කජු ඇටද… කොස් ඇටද…?

262

ලෝකයේ කොරෝනා මරණ පිළිබඳව හෝ එම ආසාදන මට්ටම්, සංඛ්‍යාලේඛණ පිළිබඳව තවදුරටත් කතා කිරීමෙන් අපට ඵලක් නැත. අප කතා කළ යුත්තේ අපේ මිනිසුන් කී දෙනෙක් දවසකට වරක් මේ වසංගතයට ගොදුරු වන්නේද යන්න හා කීදෙනෙක් දිනපතා වසංගතයෙන් මිය යන්නේද හා වසංගතයෙන් ගැළවෙන්නේ කෙලෙසද යන්න ගැනය.

දැන් තත්ත්වය අන්තිම භයානක තැනට පැමිණ ඇත. අදට වඩා හෙට තත්ත්වය භයානකය. අප එසේ කියන්නේ හේතුවක් ඇතිවය. මේ වනවිට දිනපතා 200 දෙනකු මියයෑම දක්වා තත්ත්වය ඔඩු දුවා ඇත. මිලියන 22 ක් ජීවත්වන මේ පුංචි රටේ අපට මේ සංඛ්‍යා මහා ලොකු ඉලක්කම් ය. ඒ අතර දිනපතා ආසාදිත මට්ටම 3500 සීමාව පනිමින් පවතී. රසායනාගාර සේවක වෘත්තීය සංගමයේ රවි කුමුදේශ් කියන පරිදි නම්, දිනක ආසාදිත සංඛ්‍යාව 7000 ක් ඉක්මවූ දවස්ද තිබේ.

ඉකුත් දා රූපවාහිනි වැඩසටහනකට එක්වූ ප‍්‍රජා වෛද්‍ය, මහාචාර්ය මනූජ් වීරසිංහ මහතා කියා සිටියේ දැන් වසංගතයට ගොදුරුව මිය යන්නේ මීට සති  2-3 කට පෙර රෝගයට ගොදුරු වූවන් බවය. එසේම, ඔහු කියා සිටියේ 3500 ක් දෙනා දැන් සමාජයෙන්  රෝගීන් ලෙස වාර්තා වන විට සැබෑවටම එමෙන් තුන් ගුණයක්, එනම් 10500 ක් පමණවත් හඳුනා නොගත් රෝගීන් සමාජයේ සැරිසරන බවයි. මේ මගින් තවදුරටත් රෝගය පැතිර යන අතර, ඉදිරි සති 2-3 දී එනම්, අගෝස්තු අන්තිම සිට සැප්තැම්බර් මැද දක්වා කාලය තුළ දැන් පවතින මරණ ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් වුවද වාර්තා විය හැකි බව මහාචාර්ය වීරසිංහ මෙහිදී කියා සිටියේය. එනම්, එම ප‍්‍රමාණය 600 ක් දක්වා හෝ ඊට වැඩිවීමකි. සැබෑව නම්, ඔහු මෙම සාකච්ඡාවේදී කියා සිටියේ දැන් මේ සිදුවන කොවිඞ් මරණ ප‍්‍රමාණය ගැන තමන් පුදුම නොවන බවයි. ඔහු හා ඊට සම්බන්ධ වූ අනෙකුත් වෛද්‍යවරුන් කියා සිටියේ වහාම සංචරණ සීමා දමා රෝගය පාලනය කිරීම හා එන්නත්කරණය ප‍්‍රශ්නයට විසඳුම බවයි.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ මරණ ප‍්‍රමාණය 7000 ඉක්මවයි. ඉතා කෙටි කාලාන්තර තුළදී දහසෙන් දහස මරණ ප‍්‍රමාණය සීග‍්‍රයෙන් වැඩිවෙමින් පවතී.

රෝගයට ගොදුරු වන ප‍්‍රමාණය ලක්ෂ 4 දක්වා ක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර සෑම ගමකින්ම, සෑම ප‍්‍රදේශයකින්ම පාහේ දැන් රෝගීන් වාර්තා වේ. ඈත ගම් දනව් දක්වා මේ වන විට රෝගය පැතිර ගොස් ඇත.

වඩාත්ම ඛේදජනකම කාරණය වන්නේ දරුවන් හා ගැබිනි මව්වරුන් පවා රෝගයට ශීඝ‍්‍රයෙන් ගොදුරු වෙමින් පැවතීමයි. සාමාන්‍යයෙන් දරුවන් හා ගැබිනි මව්වරුන් නිවෙස්වලින් පිටතට (සමාජයට) පැමිණීම ඉතා අඩු නමුත් කවුරුන් හෝ රෝගය ඔවුන් වෙත (නිවසට) ගෙන යමින් සිටී. ඒ වෙන කවුරුත් නොව, තාත්තා විසින් හෝ රැකියාවට ගොස් ගෙදර එන පවුලේ සාමාජිකයකු හෝ සමාජයේ ඉබාගාතේ ඇවිද ගෙදර එන්නකු විසිනි. පසු ගිය කාලයේ වැඩි පඩි, තනතුරු, තාන්න මාන්න ඉල්ලා සිදු කළ සමූහ උද්ඝෝෂණ ද මේවාට ඍජුව වගකිව යුතු බව අපගේ අදහසයි.

කෙසේ හෝ ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටින ගැබිනි මව්වරුන් තුන් ලක්ෂ විසිදහසෙන් (320,000) 3800 ක් දෙනා රෝගයට ගොදුරුව ඇත. ඉන් 30 කට ආසන්න ප‍්‍රමාණයක් මියයෑම ඛේදනීය තත්ත්වයකි. එසේම, දරුවන් 45,000 කට වැඩි පිරිසක් රෝගයට ගොදුරුව සිටින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි. මේ මොහොත වනවිටත් ළමයින් 150 කට වැඩි පිරිසක් කොවිඞ් වැළඳ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවසන ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ කොවිඞ් වසංගතයට ගොදුරු වී ඇති ළමයින් අතරින් 20000 ක්ම වයස අවුරුදු 10 ට වඩා අඩු වයසේ ළමුන් බවයි.

මේ අතර ‘‘වර්ල්ඩොමීටර්ස්” (www.worldometers.info) වෙබ් අඩවියට අනුව මිලියනයකට වැඩිම මරණ ප‍්‍රතිශතය වාර්තාවන 5 වැනි රට ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා දී ඇත. එනම්, එම ප‍්‍රමාණය මරණ 170 ක් වන විට 7.7 ක අගයකි. ඉන්දියාවේ ද මෙම අගය ඊට වඩා අඩුය. ඇතැම් විට ඊට හේතු වී ඇත්තේ නව කොරෝනා වෛරස් විකෘතිතා 4 ක් විසින් ශ‍්‍රී ලාංකිකයන්ට පහර දීම විය හැකිය.

එබැවින් උදාවී ඇති මෙම තත්ත්වය ජනතාව ලෙස අපි වගකීමෙන් තේරුම් ගත යුතුය. සංචරණ සීමා පනවා ඇත්තේ හොරෙන්වත් එය උල්ලංඝනය කිරීමට නොවේ. එසේම, එන්නත්කරණය කිසි ලෙසකින්වත් නොසලකා නොසිට, එන්නත්කරණය කරගැනීම අනිවාර්ය කටයුත්තකි. මන්ද, දැනට මරණ සිදුවන අයගෙන් 70%-80% ක්ම වයස අවුරුදු 60 වැඩි අය වේ. එසේම, එසේ මැරෙන අයගෙන්ද 70%-80% ක්ම එන්නත් දෙකම නොගත් අය වේ. එනිසා වහාම එන්නත් ලබාගැනීම ජනතාවගේ යුතුකමයි. රෝගයෙන් ආරක්ෂා වී අනෙකුත් අයද ආරක්ෂා කර දීම ඉතා ඉහළ වගකීමකි. මන්ද මේ නැතිවෙමින් පවතින්නේ කජු ඇට, කොස් ඇට නොව මේ පුංචි රටට දරාගන්නට නොහැකි තරමේ මිනිස් ජීවිත ප‍්‍රමාණයක් නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment