ඇසළ මල් පිපී පරිසරයම කහ පාටින් දිස්වේ. කොස් ගෙඩි, පැණි වරකා වී සුවඳ හමයි. කජු ගස්, අඹ ගස්වල පළතුරු හටගෙන ඇත්තේ අපූරු මංගල්‍යයකට පුද පූජාවකට සැරසෙන ලෙසිනි.
පරිසරය මෙසේ සකස් වෙමින් හැඩ වැඩ වන්නේ උතුම් කතරගම කඳ කුමරුවන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහ මංගල්‍යය සනිටුහන් කිරීම පිණිස සිදු කරන ඇසළ මංගල්‍යය මුලික කර ගනිමින්ය.
මෙම මස 19 වැනි දින සිට ලබන ජුලි 03 වැනි දින දක්වා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වේ. එය ලක්දිව පැවැත්වෙන පැරණිම පෙරහැර සහ කෙටි දුරක් වීථි සංචාරය කරන දෙවියන්ගේ කතරගම පෙරහැර මංගල්‍යය ඇරඹීමයි.
ඉන්දියාවේ සිට පැමිණි එළාර පාලකයා විසින් අත්පත් කරගෙන සිටි ලක්දිව නිදහස් කර ගනු ලැබුවේ දුටුගැමුණු මහා රජතුමා විසිනි. වසර 2249 කට පෙර (ක්‍රි. පූ. 161 -137) සිට මේ රට එක්සේසත් කළ දුටුගැමුණු මහා රජතුමා උතුම් කතරගම දෙවියන් හමුවේ සිදු වූ භාරයක් ඔප්පු සිද්ධ කිරීම පිණිස වර්තමානයේ ඇති කතරගම දේවාලය නිර්මාණය තිබේ.
ඉර හඳ පවතිනා තුරු කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා කිරීම පිණිස රජ අණක්ද ප්‍රකාශයට පත් කිරීම මත රුහුණු මහා කතරගම දේවාලයේ පුද පූජා කටයුතු වසර ගණනක සිට අඛණ්ඩව පවත්වා ගෙන එමින් කතරගම ඇසළ මංගල්‍යය ජාතික මංගල්‍යයක් ලෙස පැවැත්වේ. ලාංකීය දෙවඟනක් වන වල්ලි දෙවඟනගේ අත ගැනීම පිණිස භාරතයේ සිට ස්කන්ධ කුමරුන් ලක්දිවට වැඩ වල්ලි දෙවඟන විවාහ කර ගත් බව දේවාල ඉතිහාසයේ සඳහන් වේ. කඳ කුමරුන් සමග ලක්දිවට පැමිණි නබිර් නමැති ඉෂිවරයා ද සිවලිංගම් නොමැති ඉෂිවරයා ද පැමිණි බවත් එම දෙදෙනාට ද කතරගම පුදබිමේ ස්ථාන 02ක් වෙන්වී තිබේ.
අද පූජා භූමියේ ඇති මුස්ලිම් පල්ලිය නබීර් ඉෂිවරයා මුල් කොට ගෙන පවත්වා ගෙන යමින් පවතී. සිවලිංගම් ඉෂිවරයා මුල් කරගෙන තේවානි අම්මා මඩම පිහිටා තිබේ. හිංදු, බෞද්ධ, මුස්ලිම් යන ජන කොටස් එකට එක්වී එකම දෙවියකු අදහන එකම පුදබිම ලොව ඇති එකම සර්ව ආගමික කේන්ද්‍ර ස්ථාන ලෙස කතරගම හඳුන්වයි. අප රට අල්ලාගත් විජාතික බලවේග හමුවේ ද කිසිදු අඩුවකින් තොරව දේවාලයේ සම්පත් (වස්තුව) සුරකිමින් දෙවියන්ගේ දෛනික තේවා සිදු කරමින් දුටු ගැමුණු මහා රජතුමාගේ රාජ්‍ය අණ ඉටුකර චාරිත්‍ර කිරීමට පාරම්පරික කපුමහතුන් ක්‍රියා කරමින් දේවාලයේ කටයුතු සිදු කරති.
අප රටේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815.02.18 දින ඉංග්‍රීසින් විසින් අල්ලා රටින් පිටුවහල් කිරීමෙන් පසුව මේ රටේ රජකුගේ පාලනය අවසන්වී ඉංග්‍රීසින් විසින් නව අණ පනත් සම්මත කරගෙන ලංකාව පාලනය කරන ලදී. අදත් එම නීති රෙගුලාසි ක්‍රියාවට නැන්වේ. එවන් පසුබිමක් තුළ දුටුගැමුණු රජතුමා පැන වූ රජ අණ අකුරටම ඉටුකිරීම කතරගම දේවාලයේ චාරිත්‍ර අතර දැකිය හැකිය.
මේ උදාහරණ කිහිපයකි
කතරගම දේවාලයේ කපුමහතුන් රාජකාරිකරුවන්, ආලත්ති අම්මාලා ඇතුළු රාජකාරිකරුවන් සඳහා වසරකට වැටුපක් ලෙස රුපියල් 2 යි ශත 82 කි. දේවාලයේ මහාබෙත්මේ ලේකම්ගේ පොතේ අත්සන් කර මෙම වැටුප ලබාගත යුතුය. (මෙය අතීතයේ පතාපහකි) මෙම වැටුප යම් අයකු ලබා නොගත හොත් ඔහුට දේවාලයේ සේවය කළ නොහැකිය. අතීතයේ මං මාවත් නොමැති යුගයේ දෙවියන්ගේ වෙලේ සහ දේවාලයේ කුඹුරුවල වී අස්වැන්න රැගෙන පැමිණියේ ගවයින් බැඳි තවලම මගිනි. වර්තමානයේ මං මාවත් කපට් වී ප්‍රවාහන පහසුකම් දියුණු වී ඇත. එහෙත් රජතුමා පැන වූ අණ පරිදි අදත් දේවාලයේ වී සහල් රැගෙන එම තවලම (ගවයින් මගින්) සිදු වේ. අතීතයේ කතරගම ඇසළ මංගල්‍යයට ඉතාමත් ගෞරවයක් ලබා දෙමින් ඉංග්‍රීසින් විසින් සිදු කළ බව රැහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා සොමිපාල ටී. රත්නායක මහතා සඳහන් කරන කරති. ඔහු සඳහන් කළේ සුදු අධිරාජ්‍යවාදීන් විසින් දේවාල නින්දගම් ආඥා පනත ප්‍රකාශයට පත් කර කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට කඳවුරු භාර ප්‍රධානියකු පත්කළ බවයි.
අද වර්තමානයේ එම තනතුර මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයාට හිමිවී තිබේ. ඇසළ මංගල්‍යයට ලංවන විටදී කඳවුරු ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කිරීමට කඳවුරු භාර නිලධාරියා ක්‍රියා කරති. සොමිපාල ටී. රත්නායක මහතා සඳහන් කළේ 1911 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිසාපති වූ ඉංග්‍රීසි පාලකයා වූ ලෙනාඩ් වුල්ෆ් මහතා කඳවුරු භාර ප්‍රධානි ලෙස සේවය කර ඇති බවයි. එවකට පැමිණෙන බැතිමතුන් ගේ පහසුකම් ලබා දීම පිණිස පොල් අතුවලින් සකස් කළ මඩු සාදවා තාවකාලික රෝහලක් ඉදිකර බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැන ලබාදී ඇති බව සඳහන් වේ.
කතරගම ජනතාව ඇතුළු බැතිමතුන් වෙනුවෙන් පානීය ජලය ලබා ගත් මැණික් ගඟේ අපවිත්‍ර ස්ථාන පිරිසිදු කර නාන ස්ථාන වෙන්කොට මදුරු කීටයන් විනාශ කර ගඟ පිරිසිදු කර තිබේ. මෙයට අමතරව මැණික් ගඟේ ආරක්ෂාවට මුරකරුවන් යෙදලා තිබූ බව සඳහන් වේ. ගඟ දෙපස මුත්‍රා කළ අයකුට ශත 50 ක දඩයක් ද ගඟේ ඉවුරේ මළපහ කළ අයකුට රුපියල් 05ක දඩයක් ද ගැසූ බව ලෙනාඩ් වුල්ෆ් මහතාගේ කතරගම සම්බන්ධයෙන් ඇති ලේඛනවල සඳහන් වේ.
මෙයට අමතරව මැණික් ගඟ ඉහළ නිවස තැනීම. දේවාලය ආසන්නයේ සතුන් දඩයම් කිරීම වැනි ක්‍රියා තහනම් කිරීමට ලෙනාඩ් වුල්ෆ් මහතා ක්‍රියා කර ඇති බව සොමිපාල ටී. රත්නායක මහතා සඳහන් කරයි.
අද වර්තමානයේ මැණික් ගඟේ සෑම තැනක්ම අපවිත්‍ර වී තිබේ. දේවාලයේ ඉහළ ප්‍රදේශය හෝටල්, නිවාඩු නිකේතන ඉදිකිරීම විශාල ලෙස ඉදිකර ඇත.
අතීතයේ සුදු අධිරාජ්‍යවාදීන් පවා මවිත කරවමින් කතරගම පුද බිමේ හාස්කම් සිදුවීම මත කිසිදු විජාතික බලවේගයට කතරගම දේවාලය නතු කර ගැනීමට නෙහැකි වූ බවත් කතරගම දෙවියන් වෙනුවෙන් දුටුගැමුණු රජතුමා පූජා කළ වස්තුව රැකගැනීමට පාරම්පරික කපු මහතුන් විසින් ක්‍රියා කර ඇති බවයි.
කතරගම ඇසළ මංගල්‍යය චාරිත්‍ර ඉටු කිරීම මුල් කොට ගෙන පැවැත්වේ. අතීතයේ පෙරහැර පවත්වා ඇත්තේ දේවාලයේ නිල සේසත් කරුවන්, බුත්තල ගම් පහේ විදාන රාළ ඇතුළු රාජකාරි පිරිස් පෙරහැරේ ගමන් කර ඇත.
1974 බස්නායක නිළමේ ලෙස සේවය කළ ජයවර්ධන අත්තනායක මහතා විසින් කාන්තාවන් නියෝජනය කරන නැටුම් අංශයන් සහ විවිධ වූ නැටුම් අංශයන් එක් කිරීමට ක්‍රියා කළ බව සොමිපාල ටී. රත්නායක කපු මහතා සඳහන් කරති. වර්තමානයේ ඉතාම අලංකාරව ජාතික උත්සවයක් ලෙස කතරගම දෙවියන්ගේ සහ වල්ලි දෙවඟනගේ විවාහ සමරන ඇසළ මංගල්‍යය පැවැත්වීමට බස්නායක නිළමේවරුන් ක්‍රියා කරති.
කතරගම දේවාලයේ දෙවියන් වෙනුවෙන් මංගල්‍යය 03 ක් වසරකට වරක් සිදුවෙයි. ඉල්මහා පෙරහැර රටට නිසි කලට වැසි ලැබී භව බෝග අටු කොටු සරුසාර වීම පිණිස දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කර මෙම මංගල්‍යය සිදුවේ. අවුරුදු මංගල්‍යය බක් මාසයේදී සිදුවන්නේ ගොවි ජනතාව ගේ කුඹුරුවල අලුත් සහල් දෙවියන්ට පිළියෙල කර පූජා කිරීම මුල් කරගෙනය. කතරගම දේවාලයේ දින දර්ශනයේ ආරම්භය ද අවුරුදු මංගල්‍යය සමග සිදුවේ. ඇයවැය කියවීම (දැකුම්) ඇතුළු පෞරාණික චාරිත්‍ර රැසක් මේ දින සිදුවේ.
ඇසළ මංගල්‍යයේ ආරම්භය කප් සිටුවීමයි. අතීතයේ අද මෙන් විවාහ මංගල්‍යයන් උත්සව ශාලාවල (හෝටල්) තුළ නොගත් අතර මංගල්‍යයට සම්බන්ධ චාරිත්‍ර ඉටු කළේ සුභ නැකතකට මඟුල් මඩුවක් සාදවා පසුව විවාහයට අයත් චාරිත්‍ර ඉටු කිරීමයි.
එම පැරණි චාරිත්‍ර අනුව විවාහ මංගල්‍යයට දින 45ට පෙර කණු සිටුවීම මුල් කරගෙන දේවාලයේ කප් සිටුවීම සිදු වේ.
ඇසළ මංගල්‍යය ලංවන විටදී කපු මහතුන් ඇතුළු රාජකාරි පිරිස් කිළි කුණුවලින් මෙන්ම මස් මාංශවලින් වැළකී පිරිසිදුවේ.
කතරගම ජනතාව ද සිය නිවාස සෝදා පිරිසිදු කර ගෙවතුවල පළතුරු ඉදුවා දෙවියන්ගේ පූජාවට තැබීමට ක්‍රියා කරති.
දිවයිනේ දස අත හිංදු, බෞද්ධ, මුස්ලිම් බැතිමතුන් සිය ගොවිතැනේ මුල් වී සහල් වෙන් කර කතරගම පෙරහැර මංගල්‍යය සමයට පැමිණ දේවාලය වෙත ලබාදීමට ක්‍රියා කරති.
කතරගම, බුත්තල දෙවියන්ගේ වෙලේ වී සහල් තවලම මගින් යාල අංක 02 කලාපයට අයත් බුත්තල ගල්ගේ මර්ග ඔස්සේ ගමන් කර දෙවියන්ට අයත් වී ගබඩාවට ලබා දීමට තවලම් මොහන්දිරම් ක්‍රියා කරති. උතුරු නැගෙනහිර සිට බැතිමතුන් යාපනය මඩකලපුව, මන්නාරම, ත්‍රිකුණාමලය, අම්පාර සිට පාද වන්දනා මගින් ඔකඳ, පානම, කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ යාල වන උද්‍යානය ඔස්සේ කතරගම පුදබිමට පැමිණෙති.
පුරා දින 15 පැවැත්වෙන ඇසළ මංගල්‍යය සැබැවින් මඟුල් ගෙයක් මෙන් දිස්වේ.
නොමිලේ ලබා දෙන බත් දන්සැල්, රස කැවිළි දන්සැල්වලින් පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සංග්‍රහ ලබාදීමට බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සමග විවිධ ආයතන සූදානම් කරති.
පෙරහැර දැක බලා දෙවියන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කර ගන්නා බැතිමතුන් දිය කැපීමේ චාරිත්‍රයෙන් පසුව මැණික් ගඟේ ජලය රැගෙන නැවත ලබන වසරේ පැමිණීමේ බලාපොරොත්තු ඇතිව හාරෝ හරා කියමින් සිය ගම්බිම් වෙත පිය මැන යයි.
කතරගම – කේ. ඩී. දේවප්‍රිය