කඩවර දෙවි උපත

247

උඩරට කොහොඹා යක් ශාන්තිකර්යේ පුදපෙත් ලබන කඩවර දෙවියන් කඩවර යක්‍ෂ නාමයෙන්ද හඳුන්වනු ලබයි. කොහොඹා යක්කමේ පුදපෙත් ලබන දෙවිවරු අතර අනුපිළිවෙළින් පුදපෙත් ලබන නවවැන්නා කඩවර දෙවියන් වේ. කොහොඹා රජ තුන්කට්ටුව මෙලකට පැමිණෙද්දී කඩවර ඒ සමග පැමිණි අත වැසියන් ලෙසද සැලකේ. කඩවර දෙවි දේවාංග රජුට දාව බහුපති දේවියගේ කුස උපන් බව කඩවර කීමෙහි මෙසේ දැක්වේ.

ආඩි වඩක්කර රටේ උපන් නේ
බහුපති දේවිගෙ ගැබේ උපන් නේ
දේව අංග රජුහට දාවෙන් නේ
මෙවැනි ලකුණු කඩඩර දෙවියන් නේ (සි.දෙ.පු)

කොහොඹා යක්කමේ කඩවර යාදින්නේ ගිනි කඩවර, මල්කඩවර, දළ කඩවර, අළුයම් කඩවර, පෙරයම කඩවර, වශයෙන් කඩවරයෝ පස්දෙනෙකි. මලරජුගෙන් වරම් ලබාගෙන මෙරටට පැමිණි කඩවරයන් මෙලක පදිංචි වූ බව පැවසේ. මලයාලම් දේශය ජන්මභූමිය කරගත් කඩවරයන් දහස් ගණනක් බව දේව පුරාණයේ සඳහන් වෙයි. මෙම කඩවරයන්ගේන් සමහරෙක් දේව විලාශයෙන්ද සමහරක් යක්‍ෂ විලාශයෙන්ද සිටී. ඔවුන් අතරින් මෙලකට පැමිණි කඩවරයෝ පිරිසක්ද වෙති. ලේ කඩවර’ මල් කඩවර, සමයන් කඩවර, කුමාර කඩවර, ගොළු කඩවර, තොට කඩවර, දළකඩවර, රති කඩවර, ගිනි කඩවර, සපුමල් කඩවර, ආඩි කඩවර, බිහිරි කඩවර, දෙවොල් කඩවර, භූත කඩවර, අභූත කඩවර, මුල් කඩවර, සෙල්ලම් කඩවර, යනුවෙනි. කඩවරයන් අතර බලවතා දළ කඩවර වේ. (සි.දේ.පු 163 පිටුව)

ශ්‍රීලාංකීය ප්‍රබලදේවාත්මයක් හැටියට ජන විශ්වාසයේ පවතින කඩවර දෙවියන් රජරට වැව්ගම් පත්තුවේ වාරිකර්මාන්තයටත් කෘෂිකර්මාන්තයටත් අධිපතිව පුදපෙත් ලබයි. වැව්ගම් පත්තුවේ ජනතාව කඩවර දෙවියන් තමන්ගේ ආරක්‍ෂක දෙවියන් ලෙසද සලකණු ලබයි.

පම්මුල්ලා රතු තොප්පිය සිරස දරාලා ඔපකොට
රැලි අල්ලා පේස රත්න නීලවර්ණ සළුව ඉණට
රත්නිල්ලා බීතරාම සැට්ටේ පෙරවා දෙවුරට
බිසි බිල්ලා වැඳපල්ලා සෙනෙවිරත්න කඩවරයට

කඩවරයෝ පන්තිස් කට්ටුවක් වෙති. ඒ බව සෙනෙවිරත්න බණ්ඩාර, අඳුන්කඩවර, මජ්ජිම කඩවර, මල් කඩවර, කුමාර කඩවර, දළකඩවර, සපුමල් කඩවර, දෙවොල් කඩවර, සෙල්ලම් කඩවර, සොහොන් කඩවර, හදුන් කඩවර, කම්බිලි කඩවර, තනි කඩවර, අලුයම් කඩවර, පිල්ලි කඩවර, මුල් කඩවර, ගොපළු කඩවර, රතිකඩවර, ආඩි කඩවර, භූත කඩවර, සත් කඩවර, කළුගල් කඩවර, ඉනා කඩවර, කොහොඹා කඩවර, පුළුටු කඩවර, පෙරයම් කඩවර, ලේ රීරි කඩවර, සමයන් කඩවර තොට කඩවර, ගිනි කඩවර, අභූත කඩවර, බිහිරි කඩවර, වැදියක් කඩවර, තෙල් කඩවර, අභිමාන කඩවර, රත්න කඩවර යනුවෙන් මහා යාතිකාවේ කියවේ.

වැව්ගම් පත්තුවේ පුදපෙත් ලබන කඩවර දෙවියන් සෙනෙවිරත්න බණ්ඩාර පදවිය ලැබූ වාපී කර්මාන්තයේ අති දක්‍ෂයෙකි. වාපී කර්මාන්තයට සිය ජීවිතය කැප කරන සෙනෙවිරත්න බණ්ඩාරට සිය බිරිඳගෙන් නිතර හිමිවූයේ ඇනුම් බැනුම් අපවාදය. එක්තරා දිනක සිය බිරිඳගේ කෝපය උත්සන්නව මැටි වළඳකින් පහර කෑ සෙනෙවිරත්න බණ්ඩාර සිය පවුල් ජීවිතය හැරදමා වනගත වෙයි.

කාලයක් තිස්සේ මිනිස් වාසයෙන් ඈත්ව ගස්වල ගෙඩි කොළ පොතු ආදිය අහර පිණිස ගනිමින් වන සතුන් සමග ජීවත්වන සෙනෙවිරත්න වන සතුන් ඇසුරුකරයි. වනයේ සතුන් දඩයමට එන දඩයක්කරුවන් ගැන ඉව වැටුන වහාම සෙනෙවිරත්න කළේ වනසතුන් දඩයක්කරුවන්ට මුණ නොගැසෙන පරිදි වෙනත් පෙදෙසකට පලවා හැර ඔවුන්ගේ දිවි ගැලවීමය. ඔහුගේ මෙම ක්‍රියාව නිසා දඩයක්කරුවන්ට දඩයම් නැතිවිය. වන සතුන් පලවා හරින මෙම අද්භූත පුද්ගලයා ගැන දඩයක්කරුවෝ ධාතුසේන රජතුමාට සැලකර සිටියහ. රජතුමා මෙම අද්භූත පුද්ගලයා දැකගනු ආශාවෙන් ඔහුව අල්ලා රජ වාසලට රැගෙන එන ලෙසට රාජපුරුෂයන්ට අණකෙළේය. මොහු සොයා වනය පීරන රාජපුරුෂයන්ට දැළි රැවුල් කොන්ඩය වැවුනු කොළ අතු පැළඳි මෙම මෙම අද්භූත පුද්ගලයා සුවිසල් කළවැලක් අසල සිටිනු දැක ඔහු අල්ලා රජ වාසලට ගෙනඑනු ලබයි. මෙහිදී රජතුමා තමා කවුරුන්දැයි විමසුවත් වනචාරීව සිටි ඔහුට කතාකළ නොහැකි වෙයි. රජතුමා ඔහුට කතා කරවීමට හැකි අයෙක් වෙතොත් රජවාසලට කැඳවන ලෙසට අණබෙර ලවයි.

අණබෙර කරුගේ රාජ නියෝගයට කන්දෙන සෙනෙවිරත්නගේ බිරිඳ මේ නම් තම ස්වාමියා වියහැකි යැයි සිතා වහා රජවාසල කරා යයි. රජවාසලට යන ඇය ඔහු තම ස්වාමියා බව දැන ඔහුට කතාකරවීමට තමාට හැකි බව රජතුමාට දන්වා සිටී. මෙහිදී ඇය ඔහු කෝප ගන්වන අපේක්‍ෂාවෙන් ඔහුට දර්ශනය වන පරිදි රජතුමා ඉදිරියේ බතක් පිසීම පිණිස අවශ්‍ය දෑගෙන්වා ගෙන ලිග්ගල් දෙකක් පමණක් යොදා බත් හැළිය පෙරළී යන පරිදි ගිනි මොළවා බත පිසීමට සූදානම් වූවාය. මෙසේ කීපවරක් කරද්දි කෝවිෂ්ඨවූ වූ සැමියා “ඕකට තවත් ගලක් තියපන් යෝදියේ යැයි” මොරගා කියයි. ඇයගේ මෙම ක්‍රියාවෙන් සෙනෙවිරත්නට කතාකිරීමට හැකිවීම පිළිබඳව රජතුමා බෙහෙවින් සතුටට පත්වෙයි.

වැව් කර්මාන්තය පිළිබඳ අතිදක්‍ෂ වූ සෙනෙවිරත්න පිළිබද සියලු තොරතුරු දැනගත් රජතුමා ඔහුට පිරිවර තාන්න මාන්න දී ඔහු වනචාරීව සිටි රමණීය වූ කලවැල පිහිටි ස්ථානයේ වැවක් තැනීමට බාර කෙළේය. සෙනෙවිරත්නට ටික දිනකින් වැව තනා නිමකිරීමට හැකිවිය. ඔහු වැව තනා නිමවා වැවට ජලය පිරෙද්දී සිය නිවසේ මහා සංඝරත්නය කැඳවා පිරිත් දේශනයක් පැවැත්වීමට සංවිධානය කෙළේය. පිරිත පවතිද්දී මහ වැසි වසින්නට වූයෙන් සෙනෙවිරත්න වැවේ ජල මට්ටම බලාගැනීමට මැටි මුට්ටියක ජලමාපයක් සකස්කර සිය නිවසේ මිදුල මැද තැබුවේය. වරින්වර මිදුලට ගොස් ජලය පිරෙන මැටි මුට්ටිය දෙස බලන සෙනෙවිරත්නගේ එම ක්‍රියාව දෙස බලා සිටි එක්තරා වයෝවෘද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් එහි ගොස් කුඩ මිටෙන් ඇණ මුට්ටිය බිඳ දැමුවේය. පසුව එහි ගිය සෙනෙවිරත්නට දැකගත හැකි වූයේ බිඳී ගිය මුට්ටියයි. ඔහු පිරිත පවතිද්දීම වැව තිබෙන දිසාවට දිව ගියේය. ඒවන විටත් ජල සොරොව්ව කැඩී ජලකඳ ගලායනු දුටු සෙනෙවිරත්න මහත් කම්පාවට පත්ව රජතුමාට මුහුණදිය නොහැකිව එම කඩවලට පැන දිවිනසා ගත්තේය. මෙසේ කඩවලට පැන දිවිනසා ගත් හෙයින් කඩවර නමින් ප්‍රසිද්ධියට පත්විය. සෙනෙවිරත්න දිවිනසාගත් කඩවර අසල දින දින ඇත්වන්නා වූ හාස්කම් දැක එම ස්ථානයේ දෙවොලක් ඉදිකර පුදපූජා පවත්වන්නට විය. මෙසේ ඉදිවුන කලාවැව් කණ්ඩියේ ඉදිකර ඇති කඩවර දේවාලය වර්තමානයේද බැතිමතුන්ගේ පුදපූජාවන්ට පාත්‍රව පවතී.

“අයියෝ මගෙ වැව බිඳුනට දෙවියෝවත් නැද්ද මෙරට
හයියෙන් හඬ තලා එවිට පැන නැසුනයි එකඩ වලට
කඩවල පැනලා නැසුනම කඩවර නම යෙදුනි ඔබට
තෙද ඇති දෙවියෙක් මෙලොවට ඇත්තේ දැන් මුළුදෙරණට ”

(සි.දේ.පු. 167 පිටුව) නඩු හබ වලින් දිනීමට ලෙඩ රෝග සුවපත් කර ගැනීමට වැව්ගම් වාසීන් සෙනෙවිරත්න මුල් කඩවර දෙවියන්ට පුදපූජා පවත්වනු ලබති.

කොහාඹායක්කමේ පුදපෙත් ලබන කඩවර දෙවියන් ලෙස මහනුවර වැලිහෙල කනදේදී යක්කරගත් අලුත් කෙහොඹා දෙවි ප්‍රමුඛ පරණ කොහොඹා මහ කොහොඹා වලියක් දෙවි තුන්කට්ටුව’ ඉරුගල් බණ්ඩාර, කනදේබණ්ඩාර, වීරමුණ්ඩ තුන් කට්ටුව, කළුබණ්ඩාර, වැදියක් කඩවර, මෙලෙයි යකුන් සත්දෙන, මහාගුරු, කුඩාගුරු ආදී වශයෙන් කඩවරයෝ දෙතිස හඳුන්වති. කඩවර දෙවියන්ට දොළ පුදදෙන අයුරු කඩවර යාදින්නේ මෙසේ දැක්වේ.

“කිරි ඇති රුක බලමින්නේ තනා මඩුවක් නොලසා ගොම පිරිබඩ ගා සකසා රුසිරැති මෙහෙකරුවෙක් ගෙන දතමැද ඉස් සෝදාගෙන නොඉඳුල් පිරුවට අදිමින ඇල්වී ලාසක් ගෙන කොටා සහල් සතක් රැගෙන මිහිරි පැනින් බත් පිසගෙන අලපස් වගයක් සමගින ආදී වශයෙනි. (දේව පුරාණය බලන්න. පිටුව 164)

පව්චපාට වස්ත්‍රයෙන් සැරසී සුදු මොනරෙකු පිට සැරිසරන කඩවර දෙවියන් මැණික් ගගින් ස්නානය කර කරදිය වළල්ලේ සංචාරය කරන බවද කතරගම දෙවියන්ගේ අණ ක්‍රියාකරන්නෙකු බවද කියවේ.

කඩවර දෙවි උපත

කලාභූෂණ ‘විශ්වාභිනන්දන’
සියැනෑගෞරව කීර්ති, සාමවිනිසුරු
සරණපාල නුවරපක්‍ෂ.
077 9139904

advertistmentadvertistment
advertistmentadvertistment