කතුවැකියේ කර්තෘ අභිරහසකි

242

කතු වැකියක් යනු කුමක්ද? අප පාසල් දරුවන්ව සිටි අවදියේදී අපට සාපේක්ෂව කතු වැකියක් යනු අංක එකේ වාතයකි. එය කියවීමේ කිසිදු අවශ්‍යතාවක් අප තුළ නැත. එහෙත් අප අටවෙනි පන්තියේ සිටියදී අපේ සිංහල ගුරුතුමිය එවකට තිබූ ප‍්‍රකට සිංහල පුවත්පත් දෙකක කතු වැකි කියවන ලෙස අපට නියම කළාය. ඇගේ අදහස වූයේ අපේ සිංහල භාෂා දැනුම හරිගස්සා ගැනීමට කතු වැකි කියවීම තරම් හොඳ වැඩක් තවත් නැති බවය. සිංහල ව්‍යාකරණ නිවැරදිව ලිවීම, පද ගැලපීම, න ණ ල ළ භේදය උක්ත අනුක්ත සම්බන්ධය වැනි දේවල් පිළිබඳ පරිචයක් ලබා ගැනීමට නම් දිනපතා පත්තරවල පළවන කතු වැකි කියවිය යුතුම බව ඕ අපට කීවාය. ඒ අනුව අපි පාසල් පුස්තකාලයට ගොස් එහි තිබූ දිනපතා පුවත්පත් දෙකක පළවූ කතු වැකි කියවීමු. ඒවා ඉතා නීරස බරපතල භාෂාවෙන් යුතු ලේඛන වර්ගයක් බව දැනගත් කෙනෙහි හැකි තරම් ඉක්මනින් කතු වැකිවලින් ඈත්වීමට අපි තීරණය කළෙමු. කතු වැකිවලට වඩා හොඳ දේවල් පත්තරවල පළවිය. මිනී මැරුම් නඩු, මංකොල්ලකෑම්, සොරකම් සහ පහරදීම්, ස්ත‍්‍රී දූෂණ පිළිබඳ විස්තර වාර්තා වැනි අපේ කියවීමේ රුචිය වැඩි කළ ලියවිලි සහ කතුවැකි අතර තිබුණේ සුවිශාල පරතරයකි. ඒ අතර තවත් වැදගත් යමක් සිහිපත් කළ යුතුව තිබේ. අප කතු වැකි කියවීමේදී ඇත්ත පත්තරේ කතු වැකිය නොකියවිය යුතු බව ගුරුතුමිය අපට නියම කළාය. එහි භාෂාව නිවැරදි වුවද රචනය අලංකාර වුවද එම කතු වැකිය මගින් සාකච්ඡා කරන දේශපාලන මාතෘකා ශිෂ්‍ය පරපුරට කිසිසේත්ම ගුණදායක නොවන බව ගුරුතුමිය අපට පෙන්වා දුන්නාය. එතැන් සිට වහාම සෙසු පත්තරවල කතු වැකි කියවීම අත්හැර දැමූ අපි ඇත්ත පත්තරේ කතු වැකිය පමණක් ම කියවන්නට පටන් ගතිමු. එහි තිබූ දේශපාලන දර්ශනයෙන් හතරෙන් එකක්වත් අපට තේරුණේ නැත. එහෙත් ඒ කතු වැකිය ලියූ භාෂාවේ අඩංගු උපහාසය අපගේ සිත් මහත් සතුටින් පුරවාලීය. කතු වැකිය පිළිබඳ අපගේ පළමුවැනි පුද්ගලික අත්දැකීම එතැනින් නිමාවට පත්වේ. ඊළඟට මට කතුවැකි හමුවන්නේ මීට හතළිස් අවුරුද්දකට පෙර දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැඳුණු අවස්ථාවේදීය.

කතු වැකියක් යනු කුමක්ද? පෙර ෙඡ්දයෙහි ආරම්භක ප‍්‍රශ්නය තවමත් අප ඉදිරිපිට එසේම තිබේ. කතු වැකියක් ලියන්නේ කොහොමද? එහි අඩංගු විය යුතු කරුණු මොනවාද? මුදලට පත්තර රස්සාව උගන්වන ඇතැම් පාඨමාලාකරුවන් ස්වකීය සිසුන්ට කියාදෙන පරිදි කතුවැකියක ප‍්‍රධාන කොටස් තුනක් තිබේ. පළමුවැන්න හැඳින්වීමය. දෙවැන්න අරමුණ ය. තුන්වැන්න සමාප්තිය ය. ඇත්තම කතාව වන්නේ කතුවැකියක් ඉහත සඳහන් කොටස් තුනෙන් සමන්විත විය යුතු යැයි පැවසීම පල් බොරුවක් බවය. ඕනෑම පුවත්පත් ලිපියකදී මේ කාරණා තුන මේ ආකාරයෙන්ම අඩංගුය. පත්තරේකට කිසියම් ලිපියක් ලිවීමේදී ලේඛකයා ලිපිය ආරම්භ කළයුත්තේ කදිම හැඳින්වීමකිනි. ඊටපසු හෙතෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන අරමුණට සම්ප‍්‍රාප්ත වෙයි. ඊළඟට ලිපිය අවසන් කරනු ලැබේ. මේ සැකිල්ල හෙවත් Format එක බෙහෙවින් දිරාගිය පරණ ක‍්‍රමවේදයකි. මීට අවුරුදු සීයකට පෙර සිංහල නවකතා පොතක් ලිවීමේදීද මේ ක‍්‍රමයම භාවිත කරන ලදී. එවැනි නවකතාවක මුලින්ම එන්නේ පරිසර වර්ණනාවක් සහ පාත‍්‍ර වර්ගයා පිළිබඳ විස්තරයකි. ඊළඟට නවකතාකරුගේ අරමුණ පාත‍්‍ර වර්ගයාගේ අරමුණ බවට පත්කොට සිදුවීම් සහ දෙබස් යොදා ඉදිරිපත් කරනු ලැබේ. එය සමහරවිට පේ‍්‍රම සංග‍්‍රාමයක් වීමට පුළුවන. නැතහොත් මිනී මැරුමක් විය හැක. එය ඉඩම් නඩුවක් වීමට ද ඉඩ තිබේ. කතන්දරය සමාප්ත වන්නේ එක්කෝ පෙම් යුවල එකතු වීමෙනි. නැත්නම් මිය යෑමෙනි. කතාව මිනීමැරුමක් නම් එක්කෝ මිනී මරුවා අත්අඩංගුවට ගනු ලැබේ. නැතහොත් ඔහු පැන යයි. එවිට කතාවේ දෙවැනි කොටස ලිවීමට එයින් අනුබලයක් ලැබේ. කතාව ඉඩම් නඩුවක් නම් ස්ථිර වශයෙන්ම ආකාර දෙකකින් වැඬේ සමාප්ත විය යුතුය. එක්කෝ, නවකතාවේ එන අප කැමති පාත‍්‍ර වර්ගයා නඩුව දිනයි. නැත්නම් ඔහු නඩුව පරදියි. නඩුවක් කොතරම් කල් ඇදුනත් අවසානයේදී සිදුවන්නේ මෙයමය. ඇතැම් විට නඩුව වීසිකර දමන ලද්දේ නම් එහිදී ද පැමිණිල්ල පරදියි. මෙය විත්තිය අනියමින් ලබන ජයග‍්‍රහණයකි.

මේ රටේ පුවත්පත් කතුවැකි මෙන්ම පිටරටවල පුවත්පත් කතුවැකි ද මීට අවුරුදු සීයකට පෙර කුමාරතුංග පඬිවරයා ලියූ කතුවැකි ද ඊට පසු මාර්ටින් වික‍්‍රමසිංහ ලියූ කතුවැකි ද ඇත්ත පත්තරේට බී. ඒ. සිරිවර්ධන ලියූ කතුවැකි ද හතළිස් අවුරුද්දකට වැඩි කාලයක් කියවා ඇති මගේ දැනුමට අනුව කතු වැකියකට කිසිදු Format එකක් නැත. එය රසවත් වන්නේ මුලක් මැදක් හෝ අගක් නැති අහඹු ලේඛනයක් වූ තරමටය. සාමාන්‍ය ජනයා මෙන්ම ශාස්ත‍්‍රීය ලේඛන ප‍්‍රිය කරන ජනයා ද ස්ථිර මුලක් ස්ථිර මැදක් සහ ස්ථිර අගක් ඇති ලේඛන අතර හැමදාම අතරමංව සිටිති. මේ අතරමංවීම තුළ පත පොත කියවීමද ඉතා නීරස කාරණයක් බවට පත්වේ. කතු වැකියක් අහඹු ලේඛනයක් වූ විට එය සම්මත ව්‍යුහයෙන් පිට පනින ලියවිල්ලක් වන නිසා කියවීමට රුචියක් ඇති කරයි.

මීට අවුරුදු හතළිහකට පෙර මා දිවයින පුවත්පතට සම්බන්ධ වන කල්හි ඉරිදා දිවයිනේ කතු වැකිය ලියන ලද්දේ දයාසේන ගුණසිංහ ය. සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා දෙකෙහි පරතෙර දැක ඇති දයාසේන ගුණසිංහ එකලට සාපේක්ෂව සැර කතුවැකි ලියූ ලේඛකයෙකි. මේ වකවානුවේදී දිනපතා දිවයිනේ කතුවැකිය ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ ධර්මපාල වෙත්තසිංහ සහ එස්. දයා ප‍්‍රනාන්දු නමැති පත‍්‍ර කලාවේදියා විසින් මාරුවෙන් මාරුවට ලියන ලදී. දිනපතා දිවයින පුවත්පතේ දෙවන විශේෂාංග කතුවරයා වූ එස්. දයා ප‍්‍රනාන්දු (පළමු විශේෂාංග කතුවරයා සුනිල් මාධව පේ‍්‍රමතිලකය.) දේශපාලන විද්‍යාව පිළිබඳ පී.එච්.ඞී. උපාධිධාරියකු වූ අතර යම් ප‍්‍රමාණයකට වාමාංශික මත දැරූ අයෙක් විය. ගුණසිංහ මහතාගේ කතුවැකි Fire Brand වර්ගයට අයත් වහා ගිනි ඇවිළෙනසුලූ බඩු විශේෂයකි. ඔහු ලියූ කතුවැකි නිසා එවකට සිටි ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විටින් විට කුපිත විය. සිය රාජ්‍ය පාලනයේ තුන්වන හෝ හතරවන අවුරුද්දේදී ප‍්‍රසිද්ධ දේශනයක් පවත්වමින්, තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතු බවට ජේ. ආර්. ජයවර්ධන කියා සිටියේය. ගුණසිංහ මහතාගේ මතය වූයේ එය රාජ්‍ය නායකයකුගේ ප‍්‍රකාශයක් නොව නපුංසකයකුගේ ප‍්‍රකාශයක් බවය. නපුංසකත්වය හෝ සමරිසි භාවය මේ පුවත්පතේ නූතන කාර්ය මණ්ඩලය විසින් කිසි ලෙසකත් ගර්හාවට ලක්කරනු නොලැබේ. එය අප දකින්නේ ජීව විද්‍යාත්මක කාරණයක් ලෙස පමණි. එහෙත් මීට අවුරුදු තිස් හතකට හෝ තිස් අටකට පෙර පැවතී සමාජය තුළ කොන්ද පණ නැති භාවය පෙන්වීම සඳහා නපුංසක යන වචනය යොදන ලදී. තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු බවට ජේ. ආර්. ජයවර්ධන කළ ප‍්‍රකාශය නපුංසක ප‍්‍රකාශයක් ලෙස කතු වැකියකින් විවේචනය කිරීමට දයාසේන ගුණසිංහ නොබියව ඉදිරිපත් විය. මෙයින් බලවත් කෝපයට පත් ජේ. ආර්. ජයවර්ධන දිවයිනට දැන්වීම් නොදෙන ලෙස සියලූම රාජ්‍ය ආයතනවලට නියෝග කළේය. මෙය එකල උපාලි පුවත්පත් සමාගමට විශාල වශයෙන් ආදායම් අහිමි කළ සිද්ධියක් විය. දිවයින කොහොමටත් ඇරඹී තිබුණේ ජේ. ආර්. ගේ පිලේ වාඩි නොගත් සහ ජේ. ආර්. ගේ පිලෙන් නැගිට ආ ප‍්‍රගතිශීලී මතධාරීන්ගේ මත සමූහයක් සහිතවය. මේ නිසා ජනාධිපති ජයවර්ධන කොහොමටත් හිටියේ අප සමග කෝපයෙනි. ගුණසිංහ මහතාගේ කතු වැකියත් සමග මේ කෝපය බෝම්බයක් මෙන් පුපුරා ගිය අතර එහි කැබලිවලින් උපාලි පුවත්පත් සමාගමේ ආර්ථික ව්‍යුහයට යම් තරමක හානියක් සිදුවිය.

දිනපතා දිවයිනේ කතුවැකිය ලියූ එස්. දයා ප‍්‍රනාන්දු වසර කිහිපයක ඇවෑමෙන් ඇමරිකානු පුරවැසියකු බවට පත්වීම සඳහා එරටට ගියේය. ඉන්පසු එම කතු වැකිය ලියන ලද්දේ දයාගේ තනතුරට පත්ව ආ කිත්සිරි නිමල් ශාන්ත විසිනි. වසර හතළිස් ගණනක කෙටි ජීවිත කාලයක් තිබූ, ශ‍්‍රී ලංකාව විසින් බිහිකරන ලද අග‍්‍රගණ්‍ය ගීත රචකයකු වූ කිත්සිරි ප‍්‍රාචීන භාෂා විශාරදයෙකි. ඔහුගේ කතුවැකි වමේ දේශපාලනය නියෝජනය කළ ශාස්ත‍්‍රීය ලේඛන ලෙස සලකන ලදී. ඒ අතර පසුකාලයේදී ලක්බිම සහ සිළුමිණ පුවත්පත්වල කතුවරයා බවට පත්වූ සුන්දර නිහතමානි මැල් ද උග‍්‍ර ජාතිකවාදියකු වූ රණසිංහ ධර්මවිමල ද ලේඛන මාධ්‍යයට වඩා දෘෂ්‍ය මාධ්‍යයට කවදත් ආසා කළ ජයන්ත චන්ද්‍රසිරි ද මාරුවෙන් මාරුවට දිනපතා පත්තරේ කතු වැකි ලියූහ. මේ කාලයේදී දිනපතා දිවයින සහ ඉරිදා දිවයින යන පුවත්පත් මේ රටේ ජාතිකත්ව මතවාදය හැඩගැස්වීම සඳහා මහත් පරිශ‍්‍රමයක නිරතව සිටියේය. වර්ගවාදී යුද්ධය ක‍්‍රමයෙන් නරක අතට හැරෙමින් පැවති අතර යුද්ධය අත්හැර දමා උතුරු නැගෙනහිර අගමැති ලෙස ප‍්‍රභාකරන් පිළිගනිමු යැයි ඇතැමකු කියද්දී ප‍්‍රභාකරන් පැරදවිය හැකිය යන මතය පැතිරවීමට දිවයින දායක විය. දිවයිනේ කතු වැකි සම්ප‍්‍රදායේ විශේෂ වෙනසක් ඇති කළ ලේඛකයා ලෙස ජයන්ත චන්ද්‍රසිරි හැඳින්විය හැකිය. ඔහුගේ කතු වැකිවල බස මෘදු උපහාසයක් දැනවීය. ජයන්ත සමග මාරුවෙන් මාරුවට කතුවැකිය ලිවීම තවත් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකුට භාර කරන ලදී. පසුකාලයේදී චිත‍්‍රපට කලාවෙහි පූර්ණකාලීනයකු වීම සඳහා ජයන්ත උපාලි පුවත්පත් සමාගමෙන් විශ‍්‍රාම ගිය කල්හි පෙර කී ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා දිනපතා දිවයිනේ කතුවැකි ලිවීම ස්ථිර ලෙස භාර ගත්තේය. එකල ඉරිදා දිවයිනේ කතුවැකිය ලියන ලද්දේ එහි ප‍්‍රධාන කර්තෘවරයා වූ ගාමිණී සුමනසේකර විසිනි.

මීට අවුරුදු හතළිහකට පෙර දිවයින පටන් ගන්නා අවධියේදී මාධ්‍යවේදියා යන වචනය මේ රටේ තිබුණේ නැත. එකල සිටියෝ ගුවන්විදුලි ශිල්පීනුත් රූපවාහිනී නිවේදකයෝත් පත්තරකාරයොත් පමණි. මේ පත්තරකාරයන් පසුකාලයේදී මාධ්‍යවේදී නාමයට අනුගතවන අතර දිවයින ද නවීන සමාජය සමග අනුගත විය. එහෙත් මේ පුවත්පත කිසිකලෙකත් ජාතිය, ආගම සහ සංස්කෘතිය යන තුන අත්හැර දැමුවේ නැත. මේ රටේ සියලූම ජන වර්ග අතර සහෝදරත්වයක් ඇති බවත් සියලූම දෙනා අනෙකාගේ ආගමට ගරු කළ යුතු බවත් මේ පුවත්පත සහ එහි කතුවැකිකරුවා තරයේ විශ්වාස කරයි. ඒ අතර අප මහත් ආඩම්බරයෙන් මෙනෙහි කරන කාරණය වන්නේ දිවයිනේ කතුවැකිය ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය කතුවැකිය බවය. එය සාම්ප‍්‍රදායි දිරාගිය Format එකට ලියන කතුවැකියක් නොව, එක්කෝ අවසානයෙන් පටන්ගෙන ආරම්භයට දිවෙන, නැත්නම් ආරම්භයෙන් පටන්ගෙන අවසානයට ගොස් මැදින් ඉවර කරන භාෂාත්මක තොරණකි. මේ විචිත‍්‍ර කතුවැකිය පිළිබඳව වැඩිදුර කතා කරනු නොලැබේ. කතුවැකිය ලියන වර්තමාන ලේඛකයා හෙළිනොකිරීමේ සම්ප‍්‍රදායක් පුවත්පත්වල ඇති බැවින් දිවයින කතුවැකිකරුවාගේ නම ද තවදුරටත් අප‍්‍රසිද්ධවම පවතී.

අනුර සොලමන්ස්
ප‍්‍රධාන කර්තෘ

advertistmentadvertistment