ඖෂධ අලුත් ජාතික ප්‍රතිපත්තියත් හමස් පෙට්ටියේ

50

විශේෂඥ වෛද්‍යවරුන් එකසිය පනහකට ආසන්න පිරිසකගේ එකතුවෙන් 2019 දී සකස් කරන ලද ‘ජාතික ඖෂධ ප්‍රතිපත්තිය’ පසුගිය වසර පහ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර නොගැනීමෙන් ඖෂධ සැපැයුම, නියාමනය සහ ඇස්තමේන්තු සැකසීම සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් නිර්මාණය වී ඇත.

පසුගිය කාල සමයේ සෞඛ්‍ය ඇමැතිවරුන් හතර දෙනකු බලයේ සිටියත්, වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා දක්වා කිසිවකුත් ‘ජාතික ඖෂධ ප්‍රතිපත්තිය’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය පනතක් ලෙස සම්මත කර ගැනීමට ක්‍රියා නොකළ බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා චෝදනා කරයි.

‘ජාතික ඖෂධ ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක වූයේ නම් විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන්ට අත්තනෝමතික ලෙස රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවත්, අත්‍යවශ්‍ය නොවන ඖෂධ සීමාව ඉක්මවා ආනයනය කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරෙන බවත් සඳහන් කරන වෛද්‍යවරයා, ඖෂධ නියාමන අධිකාරියට ද අත්තනෝමතික ලෙස නියාමනයකින් හෝ ගුණාත්මකභාවය පරීක්ෂාවකින් තොරව ඖෂධ ගෙන්වීමට අවස්ථාවක් නොලැබෙන බවද සඳහන් කරයි.

කෙසේ වෙතත්, ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් වෙනුවෙන් සැකසුණු ‘සේනක බිබිලේ’ ජාතික ඖෂධ ප්‍රතිපත්ති සැලැස්ම ද මේ දක්වා ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන නොමැත.

සුජීව තත්සර


advertistmentadvertistment