කඩවුණු පොරොන්දුව හැදීමට ගිය ගමන ඇමෙරිකාව සෙවීමට කොළොම්බස් ගිය ගමන වගේ

471

රුක්මණි දේවිය ලියූ ‘මගේ විත්ති’ ජීවිත කතාවෙන් එදා කළ සඳහනක්….

කඩවුණු පොරොන්දුවෙන් ඇරැඹී සිංහල සිනමාවට වසර 75 යි

ගායිකාවක් වීමට කුඩා දවස සිටම මා තුළ ආශාවක් පැවැති බව මුලින්ම කිව යුතුය. එහෙත් නිළියක් වීමේ ආශාව මා තුළ ඒ කාලයේ සිහිනෙන්වත් තිබුණේ නැත. මා වේදිකාවට බැස්සේ කලින් සකස් කරගත් ජීවිත පිළිවෙළක් හෝ තීරණයක් හෝ ඇතිව නොවේ. මා සිතන හැටියට මට පමණක් නොව යම් යම් වෘත්තීන්ට බසින අන් බොහා් දෙනෙකුත් ඒ වෘත්තීන්ට වැටෙන්නේ අහම්බෙනි.

වේදිකා නිළියක වශයෙන් සාර්ථක ලෙස කටයුතු කරන අතරම වුවත් සිනමාවට බැසීමේ බලාපොරොත්තුවක් මා තුළ තිබුණේ නැත. එදා සිනමා තාරකාවක් වීමට බලාපොරොත්තු ඇති කර ගැනීමේ අයිතියක් ලංකාවේ කෙනෙකුට තිබුණේ ද නැත. මන්ද සිංහල චිත‍්‍රපටිය කීපදෙනෙකුගේ ඔලූවලට වැටී තිබුණු සිහිනයක් හෝ අදහස් මාත‍්‍රයක් හෝ විනා සැබෑ දෙයක් ව නොතිබුණු බැවිනි.

කෙසේ වුවද පෙරළෙන සුළු ලෝකයේ අප බලාපොරොත්තු වූවාට කලින් අප වරක් සිහින මෙන් සිතූ බොහෝ දේවල් සැබෑවට පත් වේ. ඒ අනුව සිංහල චිත‍්‍රපටිය ද සිහිනයක් නොව සැබෑවක් බවට පත් වී ප‍්‍රථම සිංහල චිත‍්‍රපටියේ රඟපෑමේ ඓතිහාසික අවස්ථාව අපට ලැබුණේය. මේ ගැන නිෂ්පාදක වූ ඇස්. ඇම්. නායගම් මහතාට අපගේ හෘදයාංගම කෘතඥතාවය පිරිනැමිය යුතුය.

කඩවුණු පොරොන්දුව හැදීමට ගිය ගමන ඇමෙරිකාව සෙවීමට කොළොම්බස් ගිය ගමන වගේ

1946 මැද භාගයේ අපි කඩවුණුපොරොන්දුව’ සඳහා ඉන්දියාවට ගියෙමු. එය මුල පටන් අග දක්වාම අරුම පුදුම ඓතිහාසික ගමනකි. ඊට පසුව මේ රටින් නළු නිළි පිරිස් නොයෙක්වර ඉන්දියාවට ගියහ. එහෙත් ඒ අප ගිය ගමන ඉන් පෙර හෝ ඉන් පසු කිසිවකු නොගිය ගමනකි. ඒ ප‍්‍රථම සිංහල චිත‍්‍රපටයට ගිය ගමනයි.

ඒ ගමන ඇමෙරිකාව සෙවීමට කොලම්බස් ගිය ගමන වැනි ඓතිහාසික ගමනකි. කිසිවකු ඉන් පෙර දැක නොතිබුණු, එතෙක් සිහිනයක්ව පැවති, සිංහල චිත‍්‍රපටිය නොමැති ආශ්චර්යමත් අලූත් දෙය නිපදවීමට ගිය ඓතිහාසික ගමනකි. පෝක් සමුද්‍ර සන්ධිය පසුකර මේ කුඩා දිවයිනේ සිට ඉන්දියානු අර්ධ මහා ද්වීපය කරා නොයෙකුත් අන්දමේ ඓතිහාසික දූත ගමන් යන්නට ඇත. ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය සඳහා චිත‍්‍ර කලා නිෂ්පාදකයන්ගේ මෙහෙයවීමෙන් මීගමු මිනර්වා නාට්‍ය කණ්ඩායම ද මදුරට ගිය ගමන ඒ ඓතිහාසික දූත ගමන් අතරට වැටෙනු නොඅනුමානය.

‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටයට යන බව දැන ගත් දා ඇති වූයේ අරුම පුදුම හැඟීම්ය. සිනමා ලෝකය ගැන එදා ඇති වූයේ නොදන්නා දුරු රටකට යන දරුවකු තුළ ඇතිවන හැඟීමට සමාන ඒවාය.

හැම දෙයක්ම අලූත්ය. හැඩ වැඩ දැමීම, හිස සැරසීම, කැමරාවට මුහුණදීම ආදී හැම එකක්ම ඊට පෙර අප කර තිබුණු දේවල් නොවේ. ඒ හැම වැඩක්ම කළේ මහත් ආශාවෙනි. විනෝදයෙනි.

චිත‍්‍රපටවල රඟපාන විට අලූයම හතරට අවදි වී පැය කීපයක් තිස්සේ හැඩ වැඩ වී, 7 ට චිත‍්‍රාගාරයට ගොස් දැඩි රශ්මිය යට දවස පුරා කැමරාවට මුහුණ දීම දැන් නම් ඇතැම් විට මහ වධයක් ලෙස පෙනේ. එහෙත් එදා ‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටයට රඟපාන අවස්ථාවේ මේ කිසිවක් අමාරු නොවීය. ඒ හැම කරදරයක්ම වින්දේ සිය කැමැත්තෙනි.

කඩවුණු පොරොන්දුව හැදීමට ගිය ගමන ඇමෙරිකාව සෙවීමට කොළොම්බස් ගිය ගමන වගේ

සුබ මොහොතින් චිත‍්‍රපටියේ වැඩ පටන් ගැනීම, ප‍්‍රථම වරට කැමරාවට මුහුණ දීම ආදී හැම දෙයක්ම අලූත් ජීවිතයක අමුතු ලෝකයක කරන දේවල් මෙන් හැඟී ගියේය.

‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටිය සඳහා වේදිකා නාට්‍යය සැලකිය යුතු වෙනසක් නොකරම ඉදිරිපත් කරන ලදි. මෙහි ලංකාවේ පසුබිම් දර්ශන ඇතුළත් නොවීය. එදා අවශ්‍ය වූයේ ලංකාව පසුබිම් කොට ගත් චිත‍්‍රපටියක් නිපදවීම නොව සිංහල නළු නිළියන් රඟපාන සිංහල දෙබස් කතා කරන චිත‍්‍රපටියක් නිපදවීමය. මෙහි රංජිනීගේ කොටස මම ර`ගපෑවෙමි. රංජනීගේ පෙම්වතා වූ සැම්සන් ලෙස ඇලෝ අයියා හා ඇය මුළා කළ තැනැත්තා ලෙස පීටර් පීරිස් රඟ පෑවේය.

එව්ලින් බාලසූරිය, ඇසිලින් බාලසූරිය, ස්ටැන්ලි මල්ලවආරච්චි, ඞී. එලිසබෙත්, හියුගෝ ප‍්‍රනාන්දු, ජේ. බී. පෙරේරා, ජෝශප් පෙරේරා හා තිමෝතියස් පෙරේරා ආදීහු මේ ඓතිහාසික චිත‍්‍රපටියේ රඟපෑමේ අවස්ථාව ලැබුවෝය.

මේ චිත‍්‍රපටිය ගැන කතාකරන විට ඉතාම සංවේගජනක සිද්ධියක් ගැන ද නිතැතින්ම මතක් වේ. එනම් අපේ ඥාති දියණියක් වන අයිරාංගනී ජයමාන්නගේ කනගාටුදායක අකල් මරණයයි. එඩිගේ වැඩිමහලූ සහෝදයා වූ ඔස්ටින් අයියාගේ දුව වන අයිරාංගනී ‘කඩවුණු පොරොන්දුව’ චිත‍්‍රපටියේ ළදරු හිල්ඩා මෙන් රඟපෑවාය. පසු කාලයක ඈ මහවැලි ගෙඟ් නාමින් සිටි අතර එහිම නාමින් සිට විපතට පත් වන්නට ගිය සොහොයුරා බේරා ගැනීමට ගොස් මිය ගියාය. මා ගංගා ජලාශයේ ගිළිලා නැසීලා ඇයි ගියේ?’ යන ගීය ගයන්නේ ඇය වෙනුවෙනි.

1947 ජනවාරි මස 20 වැනිදා ප‍්‍රථම සිංහල චිත‍්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ කිංස්ලි සිනමා ශාලාවේදී ප‍්‍රථම වරට පෙන්වන ලදි.

විවාහය හැරුණු විට මගේ ජීවිතයේ ඉතාම ප‍්‍රීතිමත් වූත්, වැදගත් වූත් දිනය මෙයයි. අනිත් අතට හැම තරුණියක් ම විවාහ වන්නීය. ඒ ප‍්‍රීතිමත් දිනය හැම ගැහැනියකටම උරුමය. ඉරණම හෝ දුෂ්ට සමාජය හෝ උදුරා නොගතහොත් ඒ ප‍්‍රීතිය කාටත් උරුමය. එහෙත් එදා අප පෙනී සිටි ප‍්‍රථම චිත‍්‍රපටය පෙන්වූ දා අප භුක්ති වින්දේ එසේ මෙසේ ප‍්‍රීතියක් නොවේ. ප‍්‍රථම සිංහල චිත‍්‍රපටියේ කතා නායිකාව වශයෙන් රිදී තිරයේ ප‍්‍රථම වරට දර්ශනය වීමේ ඒ මහා භාග්‍යය ලද ප‍්‍රථම කාන්තාවත් එකම කාන්තාවත් වූ විට කෙනෙකුට ප‍්‍රීති නොවී සිටිය හැකිද? ලංකාවේ කිසිම කාන්තාවකට ඊට පෙරවත්, ඊට පසුවත් නොලැබෙන වරප‍්‍රසාදයක් ලැබුණු විට ප‍්‍රීති නොවී සිටිය හැකිද? මට පමණක් නොව එදා මුළු මීගමු මිනර්වා කණ්ඩායමට ඉතාම ප‍්‍රීතිමත් දිනයක් විය. එසේම මුළු රටටම සිනමා ලෝලි සමස්ත ජනතාවටම එදා ඉතාම වැදගත් දිනයකි.

පෙම්වතා එනතුරු ජනේලය වෙත ගොස් මඟ බලා සිටින තරුණියට ගත වන හැම මොහොතක්ම කල්පයකි. පිටරට ගිය සැමියා එන දිනය දැනගත් විට ඔහු දකින තෙක් නොඉවසිල්ලෙන් සිටින බිරියට හැම මොහොතක් ම දැනෙන්නේ කල්පයක් මෙනි. වැදගත් දෙයක් එනතුරු බලා සිටින විට කාටත්් කොතැනක කාලය ගෙවන්නේ ඉතා හෙමිනි. එහෙත් එදා 1947 ජනවාරි 21 වැනිදා කිංස්ලි නෘත්‍ය ශාලාවේ වාඩි වී ශාලාව අඳුරු වී චිත‍්‍රපටිය පටන් ගන්නා තුරු අප ගත කළ අවස්ථාවේ තරම් හෙමින් ඔරලෝසුව වැඩ කළ දවසක් ඊට පෙර හෝ පසුව මම නොදුටුවෙමි.

කෙසේ හෝ චිත‍්‍රපටිය පටන් ගත්තේය. ඇතිවුණු ප‍්‍රීතිය කීමට බැරිය. එවැනි ප‍්‍රීතියක් විස්තර කිරීම අමාරුය. විස්තර කළ නොහැකිය. චිත‍්‍රපටිය අවසාන විය. මාස හයක් පමණක් ගත කර නිපද වූ චිත‍්‍රපටිය පැය තුනකදී අවසාන විය. චිත‍්‍රපටයක් පෙන්වන වේලාව පැය තුනකට සීමා කළේ ඇයි? රැුයක් එළිවන තුරු පෙන්වීමට චිත‍්‍රපටි නොපදවන්නේ ඇයි? ලෝකයේ අනිත් චිත‍්‍රපටි පැය 2 1/2 ට සීමා කළත්, අඩු වශයෙන් ‘කඩවුණු පොරොන්දුව’ වත් පැය 7 ක් 8 ක් දිගට පෙන්වීම සඳහා නිපදවන්නට බැරි වුණේ ඇයි. මේ මට සිතුණු දේවල් ය.

වාඩි වූ පුටුවෙන් නැගිට්ටා මිස අපට සෙලවෙන්නටවත් ඉඩක් නොවීය. නෑදෑයෝ, හිතවත්තු, මිත‍්‍රයෝ මෙන්ම කවුරුත් අප වටකරගෙන ස්තුති කරන්නටත් සතුට ප‍්‍රකාශ කරන්නටත් වන්හ. එතරම් ස්තුතියක් එතරම් ප‍්‍රශංසාවක්, එතරම් සන්තෝෂයක්.

මහත් අමාරුවෙන් අපි ශාලාවෙන් පිටතට පැමිණියෙමු. මුළු පෙදෙසම එකම හිස් ගොඩක් විය. ප‍්‍රීතිඝෝෂා අතුරින් ‘‘අන්න අන්න අන්න රුක්මණී’’ යි නොයෙක් දෙසින් කියනු සිහිනයකින් මෙන් මට ඇසුණේය.

විය යුතුවාක් මෙන් ම ‘කඩවුණු පොරොන්දුව’ මුළු රටේම ආන්දෝලනයක් ඇති කළේය. ‘ජොසී – මනප්පු’ ජෝඩුව ලංකාව පුරා ජනපි‍්‍රය වූහ. මේ නම් මීට පළමු වේදිකාවේදීත් තිබුණ නමුත් චිත‍්‍රපටියෙන් කෙතරම් ප‍්‍රසිද්ධ වුණා ද කියතොත් තවමත් ආයා – අප්පු වෙනුවට භාවිත වන්නේ ජොසී මනප්පු කියාය.

‘‘චිකේයි බං මෙහෙම මහත්වරු. මාළු කෑලි හතම කාල, ජොසී පාර මැද්දට වෙලා පරිස්සමින් යන්න ඕනෑ. මෙයා නං මේ ලෝකේ කෙනෙක් නෙවී මගෙ අම්මා’’ ආදී වශයෙන් චිත‍්‍රපටියේ විකට දෙබස් කෙතරම් මහජනයා අතර පැතිර ගියේ ද කියතොත් ඊට අවුරුදු 8 කට පසුව අදත් ඒ වචන අපට නොයෙක් විට ඇසේ.

එදා පටන් අප ගිය ගිය තැන මිනිස්සු පොරකන්නට පටන් ගත්හ. මහජනයා තුළ අප දැක ගැනීමේ ඒ ආශාව ක‍්‍රමයෙන් වැඩි වී අද වනතුරු පවතී.

මගේ ජීවිතයේ තව කිව යුතු දේ බොහෝය. මගේ සැමියා දෙමාපියන් හා පවුල ගැන මා තුළ ඇති හැඟීම් සිනමා නිළියක් වශයෙන් මා ලද අත්දැකීම් හා මුහුණ පෑ ත‍්‍රාසජනක සිද්ධීන් මට එන ලියුම්, රඟපෑම් ගැන මා අදහස් කරන දේ. මගේ විවේක කාලය ගත කරන සැටි, මා බලාපොරොත්තු වන දේවල් සහ අනාගතය මට පෙනෙන සැටි ආදී වශයෙන් කිව යුතු දේවල් බොහෝ ඇත. ඒ සියල්ලක්ම සවිස්තරව කීමට පළමුව 1947 සිට අද වන තුරු මා පෙනී සිටි චිත‍්‍රපටි ගැන සාමාන්‍ය විස්තරයක් කිරීමට මම අදහස් කරමි.

‘කඩවුණු පොරොන්දුව’ නිපදවීමෙන් පසුව අපි චිත‍්‍ර කලා සමාගමෙන් අස් වී සිලෝන් තියටර්ස් සමාගමට බැඳුනෙමු. එම සමාගමත් සමඟ ඇතිකර ගත් ගිවිසුම අනුව චිත‍්‍රපටි තුනක් නිපදවා දීමට මිනර්වා සමාගම පොරොන්දු විය.

මෙසේ 1948 මාර්තු මාසයේදී අපේ දෙවැනි චිත‍්‍රපටිය වූ ‘කපටි ආරක්‍ෂකයා’ නිපදවා නිම කරන ලදි. ලංකාවේ පසුබිම් දර්ශන යන්තම්වත් ඇතුළත් වූ ප‍්‍රථම සිංහල චිත‍්‍රපටිය ‘කපටි ආරක්‍ෂකයා’ ය. මෙහි මම මල්ලිකා වශයෙන් පෙනී සිටියෙමි. ඇලෝ අයියා මගේ පියා ලෙසත්, ක‍්‍රිස්ටි මැල් හා හර්බට් සෙනෙවිරත්න ඥාති සහෝදරයන් ලෙසත් රඟපෑහ. මේ චිත‍්‍රපටියේ එක් තැනක මගේ බාලම නැඟනිය වූ සරෝජනිය ද පෙනී සිටී. පාසල් ගීත ගයමින් මා කරඋඩ තබා ගෙන යන්නේ ඇයයි. අපේ තුන්වැනි චිත‍්‍රපටිය වූ ‘වැරදුන කුරුමානම’ 1948 දෙසැම්බර් මාසයේ පෙන්වන ලදි. මෙය නාට්‍යයට වඩා බොහෝ සෙයින් වෙනස් විය.

නාට්‍යයේ මා රඟපෑවේ චිත‍්‍රපටියේ ලලිතා කුමාරි රඟපෑ පේ‍්‍රමාගේ කොටසය. නාට්‍යයේ මගේ නම ස්ටෙලා විය. මා චිත‍්‍රපටියේ රඟපෑ කොටස නාට්‍යයේ රඟපෑවේ එව්ලින් බාලසූරිය හෙවත් ‘සූරිය කුමාරි’ ය. වේදිකාවේදී ස්ටැන්ලි මල්ලවආරච්චි ‘සිරිල්’ නමින් පෙම්වතා ලෙස රඟපෑ අතර, චිත‍්‍රපටයේ ‘චන්‍ද්‍රපාල’ යයි නම් වෙනස් කරන ලදි. ඒ කොටස භාර වූයේ හර්බට් සෙනෙවිරත්නටය.

අපේ හතරවැනි චිත‍්‍රපටිය ‘පෙරළෙන ඉරණම’ යි. ඇලෝ අයියා මේ චිත‍්‍රපටයේ රඟපෑවේ නැත. මම මෙහි සුවිනීතා නමින් චරිත නිරූපණය කළෙමි. මාක් සමරනායක සුවිනීතාගේ සැමියා හා අරුණ ශාන්ති ඇයට මුලින් පෙම් බැඳි තරුණයා ලෙස රඟපෑවෝය.

‘පෙරළෙන ඉරණම’ ට පසුව 1949 දී බී. ඒ. ඩබ්ලිව්. නිෂ්පාදකයෝ නමින් අපේ සමාගම ආරම්භ කරන ලදී. ඇලෝ අයියාත්, එඞී හා මමත් එහි කොටස්කරුවෝ වූයෙමු.

සකස් කළේ කල්‍යාණි පී. නිශ්ශංක

කඩවුණු පොරොන්දුව හැදීමට ගිය ගමන ඇමෙරිකාව සෙවීමට කොළොම්බස් ගිය ගමන වගේ
advertistmentadvertistment
advertistmentadvertistment