කටුවන ලන්දේසි බලකොටුව බින්දේ මගේ මී මුත්තා…අවසන් කොටස

153

ලෙනාඩ් වුල්ෆ් නඩු ඇසූ සියඹලා ගස යට සිට මීගහජඳුර වලව්වට…

දඩයමේ එන සුදු ජාතිකයන් නවාතැන් ගත්තෙ අපේ වලව්වෙ

ලෙනාඩ් වුල්ෆ් ගමට ආවෙ අශ්වය පිට නැගල

බුද්ධදාස මහතා ලබාදුන් තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ අපට ආරියාදස මහතා සම්බන්ධ කරගත හැකි වූවේ දුරකථන මාර්ගය ඔස්සේය. අපගේ අවශ්‍යතාවය පැහැදිලි කිරීමෙන් අනතුරුව ඉතාමත් නිහතමානි ලෙස එම ඉල්ලීම ඉටුකරමින් ආරියදාස නල්ලපෙරුම දිසානායක මහතා එම අතීත කතාවේ ඉතිරි කොටස පවසා සිටියේ මේ අයුරින්ය.

කටුවන ලන්දේසි බලකොටුව බින්දේ මගේ මී මුත්තා...අවසන් කොටස

“මගේ සීය සාමෙල් නල්ලපෙරුම දිසානායක තමයි ලෙනාඩ් වුල්ෆ් මහත්තය හම්බන්තොට උප දිසාපති ලෙස ඒ පළාතේ රාජකාරි කටයුතු භාර ගනිද්දි මීගහජදුර හා ඒ අවට ගම් කීපයක විදානආරච්චි තනතුර දැරුවෙ. විදානආරච්චි කෙනකුට ඒ කාලෙ පොලිස් බලතල පවා තිබුණා. ඒ තනතුර දරපු හින්ද තමයි ලෙනාඩ් වුල්ෆ් සහ අපේ පරපුර අතර ඔය කියන හිතවත්කම වර්ධනය වෙන්නෙ. මගේ තාත්ත (චාල්ස් නල්ලපෙරුම දිසානායක) ඒ වගේම මගේ අම්මා (ජයසුන්දර මුදියන්සේලාගේ සීලවතී කුමාරිහාමි) මට කියල තියෙන විදිහට අපේ මුල්ගම් බිම් තිබිල තියෙන්නෙ මහනුවර ප්‍රදේශයේ. ඒ කාලෙ ලන්දේසීන් විසින් මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරනව. ඔය සිද්ධිය වෙන අවස්ථාවේ ලංකාවේ රජකම් කරල තියෙන්නෙ කීර්ති ශ්‍රී රාජසිංහ. ලන්දේසීන් විසින් කටුවන ප්‍රදේශයේ බලකොටුවක් ඉදිකරනව. මේ බලකොටුවට පහර දෙන්න නුවර සිට බළකායක් දකුණු ලක බලා ගමන් කරනව. ඒ ඇවිත් ලන්දේසීන් හා සටන් කරල ජයග්‍රහණය ලබනව. බලකොටුව බිඳින්න නුවරින් එන බළකායට නායකත්වය දෙන්නෙ මගේ මීමුත්තෙක්. එතුමා තමයි මීගහජදුර මහ විදානආරච්චිගේ මුත්තා වන බුරම්පි මුදියන්සේ. සටන ජයගත් ප්‍රීතිය සමරන්න මහරජතුමා බුරම්පි මුදියන්සේව රජ මාලිගාවට කැඳවල ‘නල්ලපෙරුම දිසානායක’ නම්බුනාමය හා නින්දගම් ප්‍රදානයක් සිදු කරනව. ඔන්න ඔහොම තමයි අපේ පරම්පරාව මහනුවර සිට මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙන්නෙ. ඒ ඉතිහාසය බොහොම දිගයි. සවිස්තරාත්මකව විස්තර කළ යුතුයි. ඒ නිසා මගේ සීය ඒ වගේම මගේ තාත්ත ඇසුරෙන් මේ කතාව කියාගෙන යන්නම්.”

කටුවන ලන්දේසි බලකොටුව බින්දේ මගේ මී මුත්තා...අවසන් කොටස

ඉතිහාසය යනු උඩින් පල්ලෙන් සටහන් කර ඇඟ බේරාගත යුතු දෙයක් නොවන බව ආරියදාස නල්ලපෙරුම දිසානායක මහතාගේ අදහසය. එබැවින් ඔහු ඇසින් දුටු ඉතිහාසය සහ ඊට පෙර පරම්පරාව විසින් කල කී දෑ පිළිබඳව පමණක් සඳහන් කිරීමේ කොන්දේසිය මත නැවතත් කතාබහ ආරම්භ කළේය.

‘මීගහජදුරේ නල්ලපෙරුම දිසානායක වලව්ව කියන්නෙ මා ඇතුළු සහෝදර සහෝදරියන් 16 දෙනකු උපන් නිවසක්. දැන් ඒ අය අතරින් 12 දෙනෙක් ජීවතුන් අතර ඉන්නව. මගේ සීය තමයි සාමෙල් නල්ලපෙරුම දිසානායක. ලෙනාඩ් වුල්ෆ් හම්බන්තොට උප දිසාපතිවෙලා එද්දි සීය තමයි මීගහජදුර ඇතුළු ඒ අවට ගම්මාන රැසක විදානආරච්චි තනතුර දැරුවෙ. ඒ විස්තර මගේ මල්ලි විසින් කියන්න ඇතිනෙ. ඒ හින්ද මගේ පුංචි කාලෙ ඒ කියන්නෙ මගේ තාත්තා චාල්ස් ඩයස් නල්ලපෙරුම දිසානායක යුගය ගැන යමක් සඳහන් කරල නිහඬ වෙන්නම්. මගේ පුංචි කාලය කියන්නෙ අපේ ගම් ප්‍රදේශය මහා කැලෑවක්.

මීගහජදුර අපේ වලව්වෙන් පිටුපස්සෙ ඉඳල තනමල්විලට යනකම් රූස්ස කැලෑව. අලි කොටි වග වලසුන් නිතර ගැවසෙන තැනක්. මීගහජදුරේ ඉඳල හම්බන්තොටට සැතපුම් 21ක් දුරයි. යාන වාහන නෑ, කලාතුරකින් වාහනයක් ගමට ආවොත් ඒ එන්නෙ අපේ වලව්වට. කොළඹ ඉඳල එන රජයේ නිලධාරීන්, සුදු මහත්වරු තමයි ඒ එන්නෙත්.’

මගේ සීයගෙන් පස්සෙ ඒ තනතුර තාත්තට හිමිවීමත් එක්ක සුදු මහත්වරු ඇතුළු ප්‍රභූවරු නිතර නිතර අපේ ගෙදර එනව. හම්බන්තොට උප දිසාපති ලෙනාඩ් වුල්ෆ් එයාගෙ බල ප්‍රදේශයේ ආරවුල් විසඳන්න එද්දි මීගහජදුර පැත්තට එන හැම අවස්ථාවකම අපේ ගෙදර ආව. ඒ විස්තර ඔබතුමා දන්නව ඇතිනෙ.

කටුවන ලන්දේසි බලකොටුව බින්දේ මගේ මී මුත්තා...අවසන් කොටස

ඒ කාලෙ නිතර නිතර අමුත්තො අපේ වලව්වට පැමිණීම හේතුවෙන් සහ ගමේ ගොඩේ ජනතාවගේ පැමිණීමත් හේතුවෙන් නිතරම අපේ වලව්වෙ මුළුතැන්ගෙයි ලොකු බත් කල්දේරමක් ව්‍යංජන දෙක තුනක් රත්කරනව. ගොං කරත්තයෙන් තමයි ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගේන්නෙ. ඒකටත් හම්බන්තොට නගරයට යන්න ඕන. මට හොඳට මතකයි එහෙම යන දවසට කරත්තෙ බඳින හරක් දෙන්නට අමතරව තවත් හරක් දෙන්නෙක් හා තුවක්කුකරුවන් දෙන්නෙක් මේ ගමනට පිටත් කරල යවනව. මහ කැලෑව මැද්දෙන් කරත්ත පාරේ මේ ගමන යන්න. තුවක්කුකරුවො දෙන්න යන්නෙ අනික් අයගේ ආරක්‍ෂාවට. එහෙම ගිහින් කරත්තෙ පිරෙන්න බඩු පටවගෙන තමයි ඒ අය ආපසු එන්නෙ. ඒ බඩු අතර වැඩිපුරම තියෙන්නෙ ලූනු, සුදුලූනු, අර්තාපල් වගේ දේවල්. ලුණු මුට්ටයක් දෙකක් වරදින්නෙ නෑ. මීගහජදුර නල්ලපෙරුම දිසානායක වලව්ව කියන්නෙ තමන්ගේ දේපළ භවභෝග තනිවම භුක්ති වින්ද වලව්වක් නොවෙයි. මට මතක කාලේ අපේ ගෙදරින් කෑම වේලක් නොකෑව කෙනෙක් ඒ පළාතෙ හිටියෙ නෑ. ඒ වගේම තමයි මගේ තාත්ත සීය සහ ඊටත් පෙර ජීවත් වූ අපේ පරම්පරාවෙ ඇත්තෝ අහිංසක දුප්පත් මිනිසුන්ව තලා පෙලාගෙන ඒ මිනිස්සුන්ගේ දේවල් සූරගෙන කෑවෙ නෑ. අදත් මිනිස්සු ළඟ ඒ ගෞරවය තියෙනව. (1908-1911) හම්බන්තොට උප දිසාපති හා මහෙස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ ලෙනාඩ් වුල්ෆ් ඊට අවුරුදු 50ට විතර පස්සෙ නැවත ලංකාවට එනව. ඒ ඇවිත් අපේ සීයට දක්වන ලද ගෞරවයක් වශයෙන් මීගහජදුර අපේ වලව්වට එන්නත් අමතක කළේ නැහැ. එසේ පැමිණි අවස්ථාවේ එයාගෙ අත්දැකීම් ඇසුරින් යමක් ප්‍රකාශ කළා. එතුම එදා කිව්ව “දුප්පත් ජනතාව තලා පෙලා ශ්‍රමය සූරා නොගත් ඔවුන්ව වහල් මෙහෙවර පිණිස යොදා නොගනිමින් කෑම බීම ආදිය ලබාදෙමින් සංග්‍රහ කළ වලව්වක් ලෙස මීගහජදුර නල්ලපෙරුම දිසානායක වලව්ව හැඳින්විය හැකිය කියල. ඒ උදාර ප්‍රකාශ එතුමා කරන්න ඇත්තෙ එදා තිබුණ සමාජ ආර්ථික වටපිටාව හොඳින් අධ්‍යයනය කරල වෙන්න ඇති.”

එම උදාර ප්‍රකාශය කරන ලද්දේ The Village in the Jungle කෘතිය රචනා කරන ලද ලෙනාඩ් වුල්ෆ් විසින්ය. පසු කලෙක එම කෘතිය ‘බැද්දෙගම’ නමින් සිංහලට පරිවර්තනය විය. බැද්දෙගම නවකතාව රස නොවිඳි පාඨකයෙක් වේ නම් ඒ මෙරට ජනතාව අතරින් අතළොස්සක්ය. බැද්දෙගම නවකතාවට පසුබිම් වූ සමාජ, ආර්ථික වටපිටාව මේ වනවිට එම ප්‍රදේශය තුළ දකින්නට නැතත් එකල ලෙනාඩ් වුල්ෆ් විසින් නඩු හබ ආදිය විසඳීම පිණිස ගමට පැමිණි කල ඔහුට සෙවණ දුන් සියඹලා ගස මීගහජදුර ගම් පියස තුළ තාමත් ජීවමානය. ඒ අතීත මිනිසුන්ගේ දිවි පුවත මෙවන් ලිපියකින් විස්තර කළ නොහැකි වුවද එම ප්‍රදේශයේ අද පවා දකින්නට ලැබෙන නටඹුන් අතර එකළ ජීවත් වූ අතීත මිනිසුන්ගේ ජීවන සුවඳ තැවරී ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment