කඩා වැටුණු රටක්! ගොඩගන්නට මෙහෙයුමක්…

316

පුළුල් දේශපාලන සම්මුතියක අභියෝගය

‘ගෝඨා ගෝ හෝම්’

මේ දිනවල ගෝල්ෆේස් එකට අමතරව රටේ තවත් ස්ථාන රැසක රජයට එරෙහි විරෝධතා සිදුවෙමින් තිබේ. පාර්ලිමේන්තු වටරවුම අසල ද එම විරෝධතාවක් ආරම්භ කර ඇත. ඒ අරගලකරුවන්ගේ සටන් පාඨ අතුරින් වැඩියෙන්ම අපට ඇහෙන්නේ ‘ගෝඨා ගෝ හෝම්’ යන්නයි. ඒ කියන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර ගිය පමණින් හෝ නොයෙක් දෙනා මහ පාරේ අරගල කළ පමණින් රට මුහුණ දී සිටින විනිමය සහ ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැත. එහෙත් මේ දක්වා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය අසාර්ථක වී මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් බොහෝ වැරදි තීන්දු තීරණ පසුගිය කාලයේ ගෙන ඇති බවත් පිළිගත යුතු කරුණකි. මේ නිසාම රටේ විනිමය අර්බුදය උග්‍ර වී අද පවතින බලවත් පීඩාකාරී වාතාවරණයට මහජනයාට මුහුණ දීමට සිදුව ඇති බව ද පැහැදිලිය. මේ නිසා 69 ලක්ෂයක් ඡන්දය දී ඉමහත් විශ්වාසය තබා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ මේ රජය බලයට පත් කළත් ඒ ජනතා අපේක්ෂා ඉටු කිරීමට රජය අසමත් වී ඇත. බැඳුම්කර හොරුන්ට දඬුවම් දීමට පැමිණි මේ රජය ඒ පොරොන්දු හෝ ජනතා අපේක්ෂා කිසිවක් ඉටු නොකර අන්තිමේ අදූරදර්ශී ලෙස රට පාලනය කර ඉතිහාසයේ ප්‍රථම වතාවට රට බංකොලොත්භාවයට ද පත් කරනු ලැබ ඇත. මේ නිසා වත්මන් රජය කෙරෙහි බරපතළ ලෙස විශ්වාසය පළුදු වීමක් සිදුව තිබේ. මෙය අපට මේ අමාරු අවස්ථාවේ රටට ජාත්‍යන්තර සහාය හා ආධාර ලබා ගැනීමට අහිතකර තත්ත්වයකි. එසේම රටේ සමාජ අස්ථාවරත්වය සමනය කර ගැනීමට ද රජයේ ඉදිරි වැඩපිළිවෙළ හා සැලසුම් ගැන මහජනයාට විශ්වාසයක් ඇති විය යුතු වේ. මෙවැනි විශ්වාසයක් ජනිත කර ගැනීම සඳහා මේ මොහොතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එකතු වී පුළුල් දේශපාලන සම්මුතියක් ඇතිකරගෙන යම් කාලයක් සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ නම් මේ මොහොතේ අප මුහුණදී සිටින ඉතිහාසයේ බලවත්ම ආර්ථික අර්බුදයෙන් මිදීමට ද එය හේතු වනු ඇත.

● පෝලිම් සහ විදුලි කැපිල්ල

දැනට සැලකිය යුතු කාලයක් තිස්සේ මහජන අසහනය වර්ධනය කළ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හෝ විදුලිය කැපිල්ල තවමත් අවසන්ව නැත. තෙල් සහ ගෑස් මිල ගණන් පසුගිය දිනවල විශාල ලෙස වැඩි වුවත් ඒ වැඩි මිලටවත් මිල දී ගැනීමට එම බඩු ප්‍රමාණවත් ලෙස නැත. ඒ අතරම අනෙකුත් භාණ්ඩ මිල ගණන් ද නොනවත්වා විශාල වශයෙන් ඉහළ යමින් තිබේ. තෙල් මිල විශාල වශයෙන් වැඩි වූ විට ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හරහා සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් තවත් වටයකින් වැඩි වීම අනිවාර්යයෙන් සිදු වෙයි. මේ තෙල් මිල ගණන් ඇතුළු භාණ්ඩ මිල ගණන් වැඩි වීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අපේ රුපියල ද වේගයෙන් පිරිහෙමින් තිබීමයි. මේ නිසා අපේ රුපියල වේගයෙන් පිරිහෙන තත්ත්වය පාලනය කර ගැනීමට තවමත් අප අසමත් වී ඇති අතර එය භාණ්ඩ මිල විශාල වශයෙන් වර්ධනය වීමට ද හේතු වී ඇත. එසේ නම් භාණ්ඩ මිල විශාල ලෙස වැඩි වීම පාලනය කර ගැනීමට නම් අප වහාම කළ යුතු වන්නේ අපේ රුපියල වේගයෙන් පිරිහෙන තත්ත්වය පාලනය කර ගැනීමයි. එහෙත් අපේ විදේශ විනිමය සංචිතය අඩියටම හිඳී ඇති නිසා ප්‍රමාණවත් ලෙස අපේ රුපියල පාලනය කර ගැනීමේ ශක්තිය ද මේ මොහොතේ මහ බැංකුවට නැත.

● රජයේ වැරදි

කඩා වැටුණු රටක්! ගොඩගන්නට මෙහෙයුමක්…

අප මේ මුහුණ දී සිටින්නේ පසුගිය රජයන් ගණනාවක් තිස්සේ පැවතගෙන එන සාර්ව ආර්ථික දුර්වලතාවල වර්ධනීය තත්ත්වයකි. මේ සඳහා මෑතකාලීනව කොරෝනා වසංගත තත්ත්වය සහ රුසියා – යුක්‍රේන යුද ගැටුම් හේතු වී ඇති බව ද රහසක් නොවේ. මේ අතරම මේ රජයේ ගෙවී ගිය කාලයේ ගත් වැරදි තීන්දු තීරණ ද මේ සඳහා හේතු වී ඇත. මේ ගැන මුදල් ඇමැති අලි සබ්රි මහතා පසුගිය මැයි 04 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඉතා ඓතිහාසික කතාවක් කළේය. අපේ ආර්ථිකය මුහුණදී සිටින ඉතා අවදානම් තත්ත්වය ගැන ඇත්ත ඔහු නොසඟවා හෙළි කළේය. අපේ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කටත් වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව ද ඔහු සඳහන් කළේය. මීට ටික දිනකට පෙර එක්තරා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ‘අපේ විදේශ සංචිතය බින්දුවයි’ කියා ද ඔහු කීවේය. මෙසේ වත්මන් මුදල් ඇමැතිවරයා ආර්ථිකය ගැන ඇත්තම තත්ත්වය මහජනයාට කියා සිටීමත් මේ අමාරු අවස්ථාවේ මුදල් අමාත්‍ය ධුරය භාර ගනිමින් කටයුතු කිරීමත් අපි ඉතාම අගය කරමු. මේ අනුව පසුගිය මැයි 04 වැනිදා පාර්ලිමේන්තුවේ දී කතා කරමින් “දශක කිහිපයක සිට පැවතෙන ශ්‍රී ලංකා ආර්ථිකයේ මූලික සාර්ව ආර්ථික දුර්වලතා මෙම තත්ත්වයට මුල් වී තිබෙනවා.’ යයි සඳහන් කළ ඔහු එහිදී මෙසේ කීවේය.

“කෙසේ නමුත්, මෑත කාලීනව ක්‍රියාත්මක කරන ලද සමහර නොගැලපෙන සහ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පිළි ගැනීමට තරම් නිහතමානීකමක් අපට තිබිය යුතුයි…”

● විසඳුම් ක්‍රියාමාර්ග මොනවාද?

ඉන් නොනැවතී රජය විසින් 2019 අගදී සැලකිය යුතු බදු අඩු කිරීමක් සිදු කිරීම, අයිඑම්එෆ් යෑමට ප්‍රමාද වීම සහ රුපියල දිගු කලක් ස්ථාවර අගයක පවත්වාගෙන යෑම ඓතිහාසික වැරදි බව ඔහු කියා සිටියේය. මේ නිසා මේ විනිමය අර්බුදය බොහෝ අතීතයට දිව යන්නක් වූවත් වර්තමානයේ පවතින තත්ත්වයට එය වර්ධනය වීමට රජයේම සමහර නොගැළපෙන සහ අදූරදර්ශී ප්‍රතිපත්ති හේතු වී ඇති බව ද ඔහු පිළිගනී. එය ද අපි අගය කරමු. කෙසේ හෝ ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කිරීම හොඳ දෙයක් වුවත් මේ මොහොතේ වඩාත්ම අවශ්‍ය කරන්නේ මේ පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට රජයට පවතින සැලසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමයි. එහෙත් අලි සබ්රි මුදල් ඇමැතිවරයාගේ කතාවේ, මේ පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට ඇති ඉදිරි සැලසුම් සහ ක්‍රියාමාර්ග ගැන එතරම් පුළුල් ලෙස අන්තර්ගත වූයේ නැත. බිඳ වැටී ඇති මහජන විශ්වාසය ඇති කිරීමට සහ පවතින සමාජ අස්ථාවරත්වය සමනය කර ගැනීමට වඩාත් අවශ්‍ය කරන්නේ මේ අමාරු තත්ත්වයෙන් රට ගොඩ ගන්නා මාර්ගය, නිශ්චිත වැඩපිළිවෙළ රටට පැහැදිලි කිරීමයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා මාස දෙකක් ඇතුළත කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන විට මුදල් ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවට කීවේ ඒ සඳහා මාස හයක්වත් ගතවනු ඇති බවයි. මේ නිසා මේ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ගැන මේ කියන කතා වඩාත් නිශ්චිත සහ විශ්වසනීය ඒවා විය යුතු බව අපි ඔවුන්ට සිහිපත් කරමු. ඒවා පරස්පර නොවිය යුතුය. නැතහොත් මහජනයා මුහුණ දී සිටින මේ බලවත් ආර්ථික පීඩාකාරී තත්ත්වය හමුවේ ඔවුන් තවත් ව්‍යාකූලත්වයට පත්වනු ඇත. කෙසේ හෝ නව ආර්ථික බලධාරීන් පත්වීමෙන් පසුව මහ බැංකුවත්, මුදල් අමාත්‍යාංශයත් වෙනදාට වඩා පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කරමින් සිටින බව පෙනේ. මේ පසුබිම තුළ මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය විසින් ගන්නා ආර්ථික ක්‍රියාමාර්ග සාර්ථක සහ ප්‍රතිඵලදායි වීමට නම් දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම අනිවාර්ය කරුණකි. මේ නිසා රට යම් මට්ටමකට ස්ථාවර කරගන්නා තුරු පක්ෂ පාට භේදයෙන් තොරව කිසියම් පොදු දේශපාලන සම්මුතියකින් කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. එහෙත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් ගැන බලන විට ඇති වන්නේ ඉතාම කනගාටුවකි. මෙය දේශපාලනය කළ හැකි හෝ මැතිවරණ පැවැත්විය හැකි මොහොතක් නොවේ. සියල්ලටම ප්‍රථම ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට ප්‍රමුඛත්වය දී රට යම් මට්ටමකට හෝ ස්ථාවර කර ගැනීමට කටයුතු නොකළොත් වනු ඇත්තේ මහජනයා තවත් පීඩාවට පත් වීමයි. රටට ලැබෙන ඩොලර් ටිකත් නොලැබී යෑමයි. ආර්ථික අගාධයේ තවත් පතුළට අප ගමන් කිරීමයි. දැනටමත් සංචාරක පැමිණීම්වල අඩුවක් සිදු වී ඇත. ආර්ථික ප්‍රශ්න විසඳීමට අසමත් වූ සහ එය තවත් වර්ධනය කළ ආණ්ඩුවට විරෝධය දැක්වීම වේනම දෙයකි. එහෙත් අරගලය කියා රටත්, මහජනයාත් තවත් පීඩාවට පත්වන ක්‍රියාවලින් වැළකී සිටිය යුතුය. මෙය සියලු දෙනා එක්ව රට මේ පවතින අගාධයෙන් ගොඩ ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතු මොහොතකි.

● රාජ්‍ය ආදායම කඩා වැටීම

මේ රජය බලයට පත් වූ 2019 අග වන විටත් අපේ බදු ආදායම පැවතියේ අඩු මට්ටමකය. මේ රජය තවත් බදු අඩු කර ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම් අඩුම රටක් බවට මේ රට පත් කර ඇත. මේ අනුව රජය සිදුකළ බදු අඩු කිරීමෙන් 2020 වසරේ බදු ආදායමට සිදු කළ හානිය රු. බිලියන 518 ක් පමණ වේ. මේ නිසා අපගේ මුළු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2020 වසරේ දී සියයට 9.1 දක්වා සහ 2021 වසරේ දී සියයට 8.7 දක්වා තනි ඉලක්කමක් දක්වා අඩු වී ඇත. එසේම 2021 වසරේ බදු ආදායම ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 7.7 දක්වා ද අඩු වී ඇත. මෙසේ බදු ආදායම් අඩු වුවත් රජයේ වියදම් එලෙස අඩු වන්නේ නැත. මේ අනුව ගිය වසරේ (2021) දී මුළු රාජ්‍ය වියදම, රාජ්‍ය ආදායම මෙන් 2.4 ගුණයක් වී තිබේ. එසේම 2021 වසරේ පුනරාවර්තන වියදම (රජයේ එදිනෙදා මෙහෙයුම් වියදම්) රාජ්‍ය ආදායම මෙන් 1.9 ගුණයක් ද විය. මේ පසුබිම තුළ අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරගෙන රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය මෙසේ කියයි.

“මෙරට සමස්ත මූල්‍ය කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා, තිස් වසරක පමණ කාලපරිච්ඡේදයක් පුරා ශ්‍රී ලංකාව දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම අඛන්ඩව පහත වැටීම පිළිබඳව කඩිනමින් ක්‍රියා කිරීම අවශ්‍ය වේ…”

රාජ්‍ය බදු ආදායම් වර්ධනය කරගත යුතු බව ඇත්තය. ඒ ගැන කිසිදු තර්කයක් නැත. එහෙත් මේ වන විට උද්ධමනය සියයට 30 ක ආසන්නයට පැමිණ ඇත. එසේම ආහාර උද්ධමනය මාර්තු මාසයේ පැවැති සියයට 30.2 සිට අප්‍රේල් මාසයේ දී සියයට 46.6 දක්වා ද වර්ධනය වී ඇත. ජනයාට බඩට කන්නට අමාරු තත්ත්වයකට පත්ව ඇත. එනම් මේ වෙලාවේ සාමාන්‍ය ජනයා සිටින්නේ විශාල ජීවන වියදමකට මුහුණ දෙමින් අන්තයටම පීඩාවට පත්වය. ඔවුන්ට මේ මොහොතේ අවශ්‍ය වන්නේ තවත් බර පැටවීම නොව සහන සැලසීමයි. ඒ නිසා රජය කළ යුතු වන්නේ වක්‍ර බදු වෙනුවට ආදායම් බදු වැනි ධනය සහ ආදායම් මට්ටම් සලකා රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමයි. එසේම අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සියලු වියදම් කප්පාදු කිරීමයි. මේ මොහොතේ පාරවල් හැදීම හෝ වෙනත් යටිතල පහසුකම් සිදු කිරීමට මෙන්ම හදිසි නැති අත්‍යවශ්‍ය නොවන දේ වෙනුවෙන් දැනට වෙන් කර ඇති සියලු මුදල් ප්‍රතිපාදන මහජනයාට සහන සැලසීමට යෙදවිය යුතුව ඇත. දැන් තිබෙන්නේ මේ වසරට (2022) අයවැය ඉදිරිපත් කළ 2021 වසරේ නොවැම්බර් මාසයට හාත්පසින්ම වෙනස් ආර්ථික, සමාජ හා දේශපාලන වාතාවරණයකි. මේ නිසා එම අයවැය මේ වන විට නොගැළපෙන තත්ත්වයට පත් වී ඇත. මේ තත්ත්වයන් සලකා මේ වසරට (2022) අලුත් අයවැයක් ගෙනඒමට රජය තීරණය කර ඇත. මේ අලුත් අයවැය සකස් කිරීම සඳහා මුදල් ඇමැති අලි සබ්රි මහා භාණ්ඩාගාරයට දැනටමත් උපදෙස් දී ඇත. ඒ නිසා මේ අලුත් අයවැයෙන් සාමාන්‍ය ජනයා තවත් පීඩාවට පත් නොවන පරිදි බදු ගෙවිය හැකි පිරිස් ඉලක්ක කර ගනිමින් මේ නව බදු ප්‍රතිසංස්කරණ ගැන රජයට පියවර ගත හැකිය.

● අයවැය හිඟය වර්ධනය වීම

කඩා වැටුණු රටක්! ගොඩගන්නට මෙහෙයුමක්…

මේ ආදායම් දුර්වල වීමේ අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ අයවැය හිඟය තවත් විශාල වශයෙන් වර්ධනය වීමයි. එය මේ වන විට සිදුව ඇත. එනම් 2020 වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 11.1 දක්වා ද 2021 වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 12.2 දක්වා ද වර්ධනය වී ඇත. එනම් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක සිට තනි ඉලක්කමක සංඛ්‍යාවකට පත් වෙද්දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඉලක්කම් දෙකේ අගයක් දක්වා වර්ධනය වී ඇත. මේ අයවැය හිඟයන් පියවන්නේ කෙසේ ද? සාමාන්‍යයෙන් අයවැය හිඟය පියවන්නේ දේශීය සහ විදේශීය ණය ගැනීමෙනි. එහෙත් පසුගිය කාලයේ තවදුරටත් අපට විදේශීය ණය ගැනීමට පහසු තත්ත්වයක් ද නිර්මාණය විය. මෙසේ මේ ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ දී රාජ්‍ය ආදායම විශාල ලෙස අහිමි කර ගනිමින් අයවැය හිඟය වර්ධනය කරගත් නිසා මේ වන විට සැලකිය යුතු සාර්ව ආර්ථික අසමතුලිතතාවක් ඇතිව තිබේ. මෙසේ අපගේ රාජ්‍ය මූල්‍ය තත්ත්වයන් මෙන්ම සාර්ව ආර්ථික තත්ත්වයන් පිරිහීම නිසා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ද පිට පිට කිහිප වතාවක්ම පහත හෙළන ලදී. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට තිබූ හැකියාව දැඩිව සීමා වීම තුළ අපට සිදු වූයේ දේශීය වශයෙන් ණය ගෙන අපගේ ඉහළ අයවැය හිඟය පියවා ගැනීමටයි. එනම් දේශීය බැංකු පද්ධතියෙන් ණය ගැනීමයි. මින් මහ බැංකුව මගින් මුල්‍යකරණය කිරීම එනම් සාමාන්‍යයෙන් අප හඳුන්වන පරිදි මුදල් අච්චු ගැසීම් අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බවත් එමගින් මහ බැංකු ශේෂ පත්‍රයේ පෙර නොවූ පිරිහීමක් මෙන්ම උද්ධමනකාරී හා ගෙවුම් ශේෂ පීඩනයක් ඇති වී ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි. මේ වන විට පොලී අනුපාත වැඩි වීම හරහා භාණ්ඩාගාර බිල්පත්වලට මහ බැංකුවේ දායකත්වය අඩු වෙමින් තිබේ.

● ඉදිරිය තවත් දුෂ්කරයි

අයිඑම්එෆ් මූල්‍ය සහාය අපට ලැබීමට යම් කාලයක් ගත වන නිසා ඒ කාලය තුළ අපට අන්තර්කාලීන මූල්‍ය සපයා ගැනීම මේ මොහොතේ පවතින ලොකුම අභියෝගයයි. එසේ එම මුදල් අපට සපයා ගැනීමට ප්‍රමාද වීම තුළ වන්නේ අපට අපගේ තෙල්, ගෑස් සහ බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ආනයන කර ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වීමයි. මේ නිසා පෝලිම් තත්ත්වය නැතිව යනවා ද ඒවා තවත් දිගු වෙනවා ද එසේම විදුලි කප්පාදුව දිගු වෙනවාද එය අඩු වෙනවා ද යන්න තීරණය වනු ඇත්තේ අපට මේ කාලයේ විදේශ විනිමය සොයාගෙන මේ අත්‍යවශ්‍ය ආනයන කලට වෙලාවට ගෙවීම් කිරීමට ඇති හැකියාව ඇති කර ගතහොත්ය. එහෙත් විදේශ සංචිතය මේ වන විට අඩියටම සිඳී ගොස් ඇති නිසා පවතින්නේ දැඩි අවදානම් තත්ත්වයකි. මුදල් ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඒ ගැන මෙසේ කීවේය.

“ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට දැඩි ලෙස බලපාමින් මේ වන විට භාවිතා කළ හැකි ද්‍රවශීල සංචිත ඉතාම අඩු මට්ටමක් පවතියි. මෙම අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගැනීමට රජය හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව මේ උත්තරීතර සභාවට දැනුම් දීමට මම පසුබට නොවෙමි. ඒ නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් දාම යථා තත්ත්වයට පත් කිරීමට ජනතාවගේ දුක් ගැනවිලි විසඳීමට සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට යෑමට මෙන්ම ද්විපාර්ශ්වීය සහභාගිත්වයෙන් යුතු මුල්‍යනය සහ සහ මැදිකාලීනව හා දිගුකාලීනව වර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඉදිරියට යෑමට රටක් ලෙස අපට කඩිනම් විසඳුම් අවශ්‍යයි.’

මුදල් ඇමැතිවරයා කියන දේ සහ ඔහුගේ මේ මොහොතේ ඇති කැපවීම අප අගය කරන නමුත් ඔහුම පවසන පරිදි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක වීමට නම් එසේම ජාත්‍යන්තර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන් ද විශ්වාසය වර්ධනය කර ගැනීමට නම් මේ මොහොතේ පුළුල් දේශපාලන සම්මුතියකට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය කරුණකි. මේ මොහොතේ බලය උදෙසා දේශපාලනය කිරීම මදකට හෝ නවතා ඒ සඳහා රට වෙනුවෙන් එක්ව ක්‍රියාකිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් ද?

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment