කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 50%කින් කපාහැරලා…
කඩදාසිවලට සීමාවුණු පනත්වලින් ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික ජන බලවේගයේ පක්ෂ මුලස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසුරිය මෙසේද කීවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිසර විශ්වවිද්‍යාලයක් ගැන කතා කළත්, මේ වන විට කවුරුත් පීඩාවට පත්වී සිටින්නේ ඔහු ප්රමුඛ පිරිස පරිසරය නොසලකා ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නිසයි. දේශපාලන බලය පාවිච්චි කරමින් ඔහුගේ ආණ්ඩුව සහ ආණ්ඩුව තුළ සිටින මැති ඇමතිවරුන් සිදුකරන පරිසර හානි වහාම නැවැත්විය යුතු බවත් අවධාරණය කරනවා.
අපි මූලිකව කරුණු දක්වන්නේ (04) ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන කාන්තාව සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙනුයි. කාන්තාවන් වෙනුවෙන් ස්වාධීන කොමිසමක් පත් කිරීමට ඒ පනත තුළින් යෝජනා කරනවා. මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් එහි සභාපති, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මන්ත්‍රීතුමිය පුද්ගලික මන්ත්‍රී පනත් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වැනි සංශෝධනය සහ පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන් සංශෝධන පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන සංශෝධන අප අතට පත්වුණේ තුන්වැනිදා. ආණ්ඩුවේ ඒ පනතින් යෝජනා කර තිබෙන කාන්තා කොමිසමට අමතරව වින්දිත කාන්තාවන් හට වඩාත් පිළිගත හැකි ආකාරයෙන් සමථ ක්‍රියාවලියක් ඉටුකිරීමට කාන්තා කටයුතු පිළිබඳව ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කරන්න යෝජනා කර තිබුණත් පනතේ ඒ සම්බන්ධ වගන්ති පැහැදිලි නැහැ. අදාළ ඔම්බුඩ්ස්මන් වගකියන්නේ කාහටද යන්න පැහැදිලි මදි. ඔහුගේ ස්වාධීනත්වය තහවුරු කිරීම පිළිබඳව පැහැදිලි මදි. ඊට අදාළ සංශෝධන අපි යෝජනා කර තිබුණත් අදාළ කරුණු සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදුකරන්න කාලය ප්‍රමාණවත් නැහැ.
මෙවැනි පනත් ප්‍රයෝජනවත් ආකාරයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න නම්, නිශ්චිත අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ආණ්ඩුව මෙවැනි පනත් ගෙන ඒමේ පසුබිම විහිළු සහගත තත්වයකුත් පවතිනවා. මෙවැනි පනත් කිහිපයක් ගෙනැවිත් තිබෙන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන 50%කින් කපා හැරි ආණ්ඩුවක්. අදාළ පනත් ක්‍රියාත්මක කිරීමට මානව සම්පත් සහ වෙනත් යටිතල පහසුකම් සපයා ගැනීමට ප්‍රතිපාදන සපයා ගන්නේ කොහොමද? කොමිසම ක්‍රියාත්මක කරන්න මුදල් සපයා ගන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ යටතේ පනත් කෙටුම්පත් ඔහේ ගෙනැවිත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් ප්‍රමාණවත් තරම් කාලයක් ලබාදෙන්නේ නැහැ. පනත් සහ කඩදාසිවලට සීමාවුණු ප්රතිපත්තිවලින් මේ රටේ ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ. මහපොළොවේ ක්‍රියාත්මක වෙන්න නම්, ආණ්ඩුව මීට වඩා යථාර්ථවාදීව ක්‍රියා කළ යුතු බව අවධාරණය කරනවා.