ඕමානයට එරෙහි පළමු තරගයෙන් ශී‍්‍ර ලංකාවට ලකුණු 19 ක ජයක්

469

නායක දසුන් ශානක සහ අවිශ්ක ප‍්‍රනාන්දු දෙදෙනා එකතුව 5 වැනි කඩුල්ල වෙනුවෙන්  රැස් කළ ලකුණු 111 ක නොබිඳුනු සබඳතාවය මතින් ශක්තිමත් වුණු ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව ඊයේ (07 වැනිදා) පැවැති පළමු පුහුණු තරගයෙන් ලකුණු 19 ක ජයග‍්‍රහණයක් ලැබීය.

 කාසියේ වාසිය ජයග‍්‍රහණය කළ ඕමාන නායක සීෂාන් මැක්සුඞ් පළමුව පන්දුවට පහරදීමට සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායමට කළ ආරාධනය අනුව ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ලකුණු 162 ක් දක්වා ගෙන යෑමට දසුන් සහ අවිශ්ක සමත් වූහ.

 එහිදී වැඩි ලකුණු ප‍්‍රමාණයක් වාර්තා කිරීමට සමත් වූ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 83 ක් ලබා ගත් අතර නායක දසුන් ශානක ලකුණු 51 ක් ලබා ගත්හ. දසුන් සිය 24 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර එය ශී‍්‍ර ලංකා ඉනිමේ අවසාන පන්දුව විය.

 ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලූ දෙක පිට පිට පන්දු දෙකකදී දවා ගනිමින් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කළ පයාස් බට්ගේ අවසන් පන්දුවාරයට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරක් එල්ල කළ දසුන් තරගය පුරා හයේ පහරවල් 5 ක් සහ හතරේ පහර දෙකක් එල්ල කර තිබිණි.

 පිතිකරණ ස්ථානයේ පියවර දෙකක් පසුපසට පැමිණ අංක 4 පිතිකරු ලෙස වගකීම කරට ගෙන කී‍්‍රඩා කළ අවිශ්ක ප‍්‍රනාන්දු ද හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සිය ඉනිමට එකතු කර ගෙන තිබිණි.

 පැතුම් නිශ්ශංක ලකුණු 8 කටත්, කමිදු මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවී ගිය අතර භානුක රාජපක්ෂට රැුස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 15 ක් පමණි.

 ජයග‍්‍රහණය හඹා ගිය ඕමාන කණ්ඩායමේ කඩුලූ 6 ක් ලකුණු 87 කට බිඳ වැටුණ ද නසීම් කුෂි සහ මොහමඞ් නදීම් දෙදෙනා ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් වෙමින් පන්දුවට පහර දෙමින් සිටිය ද ලහිරු කුමාරගේ 4 වැනි කඩුල්ල ලෙස මොහමඞ් නදීම් ලකුණු 32 කට දැවී යෑමත් සමග තර්ජනය පහව ගියේය.

 නදීම් ලකුණු 32 ක් ලබා ගත් අතර නසීම් කුෂි පන්දු 22 කදී වේගවත් ලකුණු 40 ක් ලැබීය. ලහිරු කුමාර සිය පන්දුවාර 4 තුළ ලකුණු 30 කට කඩුලූ 4 ක් දවා ගත් අතර නුවන් ප‍්‍රදීප් පන්දුවාර 2 කදී ලකුණු 7 කට කඩුලූ 2 ක් දවා ගත්තේය. චාමික කරුණාරත්න සිය පන්දුවාර 4 ලකුණු 28 කට නිමා කළේ පන්දු 22 කදී ලකුණු 40 ක් ලැබූ නසීම් කුෂිගේ කඩුල්ල ඇතුළුව තවත් කඩුල්ලක් සිය නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

 දසුන් ශානකගේ පන්දුවාර 4 තුළ ඕමාන කී‍්‍රඩකයන් ලකුණු 41 ක් ලබා ගෙන තිබූ අතර අකිල ධනංජයගේ පන්දුවාර 2 තුළ ලකුණු 16 ක් ද, මහිෂ් තීක්ෂණ හමුවේ ලකුණු 20 ක් ද ප‍්‍රතිවාදීහු ලබා ගත්හ.

 දෙරට අතර දෙවැනි තරගය හෙට (09 වැනිදා) පැවැත්වේ.

 ලකුණු සාරාංශය

 ශී‍්‍ර ලංකාව පන්දුවාර 20 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 162 (අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 83, දසුන් ශානක නොදැවී 51, පයාස් බට් 42-2)

 ඕමානය පන්දුවාර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 143( නසීම් කුෂි 40, එම්. නදීම් 32, ලහිරු කුමාර 30-4, නුවන් ප‍්‍රදීප් 7-2, චාමික කරුණාරත්න 28-2)

advertistmentadvertistment
advertistmentadvertistment