කතිර බාගත කළ හැකි හාල්කෑලි ආර්ථිකය

147

ලෝකයේ කොහේවත් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ ඇත. පක්ෂ විශාල ප්‍රමාණයක් සමග හැල හැප්පෙන ඡන්ද දායකයා සිටින්නේ මහා වික්ෂිප්ත තත්ත්වයකයි. බි්‍රතාන්‍ය පාර්ලමේන්තු සම්ප්‍රදාය අනුව ඡන්ද බලයෙන් තේරී පත්වන පුද්ගලයා. පාර්ලිමේන්තු සාමාජිකයකු බවට පත්වේ. බි්‍රතාන්‍යයේ පවතින්නේ දේවරාජ්‍යයකි. එවිට රජු දෙවියන්ගේ සෘජු නියෝජිතයා වෙයි. මන්ත්‍රීවරු මේ දේවරාජ්‍යය ක්‍රියාත්මක කරන සාමාජිකයන් වෙති. ලංකාවේ වෙස්මිනිස්ටර් ක්‍රමයද ඇරඹුනේ එසේමය. එයට තේරී පත්වන්නා පාර්ලිමේන්තු වරප්‍රසාද භුක්ති විඳී. ස්ථාවර නියෝග පිළි පදී. මහජනතාවගේ ඡන්දයෙන් පත් වුවද පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඇතැම් විට ඔවුන්ට විරුද්ධව යෑමටද මන්ත්‍රීවරුනට සිදු වේ. පාර්ලිමේන්තුව නැතහොත් ව්‍යවස්ථාදායකයට යන පුද්ගලයා ඡන්ද දායකයාගෙන් ඈත් වන්නේ එලෙසය. උදාහරණයක් වශයෙන් කන්නන්ගර මහතා දැක්විය හැකිය. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා මතුගම ආසානයෙන් තේරීපත්ව පාර්ලිමේන්තුවට ගොස් රටට පිරිමහින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉහළින්ම වැඩ කළ පුද්ගලයකු වෙයි. ඔහු බි්‍රතාන්‍ය සම්ප්‍රදායෙන්ද පිට පැන මෙරටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට මහන්සි ගත්තේය. එහෙත් ඔහු මහජනතාව සමග පයිරු පාසානමට නොගියේය. ගමෙන් පැමිණි ඡන්ද දායකයා වෙනුවෙන් කාලය වැය කිරීමට ඔහුට අවස්ථාවක් නොමැති විය. මේ නිසා ඊළඟ ඡන්දයේ දී ඔහුව පරාජයට පත් කිරීමට ඡන්ද දායකයාට සිදු විය.

ජනතාව ඉල්ලන්නේ තෙවරප්පෙරුම වැනි පුද්ගලයන්ය. ජනතාවට ව්‍යවස්ථාදායකයේ බුද්ධිමත් හැසිරීම් වැඩකට නැත. ඔවුන්ට ඒවා දැනෙන්නේ සම්මත කළ නීතිය මගින් තමුන් පීඩාවට පත් වීමට සිදු වූ දිනක දීය. එවිට මහජන මන්ත්‍රීවරයා ආසනයෙන් පවා පැරදී ගොසින් විය හැකිය. එසේත් නැතිනම් වෙනත් පක්ෂයකට හේත්තු වී වෙනත් මගක ගමන් කරනවා විය හැකිය. ඡන්ද කාලයට ඇති පදම් ජනතාවට හාල් කෑලි ලැබෙන්නේ මෙම පරතරය පියවා ගැනීම පිණිසය. හාල් කෑලි යනු හාල් කිලෝ විස්ස පමණක් නොවේ. මත්පැන් බෝතලයේ සිට ගොඩනැඟිලි කොන්ත්‍රාත්, බාර් පර්මිට් දක්වා එය වෙනස් විය හැකිය. දැන් අලුත්ම ප්‍රවණතාවය මන්ත්‍රීවරයෙක් බා ගැනීමට කෝටි විස්සක් පමණ වැය කිරීමය. එසේත් නැති නම් බාර් පරිමිට් එකක් දීමය. නමුත් ජනතාවට ලැබෙන්නේ රුපියල් පන්දාහක් පමණ වටිනා හාල් කිලෝ විස්සක් පමණි. ඒ සියල්ල තමන්ට තමන්ගේ පක්ෂයට කතිර බා ගැනීම පිණිසය.

ලංකාවේ කුඹුරු ප්‍රමාණය ගත හොත් හෙක්ටයාර් 851043 කි. ඒ සියල්ල යල මහ අස්වද්දනේ නැති නමුත් වාර්ෂිකව වී මෙටි්‍රක් ටොන් දශලක්ෂ 3.8 ක ප්‍රමාණයක් උත්පාදනය කරයි. ගොවි පවුල් 87900 ක් පමණ ජීවත්වන අතර දළ ජාතික නිෂ්පාදනයේ කෘෂිකර්ම අංශ දායකත්වය වන සියයට 16.5 න් අඩක්ම වී වගා කරන ගොවීන් ගෙන් ලැබේ. නිදහස ලැබෙන විට රන් පවුම සහ වී බුසල එක තරමේ වාටිනාකමකින් යුක්ත වී යැයි කියති. රන් පවුම දිනෙන් දින ඉහළ ගියේ වෙළෙඳපොළ ආර්ථිකය අධිරාජ්‍යවාදය නිසා ව්‍යාප්ත වීමත් සමගය. අද රන් පවුමට වඩා ඇමරිකන් ඩොලරය ගැන කතා කරති. ඒවා ඉහළ වටිනාකමකින් යුක්ත වන්නේ වාර්ෂිකව අච්චු ගහන ඩොලර් කඩදාසි ලොව පුරා බෙදා හරිමින් කරන සූදුව නිසාවෙනි. රුපියල උඩ යට යන්නේද පහළ යන්නේද ඩොලරය නිසාය. ලංකාවේ වී මෙටි්‍රක් ටොන් 3.8 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් සහලින් ස්වයංපෝෂිත වුවද රුපියල උඩ යන්නේ නැත. තේ රබර් පොල් නිෂ්පාදනය කරමින් අපනයනය කළද රුපියල උඩ යන්නේ ඉතාමත් සෙමින්ය. මන්ද අපනයනයෙන් ලැබෙන ඩොලර් සම්පූර්ණ වශයෙන් ලංකාවට ආපසු නොඑන බැවිනි. ඩොලරය කෘතිමව පහළ ගිය හොත් එවිට ඒ ආදායම ලංකාවට ප්‍රේෂණය වේ. ඩොලර් හුවමාරුව එක අතිකින් සූදුවකි. ඒ සූදුව හරියට කරන්නා සූදු අන්තුවෙකි. ලෝකයේ බලගතු රටවල මිත්‍රයෙකි. වෙළෙඳපොළ බලවේග මගින් රට පාලනය කරන විද්වතෙකි.

එහෙත් ඒ පුද්ගලයාට ද කතිර බාගත කර ගැනීම සඳහා හාල් කෑලි විස්සක් දීමට සිදුවේ. ලංකාව සහලින් ස්වයංපෝෂිත වී ඇති නම් සහල් කෑලි ලබා දීමේ අවශ්‍යතාවයක් නැත. වී අලෙවි මණ්ඩලයක් තිබුණද වී ගන්නට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට විවිධ එළවළු වර්ග, වතුර බෝතල්, ලූනු ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් විදෙසින් මෙරටට ගෙන්වීමට විදේශ විනිමය නිකුත් කෙරේ. ගොවියා දස අතේ ණය වී වී වගා කරයි එලවළු වගා කරයි. නමුත් ඔහුගේ අස්වැන්නට නියමිත මිලක් ලැබෙන්නේ නැත. පසුගිය කාලයේ කොමඩු අක්කර පහක් පමණ වගා කළ ගොවියකු ලක්ෂපතියකු වූ හැටි මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. නයි මිරිස් වගා කරන ගොවීන්ද එසේ උපයති. හාල් කෑලි ආර්ථිකය තුළ සුහුරු කෘෂිකර්මය අගය කරන්නේ ඒ නිසාය. නමුත් කොමඩු අක්කරයකින් ලක්ෂ පහක් උපයන විට ලක්ෂ තුනක් පිටරටට ඇදී යයි. ඒ මන්ද ඒ සඳහා යොදා ගන්නා නවීන බීජ පොහොර කෘෂි රසායන සින්තටික් දැල් හෝ ආවාරණ ගෘහවලට අවශ්‍ය සියලු දේ පිටරටින් ගෙන්වන බැවිනි. නයි මිරිස් ගොවියකු සාමාන්‍යයෙන් අක්කරයක වගාවක් සඳහා ලක්ෂ දහයක් පමණ වැය කරයි. වියදමෙන් භාගයක්ම ඔහුට පොලිතින් බෑග් දැල්, කෘෂි රසායන ආදියට වැය වේ. ඒ අතින් බලන කල්හි සුහුරු කෘෂිකර්මය යනු විදෙස් මත යැපෙන තවත් බරවා කකුළකි. වෙළෙඳපොළ බලවේග මත රට පාලනය කරන්නේ විදෙස් කොම්පැණිවලට අවශ්‍ය ගොවීන් රට තුළ බිහි කරලීමෙනි. හැටේ දශකයේ දී හරිත විප්ලවය මගින් කරන ලද්දේද එයයි. නමුත් තමන්ගේ නිවසේ ගෙවත්තේ හෝ හේනේ ධාන්‍ය එළවුළු පළතුර වවන ගොවියෙකුගේ අස්වැන්නට සාධාරණයක් නැත. ලැබුණ අස්වැන්නෙන් රුපියල උඩ යන්නේද නැත. දළ ජාතික නිෂ්පාදනය තීරණය කරනු ලබන්නේ නිපයන තරමට නොවේ ඩොලර් හුවමාරු වන තරමටය. ඒ නිසා සූදු අන්තුවන්ට වෙළෙඳපොළ බලවේග සහ විදෙස් බලවේග සමග අත්වැල් බැඳගෙන රට පාලනයට ඉඩ හසර ලැබේ. වරින් වර හාල් කෑලි ආර්ථිකය ට වටිනාකමක් ලැබෙන්නේ මේ සූදුව සහතික කර ගැනීමටයි. මේ ක්‍රමයට රටක් ගොඩ යන්නේ නැති බව තේරුම් ගැනීමට තරම් ඡන්ද දායකයා බුද්ධිමත් නැත.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment