(අවශ්‍ය නම් ශීර්ෂපාඨය වෙනස් කරගත හැකිය.)
2024 සැප්තැම්බර් මස 29 වැනිදා ඉරිදා
පාසල්වල පැවැත්වෙන උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වීමෙන් වළකින්නැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසා තිබේ. මෙය ස්ථිර වශයෙන්ම නියෝගයක් ලෙස චක්‍රලේඛයක් මගින් පාසල්වලට දැන්විය යුතු කාරණයකි. දේශපාලනඥයා යනු මාර වාතයකි. මාලිමා ආණ්ඩුව දේශපාලන අත පෙවීම්වලින් තොරව රට පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවක් පෙනේ. අපි පසුගිය දින කිහිපය පුරාම මාලිමා ආණ්ඩුවේ සාධනීය පියවර කිහිපයක් ගැන ලිව්වෙමු. ඒ ඔවුන්ට බටර් ගෑමේ අවශ්‍යතාවක් නිසා කළ දෙයක් නොව හරි දේ ප්රභාකරන් කළත් ප්‍රශංසාවට ලක් කළ යුතුය යන මතයේ අප සිටින බැවිනි. අනෙක් හැම ආණ්ඩුවක මෙන්ම මාලිමා ආණ්ඩුවේ ද මෝඩ චූන් තිබේ. පසුගියදා ගෝල්ෆේස් එකේදී රථවාහන ගණනාවක් පෝලිම් ගස්සා එක්තරා පුරුෂයකු විසින් කියා සිටින ලද කාරණා සමූහය ද එවැනි සුරතල් ආතල් එකකි. මේ පුද්ගලයා කී කාරණයෙහි සදොස් තැන් බොහොමයක් ඇති බැවින් එමගින් ජනාධිපති අනුර දිසානායකගේ ආණ්ඩුවට මඩ වැදීමට ඉඩ තිබේ. ජනාධිපති දිසානායක තම රාජ්‍ය පාලනයේදී නූගත් මෝඩයන් ළං කර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එක්තරා රජකුට සුරතල් වඳුරෙක් සිටියේය. මේ වඳුරා රජුට බෙහෙවින් ආදරය කළ අතර රජුගේ ඇඟේ මැස්සකුවත් වැසීමට ඉඩ නොදුන්නේය. දිනක් රජතුමා නිදා සිටින විට මැස්සෙක් එතුමාගේ පපුව මතට ලෑන්ඩ් කළේය. එකෙනෙහිම කඩුව අතට ගත් වඳුරා මැස්සාට දරුණු කඩු පහරක් එල්ල කළේය. ඉලක්කය වැරදුණු අතර මැස්සා ඉගිලී ගියේය. රජතුමා දෙපලු විය. කඩු පහරින් මැස්සා මියගියත් රජතුමා දෙපලු වීම ස්ථිර වශයෙන්ම සිදුවනවා ඇත. ජනාධිපතිතුමා ස්වකීය ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා සැලකිලිමත් විය යුතු බව කියැවෙන පෝස්ට් සමූහයක් අපි අන්තර්ජාලයෙන් දුටුවෙමු. මෝඩයන් ඈත් කර තැබීමෙන් ද ජනාධිපතිතුමාට ආරක්ෂාව සලසා ගත හැකිය.
නැවත වතාවක් අගමැති හරිනි අමරසූරියගේ අදහසට යොමු වෙමු. ලංකාවේ පාසල් වර්ග කිහිපයක් තිබේ. සමහර ඒවා තරු පහේ ජාතික පාසල්ය. තවත් සමහරක් තරු තුනේ නාගරික පාසල්ය. ගමේ තිබෙන පාසල්වලට තරු එකක්වත් නැත. මේ හැම පාසලකම පැවැත්වෙන උත්සවවලට දේශපාලනඥයන් ගෙන්වා ගැනීම ගුරු දෙගුරු සංගමය හා විදුහල්පතිවරුන්ගේ උත්සාහය වේ. එයට පරමාර්ථ කිහිපයක් තිබේ. පළමු වැනි පරමාර්ථය වන්නේ ඇමැතිතුමා ෂේප් කරගෙන හිතවත්කමක් ගොඩනඟා ගැනීමය. මේ හිතවත්කමේ ප්‍රයෝජන ඇති වන්නේ පාසලට නොව විදුහල්පතිට සහ ගුරු දෙගුරු සමිතියටය. දෙවනුව ඇමැතිතුමාට භක්තියක් දී පාසලට පිහිනුම් තටාකයක්, අලුත් මහල් ගොඩනැඟිල්ලක් හෝ පුස්තකාලයක් සාදා ගැනීමට ඇතැම් විදුහල්පතිවරු කල්පනා කරති. එහෙත් මේ කටයුත්ත සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට සල්ලි නැත. ඒ නිසා මුදලාලිලා කිහිප දෙනෙක් හවුල් කරගෙන අදාළ ඉදිකිරීම සිදු කරනු ලැබේ. ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා පමණක් ඇමැතිතුමා පැමිණෙනවා ඇත. තරු තුනේ ඉස්කෝලවල තත්ත්වය මෙසේය. ඒවායේ උත්සවවලට ඇමැතිවරුන් පැමිණෙන්නේ නැත. ඒ වෙනුවට මන්ත්‍රීවරු හෝ පළාත් සභා මන්ත්‍රීවරු පැමිණෙති. ඒ යකුන්ට කරගත හැකි මඟුලක් නැත. වැඩිම වුණොත් ඔවුන්ට කළ හැක්කේ ශ්‍රමදානයක් සංවිධානය කර දීමත්, එම ශ්‍රමදානයට බනිස් හා මාළුපාන් බෙදීම සඳහා මුදලාලි කෙනෙකු අල්ලාගෙන ඔහුගෙන් ගාණක් අරගෙන එයින් ගාණක් ගසා කෑම පමණි. උදාහරණයක් වශයෙන් මුදලාලි රුපියල් 20,000ක් දුන්නොත් මන්ත්‍රීතුමා රුපියල් 10,000ක් ගසා කයි. ඔහුට හිතුණොත් රුපියල් 20,000 ම ගසා කයි. තරු නැති පාසල්වල කිසිදු උත්සවයක් නැත. ඒවායේ ඇත්තේ ත්‍යාග බෙදා දීමේ වර්ෂය අවසාන උත්සව පමණි. ඒවාට අඩු ගණනේ අධ්‍යාපන අධ්යක්ෂවරයකුවත් නොපැමිණෙති. ප්‍රින්සිපල් විසින්ම තෑගි බෙදා දී වැඩේ ක්ලෝස් කර දමනු ලැබේ.
දේශපාලනඥයන් තරු පහේ පාසල්වලට එන විට ළමයින් ලවා කොඩි වැනීම ද නැවැත්විය යුතුය. මේ ළමයි ගිනි කාෂ්ටක අව්වේ වේළෙමින් සිට ක්ලාන්ත වී ඇද වැටෙති. එවිට එන්.ජී.ඕ. කාරයන් පාසල්වලට ගොස් ලංකාවේ මන්දපෝෂණය පිළිබඳ පර්යේෂණ නිබන්ධන පිළියෙල කරති. පාසල්වලට දේශපාලනඥයන් ගෙන්වීම නියෝගයක් මගින්ම වළක්වාලන ලෙස අපි අගමැති හරිනි අමරසූරියගෙන් ඉල්ලමු. එසේම තවත් වැදගත් කාරණයක් ද තිබේ. ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්ගේ ගෙවල්වල යුද හමුදා සෙබළු බැල මෙහෙවර කරති. යුද හමුදා ලොක්කාගේ බිරිඳ යන කාර් එක එළවන්නේ ද සෙබළෙකි. එසේම යුද හමුදා ලොක්කාගේ ගෙදර වත්ත උදලු ගාන්නේ ද, උයන්නේ ද, කක්කුස්සි හෝදන්නේ ද මේ අසරණ සෙබළුය. මේ තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ පමණක් නොව පොලිසියේ ද තිබේ. මේ මගින් නිල ඇඳුම් අඳින ආරක්ෂක අංශවල ආත්ම ධෛර්ය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වේ. මෙය යුද්ධයෙන් පැරදුණාට එහා ඛේදවාචකයකි. මේ රටේ සෑදිය යුතු වැරදි රාශියක් තිබේ. ඒ ටික හරියට සිදු කර ආර්ථික ගේම නිවැරදි ලෙස ගසා දුන්නොත් මාලිමා ආණ්ඩුවට තවත් බොහෝ කල් රට ඇදගෙන යා හැකිය.