වගකිවයුත්තන්ට සුර සැප…

බෙහෙත් වංචාවේ මහමොළකරුවකු 16 වතාවක් එංගලන්තයට ගිහින්

එරට සුපිරි ගෙවලුත් අරගෙන සුපිරි පන්නයේ වාහනයකුත් අරගෙන

ඔහු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියෙක්

වෛද්‍ය සැපයුම් ඒකකයේ අකාර්යක්‍ෂමතාව මත ඖෂධ ගොඩ ගැහිලා

එක් කන්ටේනර් රථයක් තුළ පවතින ඖෂධවල අවම වටිනාකම ඩොලර් මිලියනයකට ආසන්නයි

මාස 5ක් තිස්සේ ඖෂධ කන්ටේනර් එක තැන

මුදා නොගත් ඖෂධ කන්ටේනර්වලට ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ඩොලර් මිලියන ගණනක් ගෙවලා

වගකීම බාර නොගන්නා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහා ධුරයෙන් ඉවත් කරන්න
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියයි

ගෙවුණු කාලය මෙරට ‘ඖෂධ ප්‍රශ්නය’ට හේතුකාරණා හා වගකිවයුත්තන් කවුරුදැයි උත්තර බඳිමින් පවතී. ප්‍රශ්නගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට අදාළ ලේඛන විනාශ කිරීම හෝ අතුරුදන්වීම මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත. මෙරට සිදුවූ ඖෂධ වංචාවන්ට හා තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම සම්බන්ධ සැකකරුවකු වන හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මේ වනවිට සිටින්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය. තවද ඔහුගේ ඇමැති පදවියෙන්ද ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. ඉදිරියේද කරළියට පැමිණීමට නියමිතව ඇත්තේද මෙතුවක් කාලයක් රටේ ඖෂධ ප්‍රශ්නය ජනගතකළ මහමොළකරුවන්ගේ හෙළුව මාධ්‍ය ඉදිරියේම ප්‍රදර්ශනය වන කාලයයි. ජනගත කළා යැයි අප පවසන්නේ අපේ රටේ ඖෂධ මාෆියාව ඇතිකරන මොවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය ‘බෙහෙත්’ හිඟය වන නිසාය. ඉන්පසු ඔවුන් කරන්නේ ‘හදිසි ඖෂධ ගෙන්වීම’ යන කඩතුරාවට මුවාවී පිටරට තත්ත්වයෙන් බාල බෙහෙත් මෙරටට ආනයනය කර එම බෙහෙත් සැපයුම්කරුවා හරහා වැඩි මිලකට ගැනීමයි. එහිදී ඖෂධ ටෙන්ඩර්කරුවාගේ අතයටින් ලැබෙන ‘කොමිස්’ කුට්ටිය සාක්කුවේ දමා ගන්නා ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ සිට අනෙකුත් ගෝලබාලයින් කළ කී හපන්කම් හා තවමත් පවතින ඖෂධ ගැටලුව මෙවර අපේ කතාවට බඳුන්විය යුතු යැයි හැඟේ.

බෙහෙත් මාෆියාවේ මහමොළකරුවෙකුට සුරසැප

පසුගියදා මහත් ආන්දෝලනයට තුඩුදුන් ඖෂධ වංචාට සම්බන්ධ අයෙකු මේ වන එංගලන්තයේ ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන බවට අපට සැලවිය. මේ කතාව කියන්නේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාය. ඔහුගෙන් අප මේ සම්බන්ධව විමසුවෙමු. මේ ඔහු අපට කී කතාවය.

“බාල බෙහෙත් හා ප්‍රතිදේහ ඖෂධ වංචාවට වගකිවයුතු නිලධාරියෙකු 16 වතාවක් බිස්නස් ක්ලාස් මගින් රට ගොස් තිබෙනවා. ඔහු එංගලන්තයේ ගෙවල් මිලට අරගෙන තිබෙනවා. එමෙන්ම සුපිරි පන්නයේ කාර් රථයක්ද එරටදී මිලට අරගෙන තිබෙනවා. මොහු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියෙක්. ඔහු මේ වන විට ලංකාවේ නැවතී සිටිනවා. පිටරට යෑමට තහනම් කර උසාවිය මගින් නිකුත් කළ වාරණ නියෝගයක් තිබෙන නිසා පිටරට යෑම තහනම් වී සිටින්නේ. මෙම පිටරයෑම තහනම් වීමට පෙර ඔහු එංගලන්තයට 16 වතාවක් ගිහින් තිබෙනවා. මේ ගැන එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව අපට තොරතුරු සපයමින් කියා සිටිනවා මේවා සීඅයිඩී පරීක්‍ෂණවලට සැලකිල්ලට අරගෙන විමර්ශන සිදුකරන්න කියලා.”

කන්ටේනර් තුළ බෙහෙත්….

පසුගිය දින කිහිපය තුළ කරළියට පැමිණි පුවත වන්නේ අපේ රටට ආනයනය කොට ඇති කන්ටේනර් ගණන් බෙහෙත් තොග තාමත් එම පර්යන්ත තුළ ගොඩගසා ඇති බවය. නිසි ක්‍රමවේදයකින් තොරව හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ කාලයේදී ගෙන්වන ලද මෙම බෙහෙත් තොග මේ වන විට පවතින්නේ ඉතාමත් අනාරක්‍ෂිත හා සෞඛ්‍යාරක්‍ෂිත බවින් තොරවය. රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ගෙන්වන ලද මේ දක්වා වෛද්‍ය සැපයීම් ඒකකය මගින් භාර නොගැනීම නිසා ගොඩ ගැසී ඇති ඖෂධ කන්ටේනර් විස්සකට අධික ප්‍රමාණයක් ඇති බව හෙළිවේ. මේ සම්බන්ධව අදාළ බලධාරීන් හා ජනතාව පසුගිය කාලය තුළ මාධ්‍ය හරහා දැනුවත් කිරීමට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව මහතා පියවර ගත්තේය. අප ඔහුගෙන්ද පවතින ගැටලුව සම්බන්ධයෙන් විමසීමක් කළෙමු.

පවතින තත්ත්වය පිළිබඳව ඔහු කියා සිටියේ මුදානොගත් ඖෂධ කන්ටේනර් සඳහාත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ඩොලර් මිලියන ගණනක් ගෙවා ඇති බවත් එයට සාක්‍ෂි මේ වනවිටත් හෙළිවී ඇති බවයි. වෛද්‍යවරයා වැඩිදුරටත් කියාසිටින්නේද මේ ජාතික අපරාධය ගැන වහා විමර්ශනයක් පවත්වන ලෙසයි. තවද ඔහු මෙම ඖෂධ සැපයුම් සම්බන්ධව වගකීම බාර නොගන්නා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වහා ධුරයෙන් ඉවත්කළ යුතු යැයි ඉල්ලීමක්ද කරයි.

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් ආනයනය කොට තවමත් වෛද්‍ය සැපයුම් ඒකකය
මගින් නිසි පරිදි ඖෂධ තොග භාර නොගැනීම නිසා කැලණිය, වත්තල, වැලිසර ආදී ප්‍රදේශවල ගබඩා කර ඇති ප්‍රබල ප්‍රතිජීව ඖෂධ ඇතුළු ඖෂධ කාණ්ඩ සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජයට මුදල් මුදාහැරීමෙන් අනතුරුව එම මුදල් හුවමාරු වී ඇති බව අනාවරණය වී ඇත.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමේදී ඖෂධ ප්‍රසම්පාදන යාන්ත්‍රණය තහවුරු වීමෙන් අනතුරුව ඉන්දියානු රජය එම ණය මුදල් ශ්‍රී ලංකා භාණ්ඩාගාර බැංකු ගිණුම වෙත නිදහස් කිරීම සිදුවීමත් සමඟ එම ණය මුදල් ආපසු ගෙවීමට ශ්‍රී ලංකා රජය යටතේ වන බැවින් අදාළ ඖෂධ තොග වෛද්‍ය සැපයුම් ඒකකයට භාර ගත්තත් නොගත්තත් දැන් එම ණය මුදල් ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙන බවද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මෙම ඖෂධ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් විදේශ සමාගම් හරහා ආනයනය කොට ඇත. Merapenum, Imipenum වැනි ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ මෙම කන්ටේනර් තුළ ඇත. මෙරපනම් නම් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයන් සඳහා වන ඇමෙරිකානු ඩොලර් මිලියන එකට අධික මුදලක් මහජන බැංකුව ප්‍රධාන කාර්යාල මගින් ඉන්දියානු HFCC බැංකුවක් වෙත ගෙවූ බවට නිකුත් කරන ලද ගෙවීම් වවුචරයද මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

වෛද්‍යවරයා සඳහන් කරන අනෙකුත් කාරණය වන්නේ කන්ටේනර් තුළ පවතින ඖෂධ අධික උෂ්ණත්වයට නිරාවරණය නිසා ඖෂධවල ගුණාත්මකභාවය බිඳ වැටෙන බවත් මෙවැනි ඖෂධ භාවිත කරන රෝගීන්ට බොහෝ සංකූලතා විය හැකි බවද යන්නය. මෙසේ ස්වභාවික හේතූන් මත මෙම ඖෂධ විනාශ වුවහොත් ජනතාවගේ බදු මුදල් අපතේ යන බවද එයට වගකියන්නේ කවුරුන්ද යන්න අපට ප්‍රශ්නයකි.

කන්ටේනර් පිරෙන්න ඖෂධ තියාගෙන රටක් පිරෙන්න ලෙඩ්ඩු බෝ කරන මාෆියාව

නීතියෙන් රිංගන තත්ත්වයෙන් බාල ඖෂධ

තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ වෙළඳපොළේ සැරිසැරීම පසුගිය දශකය පුරා ඉහළ ගොස් තිබෙන අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන් ගේ මරණ සංඛ්‍යාව ද, අතුරු ආබාධ ද කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. මේ වන විට ලෝක වෙළඳපොළේ පවතින ඖෂධ වලින් සියයට 1ත් සියයට 50ත් අතර සංඛ්‍යාවක් තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ ය. දැනට වෙළඳපොළේ පවතින තත්ත්වයෙන් ඉහළ ඖෂධවල මිල ද ඉහළ අගයක් අගයකි. එසේම සමහර ඖෂධ සල්වල තත්ත්වයෙන් ඉහළ ඖෂධ විකිණීමට නොමැත. තවද මේ බාල ඖෂධවලට එරෙහිව නීතිරීති ක්‍රියාත්මක වීම මන්දගාමී ලෙස සිදුවන අතර, පවතින නීතිරීති වල සිදුරු වලින් පහසුවෙන් රිංගා යා හැකි ය. එසේම ලැබෙන දඬුවම ද නොසැලකිය හැකි තරම් ය. පොලිසිය, රේගුව සහ ඖෂධ පාලන අධිකාරිය අතර නිසි පරිදි ක්‍රියාත්මක වන අන්තර් සබඳතාවක් නොමැතිකම ද මේ සඳහා රුකුලක් වී තිබේ. එමෙන්ම තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ සම්බන්ධව සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්, වෛද්‍යවරුන් මෙන් ම සාමාන්‍ය මහජනතාව අතර ද පුළුල් දැනුමක් හෝ අවබෝධයක් නොමැත.

තත්ත්වයෙන් බාල ඖෂධ හඳුනා ගැනීමටත්, ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ජනතාව දැනුවත් කිරීමටත් ප්‍රමාණවත් මානව සම්පතක් නොමැති වීමද තවත් ගැටලුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධිත රාජ්‍යයන් හි කාර්යක්‍ෂම ඖෂධ අධිකාරියක් ක්‍රියාත්මක වන්නේ සියයට විස්සක පමණ වන ප්‍රමාණයක පමණි. රාජ්‍යයන් ගෙන් සියයට තිහකම කිසිම ඖෂධ අධිකාරියක් නැත. මීට අමතරව රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් මේ ඖෂධ විද්‍යාත්මක විමසීමකින් තොරව අල්ලසට යටවී අනුමත කිරීම ද සිදු වෙයි. රට රටවල් අතර ඇති වන සංකීර්ණ වෙළෙඳ ගිවිසුම් ද තත්ත්වයෙන් බාල ඖෂධ රටක් තුළ සැරිසැරීමට අත් උදව්වක් බව වෛද්‍යවරුන් පෙන්වා දේ. මේවායේ ප්‍රතිඵලයක් ලෙස මේ ඖෂධ වෙළෙන්දෝ ඉහළ ලාභයක් ගනිති.

මේ වන විට ඖෂධ 300 ක පමණ ප්‍රමාණය රට තුළ හිඟව පවතී. එයින් අත්‍යවශ්‍ය ඖෂධ 40 ක් හිඟය. එහෙත් මෙරට ගෙනඑන බෙහෙත් තවමත් මෙරට සෞඛ්‍ය පද්ධතියට ලබාදී නොමැත. මේ හේතුවෙන් මෙරට තුළ ඇති රෝහල් තුළ ඖෂධ හිඟය නිසා බොහෝ රෝගීහු අමාරුවේ වැටෙති. එහෙත් මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා රෝහල් ගතවූ පසු ඔවුන්ට අවශ්‍ය මෙරට බෙහෙත් නොව සිංගප්පූරු ඖෂධ බව පවසයි. එනම් මෙරට ඇති ඖෂධ වල තරම දන්නේ ඒවා මෙරටට ගෙනා ඇමැතිවරයා හා අනෙකුත් බලධාරීන්ම පමණකි.

බාලඖෂධ භාවිතයෙන් අතුරු ප්‍රතිඵල දුක්විඳින ජනතාව

අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා නොදෙන, තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ භාවිතය නිසා මැලේරියාව, නියුමෝනියාව, මොළයේ උණ, ටයිෆොයිඩ්, ක්‍ෂය රෝගය ආදිය යළි හිස එසවීමටත්, එම රෝග නිසා ඇති වන මරණ සංඛ්‍යාව ඉහළ යෑමටත් මඟ පෑදී ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙයි. තවද තත්ත්වයෙන් බාල බටහිර ඖෂධ තුළ අන්තර්ගත විවිධ රසායන ද්‍රව්‍ය බොහෝ අතුරු ආබාධවලට මුල පුරයි. සාමාන්‍යයෙන් ඖෂධයක් තුළ නියමිත ක්‍රියාකාරී සංයෝගය පැවතිය යුත්තේ අදාළ මිලිග්‍රෑම් ගණනින් බවත් එහි සුළු වශයෙන් හෝ වැඩි වීමක් වුවහොත් යහපත් ප්‍රතිඵල වෙනුවට මාරාන්තික ප්‍රතිඵල උදාවන බවද වෛද්‍යවරුන් පවසති. රට තුළ පවතින ඖෂධ හිඟය නිසා මේ වනවිට ඇතැම් ඖෂධ මිල 300% කින් පමණ වැඩිවී ඇත. මේ හේතුවෙන් මෙරට නිදන්ගත රෝගීන් විශාල පීඩාවකට පත්ව සිටිති. ප්‍රධානම කරුණක් වන ඉන්සියුලින් වෙළෙඳපොළ අඩුවීමෙන් දියවැඩියා රෝගීන්ගේ ජීවිත අවදානමද ඉතා ඉහළ ගොස් ඇති බවයි. ඔවුන්ගේ දිනක ඖෂධ ප්‍රමාද වුවහොත් මරණය පවා අත්විය හැකි බව වෛද්‍යවරු පවසති. මෙරට ජීවත්වන සෑම පුරුවැසියෙකුට නොමිලේ රජයේ රෝහලකින් ඖෂධ ලබාගැනීමේ හැකියාව පැවැතියත් මේ වන විට රජයේ රෝහල් තුළත් ඖෂධ නොමැතිවීම කනගාටුදායක කරුණකි. දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග වලින් පෙළෙන රෝගීන්ට වෛද්‍යවරුන් මගින් මාසයකට නියම කරන බෙහෙත් අඩුම තරමේ සතියකටවත් ගන්නට වත් මෙරට ජනතාවට වත්කමක් නොමැත. පවතින ආර්ථික තත්ත්වය මත ඇතැම් රෝගීහු දිනකට ඖෂධ මාත්‍රා 3 ක් ගැනීමට නියම කළ ඇතැම් ඖෂධ ඔවුහු ගන්නේ දිනකට එකකි. එසේත් නැතිනම් සමහරුන්ට ඖෂධ මිලදී ගැනීමට හැකියාවක් නොමැත. රජයේ වෛද්‍යවරුන් නගන චෝදනා සාධාරණය. රජය මගින් අධික බදු බර පටවා ඇති මෙරට ජනතාවට නොමිලයේ ගැනීමට තිබූ බෙහෙත් පෙත්තද මේ වන විට ඔවුනට අහිමිව ගොස් ඇත. තවද රෝහල් සේවක වර්ජන, වෛද්‍ය වර්ජන වලින්ද බැටකන්නේ මෙරට දුප්පත් ජනතාවමය. පසුගිය 13, 14 දෙදින පැවැති අතුරු වෛද්‍ය සේවා වර්ජන හේතුවෙන් දිවයිනේ රෝහල්වලට පැමිණි රෝගී ජනතාව මහත් දුෂ්කරතාවකට ලක්වූ බව අපට දැකගත හැකිවිය. පවතින සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සිදුකරගැනීමට නොහැකිවීම හේතුවෙන් අකාලයේ මියැදීමට රෝගී ජනතාවට සිදුව ඇත. තවද නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට පැමිණීමෙන් මෙරට රෝගී ජීවිත පත්ව ඇත්තේද අවදානමකටය. එහෙත් මෙයට වගකිවයුත්තන් තවමත් සුපුරුදු සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත්, තවත් සමහරෙක් නීතියේ රැහැනින්ද බේරී සිටින බවද අප මතක් කර සිටිමු.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment