කඩා වැටෙන සමාජය ආපසු හැරවීම

218

සමාජ පරිහානියට තිත තබමු

දිනපතා පුවත්පත්, ගුවන් විදුලිය මෙන්ම විවිධ රූපවාහිනී නාලිකා මගින් අප ජීවත්වන සමාජය තුළ සිදුවන නොමනා ක‍්‍රියාදාමයන් ශිෂ්ට ජන සමාජය අපේක්ෂා නොකෙරේ. මෙම ක‍්‍රියාදාමයන් පිළිබඳව හැමදෙනාම සාකච්ඡා කර කම්පාවන බව දක්නට ලැබේ. සුළු පිරිසක් කරනු ලබන එවැනි ක‍්‍රියාවන් හැදී වැඞීගෙන එන දරුවන්ට දෙන්නේ නරක ආදර්ශයන්ය. අනාගත සමාජයේ පුරවැසියන් වන එම දරුවන් එවැනි ක‍්‍රියාවලින් මුදවාගැනීම සඳහා දීපව්‍යාප්ත කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමට කාලය පැමිණ ඇත. එසේ නොවුනහොත් අනාගත සමාජය නරුමයන් බහුලව ගැවසෙන සමාජයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. භෞතික සංවර්ධනය සඳහා විවිධ කඩිනම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන අවධියක, එයටත් වඩා මානව ගුණධර්ම ප‍්‍රවර්ධන ව්‍යාපාරය ද ඒ හා සමාන වැදගත් කම පිළිබඳව සියලූ වැඩිහිටියන්ගේ මනස අවදිකිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වේ. සියලූ වැඩිහිටි දෙමාපියන් ඇතුළු සියලූදෙනා එකතුවුවහොත් එය අපහසු නොවේ. එසේ නොවුනහොත් අනාගත සමාජය අවදානම් ප‍්‍රපාතයක් කරා ගමන්කිරීම නොවැළැක්විය හැකිය.

විභාගවලට සීමාවී ඇති අධ්‍යාපනය

වර්තමාන ජන සමාජය තුළ ජීවත්වන බොහෝ දෙනෙකු අවම වශයෙන් සාමාන්‍ය පෙළ පංති දක්වාවත් පාසල් අධ්‍යාපනය ලැබූ අයවෙති. දෙමව්පියන් උත්සාහ කරන්නේත් තම දුවට හෝ පුතාට උසස් අධ්‍යාපනයක් ලබා දී අනාගතයේ උසස් තනතුරක රැකියාවක නියුක්තවීම දැකීමයි. ඒ සඳහා විධිමත් ක‍්‍රමයකින් පාසැලකට ඇතුළත් කරගැනීමට නොහැකි වුවහොත් අනිසි මාර්ගයකින් හෝ පිළිගත් නාගරික පාසලකට දරුවා ඇතුළත් කර ගැනීමට උත්සාහ දරයි. දෙමාපියන්ගේ අභිමතාර්ථය උසස්වුවත් කුඩා අවධියේම සිය දරුවාට එයින් ලබාදෙන වැරදි ආදර්ශය දරුවාගේ චරිත වර්ධනයේ දී අනිසි පූර්වාදර්ශයක් වනු නොඅනුමානය. එම සිද්ධිය නිසා පාසලට නීත්‍යානුකූලව ඇතුළත්වීමට අවශ්‍යතා සපුරා තිබූ තවත් දරුවකුගේ අවස්ථාවක් අහිමිවීම එයින් සිදුවේ. අධ්‍යාපනයට දක්වන උනන්දුව නිසා දේශීය මෙන්ම විදේශීය රටවල හෝ තම දරුවන් යැවීම නිසා උපාධි ලබාගත් විශාල පිරිසක් ද වාර්ෂිකව අප සමාජයට එකතුවෙමින් සිටී. දකුණු ආසියාවේ රටවල් අතුරින් ඉහළ සාක්ෂරතාවයක් ලබාගත් රටවල් අතරට අප කුඩා දිවයිනද, ඇතුළත්වීම ලාංකිකයන් සියලූදෙනාගේ සතුටට හේතුවකි. ප‍්‍රාථමික පංතියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයක් අප රට තුළ ක‍්‍රියාත්මක වේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නගරයෙන් ඈත ගම්බද පාසල් වලින් ද, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගණකාධිවරු, පරිපාලන සේවයේ නිලධාරීන්, විද්‍යාඥයින්, විදුහල්පතිවරුන් වැනි උසස් තනතුරු හොබවන නිලධාරීන් ද බිහි වී ඇත. එය ශ‍්‍රී ලාංකික අපේ සතුටට හේතුවකි.

විනයේ උල්පත පවුලයි

එසේ වුවත් වර්තමාන ජන සමාජය තුළ හොඳ නරක අවබෝධ කරගෙන ස්වයං විනයකින් කටයුතු කරන අය ඉතා අල්පයි. අල්ලස, සොරකම වැනි වංචනික ක‍්‍රියාවලින් තොරව කටයුතු කරන අය විද්වතුන් අතර සිටින්නේ සුළු පිරිසක් පමණි. සමාජයේ කුඩාම ඒකකය පවුලයි. දරුවකු කුඩා කාලයේ සිට හැදී වැඩෙන්නේ මව සහ පියා සමගය. කුඩා කාලයේ සිට සිය දරුවා යහමගට යොමු කරන වැදගත්ම කාර්යයන් සිදුවිය යුත්තේ එම දෙදෙනා තුළිනි. එසේම පවුලේ ලඟම ඥාතීන් වන ආච්චි, සීයා, මාමා, නැන්දා, බාප්පා, මහප්පා වැනි වැඩිහිටියන්ගෙන් ද දරුවට ලැබිය යුත්තේ යහපත් ශිෂ්ට සමාජයට යොමුකරවන ආදර්ශයන් ය. එවැනිම ආදර්ශයන් නිවස අසල ජීවත්වන අසල්වාසීන්ගෙන් ද ලැබිය යුතුය. එහෙත් වර්තමාන ජන සමාජය තුළ ජීවත්වන දරුවන්ට ඉහත සඳහන් ආදර්ශයන් නොලැබේ. එහෙයින් සමාජය දූෂිත වන්නේ ඇතැම් වැඩිහිටි අය අතින්ම බව සිහිපත් කරගැනීම වැඩදායක ය. එවැනි නරක ආදර්ශයන් අනුව හැදෙන වැඩෙන දරුවන් සමාජයට ප‍්‍රවේශ වුවහොත් අනාගත සමාජය අදටත් වඩා වැඩි දෝෂ දර්ශනයට ලක්විය හැකිය.

පාසලෙන් සමාජයට ලැබෙන පෙරහුරුව

සමාජයට උචිත යහපත් පුරවැසියන් සමාජයට බිහිකිරීමේ වගකීම පාසල සතුවේ. විදුහල්පති තුමිය ඇතුළු ගුරු පියවරුන් සහ ගුරු මෑණිවරුන්ගෙන් ලැබෙන ආදර්ශයන් පාසල තුළ දී දරුවාගේ චරිත හැඩගැසීම සඳහා බෙහෙවින් ඉවහල් වේ. සමාජයේ ජීවත්වීමට අවශ්‍ය මූලික දැනුම පාසල් සමාජය තුළින් දරුවාට ලැබේ. විවිධ විෂයයන් සම්බන්ධව ප‍්‍රවීණත්වයක් ලබන දරුවාට ඒ හා සමානව තමා ජීවත්වන සමාජය තුළ ජීවත්වීමේ අත්දැකීම් පාසල් සමාජය තුළින් වර්ධනය වේ. එය එසේ වුවත් වර්තමානයේ පවතින තරගකාරී විභාග ක‍්‍රමය නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන්, ගුරුවරුන් ද, උත්සාහ දරන්නේ විභාග ප‍්‍රතිඵල තුළින් විශිෂ්ටම ප‍්‍රතිඵල අත්කර ගැනීමයි. ඒ සඳහා පසුගිය විභාග ප‍්‍රශ්න වලට සහ ඉලක්ක ප‍්‍රශ්න වලට පිළිතුරු ලියවමින් විභාග සඳහා සූදානම් කිරීමට වඩා වෙනත් යමක් එම ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේ දී සිදුනොවේ. ගුරුවරයාගේ දක්ෂතා මැන බැලීම සඳහා අධ්‍යාපන බලධාරීන් ආධාර කරගන්නේ ද විභාග ප‍්‍රතිඵලයි. එසේ වුවත් ගුරු මහත්ම මහත්මීන්ගේ හැසිරීම් විශේෂයෙන් ම පාසල් දරුවන්ට ආදර්ශමත් විය යුතුය.

අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම්

පාසැල් අධ්‍යයනය ප‍්‍රමාණවත් නොවන නිසා උපකාරක පංති යැවීමට ද දෙමාපියන්ට අත්‍යාවශ්‍ය වේ. දෙමාපියන්ට වර්තමානයේ දී ඊටත් වඩා ඉදිරියට යමින් අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය ද ව්‍යාප්ත වෙමින් පවතී. එක කාලයක දී වැරදිලාවත් පාසල් දරුවකු ජංගම දුරකථනයක් පාසලට ගෙනයෑම දඬුවම් ලැබිය හැකි වරදක් විය. එවැනි දඬුවම් වලට පත්වූ අයත් අදත් පාසල් තුළ ඉහළ පංති වල ඉගෙන ගනිමින් සිටිති. එසේ වුවත් වර්තමාන ඉගෙනුම් ක‍්‍රමය යටතේ ජංගම දුරකථන භාවිතය නිසා එහි හොඳ මෙන්ම නරක පැත්තක් ද තිබේ. නිසිලෙස එය කළමනාකරණය නොවුණ හොත් අනිසි ප‍්‍රතිඵල අනාගතයේ දී ඇතිවිය හැකිය. පාසල් දරුවන් මෙන්ම පන්සල් ඇතුළු ආගමික සිද්ධස්ථාන වල ඉගෙන ගන්නා දරුවන්ටත් එය බලපානු ඇත.

මහජන බදු මුදලින් යැපීම

ජනතාවගේ බදු මුදලින් අධාපනය සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැයකරනු ලැබේ. ගුරුවැටුප්, නිල ඇඳුම්, පොත්පත්, පාසැල් උපකරණ, ගොඩනැගිලි යනාදිය ආධාරයෙන් පාසල තුළ ඉගෙන ගන්නා දරුවා පාසල් අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය ලබා උසස් නිලතල වලට පත්වී වැටුප් සහ වෙනත් විශේෂ වරප‍්‍රසාද, භාණ්ඩ සහ වාහන පහසුකම් පවා

ලබාගන්නේ මහජනතාවගේ බදු මුදල් වලිනි. ඒ පිළිබඳව කිසිම හැගීමක් නැතිව ජීවත්වන නිලධාරීන් ද අප සමාජය තුළ සිටී. සාධාරණ සමාජයක් තුළ මහජන සේවය නිත්‍යානුකූලව මහජන සුභසිද්ධිය උදෙසා ක‍්‍රියාත්මක විය යුතුය. එය එසේ සිදුනොවී මහජනතාව නොයෙක් අපහසුතා සහ අසාධාරණයට ගොදුරුවන අවස්ථා පිළිබඳව දකින්නට අසන්නට ලැබේ. ඇතැම් අවස්ථාවල රජයේ උසස් තනතුරක් දරන නිලධාරියකු හමුවී සිය අවශ්‍යතාවන් ඉටුකරගැනීමටවත් අවස්ථාව නොලැබෙන මහජන සේවය නිසිලෙස නිලධාරීන් තුළින් ඉටු නොවන බවට විවිධ චෝදනා සහ පැමිණිලි දිනපතාම අසන්නට දකින්නට සිදුවන්නේ ඇයි. තමා ගන්නා වැටුපට සමාන සේවයක්වත් සිදුනොකර රාජ්‍ය දේපළ අවභවිතා කරන නිලධාරීන් ගැන කොතෙකුත් අසන්නට ලැබේ. ඒ සියල්ල කාලීන වශයෙන් සිදු නොවිය යුතුය.

වැරදි මගක ගමන් කරන ව්‍යාපාරික ප‍්‍රජාව

වර්තමානයේ තවත් බලවත් දෝෂ දර්ශනයට පත්වී ඇත්තේ ව්‍යාපාරික අංශයයි. වෙළඳ හා නිෂ්පාදන ක්ෂේත‍්‍රය අදාළව, විශේෂයෙන් කෘෂි නිෂ්පාදන අංශවල යෙදී සිටින ගොවි ජනතාවට අඩු මිලක් ලබාදී පාරිභෝගික ජනතාවට වැඩි මිලට අලෙවි කර, අධික ලාභ උපයන බවට චෝදනා එල්ලවේ. ව්‍යාපාරිකයන් ලාභ ලැබිය යුතුය. එහෙත් එය සාධාරණ ලාභයක් විය යුතුය. එමෙන් ම ගුණාත්මක භාවයෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම සහ ඒවා රසායනික ද්‍රව්‍ය මුසුකර කල්තබා ගෙන අලෙවි කිරීමෙන් මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය මුසු කිරීම සම්බන්ධ චෝදනා පවතී. රුපියල් ශතවලට දක්වන කෑදරකම නිසා වටිනා මිනිස් ජීවිත අවතක්සේරු කිරීම ශිෂ්ට ජන සමාජයක සිදු නොවිය යුතු කරුණකි. සහල් ඇතුළු සියලූ කෘෂි ද්‍රව්‍ය පමණක් නොව බේකරි වල නිපදවන ආහාර ද්‍රව්‍යයට ද මෙම චෝදනා අදාළ වේ.

ඊට අමතරව ගෙදරදොර භාවිතාවන ගෘහ භාණ්ඩ ඇතුළු නිවසේ භාවිතා කරන බොහෝ භාණ්ඩ මිලදී ගැනීමේ දී තත්ත්වයෙන් බාල වර්ගයේ ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් වෙළෙන්දා අසීමිත ලාභ ලබන අතර එම භාණ්ඩ වලට රැුවටී මිලදී ගන්නා දුප්පත් ජනතාව ඒ නිසා පීඩනයට පත්වේ. රෙදිපිළි, ඖෂධ වර්ග වැනි ද්‍රව්‍ය පවා කල් ඉකුත් වූ, දින වෙනස්කර රෝගීන්ට අලෙවි කිරීම සිදුවේ. මේ සඳහා සොයා බැලීමට රාජ්‍ය අංශවල වෙනම ම ඒකක තිබුණත් ඒවායේ ප‍්‍රමිතීන් පිළිබඳ නිවැරදි පරීක්ෂණ සිදුවේ ද යන්න සැක සහිතය.

දේශපාලන අධිකාරිය

උත්තරීතර මෙම සේවා ආයතන ද දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. එම ආයතන වලට මහජන ඡුන්දයෙන් පත්වන අයත් පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අය ද ඒ අතර සිටී. එම අධ්‍යාපන ආයතන පිළිබඳව දිනපතා මාධ්‍ය තුළින් වාර්තාවන තොරතුරු බොහෝ දෙනෙකු දන්නා නිසා ඒ සම්බන්ධ විස්තර මෙහි සඳහන් නොවේ. විශේෂයෙන් එම ආයතනවලට පත්වන දේශපාලන ක්‍ෂේත‍්‍රයේ අය පොදු ජනතාවට ආදර්ශමත් විය යුතුය. ඒ අය තමතමන් සතු අඩුපාඩු ඇත්නම් ස්වයං අධ්‍යයනය තුළින් ඒවා නිවැරදි කරගැනීම අනාගත සමාජයේ උන්නතියට හේතුවේ. එසේ නොවුන හොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳවැටීම නොවැළැක්විය හැකි ය.

අපේ වගකීම

අවසාන වශයෙන් සියලූම තරුණ සහ වැඩිහිටි ඇතැම් අය පාසල් දරුවන් අතර මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සුලභ කිරීමට අයුතු ලෙස කටයුතු කරන බවට සිද්ධි වර්තා වේ. එවැනි ක‍්‍රියා සිදුවන්නේ නම් අනාගත මානව සමාජයේ දූ පුතුන් සහ පුරුවැසියන් වෙනුවෙන් එවැනි අමන ක‍්‍රියාදාමයන්ට තිත තැබීමේ අවස්ථාවට පැමිණ ඇති බව තරයේම සිහිතබා ගත යුතුය. වසර 2600 ක අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ මව්බිමේ ජීවත්වන කුඩා දරුවන් වෙනුවෙන් සමාජයට අනුචිත ක‍්‍රියාවන් වහාම නවතා දැමීමට ක‍්‍රියාකළ යුතුය. ඒ සඳහා ශ‍්‍රී ලංකාවාසී සියලූදෙනාගේ ම අවධානය මේ සම්බන්ධයෙන් යොමුවිය යුතුය.

සරත්චන්ද්‍ර ජයවර්ධන
විධායක ලේකම්,
මානව ගුණ ධර්ම ප‍්‍රවර්ධනය කිරීමේ පර්ෂදය

advertistmentadvertistment
advertistmentadvertistment