්‍රමගේ කවිය, සේකරගේ කවිය ආදිය වීදි ලාම්පු බවට පත් වෙනවා. ප්‍රබුද්ධ පොතේ මහගමසේකර කියනවා මෙහෙම.

 කිරිහදන පිටි කොටන සඳ උයන දුක්     විඳින
 මුදු මෙළෙක් අත්වලින් මැටි පහන්        දල්වන්න
 දුක් විඳින ඔබ හැමට යම් මඟක්            පෙන්වන්න
 නිදිමරන ඇස්වලින් මට එළිය ගෙන     එන්න

● ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය ගත්විට මෙරට බොහෝ කලාකරුවන් ඒ සඳහා තම දායකත්වය ලබාදෙන ආකාරයක් දකින්නට ලැබුණා. ඒ සඳහා තරුණ කවි කිවිඳියන් ඔවුන්ගේ දායක්තවය ලබාදුන්නා. ප්‍රකට කවියෙක් ලෙස ඒ පිළිබඳ ඔබේ අදහස කෙබඳු ද?
 

 ඔව්! මා සිතන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් ගේ සිට නන්දා මාලනියගේ සිට සියලු කවියේ කලාකාරයෝ මේ සඳහා සහභාගි වුණා. ඒ එකම අරමුණකින්. ඒ අරමුණු තමයි වඩාත් යහපත්, ආලෝකමත් සමාජයක් දැකීම. කවි කිවිඳියෝ එකතු වෙලා කවි කිව්වා, හිටිවන කවි කිව්වා. මා එහි සාරය තුළ දුටු දේ තමයි නව පරපුරේ සහෝදරත්වය. ඔවුන්ට අදාළ නෑ මිල මුදල්, බලය, කුල-මල, ජාති භේද, පන්ති භේද වාගේ

 දේවල්. ඔවුන්ට අවශ්‍ය නිදහස, සාධාරණත්වය. අපි ඊට ගරු කළ යුතුයි. මම එහිදී ලිව්වා

 නිදිවරව් සකියනී
 කෑගසව් කෑගසව්
 සත්‍ය කටුකයි සත්‍ය එයයි

 සීරිච්චි උගුරු ගැන
 පෑරිච්චි අකුරු ගෙන
 කවියෝ හෙට ලෝකයට කියයි!

 කවුරු කොහොම කිව්වත් මෙහි හැබෑ තත්ත්වය ඉතිහාසගත වෙන්නේ කවිය තුළින්. කෑගසව්, නිදිවරව් කියනවා ඇරෙන්න ගහපියව්, මරපියව්, කපපියව්, කොටපියව් කියන්න කවියාට අයිතියක් නෑ. අසංක රුවන් සාගර කවිය ලියලා තිබුණා මෙහෙම.

 කොබෙයි පැටවුන් මරා දැම්මේ
 එදා උන් ගහලා ගලේ
 මගෙයි මී මල්, උන් මගේ මයි
 අදත් මවු හද මල් පැලේ

 රැහැයියනි තව සැරට ගයපන්
 මගේ නැළවිලි කවි තොලේ
 හැබැයි රහසින් පුතුට කියපන්
 අම්ම ඉන්නෙත් අරගලේ

● ඒ දායකත්වය හරහා විරෝධාකල්ප සාහිත්‍යයේ පිබිදීමක් දකින්නට ලැබුණ ද?
 

 ඒක ඉතින් හරි කාලීනයි. නන්දා මාලනියගේ පවන සින්දු එහෙම නිතර ඇසෙන්න ගත්තා අරගලය හරහා. පවනට බොහෝ අය කාලයක් බැන්නානෙ, ඒ කාලේ තරුණ තරුණියෝ ඇවිස්සුවා කියලා. නමුත් ඒ තමයි නිර්මාණකරුවාගේ දායකත්වය. මේ ලියවුණු කවි වගේ දේවල් හෙට දවසේ පොත් පත්වලට එයි. ඒවා ගැන කතා කරයි. නමුත් මේ අරගලයේ මා දුටු විශේෂත්වය තමයි ලොව අන් සැම අරගලයකටත් වඩා කවිය, කලාව, මනුෂ්‍යත්වය ඉස්මතු වීම. කලබලකාරී හැම අවස්ථාවක්ම නිර්මාණය කළේ අසත්පුරුෂ දේශපාලකයන් විසින්.

● ගාලු මුවදොර අරගලයේ නිරත තරුණ කලාකරුවන් පවත්නා සමාජ ආර්ථික දේශපාලන විෂමතාවන් නිර්මාණාත්මක ලෙස ප්‍රශ්න කර සිටි ආකාරය කොතෙක් දුරට සාර්ථක ද?
 

 එය සාර්ථක හෝ අසාර්ථකය, කියන එක පූර්ණ වශයෙන්ම දේශපාලනිකයි. නමුත් ඔවුන්ගේ ආකල්පය අතිශය වැදගත්. එය ජයග්‍රහණය කළ යුතුමයි. එසේ නැතිව ලංකාව වගේ රටකට ඉදිරියට යන්න බැරි වෙයි. දැන් මේ නව පරම්පරාව දුක් විඳින්නේ මහල්ලන් පිරිසක් එකතු වී කළ පස් පවුවල විපාකයන් හැටියට. සුන්දර, බුද්ධිමත් නව අදහස්වලින් ජන සමාජය පුරවන්න ඇයි තව අයෙක් ඉඩ නොදෙන්නේ? ඒ පිටුපස තියෙන්නේ තනිකරම හොරකම, වංචාව. දේශපාලනය ‘ප්‍රභූ’ ක්‍රියාකාරකමක් විය යුතු නෑ. ඒක පරාදයි. ඒක තමයි මේ හැම විනාශයට ම මුල.

● හුදු සෞන්දර්ය වාදයෙන් මිදෙන වත්මන් නිර්මාණකරුවන් වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම පිණිස ගොඩනඟමින් සිටින සාහිත්‍ය වැඩබිම පිළිබඳ සාමාන්‍ය සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

 මුද්‍රිත සාහිත්‍ය කෘති හරහා එය මැන බැලීමේ වරප්‍රසාදය මේ වකවානුවේ නතර වෙලා තියෙනවා. මේ වෙද්දී පොත් මුද්‍රණය මුළුමනින්ම වාගේ නැවතිලා. සාහිත්‍යය යනු කර්මාන්තයන්ය කියන එක දැන් තමයි

 හොඳට ම වැටහෙන්නේ. නමුත් කවියා ඉන් උදාසීන වුණු බවක් පේන්න නෑ. ඔහුගේ වැඩබිම සක්‍රීයයි. පසුගිය කාලයේ බොහෝ පිරිස් නොයෙක් නගරවල සජීවී මණ්ඩප සංවිධානය කරලා තිබුණා. මේක පොදු ජනතාවටත් අලුත් දෙයක්නේ. නමුත් ජනතාවගේ බොහෝ ප්‍රතිචාර තිබුණා. අපි ඒවාට සීමා නොමැතිව කවිය යොදා ගත්තා. විශේෂයෙන්ම හිටිවන කවිය, කාලීන තේමාවන් යටතේ ඉතාමත් ප්‍රබල ලෙස හිටිවන කවි කියන තරුණ තරුණියන් වත්මනයෙහි සිටිනවා. මේ මහත් සෙනඟ මුලින් රසවතුන් බවට පත්කර පසුව පිළිවෙළින් රසිකයන්, සහෘදයන් බවට පත්කර උදාර පුරවැසියන් බවට පත්කර ගත යුතුයි.

 සංවාදය – රුවන් ජයවර්ධන
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment