කඨින චීවරය සහ එහි බලය

1768

භික්‍ෂුන් වහන්සේ වස් විසීමෙන් පසු කඨින චීවරයක් පිළිගැනීමට බුදුන් වහන්සේ අනුදැන වදාරණ ලද්දේ එක් විශේෂ හේතුවක් මුල්කොට ගෙන ය. ඒ පිළිබඳව මහාවග්ග පාලියේ කඨිනක්ඛන්ධඛයේ මෙසේ විස්තර කර ඇත.

බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ වසන කල කොසොල් රට පාවානුවර වැඩ විසූ පිණ්ඩපාතික පාංශුකූලික වූ තේචිචරිත වූ ආරණ්‍යවාසී වූ තිස් නමක් පමණ භික්‍ෂුන් වහන්සේලා බුදුන් වහන්සේ දකිනු කැමතිව සැවැත්නුවරට යන විට අතරමගඳී වැසි සමය එළඹිණි. සැවත්නුවරට යෑමට මේ භික්‍ෂුන්ට ඉතිරිව තිබුණේ යොදුන් හයක් පමණි. එහි යෑමට නොහැකි වීම නිසා කනගාටු වූ මේ භික්‍ෂූන් වහන්සේ අතරමග සාකේත නුවරදී වස් එළඹූහ.

වස් වසා නිම කළ පසු උන්වහන්සේලා නැවත සැවත් නුවර බලා යෑමට පිටත් වූහ. මෙයට පෙර ද තද වැසි වැසීම නිසා මාර්ගවල මඩ ගොහොරු වළවල්වලින් ගහන විය. තබන අඩිය ලිස්සන සුළු විය. උන්වහන්සේ මඩෙහි වැටෙමින් ද, වැස්සට තෙමෙමින් ද දිය බේරෙන සිවුරුවලින් යුතුව ක්ලාන්තව සීතලෙන් ගැහෙමින් බුදුන් වහන්සේ හමුවට ගියහ.

තමන් වහන්සේ දැකීමේ බලවත් අභිලාෂයෙන් පැමිණ මේ භික්‍ෂු පිරිස දැඩි ලෙස දුකට භාජනය වී ඇති අයුරු දුටු බුදුන් වහන්සේ තුළ තම ශ්‍රාවකයන් පිළිබඳව මහත් අනුකම්පාවක් ද ඇති විය. ශාසන බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන මගේ අහිංසක ශ්‍රාවකයන් මෙපමණ පීඩා නොවිඳිය යුතු යැයි උන්වහන්සේ කල්පනා කළ සේක.

මෙම භික්‍ෂුන්ට තවත් අතිරේක සිවුරක් වී නම් මඩ තැවරුණු සිවුර සෝදා ගැනීමට හැකි යැයි උන්වහන්සේට අවබෝධ විය. මේ නිසා මහණෙනි, වස් වැසි නිම කළ භික්‍ෂුන්ගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමියි” අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛු නං කඨිනං අත්ථරිතු” යනුවෙන් නියම කළ සේක. එතැන් පටන් වස් වැසීමෙන් පසු භික්‍ෂූන්ට කඨිනයක් පිළිගැනීමට නියම විය.

මෙහිදී කඨින වස්ත්‍රය ගෙන එම වස්ත්‍රය සම්බන්ධයෙන් විනයානුකූලව ඉටු කළ යුතු ක්‍රියාදාමය සම්පූර්ණ වන සේ සිවුර මසා පඬු පොවා කප් බිඳ තබා තමාගේ පැරණි සංඝට චීවරය පච්චුද්ධරණය කොට එම නව සිවුර අධිෂ්ඨාන කළ යුතුය. ඉන් පසු එම සිවුර තමා අතට ගෙන ‘ඉමිනා ‘උත්තර සංඝන කඨිනං අත්තරාමි” යනුවෙන් තුන්වරක් කියා පිරිමැදීමෙන් කඨිනාස්ථරණ විනය කර්මය කළ යුතු වේ. කඨිනය ඇතිරීම යනුවෙන් මෙය හැඳින්වේ.

‘අත්ථරණ’ නම් පාලි වචනයේ තේරුම ඇතිරිල්ලක් යමක එලීම දිග හැර දැමීම යන්නයි. කඨිනය සම්බන්ධ අත්ථරණ සබ්දය ඊට වඩා පුළුල් වූවකි.

පොහොය කිරීම සඳහා සීමාවක නියමිත භික්‍ෂු සංඝයා එකතුව විනය අනුව සම්බන්ධ කරගත් විට එය භික්‍ෂුන් වහන්සේගේ විනය කටයුතු සඳහා බලය පිහිටි සුදුසු ස්ථානයක් වේ. එහි බලය ජල පොළොව දක්වා විහිදේ යයි විස්තර වේ. කඨිනයක් ඇතිරීම යන්න ද එම විනයානුකූල සිවුරේ සියලු කටයුතු නිමවා විනයානුකූල බලය කිරීම වාත්‍යයකින් තහවුරු කිරීම පැතිරීම කඨිනය ඇතිරීම යන්නෙන් අදහස් කරන බව පෙනේ.

මෙලෙස ඇතිරූ කඨිනයේ බලය තමන් වස් විසූ එම වස්වසන අවස්ථාවේ ඉටාගත් විහාර සීමාව තුළ පමණක් පිහිටන්නකි. එබැවින් එම කඨින බලය බලපවත්නා තුරු එම ස්ථානයට ලැබෙන සියලු සිවුරු ආදී ප්‍රත්‍යයන් කඨින ඇතිරූ භික්‍ෂුවට ‘යොච නත්ථි විවරුප්පාද යන වරප්‍රසාද යටතේ හිමි වෙයි. මෙම වරප්‍රසාද පහක් වේ. මේ පිළිබඳව ඉහත පරිච්ඡේදයේදී විස්තර විය.

කඨින උත්සවයක් කිරීමෙන් පසු එම විහාර සීමාවේ පස් මසක් යන තුරු කඨින බලය බල පැවැත්වේ. ඒ අනුව මේ නියමිත විනයානුකූල බලය සිවුරු අවසන් පැතිරීම හෙවත් තහවුරු කිරීම ‘කඨිත්ථරණය’ යන්නෙන් අදහස් කළ බව පෙනේ.

යම් ලෙසකින් සංඝයා එකතුව ‘කඨිනුද්ධාර’ විනය කර්මය කළහොත් මෙම කඨින චීවරය ඇතිරීමෙන් විහාර සීමාව තුළ උසුලන ලද බලය ඉවත් වේ.

කඨින චීවරය භික්‍ෂුන් වහන්සේට වස් විසීමට ආරාධනා කළ පින්වතුන්ගෙන් කවර සැදැහැවතෙකුට වුවද පූජා කළ හැකිය. මෙලෙස කඨිනයක් ලබාගත හැක්කේ පෙරවස් වසා පවාරණය කළ භික්‍ෂුවට පමණි.

කඨින චීවරය සංඝයාට පිදූ විට සංඝයා විසින් සුදුසු භික්‍ෂුවකට එය පවරනු ලබයි.

මෙය වස් වසා අවසන් වූ පසු චීවර මාසයේදී එනම් වප් මාස අව පෑල විය පටන් ඉල්මස පුර පසළොස්වක දින දක්වා කාලය ඇතුළත පූජා කළ හැකිය.

මෙය පිදිය යුත්තේ භික්‍ෂුන් වස් විසූ විහාර භුමිය තුළදීය. ඇතැම් අවස්ථාවක නවගෘහ මන්දිරවල සැදැහැතියන් විසින් ඒ ඒ භික්‍ෂුන් වහන්සේ වස් වසනු ලැබේ. එවිට එම ස්ථානයේදී පිදිය යුතු වේ.

කඨිනය සඳහා සිවුර සකස් කර ගත යුත්තේ කෙසේ දැයි මහා වග්ග පාලියේ මෙසේ විස්තර වේ. ‘කථංච භික්ඛවේ අත්ථං හෝති කඨිනං” වශයෙන් වස්ත්‍ර වර්ග 17 ක් මේ සඳහා ගත හැකි බව විස්තර වේ.

  1. අලුත්තාන් වස්ත්‍රය (අහතෙන)
  2. අලුත් වස්ත්‍රයට සමාන රෙදිකඩක් (අහන කප්පේන)
  3. රෙදි කැබලිවලින් කළ සිවුර (පිලොනිකාය)
  4. පාංශුකූල වස්ත්‍රය (පාංශුකූලේන)
  5. වෙළෙඳසැල දොරටුවේ අතහැර තිබී අහුලාගත් වස්ත්‍රය (පාපණිකෙන)
  6. කලින් හැඟවීමක් නැතිව ලැබුණු වස්ත්‍රය (අනිමිත්තකේන)
  7. කලින් අන්සස් නොකිරීමෙන් ලද වස්ත්‍රය (අපරිකතා කථෙන)
  8. තාවකාලික නොවූ වස්ත්‍රය (අකුක්කුතෙන)
  9. කලින් තැන්පත් කොට නොතිබුණු වස්ත්‍රය (අසන්නිධිකෙන)
  10. නිසිඟි නොවූ වස්ත්‍රය (අනිස්සග්ගියෙන)
  1. කප් බින්දු තැබූ වස්ත්‍රය (කප්පකථෙන)
  2. තනිපට සිවුරෙන් (උත්තරා සංඝේන)
  3. දෙපට සිවුරෙන් (අන්තරාවාස කෙන)
  4. අඳනයෙන් (අන්තරවාසකේන)
  5. එදිනම කඩ කපන ලද අතු පහක් හෝ ඊට වැඩි ගණනක් යුත් සිවුරෙන් (පක්‍ඳචකෙනවා අතිරෙක පක්‍ඳචකෙන)
  6. පුද්ගලයකුට අයිතිවීම් වශයෙන් ඇතිරීමෙන් (පුග්ගලස්ස අත්ථාරා)
  7. මැනවින් අතුරන ලද එම සීමාවෙහි භික්‍ෂුන් විසින් අනුමෝදන් වන ලද කඨිනය මනාකොට අතුරන ලද කඨිනය වන්නේ යයි දක්වා තිබේ.

මේ අනුව ඉහත වස්ත්‍ර ආදියට අයත් වූ කිසියම් වස්ත්‍රයකින් මනා කොට අතුරන ලද කඨිනය මෙයින් අදහස් කෙරේ.

කඨින චීවරය වනාහි එදිනම කඩ කපා මසා පඬුපොවා එදිනම කටයුතු කළයුත්තක් වශයෙන් දැක්වේ.

වර්තමානයේ මෙයට මඳක් වෙනස් ව දුඹුරු පැහැයෙන් සකසන ලද රෙදි ගෙන මෙම කඨින ඇතිරීමේ කාර්යය කරනු ලබන බැවින් පඬු පෙවීමේ කාර්යය නොකෙර්. අනෙක් කටයුතු පෙර පරිදිම විධිමත්ව සිදුකෙරේ.

ශාස්ත්‍රපති එම්. ඒ. මනුරත්න

advertistmentadvertistment
advertistmentadvertistment