කතන්දර කලාවට ආලෝකයක්

70

දිවිමගේ හැත්තෑ දෙවන වසර පසු කරමින් සිටින අපව අවුරුදු අට, නවය, දහය වසරවලට කැඳවාගෙන යෑමක් ඊයේ පෙරේදා සිදුවිය. නාරාහේන්පිටි, මහවත්ත ප‍්‍රදේශයේ පියාගේ පියා හා මව සමග සවස පහ හයට නිවසේ පඩිය උඩ තනිවීමු සාම ජාතකය, වෙස්සන්තර ජාතකය දෙසවන් මත නැවත රැව් දෙන්නට වූයේය. ඒ අනෙකක් නිසා නොව, පොත් සමග අත්‍යන්තයෙන් බැඳුණු පියසේන වික‍්‍රමගේ විරචිත ‘උතුරු ඇමෙරිකානු ජනකතා’ කෘති පරිශීලනය කිරීමෙනි. අධ්‍යතනයේ සුදුර්ලභ ජනකතා කෘති පාඨකයා අතට පත් කිරීම ඔහු ඇරඹුවේ රටවල් අටක ජනකතා අටක් නිර්මාණ සංග‍්‍රහයෙනි. මෙවර උතුරු ඇමෙරිකානු ජන කතා උදෙසා ඔහු කෙතරම් කැප කිරීමක් කළේ ද යන්න නිර්මාණකාරකයාගේ වචනවලින් තහවුරු වෙයි.

‘ඇරිසෝනා විශ්වවිද්‍යාල පොත් හලෙත්, කැලිෆෝනියා මහජන පුස්තකාලවලටත් ගිය අවස්ථාවල දී උතුරු ඇමෙරිකානු ජනකතා එකතුවට මුල පිරුණා. දෙවනුව නවසීලන්තයේ ඉතා දියුණු මහජන පුස්තකාලවල දී මීට අදාළ කතා ගොන්නක් හමුවුණා.’

කිසි දිනක එංගලන්තයට නොගිය ලේඛකයෙක් එහි කලක් වාසයකොට දැන් කොළඹ සිටින මිතුරකුගෙන් තොරතුරු අසාගෙන, එංගලන්තය පාදක කොටගෙන නවකතාවක් නිර්මාණය කිරීමට වඩා මෙය කොතෙක් අව්‍යාජ ද?

උතුරු ඇමෙරිකානු ජනකතා කෘතිය ‘එස්කිමෝ කතා’ නැඟෙනහිර වෙරළබඩ ‘ඉන්දියානු ජනකතා මධ්‍යම තැනිතලාවේ ඉන්දියානු ජනකතා බටහිර වෙරළබඩ ඉන්දියානු ජනකතා යන කොටස් සතරකින් සංගෘහිතය.’ කතා විසි අටෙන් විඳි රසයෙන් බිඳක් පමණක් ඉඩ හසර පමණට ඔබට මෙසේ ඉදිරිපත් කරමු. එස්කිමෝ කතා අතර ‘ටුක්ටු නොහොත් මුවාගේ කතාව’ ලොව පහළ වූ පළමු පුරුෂයාගේ හා

ස්ත‍්‍රියගේ ක‍්‍රියාකාරකම්වලින් සන්නද්ධය. ඔවුන් ආහාර සොයා ගත්තේ කවරාකාරයෙන් ද? ඔවුන්ගෙන් මිනිස් පරපුර ඉදිරියට ගමන් කළේ කෙලෙස ද? ඒ පිළිබඳව ඔවුන් තුළ වූ ආකල්ප මොනවා ද? මෙලොවට සතුන් පහළ වූයේ කෙබඳු ආකාරයෙන් ද? ගින්දර සොයා ගැනීම හා ? දවල් වෙනස ඇති වූ අන්දම ද මේ කතාවෙන් විවරණය වී තිබේ. ජනකතාවල හේතු ඵල සම්බන්ධයක් නොවිමසිය යුතුය. අභව්‍ය සිද්ධි මගින් පවා ජනනයවන රසය වින්දනය කළ යුතුය. මෙය කුඩා දරුවාටත්, වැඩිහිටියාටත් එවිට අදාළ කියවීමක් වන්නේම ය. හැම කතාවකින්ම දරුවන්ට අගනා පණිවිඩයක් පිරිනැමීම ඉතා ඉහළින් අගය කළ යුත්තකි. ලොව පළමු කාන්තාව මගින් සත්ත්ව කරුණාව පිළිබඳ පණිවඩය පිරිනමා ඇත්තේ මෙලෙසිනි.

‘උඹ හරි ලස්සන පුංචි සතෙක්. අනේ නිදහසේ පලයන් ගිහින් දකුණු දිශාවේ වනාන්තරවලට ගිහින් ලේන පරපුර තව තව බිහි කරපන්.’

‘අනේ වෘකයෝ, උඹෙන් ඇති ඵලක් නෑ. උඹත් දඩයමක් කර යැපෙන සතෙක් නේ.. වනාන්තරයට ම ගිහින් උඹලගේ සත්ත්ව පරපුර වැඩි කර ගනින්.’

‘ස්ත‍්‍රිය සතුටින් උද්දාමයට පත්ව කෑ ගැසුවා. ඇය මෙතෙක් බලාපොරොත්තුව සිටියේ මේ වගේ දෙයක්. මුව වර්ගයේ මේ සතාවයි ටුක්ටු කියායි ඔවුන් මේ සතාට කීවේ. උඹ ආපු පාරෙම පලයන් සාමයෙන් සැනසී මෙන් ඉඳපන් තමන්ගේ පරපුර හදා ගනින්.’

ලොකු කළු කපුටා හා වුල්වරින්ගේ ක‍්‍රියා කලාපයන් හේතු කොටගෙන ලොව දවල් රාත‍්‍රී දෙක ඇතිවුණු ආකරය විවරණය කරමින් කතාව රසයෙන් අනූනව නිමාකර තිබේ.

දෑස් අඳ දරුවකුට ඔහුගේ ම මිත්තණිය විසින් රුදුරු ලෙස සැලකීමේ වැරදි සහගත බව පෙන්වාදීමත් කුඩා දරුවන්ගේ සිත්වල පිරිසිදු බව මූර්තිමත් කිරීම උදෙසාත් විරචිත නිර්මාණයක් ලෙස ‘දෙනෙත් අඳ ළමයා සහ ඔහුගේ සහෝදරිය’ හඳුන්වාදිය හැකිය.

‘ආච්චි අම්මාට කොල්ල උන්නත් එකයි මළත් එකයි: ඒකා දෑස් අන්ධ එකා කාගෙවත් පිළිසරණක් නැති එකා හොඳකට හරි නරකට හරි ඒකා ඉක්මනින් එලෝ ගියා නම් හොඳ බවයි ඇය සිතා සිටියේ.’

කිසියම් දරුවකුට හෝ දැරියකට මෙවන් අවාසනාවක් රුදුරු මිත්තණියක් උරුම වුවත් නොසැලී නොබියව සිටිය යුතුය යන උපදේශය මෙයින් පිරිනමා නැතැයි කාට නම් කිව හැකිද?

ඇට්ලස් නම් මේ අන්ධ දරුවා දක්‍ෂ ලෙස වලසකු දඩයම් කළ ආකාරයත්, මිත්තණිය එය සඟවා ඔහුට ආහාර පවා නුදුන් අයුරුත් විවරණයෙන් කරුණු රසයක් ජනනය වෙයි.

ඔහුගේ බාල සහෝදරියගේ ක‍්‍රියා දාමයෙන් පුංචි හිත්වල සුදු පැහැය මැනවින් වර්ණවත් වූ බව කිව යුතුය. ‘මේ දැරිවිය තමන්ගේ අයියාට ආදරෙයි ඉතින් වැඩිකල් නොයාම ආච්චි අම්මා කළ කී දේවල් ඇය තම අයියාට හෙළි කළා. ඉතින් පුළුස්සපු මස් කෑමට ගිය හැම වතාවකම මේ දැරිවි අර මස්වලින් කොටසක් ගෙනැවිත් අයියාට දුන්නා. ඇඳුම් වාටියක් නමා ඒ ඇතුළේ හරි. කරේ එල්ලාගෙන තිබුණු පුංචි මල්ලේ හරි. ඇය මස් රැගෙන ගියා.

මේ කතාව අවසානයේ ඇස් ලැබුණු ඇට්ලස් ගේ ක‍්‍රියාකාරකම්වලට නැඟණිය සම්බන්ධවන ආකාරය දුටු මිත්තණිය එකී ක‍්‍රියාවන්ට සම්බන්ධවීමෙන් දිවි කෙළවරවුණු අයුරු භාව ප‍්‍රකෝපයකින් තොරව විවරණය කිරීම පියසේන වික‍්‍රමගේ නම් අනුවර්තකයාගේ ප‍්‍රතිභාව පසක් කරන්නකි.

එස්කිමෝ කතා අතරින් අනුවර්තික ‘වයසක අම්මයි වලස් පැටියයි’ ඉසියුම් රමණීය නිර්මාණයක් ලෙස හැඳින්වීමට අපි පසුබට නො වෙමු. මෙය කුඩා දරුවන්ගේ රස මනස ඉහළින් පිනවන්නකි. උතුරු ඇමෙරිකානු ජනකතා කෘතිය අප රට හැම කුඩා දරුවකුට ම කියවීමට දියයුතු කෘතියක් බව මේ කතාවෙන් ම පසක් වෙයි.’

සතාගේ කුසේ සිටි වලස් පුංචාව පැත්තකින් තබා තිබුණා. වලස් පුංචාට පණ තිබුණා. අධික සීතලෙන් පැටියා ගල් ගැසී වගේ හිටියේ ඇස් වැහිලා අසරණ පැටියා ඉතින් මේ වයසක අම්මා වලස් පුංචාව ආදරයෙන් රැක බලා ගත්තා. හුරතල් සතෙක් විදිහට හදා වඩා ගත්තා.’

මේ සතාගේ කරේ පටියක් පැළඳ වූ අයුරුත් මේ සතා සීල් මත්ස්‍යයන් දඩයම් කළ ආකාරයත් රමණීය ලෙස ම විවරණය කර තිබේ. සමාජයේ කොතරම් යහපත් අය සිටියත්, එය නපුරු දුදනන් ගෙන් විනිර්මුක්ත නොවන බව පෙන්වීම කතාවේ උත්තම භාවයට හේතුවක් වී තිබේ. මිනිසුන් රුදුරු වුවත් වලසා රුදුරු නො වුණු සැටි ඌ හදාවඩා ගත් නැතැත්තිය සමග ක‍්‍රීඩා කරද්දී ප‍්‍රවේශම් වූ ආකාරයෙන්ම ධ්වනිතය. කතාව නිමාවේ එය මෙසේ කාව්‍යමය ගුණයෙන් පෙන්වා තිබේ.

‘හානි නැත ජීවිත නැසුමට
ගති ගුණ මිනිසත් බවින් පිරිපුන්
නපුරු නරක මිනිසුන් මැද වුව
තම දිවි රැකුමට මිස නො කළේය අවැඩක්.
‘හඳ හොරා ගත් ලොකු කළු කපුටා,’

මේ නිර්මාණ සංග‍්‍රහයේදී හමුවන තවත් රසවත් කතා වස්තුවකි. කළු කපුටුන් හා ධීවර ජනතාව අතර ගැටුම කළු කපුටා හඳ සොරා ගැනීම අවසානයේ දෙපිරිස ම

සමඟි සමාදාන ගිවිසුමකට එකඟව සතුටින් සිටීම මේ කතාවෙන් සුචිතය අත්භූත රසයක් ජනනනය වුවද මෙය ළමා පරපුරට රසයක් සමඟ නොමඳ වටිනාකමකින් යුත් පණිවිඩුයක් පිරිනමා තිබීම ඉතා ඉහළින් අගය කළ යුතුය. මෙවන් කතා නිසා ම මෙය වැඩිහිටියන් විසින් තම දරුවන් අතට පත් කළ යුතු කෘතියක් බව නැවත සිහිපත් කරමු.

‘ඔව්.. ඔව්… අපි එකඟය. නෙළන අස්වැන්නෙන් ස්වල්පයක් අපි දෙනවා සත්තයි. හැබැයි තවත් වැදගත් කාරණයක් කුරුලු ?න් ද පොරොන්දු විය යුතුයි. අපේ මාළු අස්වැන්නෙන් හොඳම මාළු අස්වැන්න පැහැර නොගත් නා බවට.’

‘භූතාත්මය මහපටඟිල්ලෙන් ඉහළට එසැවෙන කව පෙත්තක් ලෙස පුර හඳ අහසට ඔසවනු ලැබුවා. ඒ ඔහුගේ සුවිසල් කපුටු හොටෙන් පුරහඳ එළිය අහස පුරා පොළොව පුරා විහිද බබළ අයුරු යළි දකින්නට ලැබුණා.’

අප විසින් සාකච්ඡා කළ කතා හැරුණුවිට ‘හා රාළහාමියි අශීලාචාර බළලයි’ ‘තාපස කුරුල්ලා ගේ කන්කලු ගීතය’ ‘දුම්කොළ කතාව’ ‘නිදිකුම්බා යෝධයා’ ‘රැවටිලිකාරයා’ ‘අයිස් කුට්ටිය බිඳ දැමූ අයිස් පණුවෝ’ කුඩා දරුවන්ගේ පමණකන් නොව, වැඩිහිටි පාඨකයාගේ ද රස මනස පිනවන බව නොකියා බැරිය.

පියසේන වික‍්‍රමගේ හැම කතාවක් ජනකතාවක ස්වරූපයෙන් ආරම්භ කිරීමට කිසිසේත් අමතක කර නැත. එය ඉතා අගයැති ක‍්‍රියාවකි. ඔන්න ඉස්සර කාලයේ යාළුවෝ දෙන්නෙක් හිටියා හරි බැඳීමෙන් මේ කතන්දරය කුරුල්ලන්ගේ ඉමිහිරි ගී ගායනා පිළිබඳව කියා දෙනවා.

මේ වයසක අම්මා වාසය කළේ මහා වැව් ඉවුරකයි.

ඉතින් මේ කතන්දරය පටන් ගන්නේ මහ පෙළොව කියා යමක් නොතිබ්බ කාලයක.

මේ සියලු ආරම්භයන් කුඩා දරුවන් කතා කීමට ඇද බැඳ ගැනීමට හේතුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ළමා නිර්මාණ සංග‍්‍රහයක කතා රසය තීව‍්‍ර කිරීමට හේතුවන චිත‍්‍ර නිර්මාණ පිළිබඳව කතා නොකර බැරිය. ‘දෙනෙත් අඳ ළමයා’ ‘හා රාළහාමියි අශිලාචාර බළලයි’ ‘හඳ හොරාගත් ලොකු කළු කපුටා’ කතා උදෙසා නිර්මාණය කළ සිතුවම් කොතරම් ආකර්ෂණීයදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. මෙහිදී අම්රිතා වික‍්‍රමගේ උදෙසා ලැබිය යුතු ගෞරවය පිරිනැමීමට අපි කිසිසේත් පසුබට නොවෙමු. මෙහිදී මගේ මතකයට ඇදී ආවේ සුනිල් ජයවීර, ජයරත්න සමරසේකර, සිබිල් වෙත්තසිංහ, ශාන්ත කේ. හේරත්, කොල්වින් සෙට්ටිනායක ආදීන් මේ ක්‍ෂේත‍්‍රයේදී ප‍්‍රදර්ශිත ප‍්‍රතිභාවය. මැය ඊට දෙවැනි නැත.

මේ සමස්ත කාරණා සියල්ලෙන් සමන්විත පියසේන වික‍්‍රමගේ අනුවර්තනය කරන ලද ‘උතුරු ඇමෙරිකානු ජනකතා’ ළමා වැඩිහිටි දෙපාර්ශ්වයේම පාඨකාවධානයට නොමඳව ලක්විය යුතු අගනා කතා සංග‍්‍රහයක් බව අවසාන වශයෙන් සටහන් කරමු. එය සම්මානවලට ද පාත‍්‍ර වේවායි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමු.

සුනිල් ගුණවර්ධන

කතන්දර කලාවට ආලෝකයක්
advertistmentadvertistment
advertistmentadvertistment