ඖෂධ මාෆියාවට දැන්වත් වැට බඳින්න – රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිපදවන්න

201

ප‍්‍රශ්නය තමයි මේ වගේ දේශීයව ඖෂධ නිපදවන්න සූදානම් සමාගම්වලට ඖෂධ නියාමන අධිකාරිය බලහත්කාරයෙන්ම අනුමැතිය දෙන එක නවත්තල තියෙන්නෙ. මොකද අර වෙළෙඳ තරඟයෙන් වාසිගන්න. දැනට මේ ක‍්‍රියාවලියේ ඉන්න අය තමන් ලබන අධික ලාභය, එහෙමත් නැතිනම් ඖෂධ ඒකාධිකාරය මගින් ලබන අධික ලාභය පාවිච්චි කරනවා අනෙක් සමාගම් වෙළෙඳ පොළට එකතුවෙන එක නැවැත්වීම සඳහා. මේ තරඟය හෝ මේ ක‍්‍රියාදාමය සමාගම්වලට සාමාන්‍ය දෙයක් වුණාට ඒක නවත්වලා ජනතාවට සහන දෙන්න ඉන්න ඖෂධ නියාමන අධිකාරිය මේක නොකරනකොට මේක අසාමාන්‍ය තත්ත්වයක්.

ඖෂධ මාෆියාවට දැන්වත් වැට බඳින්න - රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිපදවන්න
රවී කුමුදේශ්
සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ
විද්වත් සංගමය.

ඖෂධ මාෆියාව රට තුළ ඉතා බරපතළ විදිහට ක‍්‍රියාත්මක වෙමින් පවතී. කොරෝනා සමය මේ සඳහා ඇතැමුන් ඉල්ලමක් කරගෙන ඇත. ආකාර දෙකකින් මේ ඖෂධ මාෆියාව ගෙනහැර දැක්විය හැකිය. තමන්ට හිතවත් පාර්ශ්වයන්ට වැඩි ඉඩකඩක්, නීත්‍යානුකූල තත්ත්ව යටතේම ලබාදී ඖෂධ වෙළෙඳපොළට ඇතුළුවී වෙළෙඳපොළ ඒකාධිකරයක් ඇතිකර ගන්නට ඉඩකඩ ලබාදීම එකකි. නිෂ්පාදනයේදී, ගෙන්වීම (ආනයනය) හා බෙදාහැරීම යන තුන් අංශයෙන්ම මේ මාෆියාව ක‍්‍රියාත්මක වේ. දෙවැන්න වන්නේ, මේ කටයුතු නියාමනය කිරීමට තිබෙන ඖෂධ නියාමන අධිකාරිය හරහා තමන්ට හිතවත් පාර්ශ්වයන් සඳහා ඖෂධ නිෂ්පාදනයට ඇතුළුවීමට ලියාපදිංචිය ලබාදීම වැනි කටයුතු කඩිනමින් සිදුවන අතර, ඊට අදාළව සිටින අනෙකුත් තරගකාරී ආයතන වළක්වන ක‍්‍රියාමාර්ගය වශයෙන් සදාචාරවත් නොවන කටයුතු සිදු වේ.

අපේ රටේ ඖෂධ නිෂ්පාදන අතීතය ගැන සොයා බැලූවොත්, අපට පෙනෙන්නේ රට තුළ ඖෂධ නිෂ්පාදනය ගැන 1980 පමණ පටන් කතා කරන බවයි. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය ඖෂධ ප‍්‍රමාණය නිෂ්පාදනය කරන්න ගිවිසුම් ගතව උත්සාහ කරනු ලැබීය. ඉන්පසු මේ කටයුතු 2018 වසරේදී පමණ වේගවත් විය. ඒ කෙසේද යත් සෞඛ්‍ය අමාත්‍යංශය ලංකාවේ ඖෂධ සමාගම් 36 ක් සමග ගිවිසුම් ගත වී රට තුළ ඖෂධ නිෂ්පාදනය කරන්නට කටයුතු කිරීම මගින්. මේ අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලූම ඖෂධ වර්ග පාහේ ආනයනය නොකර, රට තුළ නිපදවීම මෙහි අරමුණ විය. නමුත් මේ අනුව එදා පටන් මේ දක්වා සමාගම් 10 ක් පමණ රට තුළ ඖෂධ නිපදවීම මේ දක්වා සිදුකරමින් පවතී.

වත්මන් රජය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ප‍්‍රධාන වෙනසක් සිදුවිය. එනම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ නිෂ්පාදනය, ගෙන්වීම හා බෙදාහැරීම දිරිගැන්වීම සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් යටතේ අමාත්‍යංශයක් පිහිටවනු ලැබීය. අපි හිතන්නේ එය එසේ බවය. නමුත් පසුගිය කාලය ඇතුළත කැපී පෙනෙන තත්ත්වය තමයි, කිසිම අලූත් සමාගමක් ඖෂධ නිෂ්පාදනයට ඇතුල් වී නැති බවයි. ඒ අතර ඖෂධ නිෂ්පාදනයට කළින් ගිවිසුම් ගතව සිටින 36 ක් වන දේශීය සාමාගම් අතරින් 10 ක් වත් මේ වනතුරු නිෂ්පාදනය කර ගැනීමටද සමත් වී නැත. මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය අමාත්‍යංශය චෝදනාවට ලක්ව සිටින අතර, මේ වනවිට දේශීය ඖෂධ සමාගම් කිහිපයක් ඖෂධ නිෂ්පාදනය සඳහා සියලූ සුදුසුකම් සපුරලා බලා සිටී. නමුත් ඔවුන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැතිවීම, දිගින් දිගටම ඔවුන්ට ක්‍ෂේත‍්‍රයට පැමිණීම වැළකෙන තැනට කටයුතු කිරීම, උවමනාවෙන්ම ඔවුන්ට අවසර ලබා නොදීම බරපතළ ප‍්‍රශ්නයක් හා බරපතළ සැකයට තුඩු දෙන කාරණාය.

මේ ඇතැම් සමාගම් පවසන්නේ කොවිඞ් එන්නත් පවා තමන්ට අඩු මුදලකින් මෙරටදී නිෂ්පාදනය කළ හැකි බවය. එනම්, මේ යට ඇත්තේ තමන්ට හිතවත්, සමාගම්වලට පමණක් ඖෂධ ඒකාධිකාරයක් පවත්වා ගැනීමට ඉඩකඩ සලසාදීම සඳහා තරගකාරී මිල ගණන් යටතේ තවත් නිෂ්පාදකයන් පැමිණීම වැළැක්වීමයි. නොහොත් ඔවුන්ගේ පැමිණීම නැවැත්වීමට ඇති උවමනාව පෙන්වා දේ.

අපට පෙනෙන්නේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය යටතේ මෙවන් ක‍්‍රියාවලියකට මග පෑදී ඇති බවයි. බැලූ බැල්මටම රාජ්‍ය අමාත්‍යවරයා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා, ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා යන අය එක කණ්ඩායමක් හැටියට වැඩකරන බවයි.

මෙතැනදී ගැටලූව ඇතිවන්නේ ඖෂධ මාෆියාව ක‍්‍රියාත්මක වෙන්නේ හැමවිටම ඖෂධ නිෂ්පාදනයේදී, ගෙන්වීමේදී හා බෙදාහැරීමේදී ය. මෙවන් මාෆියා සහ සොරකම් නවත්වන්නට දාපු නියාමන අධිකාරියේ කාර්යය මේ සියලූ ආකාරයේ සොරකම් නැවැත්වීමයි. නමුත් නියාමන අධිකාරිය පෙර කී කණ්ඩායමේ හස්ථයට අසුවුණාම අපට විශ්වාස කරන්න බැහැ අර කියන සොරකම් නවතින බව. ඖෂධ නියාමන අධිකාරිය ගැන දැන් කතා කරන ඔය දත්ත මැකීම කියන ප‍්‍රශ්නය ගැන වුවත් අපට පෙනෙන්නේ නියාමන අධිකාරිය ස්වාධීන ආයතනයක් නොවන බවයි. පෙර කී පරිදි අධිකාරිය ඇතුළු මේ සියල්ලෝම එකම කණ්ඩායමකි. මේ අය ජනාධිපතිතුමාගේ වියත් මගේ කණ්ඩායමක් ලෙස පෙන්වීමට උත්සාහ කළත්, අපට පෙනෙන්නේ වියත් මගක් නොව මේ අය අනුරාධපුරයේ මගක් ලෙසයි. මේ කාරණාව නිසා නියාමන අධිකාරියේ ස්වාධීනත්වය බරපතළ ලෙස පිරිහී ඇති බව අමුතුවෙන් කියන්නට ඇති කාරණයක් නොවේ. ටිකක් නොව, උපරිමයෙන් පිරිහී ඇත. මේ නිසා අපට කියන්නට ඇත්තේ දැන් මේ වේලාවේ සමාගම් කිහිපයකට ඒකාධිකාරයක් හදල, ඒ ඒකාධිකාරය හරහා විවිධ මාෆියා හදල, ඒ ඉන්න තත්ත්වයෙන් අයින් වෙන්න නම්, තරගකාරී මිලකට හැම සමාගමකටම එන්න පුළුවන් ඉඩකඩ දීල ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව පෙන්නන්න ඉඩ දෙන්න ඕනේ.

අපි ඇන්ටිජන් පරීක්ෂාව ගැන ගනිමු, අද එය අත්‍යවශ්‍ය කාරණයකි. ඇන්ටිජන් පරීක්ෂාව ලංකාවට එන එක ඖෂධ නියාමන අධිකාරිය හරහා මාස 9 ක් මෙරටට ගෙන්වීම නවත්වනු ලැබීය. එකම ඇන්ටිජන් පරීෂණයකට හෝ එම කට්ටලයකට මෙරටට එන්නට ඉඩ දුන්නේ නැත. සමහර පරිත්‍යාග වශයෙන් රටට ලැබුණු ඇන්ටිජන් කට්ටල පවා විනාශ කරන ලදී. අපි මේවා වගකීමෙන් කියන්නේ. ඇත්ත නම් ඖෂධ නියාමන අධිකාරිය ඇන්ටිජන් ගෙනෙන්න අවසර දුන්නේ නෑ. රටේ මිනිසුන්ගේ යහපත සලසන්න ඉන්න රාජ්‍ය ආයතනයක් කොහේ හරි ඉන්න සංගම් කියන විදිහටද වැඩ කරන්නේ. ඇත්තටම එහෙම නම් ඒ ආයතනයෙන් රටට සෙතක් නැත. ඇත්ත නම්, ඒ නිසාම මේ රටේ කොවිඞ් වසංගතය කොයි තරම් දුරට ව්‍යාප්ත වෙන්න ඇත්ද කියල එක ඇන්ටිජන් කට්ටලයක් රටට ගෙනාවට පස්සේ අපට හොඳින් තේරෙනවා.

මේ ආයතනය හෝ ඒ පසුපස ඉන්න බලවේග ඉස්සරලාම කරන්නේ ගෙන්වන එකාට විරුද්ධ වීමයි. අමාරුවෙන් හරි ගෙනාවට පසු ඒ ගෙනාපු එකාත් එක ගොඩකට එකතු වෙලා අනිත් අය ගෙන්වන එක නවත්වනු ලබයි. ඇන්ටිජන් ගැන කතා කළොත් පී. සී. ආර්. ප‍්‍රතික්ක‍්‍රීයකවලින් ලාභ ලබන විශේෂ තාක්ෂණික උපදේශක සමහර විශේෂඥයන් රටට ඇන්ටිජන් ගේනවාට විරුද්ධ වුණේය. අනතුරුව ඒක දේශපාලන බලපෑමක් කරමින් රටට එක ඇන්ටිජන් කට්ටලයක් ගෙනාවේය. ඊට පසු තවත් ඇන්ටිජන් කට්ටල ගෙනෙන එක නැවැත්විය. එනම්, පළමු කාරණය තමයි පී. සී. ආර්. මාෆියාව මගින් ඇන්ටිජන් රටට ගෙන එන එක නැවත්වීම. දෙවැනි මාෆියාව තමයි එක ඇන්ටිජන් කට්ටලයක් ගෙනාවට පස්සේ අනෙක් තරගකාරයන් නැති කරල ඒක හරහා වෙළෙඳපොළ ආක‍්‍රමණය කිරීම. මේ දෙකම මාෆියා දෙකක්. මේ දෙකම සිද්ධවෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අරගෙන වීමත් විශේෂත්වයක්. අපට තියන ප‍්‍රශ්නෙ අධිකාරිය ස්වාධීන නැති වුණොත්, මේ ක‍්‍රියාවලිවලට අපට පාලනයක් හදාගන්නට නොහැකිය. ඖෂධ නිෂ්පාදනය, ගෙන්වීම හා බෙදාහැරීම කියන ක‍්‍රියාවලිය කරන කණ්ඩායමම නියාමනයක් කරන විට මේ හරහා පාලනයක් කරගන්න පුළුවන්ද, බැරිද කියා අපට හොඳින් පෙනේ. පසුගියදා ඖෂධ සම්බන්ධ සිටින රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා කියනවා අධිකාරිය සතු දත්ත මකල තියෙන්නේ යහපාලන කාලයේ ඖෂධ වැඩි මිලට ගෙනල්ල, වැඩි මිලට ගත්ත කණ්ඩායම්වලට තියන පරීක්ෂණ නවත්තන්න මේක කළා කියල. අපට ඒ ප‍්‍රකාශයෙන් තේරෙන්නේ ජයසුමන ඇමැතිවරයා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සොරකම සම්බන්ධයෙන්, ඒක හොයල, ඒකට ස්වාධීන පරීක්ෂණයක් කරන්න කොච්චර උනන්දුවක් තියනවද කියන කාරණාව. මොකද රටේ ජනතාවට බොරු කිව්වට අපට බොරු කියන්නට නොහැකිය. බැලූ බැල්මටම ඔහුගේ මේ කතාව බොරුවකි. ඒක බොරුවක් කියල අපි කියන්නේ කාරණා දෙකක් නිසාය. එකක් වන්නේ ඖෂධ නියාමන අධිකාරිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරල ඊ.එන්.එම්.ආර් පද්ධති එක්ක වැඩ කරන්න ගත්තේ 2020 ජනවාරි මාසයේදී ය. 2019 ජූලි මාසේ ඖෂධ නියාමන අධිකාරිය කිව්වා අපි ඩිජිටල් සිස්ටම් එක පාවිච්චි කරන්න ගන්නවා, නමුත් අපි මාස 6 ක් ට‍්‍රයල් එකක් විදිහට ඊ. එන්.එම්.ආර් එකත් එක්ක වැඩකරන ගමන් මැනුවල් ක‍්‍රමවේදයත් (අතින් පොත් පත් වාර්තා තැබීම) ඒ ආකාරයෙන්ම කරනවා කියල. එදා 2019 ජූලි මාසෙ මේක පටන් ගත්ත කියල කිව්වත්, ඒ වනවිට යහපාලන ආණ්ඩුවේ හොරකම් ඇතුළු දේශීය හා අනෙකුත් මිලදී ගැනීම් පිළිබඳව සොයන්නට ගැටලූවක් ඇතිවෙන්නට නොහැකිය. මන්ද 2019 ජූලි මාසේ සිට 2020 ජනවාරි දක්වා සියලූ මැනුවල් ෆයිල් (අත් පිටපත් ලිපි ගොනු) නැති නොවී තිබිය යුතුය. ඒවා නැති වෙන්නට විදිහක් නැත. එතකොට අපිට තියෙන්නෙ යහපාලන ආණ්ඩුවේ සිදුවූ හොරකමක් වහන්න ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ වුණා කියන එක පිළිගන්න කියන එකද..? අපට පෙනෙන්නේ චන්න ජයසුමන ඇමැතිවරයා කියන්නේ අපි දැන් කරන හොරකම ගැන කතා කළොත්, අපි උඹලගේ හොරකම් ගැන කතා කරනවා කියන දේශපාලන තර්කය ගෙනල්ල මේ වැරැුද්ද යටගහන්න කටයුතු කිරීම නොවේද…? ඒ තර්ක දෙකෙන්ම මහජනතාවට වාසියක් වෙන්නේ නැත. දෙගොල්ල දෙපැත්තට වෙලා හොරකම් දෙක බේරාගත්තහම රටේ මිනිස්සුන්ට ලැබෙන දෙයක් තියෙනවද…? ඒක එක කාරණයකි. දෙවෙනි කාරණය තමයි, යහපාලන ආණ්ඩුව කාලයේදී දේශීය ගනුදෙනු සඳහා කරන ලද ප‍්‍රසම්පාදන කටයුතුවලදී මොනවා හරි දූෂණයක් වංචාවක් වෙලා තියෙනවා නම්, ඒක වෙන්නෙ ඖෂධ නියාමන අධිකාරිය තුළ නොව, ඒක වෙන්නෙ රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළය. සංස්ථාවේ දත්ත තාම මැකිලා නැත. එහෙනම්, ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකුණු කතාව කිය කිය චන්න ජයසුමන ඇමැතිවරයා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකෙනකම් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හොරකම් අල්ලන්න බලන් හිටියේ ඇයි කියන ප‍්‍රශ්නෙ අපට තිබේ. අපිට අහන්න තියෙන්නෙ එහෙනම් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දත්තත් මැකිලද කියන එකයි. දෙවෙනි කාරණය විදිහට ඇමැතිවරයා එහෙම හොරකමක් ගැන කියව කියව ඉන්නවා මිස, ඇත්තටම හොයන්න ඔහුට උවමනාවක් නැත. වගකීමක් තියන ඇමැතිවරයෙක් විදිහට එහෙම හොරකමක් වෙලා තියෙනවානම්, ඒ හොරකම් හොයල දඬුවම් දිය යුතුය. නමුත් එහෙම හොරකමක් එදා වුණා කියල මේ අලූත් හොරකම් වහන්නට ඔහුට නොහැකිය. අපට මේ කාරණා දෙකෙන් පෙනෙන්නේ චන්න ජයසුමන ඇමැතිවරයාට මේකට ස්වාධීන පරීක්ෂණයක් කරලා මේ ඖෂධ නියාමන අධිකාරිය කෙළින් හිටවන්න උවමනාවක් නැති බවය. එහෙම නැත්නම් අපට පෙනෙන්නෙ නෑ…මේකෙ ඇත්ත නිවැරදිව සොයාගැනීමේ උවමනාවක් ජයසුමන ඇමැතිවරයාට හෝ මේ කියන කණ්ඩායමට තියනවා කියන එක. ඒක එකක්. අනෙක් කාරණය වන්නේ සමහර සමාගම් ඉන්නවා, ඔවුන් කියනවා ඔවුන්ට මේ රටේ කොවිඞ් එන්නත නිපදවන්න පුළුවන් ඩොලර් 6 කට 7 කට වගේ කියල. (දැනට ලොව භාවිතා කරන එන්නතක තාක්ෂණික පැවරුම් නිෂ්පාදනයක් මෙරට තුළ සිදුකිරීමක්). නිදසුනක් ලෙස එංගලන්තයේ හදපු ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවේ සීරම් ආයතනය හැදුවා වගේ. ඒ ඩොලර් 6-7 ඇතුළෙත් රැුකියා අවස්ථා බිහිවේ. ඒක රටට ඉතිරියක් මෙන්ම වාසියකි. දැන් අපි චීන එන්නත ගන්නෙත් ඩොලර් 15 කට විතර මිලකටය. මේ වන විට මිලදීගත් එන්නත් සමග සසඳා බැලූවොත් අපිට රුපියල් බිලියන 20 ක විතර ලාභයක් ගන්න තිබුණා ඒවා ලංකාවේ හැදුවා නම්. අපි කියන්නෙ නෑ මේ එන්නත් මුල ඉඳන් හදන්න තිබ්බා කියල. නමුත්, ඉදිරියේදීවත් අපි මේ කටයුත්ත ලංකාවේ කරන්න පුළුවන් නම් ඉතා වැදගත් වේ. ටොසිඬේක්සුමා ඖෂධය ගේනකොට රුපියල් ලක්ෂ දෙකක් විතර වෙනවා පොර්ට් එකේ අවසාන ගාන. ඒක රුපියල් ලක්ෂ 10 ට වඩා යනවා මෙරටට ගෙන්වන විට. ඒක ලංකාවේ හදනවානම් රුපියල් 40,000 කට විතර හදන්න පුළුවන්.

ඖෂධ නියාමන අධිකාරියෙ සමහර තීරණ ගන්නකොට ඔවුන් පත්කරනවා තාක්ෂණික කමිටු කියල වර්ගයක්. නමුත්, මේවා කමිටු විදිහට වැඩකරනවා අපට පෙනෙන්නේ නැත. බොහෝ විට තෝරාගත්ත, එකම විශේෂයන් පිරිසකට වැඩ භාර දෙනවා තාක්ෂණිකව ඇගයීම් කරන්න. මේ ඇගයීම් හරහා මේ ඖෂධ මාෆියාව තවත් පැත්තකින් බරපතල විදිහට ක‍්‍රියාත්මක වෙන බව අපිට පැහැදිලියි. මොකද…අපේ රටේ මේ තාක්ෂණික ඇගයීම් කරන්න පත් කරන මේ විශේෂයින්ට හරි තාක්ෂණික නිර්ණායකයක් දීල නැහැ කොහොමද මේ ඇගයීම් සිදුකරන්නේ කියල. මේ කමිටුවක සාමාජිකයෙක් කිව්වොත් මම මේකට අකමැතියි කියල ඖෂධ නියාමන අධිකාරිය ඒ උත්තරය භාරගන්නවා, ඒක නොකර ඉන්න. උදාහරණයකට ගත්තොත්, ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මුළින් ගෙන්නුවේ නැත්තෙ, ඇමැතිවරයා කියන විදිහට එක්තරා සංගමයක් ඒකට විරුද්ධ වුණු නිසා. එතකොට ඒකෙ තේරුම ඒ සංගමය කියන විදිහට තමයි අපි මේවා ගෙනෙන්නේ කියන එක. නමුත් ඊට හේතුව තාක්ෂණිකව විමර්ශනය වෙන්නෙ නෑ. කාගෙන් හෝ කියවගත්තම නොකර ඉන්න පුළුවන්. ඖෂධ නියාමන අධිකාරිය ප‍්‍රධාන වගකීම වෙන්න ඕනෙ මෙන්න මේ තාක්ෂණික ඇගයීම කරන කණ්ඩායමේ ස්වාධීනත්වය සහ ඔවුන්ගේ තාක්ෂණික ඇගයීමේ භාවිතාව විනිවිද භාවයෙන් ලබාගැනීමට කටයුතු කිරීම. නමුත් අද වෙලා තියෙන්නේ මෙන්න මේ කියන තාක්ෂණිකමය භාවිතාව ලිහිල් ප‍්‍රතිපත්තියක ක‍්‍රියාත්මක වීමයි.

* සාකච්ඡාව – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment