ඕපාත වතුයායේ මාරගසක් කඩා වැටී වතු කම්කරු කාන්තාවක් මරුට

154

දෙදෙනකුට බරපතලයි

තද සුළඟක් නිසා ඊයේ(28දා) දහවල් දැවැන්ත ගසක් ඉදිරී වැටීමෙන් කහවත්ත ඕපාත වතුයායේ වැඩකරමින් සිටි වතු කම්කරු කාන්තාවක් මරුමුවට පත්ව තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මොවුන් තිදෙනාම එම වතුයායේ තේ ගස්වලට පොහොර දමමින් සිටියදී එකවරම ගස කඩාවැටීමෙන් ඔවුන් ගසට යටවී තිබේ.

ඊයේ දහවල් තද සුළඟක් සමග මෙම දැවැන්ත මාර ගස ඉදිරි වැටී තිබේ. ගසට යටවී සිටි කාන්තාවන් තිදෙනා වතු කම්කරුවන් පිරිසක් විසින් ඉවතට ගත්ත ද එක් අයෙකු රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

දුෂ්කර ස්ථානයක මෙම වතු කම්කරු පිරිස සේවයේ යොදවා තිබුණි. ඕපාත වතුයායේ තුන්වැනි කොටසේ වතු බංගලාවකට නුදුරුව ගස කඩාවැටී තිබේ. එම ප්‍රදේශයේ මාර්ගය ඉතා අබලන්ව ඇති නිසා තුවාලකරුවන් රෝහල් ගතකිරීමට පැයකට වැඩි වේලාවක් ගතවී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තමිල් චෙල්වී (46) වතු කම්කරු කාන්තාවක් බව පොලීසිය කියයි. ඇයගේ සැමියා ද මාස දෙකකට පෙර රෝගිව මියගොස් තිබේ.

තවත් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ ඵක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

රත්නපුර වතු ආශ්‍රිතව ඇති පැරණි ගස් මේ දිනවල අවදානම් තත්ත්වයක පවතින බව වතු කම්කරුවෝ පවසති. රත්නපුර දිස්ත්‍රික්කයේ අවදානම් සහිත ගස් ඉවත් කරන ලෙස වතු කම්කරුවන් ඉල්ලම් කළද බලධාරීන් මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නැති බව වතු කම්කරු ප්‍රජාව පවසති.

කහවත්ත සමරවීර නිරෝෂණ, ඕපනායක ජයලත් විමලසේන


advertistmentadvertistment