කඩු මුවහත් තැබීම

1255

රුසියාව විසින් යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරනු ලැබූ අවස්ථාවේදී යුකේ‍්‍රන සංචාරකයන් 4000ක්ද රුසියානු සංචාරකයන් 11000ක්ද ශ‍්‍රී ලංකාවේ සිටියහ. කොවිඞ් 19 වසංගතයෙන් මේ රටේ සංචාරක ව්‍යාපාරය අටපට්ටම් වී ගිය කල්හි කිසිදු සුද්දෙක් ලංකාව පැත්ත පළාත බැලූවේ නැත. සමහර රටවල් සිය රටේ වැසියන්ට ශ‍්‍රී ලංකාවට පැමිණීම පවා තහනම් කරන ලදී. එවැනි තීරණාත්මක මොහොතකදී අප අත් නොහල රුසියාව සහ යුකේ‍්‍රනය යන දෙරටටම අප තුළ හෘදයාංගම ස්තුතියක් තිබේ. මේ මොහොත වනවිට රුසියන් සංචාරකයන්ට සිය රට බලා ආපසු යෑමට හැකියාවක් තිබුණත් යුකේ‍්‍රන සංචාරකයන්ට එසේ කළ නොහැකියි. ඒ පැත්තට යන මගී ගුවන් යානා වේවා යුද ගුවන් යානා වේවා ඕනෑම එකකට රුසියානු හමුදාව මෙන්ම යුකේ‍්‍රන් හමුදාව ද වෙඩි තබනු ලැබේ. ලංකාවේ සිටින යුකේ‍්‍රන් සංචාරකයන්ගේ මුදල් සියල්ල දැනටමත් ඉවරවෙලා තිබෙනවා වන්නට පුළුවන. අපගේ දුෂ්කර අවස්ථාවේ අපට ඩොලර් කීපයක් දීමට පැමිණි ඒ මිනිසුන් මේ මොහොතේදී යුද අනාථයන් ලෙස සැලකීම අපගේ වගකීමයි. ඒ නිසා අපේ ආර්ථික දුෂ්කරතා පැත්තක තබා එකී යුකේ‍්‍රනියානු සංචාරකයන්ට මූලික පහසුකම් ලබාදී ආහාර පාන සපයා බලා හදා ගැනීම අපගේ වගකීමය.

 රුසියාව මේ වෙලාවේදී න්‍යෂ්ටික යුද්ධයකට යනු ඇතිද යන සැකය මතුව තිබේ. රුසියාවේ න්‍යෂ්ටික හමුදා සියල්ල හදිසි අවස්ථාවකට ගැළපෙන පරිදි සූදානම් කර තබන ලෙස ජනාධිපති පුතින් ඉකුත් සෙනසුරාදා නියෝග කළේය. නේටෝ සංවිධානය නියෝජනය කරන බටහිර රටවල් සහ ඇමරිකාව ඉහත සඳහන් නියෝගය බරපතළ ලෙස හෙළා දැක ඇත. යුකේ‍්‍රනය වැනි රටක් සමග යුද කිරීම සඳහා න්‍යෂ්ටික අවි අවශ්‍ය නැති බව ලෝක බලවතුන්ගේ මතයයි. එසේ නම් ව්ලැදිමීර් පුතින් සූදානම් වනු ඇත්තේ වෙනත් බලගතු න්‍යෂ්ටික බලවතෙක් මෙම යුද්ධයට අත පෙවීමට කරන උත්සාහයකදී ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමය. ලෝකයේ වැඩිම න්‍යෂ්ටික බලයක් පාවිච්චි කර ශක්තිය උපදවන රටවල් කිහිපය අතරින් රුසියාව ප‍්‍රමුඛ ස්ථානයක සිටී. රුසියාව හැම අවුරුද්දකම ස්වකීය අය වැය ලේඛනයෙන් වැඩි කොටසක් න්‍යෂ්ටික බලය ප‍්‍රවර්ධනය කිරීම සඳහා යොදවනු ලැබේ. එරට සතුව න්‍යෂ්ටික අවි 7000 ක් ඇත. මේවායින් අවි 1500 ක් ඕනෑම මොහොතක ගුවන්ගත කර වෙනත් රටකට පහරදීම සඳහා යොදාගත හැකිය. සාපේක්ෂව බලන විට ඇමරිකාවේ තිබෙන න්‍යෂ්ටික අවි ප‍්‍රමාණයට වැඩි න්‍යෂ්ටික අවි ප‍්‍රමාණයක් රුසියාවේ තිබේ. ලෝකයේ තිබෙන සමස්ත න්‍යෂ්ටික අවි ප‍්‍රමාණය 14000 කි. ඉන් අඩක්ම රුසියාවට අයිතිය. ඊට අමතරව රුසියාව සතුව ජීව විද්‍යාත්මක ආයුධ ද තිබේ. යුකේ‍්‍රනයද න්‍යෂ්ටික බලය තිබෙන රටකි. එක්සත් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ ජනරජයක් ලෙස පැවති කාලයේදී එම සමූහාණ්ඩුවට අවශ්‍ය යුද ගුවන් යානා සහ යුද අවි රාශියක් යුකේ‍්‍රනය තුළ නිපදවන ලදී. සෝවියට් සංගමයේ දෙවැනි බලසම්පන්නතම ජනරජය වූයේද යුකේ‍්‍රනයයි. එහෙත් අද වන විට රුසියාව සතු න්‍යෂ්ටික යුද බලයෙන් කවර ප‍්‍රතිශතයක න්‍යෂ්ටික යුද බලයක් යුකේ‍්‍රනය සතුව තිබේදැයි කිසිවෙක් නොදනිති. කිසියම් රටක් න්‍යෂ්ටික අවි වලින් කොපමණ දුරට සන්නද්ධ වී සිටිත්දැයි සෙස්සෝ නොදනිති. කවුරුත් න්‍යෂ්ටික මිසයිල කීයක් තමන් සතුව තිබේද යන්න කීමට අවංක වන්නේ නැත. මෙය ඉතා සුළු සහ ප‍්‍රායෝගික

 උදාහරණයක් මගින් දැක්විය හැකිය. වසර 2002 පෙබරවාරි 22 දා කොටි සංවිධානය හා ලක් රජය අතර සටන් විරාමයක් ඇතිවිය. ඉන්පසු ශ‍්‍රී ලංකා යුද හමුදාව බැරැක්ක වලට ගාල් වූ අතර කොටි සංවිධානය සටන් විරාමය නිමිත්තෙන් සිය යුද අවි මැදහත් පාර්ශ්වයකගේ අධීක්ෂණය යටතේ භාරදීමට එකඟ වූහ. එකී මැදහත් පාර්ශ්වය වූයේ නෝර්වේ රටින් පැමිණි සාම බ්‍රෝකර්ලා කට්ටියයි. ගිවිසුමට අනුව කොටි සංවිධානය තමන් සතු අවි සියල්ල කිසි කලෙකත් භාර දුන්නේ නැත. ඔවුන් කළේ කොකා කැඩුණු තුවක්කු, පින් එක වැඩ නොකරන අත් බෝම්බ, කල් ඉකුත්වීම සහ වැසි ජලයට හසුවීම නිසා පුස් වෙඩි ලෙස සැලකෙන වෙඩි උණ්ඩ තොග, ගුවන් යානා නාශක අවි ලෙස පෙනෙන නමුදු අඹ ගෙඩියක් කැඞීමට පවා නොහැකි කබල් තුවක්කු කිහිපයක් භාර දීමය. මේවා පරණ යකඩ වලට මිස අන් කිසිදු වැඩකට සුදුසු නොවේ. තමන් සතුව ඇති න්‍යෂ්ටික අවි සීමා කිරීමට ලෝකයේ බලවත් රටවල් පසුගිය කාලයේ එකඟ වූහ. මෙවිට සිදුකරන්නේ න්‍යෂ්ටික අවිය කොටස්වලට ගලවා එක තැනක නොව වෙන වෙනම තැන්වල ගබඩා කිරීමය. මෙය dismantle කිරීම ලෙස සලකනු ලැබේ. මේ තත්ත්වය තුළදී න්‍යෂ්ටික අවියක් පාවිච්චි කිරීමට හදිසි අවශ්‍යතාවක් ඇති වුවද එම අවිය එකෙනෙහිම එකලස් කර ගැනීමට නොහැකි වීමෙන් න්‍යෂ්ටික ප‍්‍රහාරය කල් යයි. මෙම කල් දැමීම තුළ කිසියම් ගේමක් ගසා ගැනීමට සාමයට ලැදි පාර්ශ්වවලට පුළුවන. එහෙත් ලෝකයේ කිසිදු න්‍යෂ්ටික බලවතෙක් ස්වකීය න්‍යෂ්ටික අවි සියල්ලම dismantle කර නැත. ඔවුන් එසේ කළා නම් කළේ වැඩි ස්ඵෝටන බලයක් නැති සාමාන්‍ය ආයුධ කිහිපයක් පමණි. රුසියන් ජනාධිපති පුතින් එරට න්‍යෂ්ටික හමුදා සූදානමින් තබන ලෙස නියෝග කළේ ඇමරිකාව වැනි රටවලට තමන් සතු බලය පිළිබඳ සංඥාවක් දීමට යැයිද කියනු ලැබේ. මෙය යුද්ධයේදී සලකනු ලබන්නේ අලංකාර ශාස්ත‍්‍රය හෙවත් rhetorical ප‍්‍රවේශයක් ලෙසය. මෙය සමාන වන්නේ ගෙවල් දෙකක් අතර ආරවුලක් පවතින විට එක ගෙදරක මිනිස්සු එළිපත්තට පැමිණ අනෙක් ගෙදර මිනිසුන්ට පෙනෙන පරිදි කඩුවක් මුවහත් තැබීමටය. මුවහත් තැබූ කඩුව භයානකය. එය වහා කැපෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment