කණ්ඩායම් තේරීමේදී කාටවත් විශේෂ හැන්දකින් බෙදුවේ නැහැ – කුසල් ජනිත් අන්තිම කාලයේ දුර්වල වුණා

388

තේරීම් කමිටු සභාපති උපුල් තරංග

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා අවසන් සංචිතය තේරීමේදී කිසිවෙකුට වැඩි සැලකිල්ලක් නොදැක්වූ බවත් තේරීම් කමිටු සාමාජිකයන් සියලු දෙනා එක්ව කණ්ඩායම තෝරා ගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා පැවැසීය.

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ (13 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උපුල් තරංග මහතා එසේ සඳහන් කළේය.

එමෙන්ම එම සංචිතය තෝරා ගැනීම සඳහා දක්ෂතාවය මෙන්ම විනය ද සැළකිල්ලට ගත් බවත් උපුල් තරංග මහතා පැවැසීය.

ඕනෑම අභියෝගයක් ජයගත හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතුවන බවත් ක්‍රීඩාංගණය මැද ක්‍රීඩකයන් දක්වන දක්ෂතාවය මෙන්ම ඔවුන්ගේ විනය සහ සංචාර වලදී ඔවුන් හැසිරෙන ආකාරයත් තේරීම් සඳහා සැලකිල්ලට ගත් බවත් ඔහු සඳහන් කළේය.

“මොකද ඔවුන් නියෝජනය කරන්නේ අපේ රට. එය ඉතාම වැදගත්. යමෙක් වරදක් කළොත් එය කණ්ඩායමට පමණක් නොව රටටත් කැළලක්. එසේම යම් අවස්ථාවක කණ්ඩායම් කළමනාකරුගෙන් හෝ වෙනත් පාර්ශවයකින් විනය සම්බන්ධ වාර්තාවක් ලැබුණහොත් එය කණ්ඩායම තෝරා ගැනීමේදී විශේෂ සාධකයක් ලෙස සැලකිල්ලට ගන්නවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලත්, ඇමෙරිකා එක්සත් ජනපදයේත් මෙතෙක් පැවැති තරග වලදී ලකුණු 160 සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව බව පෙනී යනවා. නමුත් තණතීරු කෙසේ හැසිරේ දැයි එහි ක්‍රීඩා කරන තෙක් අපි දන්නේ නැහැ. සමහර විට ලකුණු 200 ඉක්මවා යන්නත් පුළුවන්. එසේ වුවත් කණ්ඩායමක් ලෙස ඕනෑම අභියෝගයක් ජයගත හැකි කණ්ඩායමක් අපිට ඉන්නවා කියා මම විශ්වාස කරනවා.” යනුවෙන් පැවැසීය.

කුසල් ජනිත් පෙරේරාට අවසන් සංචිතයේ අවස්ථාව හිමි නොවීම සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් උපුල් තරංග මහතා කියා සිටියේ කුසල් ජනිත් දක්ෂ පිතිකරුවකු වුවත් පසුගිය කාලයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ තරග වලදී දස්කම් දැක්වීමට ඔහු අපොහොසත් වූ බවයි. ඒ අනුව අවාසනාවන්ත ලෙස ඔහුට ලෝක කුසලාන සංචිතයට එක්වීමට නොහැකි වූ බවත් ඔහුව නම් කිරීම සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වාම සාකච්ඡා පැවැති බවත් ඔහු පැවැසීය.

නවක යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක් කර ගත්තේ, අතිරේක දඟ පන්දු යවන්නකු ලෙස බවද ධනංජය ද සිල්වා ද තුන් ඉරියව් බලාපොරොත්තුවක් බවද තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.

ආබාධයන්ගෙන් පසුව වනිඳු හසරංග සහ මතීෂ පතිරණ ලෝක කුසලානයේදී සියලුම තරග සඳහා එක්වීමට හැකි අයුරින් ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවනු ඇති බවත් තේරීම් කමිටු සභාපතිවරයා මෙහිදී කියා සිටියේය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment