ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

80

ව්‍යවස්ථානුකූලව මීළඟට පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයයි. එසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මැතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන ලෙස ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනාවී ඇත්තේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකවර පැවැත්විය යුතුය යන්නය. ඒ සම්බන්ධයෙන් අප ආණ්ඩු පාර්ශ්වයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් සහ සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා සිටියෙමු. ඔවුන් ඒ සම්බන්ධයෙන් පළ කළ ස්ථාවරය මෙසේය.

ප්‍රශ්නය : ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වෙනවා. නමුත් ඊට පෙර මහමැතිවරණය හෝ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය යන මැතිවරණ දෙකම එකට පැවැත්විය යුතු බවට මත පළවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර : ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය කල් දැමීමේ හැකියාවක් නැහැ. එහෙත් අපි කියනවා සමගි ජනබලවේගය විධියට අපි ඕනෑම මැතිවරණයකට සූදානම් කියලා. මේ වනවිට අනෙකුත් සියලුම පක්‍ෂ දෙකට තුනට කැඩිල තිබෙන්නේ. නමුත් සමගි ජනබලවේගය ශක්තිමත්ව තිබෙනවා. එම නිසා අපි ඕනෑම මැතිවරණයකට සූදානම්.

ප්‍රශ්නය : ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරලා තිබෙනවා. එම යෝජනාව පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර : ජනාධිපතිවණය පැවැත්වුවහොත් සමගි ජනබලවේගයේ අපේක්‍ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා. එම මැතිවරණයෙන් පසුව මහමැතිවරණය පැවැත්වුවහොත් එම තත්ත්වය සමගි ජනබලවේගයට වාසිදායක බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හේදිලා යන බවත් එම පක්‍ෂයේ නායකයන් දන්නවා. එම නිසා තමයි ඔවුන් මහමැතිවරණය පළමුවෙන් පැවැත්වීමට යෝජනා කරන්නේ. එම පක්‍ෂයේ නායකයන් විශ්වාස කරනවා මහමැතිවරණය පළමුව පැවැත්වුව හොත් එම තත්ත්වය වළක්වා ගන්න පුළුවන් කියලා. එම නිසා තමයි පළමුවෙන් මහමැතිවරණය පැවැත්වීමට යෝජනා කරන්නේ.

ප්‍රශ්නය : ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකට පැවැත්විය යුතු බවට යෝජනා කර තිබෙන්නේ ජනාධිපතිතුමාගේ පාර්ශ්වයෙන් බව වාර්තා වෙනවා. එම යෝජනාව පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර : එම මැතිවරණ දෙකම එකට තිබ්බත් අපට ප්‍රශ්නයක් නැහැ. අපි සූදානම් ඊට මුහුණ දෙන්න. නමුත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නම් ප්‍රකාශ කර තිබෙනවා එම මැතිවරණ දෙකම එකට පැවැත්වීමට අපහසු බව. නමුත් අපි නම් ඒ සඳහා සූදානම්.

ප්‍රශ්නය : සුළු ජාතික පක්‍ෂ සමගි ජනබලවේගය සමග සන්ධාන ගත වී තිබෙනවා. එම පක්‍ෂ වඩාත් කැමැති මහ මැතිවරණයේදී වෙනම තරග කරන්න.එම නිසා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකට පැවැත්වීම සමගි ජනබලවේගයට අවාසිදායකයි නේද?

පිළිතුර : කන්ද උඩරට සුළු ජාතික පක්‍ෂ අපත් සමග සන්ධාන ගතවී සිටිනවා. අනෙක් පක්‍ෂත් අපත් සමග කටයුතු කරමින් සිටිනවා. ඔවුන් සියලු දෙනාම කැමැති අපත් සමග සන්ධානගතව තරග කිරීමට තමයි. එම නිසා එම මැතිවරණ දෙක එකට පැවැත්වුවත් අපට ගැටලුවක් නැහැ.

ප්‍රශ්නය : පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් සමගි ජනබලවේගය සමග එක්වූවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ තවත් මන්ත්‍රීවරුන් ඉදිරියේදී සමගි ජනබලවේගය සමග එක් වෙනවාද?

පිළිතුර : මේ වනවිට චන්දිම වීරක්කොඩි, ශාන් විජේලාල්, ජයරත්න හේරත් යන මන්ත්‍රීවරුන් කෙළින්ම සමගි ජනබලවේගයට එක්වී තිබෙනවා. ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීතුමා අපගේ පක්‍ෂයේ සංවිධායක ධුරයකුත් ලබාගෙන තිබෙනවා.

ඒ වගේම ජී. එල්. පීරිස් මහතා ඇතුළු 6 දෙනෙකු අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා අපත් සමග සන්ධානගත වී තිබෙනවා. අපත් සමග තව විශාල පිරිසක් සාකච්ඡා කරමින් සිටිනවා. නමුත් වංචා දූෂණවලට සම්බන්ධ අය අපි සම්බන්ධ කර ගන්නේ නැහැ. ඉදිරියේදී අපි තවත් 20 ක පමණ පිරිසක් සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා කරමින් සිටිනවා.

ප්‍රශ්නය : හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාත් ඉදිරියේදී සමගි ජනබලවේගයට එක්වෙනවාද?

පිළිතුර : ඒ මහතා සහ අපි යම් අවබෝධයක් ඇතිව කටයුතු කරමින් සිටිනවා. මම සිතනවා රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාට තනිවම තරග කරනවාට වඩා සමගි ජනබලවේගයට එක්ව තරග කිරීම වාසිදායකයි කියලා.

ප්‍රශ්නය : හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුත් සමගි ජනබලවේගයට සම්බන්ධ කර ගැනීමට සූදානම් වෙනවාද?

පිළිතුර : මේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි ක්‍රිකට්. එම ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයන්ටත් තරුණ කොටස්වල ආකර්ෂණයක් තිබෙනවා. ඒ වගේම මීට පෙරත් අර්ජුන රණතුංග, සනත් ජයසූරිය යන ක්‍රිකට් ක්‍රීඩකයන් මහමැතිවරණයට තරග කරලා ජයග්‍රහණය කරලා තිබෙනවා. එම නිසා ක්‍රිකට් ක්‍රීඩකයන් මහමැතිවරණවලට ඉදිරිපත් වීම අලුත් දෙයක් නොවෙයි. මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකු ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් කිරීමට අපත් කටයුතු කරමින් සිටිනවා. ඔවුන් ළඟදීම අපත් සමග එක්වේවි.

ප්‍රශ්නය : ඔබ සඳහන් කළා ඉදිරියේදී තවත් මන්ත්‍රීවරු සමගි ජන බලවේගය සමග එක්වන බවට. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ප්‍රකාශ කරනවා ඉදිරියේදී සමගි ජනබලවේගයෙන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බවට. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර : රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වූදා සිට ඔය කතාව කියනවා. අපත් සමග සිටින කිසිවෙකුට ඔළුවේ අමාරුවක් නැහැ ගිලෙන නැවකට ගොඩවෙන්න. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයේ සිටින නිසා ඔහුත් සමග කතාබහ කළත්, අපත් සමග සිටින කිසිවෙකු දේශපාලන වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන්නේ නැහැ.

ප්‍රශ්නය : ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ මේ වන විට විශාල අර්බුදයක් ඇති වී තිබෙනවා. එම පක්‍ෂය තුළ මෙම අර්බුදය ඇති වූයේ එක්සත් ජාතික පක්‍ෂය සමග මෛත්‍රිපාල සිරිසේන මහතා යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව බවට මත පළ වී තිබෙනවා.

පිළිතුර : 2015 දී ඇතිකර ගත් සන්ධානය නිසා අපට අවාසියක් තමයි සිද්ධ වුණේ. වාසිය සිද්ධ වූණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට. මැති ඇමැති ධුර බහුතර සංඛ්‍යාවක් ලබාගත් එම පක්‍ෂය අපගේ පක්‍ෂයට බහුතරයක් තිබියදී ඔවුන් බලය ලබාගත්තා. එම නිසා මට දැන් කියන්න තිබෙන්නේ එදා ඔවුන් කටයුතු කළ ආකාරය අනුව අද ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා කියන එක තමයි.

ප්‍රශ්නය : මෙම 14 වැනිදා අලුත් අවුරුද්ද ලබනවා. මේ අවුරුද්ද ජනතාවට කොහොමද?

පිළිතුර : මධ්‍යම රාත්‍රියේ තමයි ජනතාවට අවුරුදු කන්න සිද්ධවෙලා තිබෙන්නේ. මේ ආණ්ඩුවේ ස්වරූපයට ගැළපෙන විධියටම අවුරුදු නැකතුත් යෙදී තිබෙනවා.

ආහාර ද්‍රව්‍ය, ඇඳුම් ඇතුළු සෑම භාණ්ඩයකම මිල ඉහළ ගිහින් තිබෙනවා. කර්මාන්ත ශාලා වැසීයෑම නිසා රැකියා අහිමිවී තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාවත් අසරණ තත්ත්වයට පත්වී තිබෙනවා. එම තත්ත්වය තුළ ආණ්ඩුවේ අයට අවුරුද්ද හොඳ වුවත් ජනතාවට නම් මේ අවුරුද්ද සුබදායක වන්නේ නැහැ.

****

ඕනෑම මැතිවරණයකට අපි සූදානම් - පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ගැන ජනපති තීන්දුවක් ගනියි
– පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි

ප්‍රශ්නය : පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය තංගල්ල නගරයේ දී පැවැත්වූවා. එහිදී ඔබ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා මාස දෙකක් ඇතුළත මහමැතිවරණයක් පැවැත්විය යුතු බව. එබඳු ඉල්ලීමක් කිරීමට හේතුව කුමක්ද?

පිළිතුර -: අපගේ පක්‍ෂයේ මතය ඒක තමයි. අපගේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාත් ප්‍රකාශ කළා මහමැතිවරණය පැවැත්වීම වඩා සුදුසු බව. ඒ සඳහා පෙන්වා දුන් හේතු සාධකය තමයි මහ මැතිවරණය පළමුව පැවැත්වුවහොත් පාර්ලිමේන්තුව තුළ මහජන මතය නිසි ලෙස නියෝජනය වන බව. දැන් රටේ තිබෙන තත්ත්වයත් එක්ක ජනාධිපතිවරණය පළමුව පවත්වා, මහමැතිවරණය දෙවනුව පැවැත්වුවහොත් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්‍ෂයට අසීමිත බලයක් හිමිවෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තු මැතිවරණයේදී දී එබඳු අසීමිත බලයක් හිමි වූවා. අපි අත්දුටුවා එබඳු බලයක් හිමිවීමෙන් ඇතිවිය හැකි තත්ත්වය. එබඳු වරදක් කිරීම සඳහා පොහොට්ටුවට සහයෝගය දෙන්න පුළුවන් කමක් නැහැ. බැසිල් රාජපක්‍ෂ මහතාත්, මහින්ද රජපක්‍ෂ මහතාත් එම අදහස තමයි ප්‍රකාශ කළේ. මමත් ප්‍රකාශ කළේ එම අදහසම තමයි.

ප්‍රශ්නය : මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙමුණේ සහ තවත් පක්‍ෂවල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැත්වූවා. එම රැස්වීමේදී ප්‍රකාශ වූ කරුණු අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සූදානම් වන බවත් පළමුව ජනාධිපතිවරණය පැවැත්වීමට සූදානම් වන බවත් පැහැදිලියි.

පිළිතුර : ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. පළමුව ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ වගේම මහමැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවක් පිහිටුවිය හැකි තීරණාත්මක බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙනවා. එම නිසා කුමන මැතිවරණය පැවැත්වුවත් අපට ප්‍රශ්නයක් නැහැ.

ප්‍රශ්නය : ජනාධිපතිවරයා, ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධියට ගන්නා තීරණය කුමක්ද?

පිළිතුර : ජනාධිපතිවරයා, ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළහොත් රනිල් වික්‍රමසිංහ මහතා එම මැතිවරණයට ඉදිරිපත් වේවි කියා මම විශ්වාස කරනවා. ඒ පිළිබඳව අවසන් තීන්දුව ගත යුත්තේ එක්සත් ජාතික පක්‍ෂය විසින් තමයි. ඒ වගේම එම මැතිවරණය පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධියට අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන අපේක්‍ෂකයා ඉදිරිපත් කරනවා.

ප්‍රශ්නය : ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන්නේ නැහැ?

පිළිතුර : අපේ පක්‍ෂයේ නායකයන් සමග සාකච්ඡා කරලා ඊට පසුව පක්‍ෂයක් විධියට ඒ පිළිබඳව තීරණයක් ගත යුතුයි. අපේ පක්‍ෂයේ නායකයන් සහ පක්‍ෂය තීරණය කළහොත් රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න, එසේ වුවහොත් අපගේ සහයෝගය ලබාදෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරයක් සහයෝගය ලබා දුන්නා. ඒ වෙලාවේ ගන්නා තීරණය නිවැරදියි කියලා අපි විශ්වාස කරනවා.

එහෙත් මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල්වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බව කිසිම අවස්ථාවක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළදී සාකච්ඡා කරලා නැහැ.

ප්‍රශ්නය : මාර්තු 07 වැනිදා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී බැසිල් රාජපක්‍ෂ මහතා දැනුම්දී තිබෙනවා ආණ්ඩුව පෞද්ගලිකරණය සහ බලය බෙදීම සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට පටහැනි බව.එම ප්‍රතිපත්ති අනුව රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිකර ගැනීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර : ඒක තමයි මුල සිටම මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ අනුගමනය කළ ප්‍රතිපත්තිය. නමුත් පසුගිය කාලයේදී ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග අපට තීරණය කිරීමට සිද්ධ වූවා එම තත්ත්වය තුළ ප්‍රමුඛතාවයදී කටයුතු කරන්නේ කුමකටද කියන එක පිළිබඳව.

එහෙත් අපි ඉදිරි ජනාධිපතිවරණයේදී රට පිළිබඳව සිතා තීන්දු තීරණ ගතයුතු වෙනවා. එහිදී තෙල් පෝලිම් පිළිබඳව පමණක් සලකා බලන්න බැහැ. අපට අපගේ රටට බලපාන භූ දේශපාලන තත්ත්වය පිළිබඳව සලකා බැලීමට සිද්ධ වෙනවා. ඒ අනුව අපි ඉන්දියාව, චීනය, ඇමෙරිකාව ඇතුළු රටවල් සමග කටයුතු කරන්නේ කොහොමද කියන එක සලකා බැලීමට සිද්ධ වෙනවා. ඒ වගේම බලය බෙදීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා පිළිබඳව, පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද කියන එක සලකා බැලීමට සිද්ධ වෙනවා. අපි මීළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ වසර 5ක් සඳහා. එම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විධියට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ අපි මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය කුමක්ද කියන එක අහන්න අයිතියක් තිබෙනවා.

එම ප්‍රතිපත්තිය පිළිබඳව දක්වන ප්‍රතිචාරයන් අනුව අනාගතයේදී කරන්නේ කුමක්ද කියන එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරාවි.

ප්‍රශ්නය : ලබන ජූලි 17 වැනිදායින් පසුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන බව වාර්තා වෙනවා.ඊට පෙර මහමැතිවරණයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගනීවි කියා මත පළ වෙනවා. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර : විපක්‍ෂයට යෑමේ අදහසක් අපට නැහැ. අපේ කැමැත්ත ආණ්ඩු පක්‍ෂයේ ඉන්න තමයි. ඒ නිසා තමයි යම් යම් ගැටලු මතුවුවත් ඒවා මගහරවා ගෙන කටයුතු කිරීමට උත්සාහ කරන්නේ.

ප්‍රශ්නය : රට තුළ පවතින ආර්ථික තත්ත්වය නිසා ජනතාවට අලුත් අවුරුදු චාරිත්‍ර පවා පැවැත්වීමට නොහැකිව අපහසුතාවයෙන් පසුවන බවට චෝදනා එල්ල වෙනවා.ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර : අපි දන්නවා ධනවත් පුද්ගලයන්ගේ සිට සියලුදෙනාම විවිධ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන බව. පාස්කු ප්‍රහාරය එල්ල වූ දා සිට මේ රටේ ජනතාවට හරියට හිතේ හැටියට අලුත් අවුරුද්ද සමරන්න නොහැකි වී තිබෙනවා. මේ අවස්ථාවේදී ජනතාවට සහන සැලසිය යුතුයි. චාරිත්‍රයක් විධියට අලුත් අවුරුදු සැමරිය යුතු නිසා ජනතාව කෙසේ හෝ එම අවශ්‍යතාවයන් ඉෂ්ටකර ගන්නවා. මෙම තත්ත්වයන් නිසා ජනතාව දේශපාලනය පිළිබඳවත් යම් යම් ගැටලු ඇති කරගෙන තිබෙනවා. ආණ්ඩුවක් විධියට ජනතාවට සහන සලසන්න කිසිසේත් පසුබට නොවන බව ඉතා පැහැදිලි කාරණයක්. නමුත් යම් යම් හේතු සාධකයන් නිසා සමහර සහන සැලසීමට නොහැකි වී තිබෙන බව පැහැදිලියි. නමුත් ඉදිරියේදී එම ගැටලු නිරාකරණය කරගෙන ජනතාවට සහන සැලසීමට කටයුතු කරනවා.

සාකච්ඡා කළේ – එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment