කනකර බඩු උකස්කර ආබාධිත කැස්බෑවන් රකින බෝධිසත්ව ගණයේ මිනිස්සු

156

සංචාරක ව්‍යාපාරය මූලික කරගනිමින් දකුණු පළාතේ විවිධ ව්‍යාපාර බිහිව තිබේ. විශේෂයෙන් විදේශීය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ අපේ රටෙහි සුන්දරත්වය දැකීම ඒකායන අරමුණ කරගනිමිනි. එහිදී ඔවුන් විශේෂ අවධානයක් යොමුකරන ස්ථානයකි දකුණු වෙරළේ බිහිව ඇති මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නැරඹීම. දකුණු වෙරළෙහි මුල්ම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන 1979 වසරෙහි ආරම්භ කර තිබේ. ඒ ගාල්ල දිස්ත‍්‍රික්කයෙහි කොස්ගොඩ ප‍්‍රදේශයේ වන අතර ඉන් පසුව 1980 දී බෙන්තොට අතුරුවැල්ල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත. ඒ වකවානුවෙහි බෙන්තොට සංචාරක කර්මාන්තය අද මෙන් ප‍්‍රබල හා ප‍්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස නොතිබුණු අතර සංචාරක නිකේතන අද බහුලව දක්නට ලැබුණද එකල පැවතියේ ඉතාම සුළු සංචාරක හෝටල් ප‍්‍රමාණයකි. ඒ කාලයෙහි මෙම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන බිහිවන්නට එකම හේතුව වී තිබුණේ ජනතාව විසින් කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම වැඩි වශයෙන් සිදුකිරීම නිසා ඊට පිළියමක් ලෙසිනි. කිසිදු පාර්ශ්වයකින් කැස්බෑවුන් ආරක්ෂා කිරීමට අවධානයක් යොමු නොකළ අවධියක විශාල පරිශ‍්‍රමයකින් යුතුව ආරම්භ වූ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන අද වන විට සංචාරක කර්මාන්තය මූලික කර ගනිමින් පිහිටවූ ඒවාම වේ. අද වන විට ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියාත්මක වුවද නීතිමය පසුබිම තුළ මෙවැනි මධ්‍යස්ථාන වලට වැඩි රැකවරණයක් නොමැති වුවත් මෙම මධ්‍යස්ථාන විසින් සිදු කර ඇති මෙහෙය සුළු පටු නොවේ. ලක්ෂ ගණනක් කැස්බෑ පැටවුන් මුහුදට මුදාහැර තිබෙන මෙම මධ්‍යස්ථාන හිමිකරුවන් විසින් විශාල සේවක පිරිසකට ආදායම් මාර්ගයක් මේ තුළින් හිමිකර දී තිබේ. කෙසේ වෙතත් අද වන විට කොවිඞ් නිසා වසා දමා ඇති මෙම සංරක්ෂණ මධ්‍යස්ථානවල සියලූ සේවකයින් ආදායම් නොමැතිව මැසිවිළි නගති. කැස්බෑ බිත්තර රැකීම සඳහා මෙම මධ්‍යස්ථාන වෙත රැගෙන එන පිරිසක් අද නැති තරම්ය. නමුත් කැස්බෑවුන් බිත්තර දැමීම නවතා නොමැති බවත් ඒ බිත්තර වලින් වැඩි කොටසක් මිනිස් ආහාරයක් ලෙස රැගෙන යන බවත් සාක්ෂි සහිතව සනාථ කළ හැකිය. මේ වන විට මෙම මධ්‍යස්ථාන නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීමේ ප‍්‍රතිඵලයක් ලෙස කැස්බෑ ගහණය අඩුවීමට ප‍්‍රබලව බලපෑම් ඇතිකර තිබෙන බව ද විශ්වාසය.

කනකර බඩු උකස්කර ආබාධිත කැස්බෑවන් රකින බෝධිසත්ව ගණයේ මිනිස්සු
කිත්සිරි කන්නන්ගර

මෙම ස්ථානවල කැස්බෑවාගේ ජීවන රටාවේ ආරම්භයේ සිට හෙවත් කැස්බෑ බිත්තර බිහිවීම, ඒවා සුරැුකීම, පැටවුන් බිහිවීම, පැටවුන් පිහිනීම, පැටවුන් වැඞීම හා පසුව මුහුදට මුදා හැරීම යන කාරණා පිළිබඳව දැකගත හැකිය. එහෙත් කැස්බෑ සුරැුකුම් මධ්‍යස්ථානවල ඇති වැදගත්ම කාරණය නම් ආබාධිත කැස්බෑවුන් රැකබලා ගැනීමය. ඒ පිළිබඳව කිසිවකුත් අවධානය යොමු නොකළද, ඒ තුළින් විශාල සේවාවක් සිදුවනු ඇත. මේ වන විට සංචාරක කර්මාන්තයේ බිඳවැටීම හරහා සිදුව ඇත්තේ මෙම අහිංසක සත්ත්වයින් රැකබලා ගැනීම උදෙසා දිනකට විශාල මුදලක් වැය කිරීමට සිදුවීමත්, ආදායම නොමැති වීමත්, එම ස්ථානවල සේවය කළ සේකයින් හට රැකියා අහිමි වීමත්, මෙම ස්ථාන පවත්වාගෙන යෑම අසීරු කාර්යයක් වීමත් හේතුවෙන් ආබාධිත කැස්බෑවුන් අවදානමකට ලක්ව සිටීමය. මේ වන විටත් කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථාන හිමිකරුවන් සිය කනකර බඩු උකස් කර මුදල් සොයාගෙන ආබාධිත කැස්බෑවුන් රැකගනිමින් දුෂ්කර කාර්යයක නියැලෙනු දක්නට ලැබේ. මෙම මධ්‍යස්ථාන වසා තිබුණද ඒවායේ ජීවත්වන ආබාධිත කැස්බෑ ජීවිත රැුකගැනීමට අවශ්‍ය නිසාම දිනපතා සත්ත්වයින් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත.

කනකර බඩු උකස්කර ආබාධිත කැස්බෑවන් රකින බෝධිසත්ව ගණයේ මිනිස්සු
නුවන් ප‍්‍රියශාන්ත

මේ සම්බන්ධව ‘දිවයින’ වෙත අදහස් දැක්වූ ඉඳුරුව කයිකවල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හිමිකරු නුවන් ප‍්‍රියශාන්ත කන්නන්ගර මහතා මෙසේ කීය ”කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වලින් සිදුවන සේවය අද හොඳටම පේනව. මොකද මගේ ළඟ ඉන්නවා විවිධ ආබාධ වලට ගොදුරුවෙලා නැවත මුහුදට යවන්න බැරි පූර්ණ ආබාධිත කැස්බෑ විශේෂ දෙවර්ගයක්. ගල් කැස්බෑවකු හා බටු කැස්බෑවුන් 07ක් වෙනුවෙන් මම අදටත් දිනපතා මගේ මුදල්, කාලය වගේම ශ‍්‍රමය වැය කරනව. සතුන්ට කන්න දෙන්නෙ අද වන විට ණය වෙලා. නමුත් මේ අහිංසක සතුන්ව අපි නොබැලූවොත් කවුද බලාගන්නෙ. සංචාරකයින් පැමිණි කාලවලදී මේ කතාව කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද අපි ආදායම් ලැබුව. නමුත් අපි මේ සත්වයින් දිනපතා රැකගත්ත. ආදායම් ලැබුව කියල ආබාධිත සතුන්ව අපි අතහැරියෙ නැහැ. බෙහෙත් කළා. කෑම දුන්න. ඒ වෙනුවෙන් මා ළඟ සේවකයින් 10ක් විතර වැඩ කළා. දවසෙම ඒ අය වැඩ. සතුන් ගැන නිතර අවධානය යොමුකරමින් ඉන්නව. අද කියන්න කනගාටුයි. කිසිම ආදායමක් නැහැ. නමුත් විශාල වියදමක් දිනපතා දරනව මේ සතුන්ව රැකගන්න අවශ්‍ය නිසා. මේ කාර්ය කරන්න කිසිම ආයතනයක් කිසිම පුද්ගලයකු යොමු වන්නෙ නැහැ.”

කනකර බඩු උකස්කර ආබාධිත කැස්බෑවන් රකින බෝධිසත්ව ගණයේ මිනිස්සු

”ඇත්තටම කියනවනම් මේ සතුන්ව ආබාධවලට ලක්වෙලා ඉන්නේ අපේ මිනිස් ක‍්‍රියාකාරකම් බලපෑම් නිසා. මාළු දැල් වලට හසුවෙලා විවිධ පීඩාවන්ට ලක්වනවා. මත්්ස්‍ය කර්මාන්තයේදී දියෙහි පිපුරුම් සිදුකිරීම නිසා ඒ සතුන් මිය යනව වගේම ආබාධ වලට ගොදුරු වෙනව. ඒ වගේම තමයි මෝරුන් වැනි විලෝපිකයින්ගේ ස්වභාවික තර්ජන වලටද නතුවෙලා ආබාධ වෙනව. ආබාධ වලට ලක්වන කැස්බෑවුන් අපි ළඟට රැුගෙන එනව. අපිට දැනුම් දුන්නම මේ ස්ථානයේ එවැනි තත්ත්ව වල කැස්බෑවකු ඉන්නව කියල අපි වහාම ගිහින් අරන් එනව. ඉක්මන් ප‍්‍රතිකාර කරනව පශු වෛද්‍යවරයකු ගෙන්වල. ඒ වියදම් අදටත් අපි දරනව. සතුන් ඉන්නව ඒ අයගේ ගාත‍්‍රා නැහැ. ඇතැම් කැස්බෑවුන් ඉන්නෙ ඉදිරිපස එක් ගාත‍්‍රාවක් සහ පිටුපස එක් ගාත‍්‍රාවක් විතරක් තියාගෙන. ඒ සතුන්ව අපි ජීවිත කාලයම රැකගන්න බැඳිල ඉන්නව. ඒක බැඳිල ඉන්නව කිව්වට ස්වභාදහම එක්ක බැඳුනු බැඳීමක් මිසක් කුවුරුත් අපිට වගකීමක් දීල නැහැ.”

”මේ මධ්‍යස්ථාන වලින් වන තවත් සේවයක් තමයි කැස්බෑ බිත්තර මිනිස්සු ආහාරයට ගන්න එක අවම කිරීම. මිනිසුන් අතර පුහු මතයක් තිබෙනව කැස්බෑ බිත්තර ආහාරයට ගත්තම ආයු කාලය වැඩි වෙනව කියල. ඉතිං ඒවා ආහාරයට ගන්න මේ ප‍්‍රදේශවල ජනතාව වැඩි කැමැත්තක් දක්වනවා. අපි කැස්බෑ බිත්තර මුදල් දීල අරගන්නව. ඒවා අපේ කණ්ඩායම් යොදවල කරවන්න පුළුවන් වුණත් අපි එහෙම කරන්න උත්සහ නොකරන්න හේතුව තමයි බිත්තර එකතු කරන උදවිය අතට මුදලක් ලැබෙන ක‍්‍රමය හැදුවහම ඒ අය අපිට බිත්තර ගෙනත්දීල මුදල් අරන් යනව. එවිට සිදුවන්නෙ අතට මුදල් ලැබෙන නිසා කැස්බෑ බිත්තර කන්න උනන්දු නොවන එකයි. අපි ඒ සේවාවත් කරනව. නමුත් කැස්බෑ මස් ආහාරයට ගන්න අයට කියන්න තියන්නෙ ඒක ශරීරයට විෂ මසක් කියන එක. මොකද කැස්බෑව ජෙලිෆිෂ් ආහාරයට ගන්නව. ජෙලිෆිෂ් කියල රැුවටිල ඒවගේ මුහුදේ තියන අපද්‍රව්‍යත් ආහාරයට ගන්නව. ඉතිං අපි ඒ මස් ආහාරයට ගත්තම අපිට විෂ වෙන්න පුළුවන්. රෝගී වුණු අයත් ඉන්නව කැස්බෑ මස් ආහාරයට අරන්”

කනකර බඩු උකස්කර ආබාධිත කැස්බෑවන් රකින බෝධිසත්ව ගණයේ මිනිස්සු

”දවසට මාළු කිලෝ 10ක් විතර කෑමට ඒ ආබාධිත සතුන්ට දෙන්න වෙනව. කැස්බෑවට මාස 02ක් වුණත් කෑම නැතිව ඉන්න පුළුවන්. මැරබෝන් එකක් තියනව ඒක මගින් ජීවත්වෙනවා. නමුත් ආබාධිත කැස්බෑව කියන්නෙ කෑම හොඳින් අවශ්‍ය සත්ත්වයෙක්. මොකද මාංශපේෂි දියවුණු ආබාධිත කැස්බෑවුන් ගොඩට එන්නෙ වතුරෙ පාවෙලා. සාමාන්‍ය කැස්බෑවා දිය යට ගියාට ආබාධිත කැස්බෑවුන් මාංශපේෂි දියවීම හේතුවෙන් හරියට බැලූනයක් වගේ වතුරෙ පාවෙන්න ගන්නව. අපි කරන්නෙ ආබාධිත සත්ත්වයාගේ මාංශපේෂි වැඞීමට ඉඩහැරීම. එහෙම කරල එයා වතුරෙ පාවෙන එක වළක්වනවා. නැවත ගැඹුරු ජලයේ යටට යන්න සලස්වනවා. ආබාධිත අය අතර ඉන්නව පූර්ණ ආබාධිත අය. ඒ අයට නම් කවදාවත් නැවත මුහුදට යන්න බැහැ. එහෙමගියොත් තවත් විශාල මත්්සයකුගේ ගොදුරක් වෙයි. නමුත් ආබාධිත අය ඉන්නව නැවත් මුහුදට යවන්න හැකි. ඒ අයව අපි සුව වූ පසුව යවනවා. බිත්තර වලින් බිහිවන පැටවුන් අපි මේ වන විට 120,000ක් පමණ මුහුදට මුදාහැරල තියනවා. මේ කාර්යයේදී අපිට තිබෙන බාධාව තමයි මෙම මධ්‍යස්ථාන පනතකින් ස්ථාවර නොකිරීම කියන දේ. ඒ නිසා තමයි විවිධ අය විවේචන එල්ල කරන්නෙ මෙවැනි මධ්‍යස්ථාන වලට. අනික තමයි බිත්තර එකතු කරන අයට බලපත‍්‍රයක් දිය යුතුයි. ඒ වගේම මෙම මධ්‍යස්ථාන වලට නිසි ප‍්‍රමිතියක් ඇති කරල ඒවා සුරක්ෂිත කළ යුතුයි කියල මම හිතනව.”

”අදවන විට අපි කොයිතරම් අමාරුවෙන් වුවත් සංචාරක ව්‍යාපාරය අද පටන්ගනී හෙට පටන්ගනී කියල හිත හිත මේක කරගෙන යනව. නමුත් ඉතාම අමාරුයි. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ඉඳලම සංචාරක ව්‍යාපාරයට බලපෑම් ආවා. 2020 මුල් මාස දෙක විතරයි සංචාරක ව්‍යාපාරය හරියට තිබුණෙ. ඉන් පසුව කොවිඞ් තර්ජනය ආවා. ඉක්මනින් නිවැරදි මාර්ගෝපදේශවලට අනුව යමින් සංචාරක ව්‍යාපාරය පටන් ගන්නවානම් මේ සතුන්ගේ හෙට දවස ඉතා සුබදායී වෙයි කියල මම හිතනව. ඒ තුළින් අපේ ජීවිතත් සුබවාදී මාවතකට යොමුවයි.”

මුහුදු කැස්බෑ සංරක්ෂණ සංගමයේ සභාපති මෙන්ම බෙන්තොට අතුරුවැල්ල මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන හිමිකරු වන දකුණු පළාතෙහි දෙවැනි මුහුදු කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පිහිටවූ කිත්සිරි කන්නන්ගර මහතා මෙසේ කීය

”පසුගිය කාලෙ තෙල් නැව ගිණි ගැනීම නිසා සැලකිය යුතු ප‍්‍රමාණයක් කැස්බෑවුන් මිය ගියා. මෙම මධ්‍යස්ථාන වලින් සිදුවන සේවාව හොඳින්ම පැහැදිලියි වෙනව මේ කාරණයෙදි. මොකද කිසිවකුත් ඒ ගැන නොසිතුවට දකුණු මුහුදේ ඒ තරම් කැස්බෑවුන් මියගියානම් කොහෙන්ද මිය යන්න ඒ තරම් කැස්බැවුන් ප‍්‍රමාණයක්. අපි අවුරුදු ගණනාවක ඉඳන් මේ මධ්‍යස්ථාන වලින් බිත්තර අරන් රක්කල මුහුදට මුදා හැරපු ලක්ෂ ගණනක් වන කැස්බෑ පැටවුන් තමයි ඒ මිය යන්නෙ. නමුත් ඒ ගැන කිසිවකුත් කතා කලේ නැහැ. අපි නැතිනම් වෙන කවුද ඒ කාර්යය මේ වන තෙක් කරල තියන්නෙ. අදටත් අපේ වෙරළට එන කැස්බෑවුන් බිත්තර දමා යනව. නමුත් ඒ බිත්තර අපිට මිලදී ගන්න හැකියාවක් නැහැ. මොකද මේ ස්ථාන අද අඩපණ වෙලා නිසා. ඉතිං ඒකෙන් වුණේ මුහුදට යන කැස්බෑවා වෙනුවට බිත්තර පිටින් මිනිසාගේ ආහාරයට ගොදුරුවීම. අද කැස්බෑ බිත්තර ආහාරය වෙනුවෙන් විකුණන පිරිස වැඩිවෙලා. බිත්තර 100ක හමුවුනා නම් ඒකාලෙ වුණේ 10ක් විතර ආහාරයට ගන්න එක. අද ඒ සියයම ආහාරයට ගන්නවා. ආබාධිත කැස්බෑවුන් රඳවා

තබාගන්නා මධ්‍යස්ථාන වන ජීවී දෙපාර්තමේන්තුව යටතේ ක‍්‍රියාත්මක වන හික්කඩුව සහ අත්තිඩියේ තිබෙනව. නමුත් වැඩි වශයෙන් පෞද්ගලික හිමිකරුවන් සතු මධ්‍යස්ථාන වලින් විශාල සේවාවක් කැස්බෑ සම්පත රැුකගන්න සිදුවෙනව. ඒක අගය නොකිරීම හා මෙම ස්ථාන අධ්‍යාපනය හා පර්යේෂණය සඳහා පමණක් නීතිගත නොකිරීම යන කාරණා නිසා මෙම මධ්‍යස්ථාන වල ව්‍යාපාරික අරමුණු මූලික වෙලා තිබෙනව. නිසි මාර්ගෝපදේශ යටතේ ප‍්‍රමිතියකින් ක‍්‍රියාත්මක කළ යුතුයි.”

ඇතැම් සංරක්ෂණ මධ්‍යස්ථානවල ආබාධිත කැස්බෑවුන් 10ක් ඉක්මවා ජීවත්වන අතර එවැනි ස්ථානවල හිමිකරුවන් තම පෞද්ගලික මුදලින් මේ වන විට එම කැස්බෑවුන් වෙනුවෙන් ආහාර සැපයීම හා ප‍්‍රතිකාර කිරීම සිදුකරන බව පැවසෙනව. සංචාරක ව්‍යාපාරය නිසාවෙන් මෙම ස්ථාන නරඹන්නට පැමිණෙන සංචාරකයින් ටිකට් පතක් මිලදී

ගැනීම, සංචාරකයා විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදාහැරීම මගින් ආදායමක් ලැබීම, සංචාරකයින් ආධාර කිරීම යන කාරණා හේතුවෙන් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන රැකී තිබේ. මෙම කාරණා විවිධ පුද්ගලයින් විවේචනයට ලක්කර ඇති නමුත් ආබාධිත කැස්බෑවුන් රැකගැනීම උදෙසා විධිමත් ආකාරයට පිහිටවූ කිසිදු රාජ්‍ය මට්ටමින් මධ්‍යස්ථානයක් මෙරට තුළ නැත.

බෙන්තොට – දර්ශන කරුණාරත්න

කනකර බඩු උකස්කර ආබාධිත කැස්බෑවන් රකින බෝධිසත්ව ගණයේ මිනිස්සු
advertistmentadvertistment