මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ දෙවැනි වර කියවීමේදී පක්ෂව ඡන්ද 108ක් සහ විපක්ෂව ඡන්ද 62ක් ලබා ගනිමින්ය. විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, 36 වැනි වගන්තියට සංශෝධනයක් ඉදිරිපත් කළ මුත්, එයට ආණ්ඩුවෙන් ලැබුණේ ඍණාත්මක ප්‍රතිචාරයකි. එම විපක්ෂයේ සංශෝධනයට ඡන්දයක් පැවැත්වූ මුත්, සංශෝධනයට පක්ෂව ඡන්ද 51ක් සහ විපක්ෂව ඡන්ද 92ක් හිමි විය.

මෙම පනත, ආණ්ඩුව විසින් රැගෙන එන ‘කටවහන නීති’ ගණනාවකට අයත් වන එකක් ලෙස මෙරට නීතිඥවරුන්, වෘත්තිය සමිති, ජනමාධ්‍ය සංවිධාන සහ අනෙකුත් විද්වත් සංවිධාන රැසකින් හඳුන්වා තිබුණි.

පනත සම්මත වූ අන්තිම මොහොත දක්වාම ආන්දෝලනාත්මක සහ ගැටුම්කාරී ස්වභාවයක් පාර්ලිමේන්තුව තුළ පවා දක්නට තිබුණු අතර, පනතේ විවාදය පැවති දින දෙකේදීම පාර්ලිමේන්තුව අසල තරුණ විරෝධතා සංවිධානය කර තිබුණි. මෙරට සංවිධාන, කලාකරුවන්, තරුණ ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ දෙනකු පනතේ භයානකකම ගැන දිගින් දිගටම කරුණු මතු කළ මුත්, ආණ්ඩුව ඒවා සැලකිල්ලට නොගෙන ඉතා කඩිමුඩියේ පනත සම්මත කරගැනීමට වෙහෙස වූ බව පෙනෙන්නට තිබුණි.

ඒ අනුව පනත සම්මත කරගැනීමේ ක්‍රියාවලියත් අවුල්සහගත එකක් විය. අප මේ සටහන ලියන්නේ පනත සම්මත වී දින දෙකකට පසුව වුව, මේ මොහොත වන තුරු, පාර්ලිමේන්තුවේ සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත දැකගන්නට නැත. අද ඇත්තේ, ගැසට් කරන ලද පනත් කෙටුම්පතයි. සම්මත වූ පනත වගන්ති විශාල ප්‍රමාණයකට වෙනස්කම් එකතු කරන ලද, මුල් කෙටුම්පතට වඩා සෑහෙන වෙනස් එකකි. ජනාධිපති නීතිඥවරුන් ඇතුළු විද්වතුන් කියන පරිදි, සම්මත වුණේ සම්පූර්ණ පනත් කෙටුම්පතක් ලෙස ගැසට් නොකරන ලද වෙනම කෙටුම්පතකි. ඒ අනුව, මෙය ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ මූලධර්මවලටත් අනනකූල යැයි හැඟෙන නීති සම්පාදනයක් විය.

පනත් කෙටුම්පත

පනතේ ලක්ෂණ ගණනාවක් මෙරට ජනතාව පාලනය කිරීමට ගෙන ආ පනතක් ලෙස එය අර්ථකථනය කිරීමට හේතු වනු ඇත. පනතේ සඳහන් වන කාර්යභාරයන් කිහිපයකි.

මෙම පනත යටතේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවයි. පනත අනුව, එම කොමිසම ජනාධිපතිවරයා පත් කරන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම පත්කිරීම් අනුමත කළ යුතුය. කොමිසමේ සාමාජිකයන් පස් දෙනෙකි.

පනතේ සඳහන් වෙන තහනම් කාර්යය සඳහා භාවිතා කරනු ලබන ‘මාර්ගගත ස්ථාන’ ප්‍රකාශයට පත් කිරීමේ බලයක් කොමිසමට ලැබේ. තහනම් කාර්යය කියන්නේ,

ශ්‍රී ලංකාව තුළ සිදධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම, අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම, අසත්‍ය ප්‍රකාශ මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ කෝප කරවීම, අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම, ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම, මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම, අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම, සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම, හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම, ළමා අපයෝජන, වරදක් සිදු කිරීම සඳහා බොරු සෑදීම හෝ අවභාවිතා කිරීම, කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම’ ආදිය වේ.

ඔය කී තහනම් ක්‍රියා සිදුකරන ස්ථානයක් ‘ප්‍රකාශයට පත් කිරීම’ කියන්නේ ආණ්ඩුවට යම් යම් ඔන්ලයින් ගිණුම් කරන බව ප්‍රසිද්ධ කරන්නට ඉඩ ලැබීමයි.

එතැනින් එහාට ගොස්, යම් ‘තහනම් ප්‍රකාශයක්’ කළ කෙනකුට එම ප්‍රකාශය ඉවත් කරගන්නා ලෙස නියම කිරීම, ප්‍රතිචාර දක්වන්නට ඉඩ ලබා දෙන ලෙස නියම කිරීම ආදියටත් බලය ලැබේ. එමෙන්ම පොලිසියේ සහයෝගය ලබා ගනිමින් විමර්ශන සිදු කිරීම, පරිශ්‍රවලට ඇතුළු වීම, නඩු පැවරීම, තහනම් කිරීම් ආදී කාරණා රැසකට රාජ්‍යය විසින් බලය ලබා ගැනීමක් මේ පනතෙන් සිදු කරයි. එමෙන්ම, ‘සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනයට’ මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර මැඬපැවැත්වීමත් පනතේ අරමුණු අතර සඳහන් කර ඇත. ඒ අනුව, අන්තර්ජාලයේ කටයුතු කරන ප්‍රකාශන ආයතන වෙත දැන්වීමක් සැපයීම හෝ අන් කිසිදු ආකාරයෙන් මූල්‍යමය පැවැත්මක් පවත්වාගෙන යෑම තහනම් කිරීමට මෙමගින් ඉඩකඩ ලැබෙනු ඇත. මේ පනත අනුව, මෙරටදී මෙන්ම පිටරටකදී මෙරට පුරවැසියකු සිදු කරන ප්‍රකාශයන්ට අදාළව පවා පියවර ගැනීමේ හැකියාව ඇත.

දරුණු දඬුවම්

කතා කිරීම කියන්නේ මිනිස්සු එදිනෙදා නිතිපතා සිදු කරන අංක එකේ ක්‍රියාවකි. හුස්ම ගැනීම හැරුණාම නිතිපතා කරන ක්‍රියාවන් අතර එය තිබිය හැක. මිනිසුන් කෑම කනවාට වඩා කතා කරයි. අප අපගේ මුවෙන් කතා කිරීම තරමටම අද ඇඟිලි තුඩුවලින් අන්තර්ජාලය තුළ කතා කිරීමත් සුලභය. ඇතැම් අය මිනිසුන් පිරුණු කාමරයක හිඳ සිටියත්, ඇඟිලි තුඩුවලින් ලෝකය වටේ සිටින වෙනත් අය සමග කතා කිරීම පුරුද්දක් වී ඇත. එය ඒ ඒ අයගේ අයිතියකි.

එහෙත්, ගැටලුව වන්නේ තමන් කියන වචනයක් ගානේ, එය ද්විත්ව පරීක්ෂාවකට ලක් කොට තමන් සත්‍ය පමණක් පවසන්නේ යැයි තහවුරු කරගන්නට සාමාන්‍ය මිනිස්සුන්ට හැකියාවක් නැත. අඩු තරමේ පුරුදු පුහුණු වූ මාධ්‍යවේදීන් අතින් පවා අසත්‍ය ප්‍රකාශයන් සිදු විය හැක. ඇතැම් ප්‍රවෘත්ති කෙතරම් විශ්වාසදායී මූලාශ්‍රයකින් ලැබුණත්, වැරදි බව පසුව තහවුරු වේ. සාමාන්‍ය ජනතාව කතා කරද්දී, මාධ්‍යවේදීන් තරමටවත් ඇත්ත තහවුරු කරගැනීමට අවශ්‍ය පුහුණුව නැත. ඒ නිසාම බැලූ බැල්මටම අසත්‍ය කාරණාවක් වුව කියන්නට ඇති අවකාශයට ඉඩ තැබීම, සෞඛය සම්පන්න සන්නිවේදනයකට අවශ්‍ය කරුණකි.

එහෙත් මේ පනතෙන් කතා කිරීම වැනි සුලභ ක්‍රියාවක්, අපරාධ වරදක් වෙයි. පනත යටතේ වැරදිවලට වසර 5 ආදී බන්ධනාගාරගත කිරීම් මෙන්ම මිලියන ගණන්වලින් පවා දඩ ගැසීමේ හැකියාව ලැබේ.

අසත්‍ය ප්‍රකාශ

මේ සියලු දඬුවම් ලැබෙන්නේ අසත්‍ය ප්‍රකාශ සිදු කළ විට වුව, පනතේ ගැටලුකාරීම තැන වන්නේ, සත්‍ය සහ අසත්‍ය හඳුනාගැනීමේ අසීරුවය. සත්‍ය හෝ අසත්‍ය නිශ්චය කරගැනීම ඉතා විද්‍යාත්මක සිතන්නෙකුට පවා අසීරු වේ.

ග්‍රන්ත වෙබ් අඩවිය පවත්වාගෙන යමින් අන්තර්ජාලය තුළ ව්‍යාපාරවල යෙදෙන්නකු සහ අන්තර්ජාලය තුළ වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන දසුන් සමීර ලියුම්කරු සමග වැඩසටහනකදී සත්‍ය පිළිබඳ මෙසේ කීය.

‘සත්‍ය ඕනෑ විදියට බෙදා වෙන් කරනවා. එකක් තමයි ඔබ්ජෙක්ටිව් ඇත්ත හෙවත් විෂයීක ඇත්ත කියන එක. අනෙක සබ්ජෙක්ටිව් ඇත්ත නැත්නම් ආත්මීය සත්‍යය. තමන්ට පෞද්ගලික වූ ඇත්තක්. මම කිව්වොත් මම හීනයක් දැක්කා කියලා, ඒක ඔබ කවුරුත් පිළිගන්නේ නෑ. ඒක මගේ ඇත්ත. මම කීවාම කවුරුත් පිළිගන්නේ නෑ. ඒක ඔප්පු කරන්න මට පුළුවන් දෙයකුත් නෑ. තාර්කික ඇත්ත කියලා තියෙනවා. ඊළඟට විද්‍යාත්මක ඇත්ත, ආගමික ඇත්ත, ඓතිහාසික ඇත්ත වගේම විශ්වීය ඇත්ත විදියට දේවල් තියෙනවා. හැබැයි මේ ඕනෑම ඇත්තක් සම්පූර්ණ ඇත්ත කියන්න බැහැ. ඓතිහාසික ඇත්තක් පවා, මූලාශ්‍රය අනුව වෙනස් වෙන්න පුළුවන්.’

සත්‍ය සොයා බැලීම ගැන විද්‍යා දේශකයකු සහ අන්තර්ජාල වැඩසටහන් ඉදිරිපත් කරන්නකු වන මලින්ද අලහකෝන් ඉදිරිපත් කළ අදහස්වලින් කොටසක් මෙසේය.

‘පිරමීඩ් හදලා තියෙන්නේ ලොකු ගල් කුට්ටි හදලා ඔසවාගෙන ඇවිල්ලාද, පිටසක්වල සහාය ලැබුණාද? කියා ඇහුවාම ඊජිප්තු රජය කියලා තියෙනවා මේක ගල් කුට්ටි ඔසවාගෙන ඇවිල්ලා තමයි මේක කළේ කියලා. රජයෙන් සත්‍ය නියම කරලා. හැබැයි ඇත්තටම ඒක පිටසක්වල ජීවීන් හෝ ජියෝපොලිමර් කොන්ක්‍රීට් ආදී කුමනාකාර හෝ ක්‍රමයකින් කළා විය හැකියි. මම යම් මතයක ඉඳගෙන මේ ගැන වාද කරන්න පුළුවන්. මම ජියෝපොලිමර් කොන්ක්‍රීට් කියලා තර්ක කරද්දී, තව කෙනකු මාව හිර කරන තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මම ලෑස්තියි හිර වෙන්න.’

මලින්ද අලහකෝන් වැඩිදුරටත් පැහැදිලි කළේ, විද්‍යාත්මක සංවාදයකදී පවා කාලයෙන් කාලයට සත්‍ය යැයි සම්මත දේ වෙනස් වී ඇති බවය. ඔහු ඉතා ප්‍රකට පෘථිවිය විශ්ව කේන්ද්‍රය වීමේ සිට, ලෝකය වටේ ඉඩ කරකැවීමේ සිට, සූර්යයා වටා භ්‍රමණය වීමත්, ඉන් එහා ගොස් විශ්වයෙහි ඉතා කුඩා කෙළවරක අපේ ග්‍රහලොව පිහිටා තිබීමත්, ඉන් එහා ගොස් විද්‍යාත්මක වශයෙන් මේ විශ්වයේ භෞතික පැවැත්ම පිළිබඳ නව සොයාගැනීම් දක්වා ‘සත්‍යය’ පිළිබඳ අදහස වෙනස් වූ හැටිත් පෙන්වා දුන්නේය.

සත්‍ය සෙවීම අසීරු වෙද්දී, ඕනෑ දෙයක් අසත්‍ය ලෙස නාමකරණය කිරීමට අවකාශය පවතිද්දී, අපරාධ විද්‍යාව අනුව බරපතළ ගැටලුවක් පැනනඟී. ඕනෑ අපරාධයක් අපරාධයක් ලෙස නම් කිරීමට නම් යම් කිසි පරීක්ෂණයකට ලක් කළ හැකි විය යුතු බවත්, මෙම පනතේ සත්‍ය හෝ අසත්‍ය හඳුනාගැනීමට කිසිදු මධ්‍යස්ථ පරීක්ෂණයක් නොමැති බවත් නීතිඥ උපුල් කුමරප්පෙරුම පෙන්වා දී තිබුණේ ඔය පසුබිමේය.

රැට්ටා නොහොත් රතිඳු සේනාරත්න යූටියුබ්කරුවෙකි. ඔහු කී අදහසක් මෙසේය. ‘මේ පනතේ භයානකකම අපේ සාමාන්‍ය මහජනයාට දැනිලා නැහැ. මේ රටේ මිනිස්සුන්ට මූලික අයිතිවාසිකම් වන කෑම, බීමට වඩා ජීවත්වීමේ අයිතියවත් නැති කරපු රටක, තුන්සීයක් එකතැන මරා දැම්මා මීට කලින්. මෑතකදී නාරම්මල සිද්ධිය වගේ පාරේ යද්දීත් මරා දැම්මා. එහෙම ජීවත්වීමේ අයිතියත් නැති වෙද්දී, බෙහෙත් නැති වෙද්දී කෑගහලා අඬන අයිතිය විතරයි තිබුණේ. ඒ අයිතියත් මේ පනතෙන් අහෝසි වීමට නියමිතයි. නාරම්මල සිද්ධියේදී අහිංසක වඩු කාර්මිකයා පාරේ ඝාතනය කරපු එක, ළඟ ඉඳපු පළතුරු කඩයක මනුස්සයෙක් සමාජ මාධ්‍යවල නොදැම්මා නම් ටීවීවලින් මහා පරිමාණ කුඩු වෙළෙන්දෙක් කරලා, කුඩු ප්‍රවාහනය කරද්දී ඝාතනය කළා වගේ පුවතක් යන්න ඉඩ තිබුණා. මේක එළියට ආවේ සමාජ මාධ්‍ය නිසා.’

ඔන්ලයින් සේවා

ඒ අනුව සත්‍ය අසත්‍ය පිළිබඳ ගැටලුව එසේ පවතිද්දී, මේ පනත නිසා, ඔන්ලයින් සේවා සැපයීමේ කර්මාන්තය අඩාල වීමේ අවදානම මේ වෙද්දී බොහෝ අය ඉස්මතු කර ඇත. මෙම පනත යටතේ, සේවා සපයන්නන්ටත් දඬුවම් කිරීමේ හැකියාව ඇත. එනම්, ගෝලීය වශයෙන් ප්‍රකට ගූගල්, ෆේස්බුක් ආදී සමාගම් මෙන්ම මෙරට ක්‍රියාත්මක වන අනෙකුත් වෙබ් අඩවිවලට පවා දඬුවම් ලබා දිය හැක.

මේ වෙද්දී තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් මෙන්ම, මෙරටදී අන්තර්ජාලය තුළ ව්‍යාපාරවල යෙදෙන බොහෝ අය කියා ඇත්තේ අන්තර්ජාලය හරහා උපයන ආදායම් මෙන්ම, ඒ හරහා සිදු කරන කටයුතු ගණනාවක් අඩපණ කිරීමේ හැකියාවක් මෙම පනතට පවතින බවය. මේ ගැන ප්‍රථමයෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් රැසක් අනතුරු හැඟවීය.

එහෙත්, ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මෙම පනතෙන් එවැනි අවදානමක් නැති බව හුවා දැක්වීමට කටයුතු කළේය. විශේෂයෙන්ම ජාත්‍යන්තර සමාගම් ගැන ඔහු කරුණු සඳහන් කළේය.

‘අපි දීර්ඝ සාකච්ඡා පැවැත්වූවා ආසියානු සන්ධානය සමග. අපේ කණ්ඩායම සිංගප්පූරුවට ගොස් දින තුනක් නතර වෙලා පරිච්ඡේදය ගාණේ කතා කළා. ඔවුන් තමන්ගේ යෝජනා ඉදිරිපත් කළා. අපි එකඟතාවකට ආවා ඒවාට අදාළව. ඔවුන් කී සියලු දේ මෙහි නැහැ.” යනුවෙන් අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ, තාක්ෂණික ක්ෂේත්‍රය මේ ගැන නොසතුටින් පසු වෙන බවයි. එහෙත්, එයට ප්‍රතිචාර ලෙස අමාත්‍යවරයා කීවේ ඔවුන් සමග යළි පරීක්ෂා කරන ලෙසයි.

මේ කියන ආසියානු අන්තර්ජාල සංසදයට ලයින්, පින්ටරෙස්ට්, ඇමසන්, ඇපල්, ග්‍රැබ්, ගූගල්, බුකින් ඩොට් කොම්, යාහූ, ස්පොටිෆයි, මෙටා, එක්ස්, ලින්ක්ඩ් ඉන්, ෆෙඩ් එක්ස් ආදී තාක්ෂණික දැවැන්තයන් අයත් වේ. ඔවුන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශට ප්‍රතිචාර දක්වමින් නිකුත් කළේය. එහි සඳහන් වුණේ අමාත්‍යවරයා විසින්, මෙම පනතට අදාළව තම සංසදය සමග කළ සාකච්ඡා පිළිබඳ නොමග යවනසුළු ප්‍රකාශ සිදු කර ඇති බවයි.

මෙම පනත යටතේ වැඩකටයුතු කිරීම අසීරු වන බවත්, මෙරට ඩිජිටල් ආර්ථිකයට ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමට මෙම පනත බාධාවක් වන බවත්, පනත ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි තත්ත්වයකට පත් වීමට නම් එයට වෙනස්කම් රැසක් සිදු කළ යුතු බවත් එම නිවේදනයෙන් කීය.

කාන්තාවන් හා දරුවන් වෙනුවෙන්ද?

මෙම පනත පිළිබඳ අදහස් පළකිරීම්වලදී අමාත්‍ය ටිරාන් අලස් දැඩි ලෙස කීවේ මෙම පනත කාන්තාවන් හා දරුවන් වෙනුවෙන් ගෙන එන පනතක් බවය. එහිදී අමාත්‍යවරයා කීවේ 2023 වර්ෂයේදී අන්තර්ජාලය මගින් සිදු කළ වැරදි 8000කට වඩා ඇති බවය. ලිංගික හිරිහැර කිරීම් 669ක්, නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම් 506ක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව ඔහු කීය. නිරුවත් ඡායාරූප 100,000කට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍යවල සංසරණය වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. අපහාස කිරීම් පිළිබඳ පැමිණිලි 697ක්, සයිබර් හිරිහැර පිළිබඳ පැමිණිලි 1961ක්, අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම් පිළිබඳ පැමිණිලි 34ක් ගැන ඔහු කීය. ඇත්තෙන්ම අන්තර්ජාලය තුළ එවැනි අපරාධ සිදු වේ. ඒවාට එරෙහිව පියවර ගත යුතුය. සමාජ මාධ්‍ය තුළ නම් නිරුවත් ඡායාරූප හුවමාරු කළ නොහැක. ඒවාට අදාළව සියලු වෙබ් අඩවිවල පාහේ පැමිණිලි කිරීම් ක්‍රමවේද ඇත. සමාජ මාධ්‍ය පමණක් නොව, වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවියකට වුව තමන්ගේ ඡායාරූපයක් අනවසරයෙන් උඩුගත කළොත්, එය ඉවත් කරවාගැනීම සඳහා දැනටමත් ක්‍රමවේද ඇත.

මෙරට දණ්ඩ නීති සංග්‍රමයේ 285, 286 (අ), 286 (ආ) සහ 360 (ආ) වගන්ති, අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත, ළමා හා යෞවන (හානිකර ප්‍රකාශන ආඥා පනත), වෛශ්‍යා වෘත්තිය සඳහා ළමයින් සහ කාන්තාවන් ජාවාරම් කිරීම වැළැක්වීම පිළිබඳ පනත, පරිගණක අපරාධ පනත සහ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ දැනටමත් උඩ කී වැරදි සියල්ලට නීතිය ක්‍රියාත්මක කළ හැක. එහෙත් සැබෑ ගැටලුව ආණ්ඩුව එවැනි වුවමනාවකින් කටයුතු කරන්නේද, පොලිසිය එවැනි වැරදිවලට නිසි පරිදි යුක්තිය ඉටු කරන්නේද යන්නයි. එහෙත් ඒ බොහොමයක විමර්ශන නිසි පරිදි අවසන් නොකරන අතර, විමර්ශන ක්‍රියාවලියේදී ඇතැම් වින්දිතයන්ව යළි යළිත් හිංසනයට ගොදුරු වන බව චෝදනා පවතී. ඉතින්, අවශ්‍ය නම් අන්තර්ජාල යුගයට ගැළපෙන පරිදි, උක්ත නීතිරීති සංශෝධනය කිරීමයි සිදු කළ යුත්තේ.

චූටි මල්ලි ලෙස ප්‍රකට, මෙරට ගෞරවණීය හාස්‍යවේදියකු වන සුනෙත් චිත්‍රානන්ද ඒ ගැන කීවේ මෙසේය.

‘සමහරු අපෙන් අහන දෙයක් තමයි අපි මේකට විරුද්ධයි කීවාම, සමාජයේ ලිංගික හිංසා සහ මඩගහන ඒවාට වගේම මෑතකදී අලුතින් ෆෝම් වෙලා තියෙන ආගමික උන්මත්තක දේවල් පාලනය කරන්නට මේ පනත ගේනවාද කියලා.

ඇත්තටම ඒක තමයි පෙන්වන්නේ. අපි දන්නවා කොච්චර මේවා මුද්‍රණය කළත් සාමාන්‍ය අය කියවන්නේ අඩුවෙන්. ඒගොල්ලන්ට මතයක් ගේන්න පුළුවන් මේ වෙලාවේ මේවා අවශ්‍යයි. මට ඇත්තටම සැකයක් තියෙනවා මෑතක ආපු ඔය එක එක සිද්ධි හිතාමතා මේ සඳහාම ගෙනාපු සිද්ධිද කියලා. මේවා නිකම් අහම්බෙන් එන්නේ නෑ. මේවා ගෙනල්ලා මර්දනය කරන්න, ඇතුළේ තියෙන බරපතළ කාරණා යට ගහන්න වැඩක් වෙනවාද කියලා. මේක මැතිවරණ වසරක්. පාලකයන් දන්නවා මැතිවරණ වසරකදී වෙනදාට කරන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තමන්ට වුවමනා විදියට පාලනය කරගෙන ප්‍රචාරක කටයුතු සිදු කිරීම. දැන් සමාජ මාධ්‍ය ප්‍රබල වීම නිසා, කැම්පේන් කරන්න බැරි නිසා මේක ගෙනල්ලා තියෙනවා. ඒක සක්සුදක්සේ පැහැදිලියි, මොකටද මේක ගෙනත් තියෙන්නේ කියලා.’

පාර්ලිමේන්තු ක්‍රියාවලිය

මේ පනතේ සැබෑ අරමුණ පාර්ලිමේන්තුවේ හැන්සාඩ්ගත වී ඇත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම, අමාත්‍ය ටිරාන් අලස් ඉදිරිපත් කළ හේතු වෙනුවට, අමු අමුවේ පනතෙහි අරමුණ ප්‍රකාශ කර ඇත.

මේ පනත සම්මත කරගැනීම වෙනුවෙන් ජනවාරි 23 සහ 24 දින දෙක යොදාගත්තේ හදිසියේම වාගේය. නම සඳහන් කිරීමට අකමැති කැබිනට් මණ්ඩල සාමාජිකයකු ලියුම්කරු සමග මෙසේ කීය. ‘මේ පනත හදිසියේ දාන්න හේතුව වුණේ, ඉදිරියේදී එන්නේ ඡන්ද කාලය වන නිසා. අන්තර්ජාලය තුළ ආණ්ඩුවට කිසිම ඉඩක් නැහැ. හැමෝම අපට විරුද්ධව ඉන්නේ. බොරු පවා ප්‍රචාරය කරනවා. මේ වර්ෂය පටන් ගත්තේම වැට් බදු වැඩි කිරීමත්, ආර්ථික තත්ත්වයත් එක්ක දැවැන්ත ජනතා විරෝධයක් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට එල්ල කරමින්. ජනාධිපතිවරයා පත් වුණ ගමන් යම් අනුමැතියක් තිබුණාට, ඒක ඉක්මනින් කඩා වැටෙන බව පේනවා. ඒ නිසා මැතිවරණ උණුසුම එන්න කලින් හැකි ඉක්මනින් මේක සම්මත කරගන්න ඕනෑ වුණා.’

පනත තුන්වැනි වර කියැවූ අවස්ථාවේදී නීතිඥ වෘත්තියේ යෙදෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි මෙන්ම ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශවලට පිටින් මෙම පනත සම්මත කරන බවය. එහෙත්, එය නොතකා කටයුතු ඉදිරියට කරගෙන යෑමට ආණ්ඩුව කටයුතු කළේ, මන්ත්‍රීවරුන් සභානායකවරයා හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වටා ගොනු වී, තර්ජනාත්මකව විපක්ෂයට හඬ නඟමින්ය.

මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මේ පිළිබඳ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී කී කරුණක් අවසානයේ සිහියට නඟාගත යුතුය. ‘අපි රාජ්‍යයට කාවැදුණු දූෂණය, අපරාධ යුක්තිය පිළිබඳ ක්‍රියාවලියේ අර්බුදය පෙනෙන්නට තිබෙනවා. නීතිය අවභාවිතා කිරීම අපගේ දිනපතා අත්දැකීම. පාර්ලිමේන්තුවේදී කට වසා ඉඳගන්න කියා කියනවා විය හැකියි. එහෙත් ජනතාවගෙන් එය අපේක්ෂා කළ නොහැකියි.’ ඒ අනුව කට වසාගෙන ඉඳගෙන සිටීමේ හැකියාවක් ජනතාවට නොමැත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් ද ප්‍රකාශනයේ නිදහස ගැන කී ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරන්නෙමු. ‘මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරන්න ඕනෑ. ඒ නිසා තමයි මීට වසර ගණනාවකට එරෙහිව ජෝසෆ් පෙරේරා එදිරිව නීතිපති නඩුවේදී, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පංච පුද්ගල විනිශ්චය මඬුල්ලක් තීරණය කළේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කියන්නේ සියලු අයිතිවාසිකම්වල පදනම බව. ජනතාවගේ සිතීමේ නිදහස, සාමානාත්මතාව පිළිබඳ නිදහස, ආර්ථික අයිතීන් පිළිබඳ නිදහස ආදී සියලු අයිතීන්ට පදනම වන්නේ ප්‍රකාශන නිදහස. ඒ නිසා තමයි මේ අයිතිය ආරක්ෂා කරන්න ඕනෑ, ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනෑ.’

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment