කර්තෘ – ජයරත්න වීරක්කොඩි
නවකතා ඇතුළු නිර්මාණාත්මක සාහිත්‍ය ක්ෂේත‍්‍ර‍්‍රයේ ද, සංවර්ධන සාහිත්‍ය ක්ෂේත‍්‍ර‍්‍රයේ ද කුසලතා දැක් වූ සාහිත්‍යවේදියෙකු වන ජයන්ත වීරක්කොඩිගේ ‘කටු තියඹරා’ නවකතාව පාඨක විචාරක දෙපාර්ශ්වයේම අවධානයට ලක් විය යුතු කෘතියක් වශයෙන් හඳුන්වා දීම කරුණු කිහිපයක් නිසා සාධාරණ වේ. පළමුව එහි වස්තු විෂයේ ඇති අපූර්වතාවයයි. දෙවනුව ඊට පාදක වූ පසුබිමේ විශේෂත්වය හා එය සමකාලින මානව චර්යාවන්ට ද සාධාරණ වීමයි. තෙවනුව කතුවරයා යොදා ගත් සුවිශේෂී භාෂා භාවිතය හා ඒ සියල්ල ඒකාබද්ධ කරමින් ප‍්‍රකට කරන ජීවන දර්ශනයයි.
කතුවරයා තම පෙරවදනේ දක්වා ඇත්තේ ‘ඓතිහාසික පසුබිමක් මත ලියවුණු මෙම නවකතාව එකල සමාජ, සංස්කෘතික, ආර්ථික පදනම හා බැඳුණු ජන ජීවිතයේ පැතිකඩක් නිරූපණය කෙරෙන අතර එමගින් අදටත් ලාංකික සමාජය තුළ ශේෂවී ඇති පසුගාමී ආකල්ප යාවත්කාලීන කරගැනීමේ අවශ්‍යතාව ද සනිටුහන් කෙරේ’’ යනුවෙනි. ඔහුගේ එම අරමුණ කෙතෙක් දුරට සාර්ථකව මුදුන් පමුණුවා ගෙන ඇත්දැයි විමසා බලමු.
මෙහි වස්තු විෂය වන්නේ නිශ්චිත ඓතිහාසික යුගයක ජන ජීවිතයේ පැතිකඩකි. එය වනාහි දහසය වන සියවසේ පෘතුගීසින් ලංකාවේ මුහුදුබඩ ප‍්‍රදේශ නතු කොටගෙන අනතුරුව උඩරට ආක‍්‍රමණය කරද්දී එය විශේෂයෙන් සාමාන්‍ය ජනයාගේ ජීවිතයට බලපෑ ආකාරයයි. සමාජ සංස්කෘතික සීමාකම් තිබියදී පවා යම් දුරකට පෙරට යන්නට හැකි වූවත්, බලය හා පෞද්ගලික අරමුණු අතර ප‍්‍රතිවිරෝධතා හමුවේ ඇතිවන ඛේදජනක ඉරණම මෙහි වස්තු විෂය වේ. ඒ හා බැඳී ආදර අන්දරයක් වූවත් එය කතුවරයා සිය අරමුණ ඉටු කරගනු සඳහා යොදා ගත් උපායක් පමණ කැයි හැෙඟයි.
මෙහි කතා නායකයා වන ජෝති නමැති උඩරට පහළ සමාජ ස්ථරයේ තරුණයා යුදමය වාතාවරණය යටතේ දක්‍ෂතා මගින් පෙරට ගියත්, ඔහුට පෙම් කළ රදළ පවුලක තරුණියක වූ සඳා සරණ කර ගැනීමට බාධා වන්නේ ඔහුගේ උපත සිදු වූ සමාජ පසුබිම පිළිබඳ පැවැති සමාජ ආකල්පයයි. ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ ද මේ ආකල්පමය මත ඇති වූ කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵල නිසාය. ජෝති මෙන්ම ඔහුගේ සොයුරිය හපුමලී ද මුහුණ දෙන්නේ ඛේදනීය ඉරණමකටය. ඇය පෙම් කළ ජයතුං සමඟ එක්වීමට ලැබුණ ද පෙම්වතා මහස්තාන කුමරා බවටත් ඔහු රටේ රජ්ජුරුවන් බවටත් පත් වූවද, හපුමලී පැතූ සතුට ළ`ගා නොවේ. ඇය ගෙවූ සරල නිදහස් ජීවිතය වෙනුවට හිමිවන්නේ කොටුකරන ලද ජීවිතයකි. ඇය මානසික පීඩනයකට පත් වී රෝගාතුර වේ. රජතුමාට අගබිසවක සෙවීමේ කාර්යයට සහභාගි වන්නේ හපුමලීගේ සොයුරිය වූ පසිඳුගේ සැමියාටය. දකුණු ඉන්දියානු සම්භවයක් ඇති ඔහු කලක් සිරකරුවෙකුව සිට නිදහස ලද රාමසාමිය. එහෙත් ඔවූහු හපුමලී රජුගේ භාරයේ සිටින බව නොදනිති. යුදමය ව්‍යාකූල පරිසරයක දේශපාලන වාතාවරණය මෙන්ම සාමාන්‍ය ජනජීවිතය ද අවුලෙන් අවුලට පත් වේ. ජෝතිට පෙම් කළ රදළ පෙළපතකින් ආ සඳා, ද, සාමාන්‍ය පෙළපතකින් පැවත ආ සැවන්දරි ද එකම මොහොතක සියදිවි නසා ගැනීමෙන් ආඛ්‍යානය පූර්ණ ඛේදාන්තයක් ලෙස නිම වේ.
මෙම නවකතාවේ පසුබිම හා ඇතැම් චරිත අනුව මෙය ඓතිහාසික නවකතා ප‍්‍රවර්ගයට අයත් වේ. ඓතිහාසික නවකතාවක් ලෙස විචාරකයන් සාමාන්‍යයෙන් දක්වන්නේ, නිශ්චිත ඓතිහාසික යුගයක ක‍්‍රියා අන්තර්ගත, යුගයේ සිරිත් විරිත් හා මානසිකත්වය නිවැරදිව දැක්වීමට ප‍්‍රයත්න දරන, පරිකල්පිත හෝ සැබෑ චරිත ඇතුළත් ඓතිහාසික පදනම ගැන පක්ෂපාතිත්වයක් දක්වන ආඛ්‍යාන විශේෂයකට ය. කටු තියඹරා හි ඓතිහාසික යුගය පැහැදිලිය. එහි දැක්වෙන බොහෝ ක‍්‍රියා සත්‍ය වශයෙන් සිදු වූ ඒවාය. පෘතුගීසීන් උඩරට ආක‍්‍රමණය කිරීම, ඔවුන්ට එරෙහිව කළ සටන්වලින් සිංහල හමුදාව ජයග‍්‍රහණය කිරීම, සිංහල රජුන්ට දකුණු ඉන්දීය බිසෝවරුන් කැඳවීම ආදී කරුණු ඉතිහාසයේ සඳහන්ය. වැඩවසම් කුල ක‍්‍රමය ආශ‍්‍රිත සිරිත් විරිත් පැවතියත් කුලවතාට අවශ්‍ය වූ විට පහත් යැයි සම්මත කුලවල කාන්තාවන් හා සබඳතා පැවැත්වීමට ඉඩ තිබුණි. ඒක ගෙයි කෑම ලෙස නම් කෙරුණු විවාහ ක‍්‍රමයක් එකල පැවැති අතර එය ආර්ථිකය සමඟ ද බැඳී තිබුණි. යටහත් පහත් බව සාමාන්‍ය ජනයාගේ මානසිකත්වය වුවත් සටනේ දී ඔහු පෙරට ගියේය. නවකතාවේ එන මහඅස්තාන කුමරා, කොන්ස්තන්තිනු ද සා, මිගස්වත්තේ ආදී චරිත ඉතිහාසයේද ජනශ‍්‍රාතියේද අපට හමු වන සත්‍ය චරිත වේ. එහෙත් මෙහි එන ප‍්‍රධාන චරිතවලින් බහුතරය පරිකල්පිත වුවත් ඔවුන්ගේ චර්යා ඉතිහාසයට අනුකූලය. එසේ වන්නේ කතුවරයා ඓතිහාසික පදනම ගැන පරීෂපාතිත්වයක් දක්වා ඇති බැවිනි.
ඓතිහාසික නවකතාවක වුව සමකාලින සමාජ විඥානය පළ කිරීම සාධාරණය. මහනුවර යුගයේ තරම් කුල වැඩවසම්වාදය නූතන යුගයේ දක්නට නැතත් ඒ ආශ‍්‍රිත ඇතැම් සිරිත් විරිත් ද ඇගයුම් ද මුළුමනින්ම වියැකී ගොස් නැත. යුදමය වාතාවරණය තුළ උතුරේ මෙන්ම දකුණේ ද එහි බෙදුම් රේඛා බොඳ වී ගියත් යළි ඇඳෙමින් පවතී. මූලික මානව අවශ්‍යතා එම රේඛාව ඉක්මවුවද ඒවා ඉටු කර ගැනීමේදී ගැටුම් ඇති වේ. එය අතීතයට මෙන්ම වර්තමානයට ද සාධාරණ වන අවස්ථා දුලබ නොවේ. කටු තියඹරා අතීත සමාජයට සේම වර්තමාන සමාජයටද අදාළ වන්නේ එහෙයිනි. ජෝති වැනි රණවිරුවෝත්, ආදරය නිසා අවදානමක් ගත් සඳා වැනි ඉහළ සමාජයේ තරුණියෝත්, හැ`ගීම් හා බලය අතර දෝලනය වන මහස්තාන කුමාරවරුන් එදා මෙන්ම අදත් සිටිති.
මෙහි එන චරිත නිර්මාණයේද කතුවරයා ඓතිහාසික කරුණු සේම මනෝවිද්‍යාත්මක හා සමාජ මානව විද්‍යාත්මක පදනම් ද සැලකිල්ලට ගෙන ඇති බව පෙනෙයි. සමහර විට ජයශ‍්‍රැතියේ එන සිද්ධි ආඛ්‍යානයට උචිත ලෙස ගොනුකර ගනියි.
මේ සියල්ල සඳහා කතුවරයා ප‍්‍රබල ලෙස භාෂාව යොදාගනී. උඩරට ජනවහර ඔස්සේ සකසා ගත් කටු තියඹරා හි බස හුදු ජනවහරම නොව ගත්වහර සමඟ මුසු කොට සකසා ගත්තකි. එය පාඨක පරිකල්පනය පුබුදු කරන්නකි. කොස්ගෙඩියක මඩුලූ ගලවමින් සිටි හින්කිරි මන්නය පසෙක තබා හමුමලී තකහනියේ එන දෙස බලා සිටියාය. දැන් මයෙ පැටික්කි කුමාරිහාමි ඇත්තියත් පරාදයි. හිතට නැගුණු දෙයින් ඇයට සතුටක් මෙන්ම බියක් ද දැනේ.’’ (11පි) මේ වැකි දෙක නිදසුන් ලෙස ගත් විට අදාළ චරිත දෙකෙහි බාහිර ලක්‍ෂණ මෙන්ම අනාගතය පිළිබඳ ඉ
ගියක් ද එකට ගොනුවූ බව නවකතාව කියවා අවසන් වූ පසු අපි හඳුනාගනිමු. බහුලව සංවාද යොදාගෙන චරිත හා අවස්ථා ගොඩනඟන කතුවරයා, සමකාලීන උඩරට ජනවහර යොදා ගැනීම සාධාරණය.
සුගත් වටගෙදර