කන්තලේ සීනි කම්හල දිරන්නට හැරියේ කවුද? සීනි ගණන් කියන අයට කන්තලේ අමතකද?

573

ස්කාගාරයේ මිල අධික වත්කම් සොරුන්ගේ ග‍්‍රහනයට

සීනි කර්මාන්ත ශාලවේ නිල නිවාසවල අනවසර පදිංචිකරුවන්

කොරෝනා වසංගතය ව්‍යාප්ත වනවාට වඩා වැඩි වේගයකින් සීනි හා අත්‍යවශ්‍ය භාණ්ඩමිල මේ වනවිට රොකට්ටුවක වේගයෙන් වැඩිවී ඇත. සීනි කිලෝවක මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් ඇත. කොරෝනා අස්සේ සීනි මිල වැඩිවීම රට්ටුන් අතර ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සීනි ආනයනය සඳහා වූ විශේෂිත වෙළෙඳ භාණ්ඩ බද්ධ අඩුකෙරිණි. ඉන්පසු 2020 වර්ෂයේ සීනි ආනයනය මෙටි‍්‍රක් ටොන් 682,553 ක් දක්වා සියයට 22.7කින් වැඩිවිය. එහෙත් මෙකී බදු සහනය නම් පාරිභෝගිකයන්ට නොලැබුණි. ඒ විතරක් නොව 2020 වර්ෂයේ මහ බැංකු වාර්තාවට අනුව රටේ සමස්ත සීනි ඉල්ලූමෙන් දේශීය සීනි නිෂ්පාදනය සියයට 9ක්විය. මේ අනුව පැහැදිලි වන්නේ මෙරට පාරිභෝගිකයන්ගේ සීනි අවශ්‍යතාවයෙන් සියයට 91ක් විදේශීය රටවලින් ආනයනය කිරීමට සිදුවී ඇති බවය.

මෙම වර්ෂයේ ජුනි මාසයේ සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 23.8ක් වැයවී ඇත. 2020 වර්ෂයේ ජුනි මාසයේ මේ සඳහා වැයවී ඇත්තේ ඩොලර් මිලියන 12.9කි. ඉකුත් වර්ෂයේ (2020) ජුනි මාසයට වඩා මෙකී වර්ෂයේ ජුනි මාසයේ සීනි ආනයනය කිරීම සඳහා වැයවී ඇති මුදල සියයට 84.4කින් වැඩිවී ඇත. 2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 116.4ක් වැයවී ඇත. මෙම වර්ෂයේ (2021) එම කාර්තුව තුළ සීනි හා රසකැවිලි ගෙන්වීම සඳහා වැයවී ඇති මුදල ඩොලර් මිලියන 206.7කි. ඉකුත් වර්ෂයේ මෙකී කාර්තුවට සාපේක්ෂව මෙම වර්ෂයේ (2021) මෙම කාර්තුව තුළ සීනි ආනනය කිරීම සඳහා වැයවී ඇති ඩොලර් මිලියන සංඛ්‍යාව සියයට 77.6කින් වැඩි වී ඇත.

සීනි අපිට නැතිවම බැරි ආහාර ද්‍රව්‍යයකි. සීනි නැතිව තේ බොන්නම්, මිරිස් නැතිව හොදි කන්නම්, 70 මැතිණියගේ ආණ්ඩු කාලයේ දී සමගි පෙරමුණු රජයේ මැයි රැළිවල ප‍්‍රධාන සටන් පාඨයන් විය. ඒ කොයිහැටි වුවද මැතිණියගේ ආණ්ඩුකාලයේ දී මෙරට දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට කටයුතු කරණු ලැබීය. දේශීය ආර්ථිකය ශක්තිමත් කළේය. මෙරට සීනි නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා ආරම්භ කරණු ලැබීය. එවකට ගිංගග පහළ නිම්නයේ උක්වගාව ඉතා සරුවට සිදුකරණු ලැබීය. නාගොඩ ප‍්‍රදේශයේ තැනින් තැන කුඩා උක්මෝල් ආරම්භ කෙරිණි. එහෙත් විවෘත ආර්ථිකයත් සමග සියල්ල කණපිටි පෙරලූණි.

දේශීය කර්මාන්ත නැතිභංගස්ථාන විය. පිටරැටියන්ට දත නියවීමට අපේ ඇත්තන්ට සිදුවිය. මැතිණියගේ පාලන කාලයේ දී කන්තලේ සීනි කර්මාන්ත චෙකොස්ලෝවැකියානු රජයෙන් අපිට ලැබුණු දායාදයකි. 1957 වරෂයේ දී මෙකී කර්මාන්ත ශාලවේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර 1960 වර්ෂයේ දී එය ජනතා අයිතියට පත්කරණු ලැබීය. කන්තලේ සීනි කම්හලට හෙක්ටයාර් 8596 ක භූමි ප‍්‍රමාණයක් අයත්ව තිබුණි. සමස්ත භූමි ප‍්‍රමාණයෙන් හෙක්ටයාර් 164ක සීනි කම්හල් හා නිල නිවාස සංකීර්ණය පිහිටා ඇත. මෙකී කම්හලේ දිනකට උක් මෙටි‍්‍රක් ටොන් 1200ක් ඇඹරීමේ ධාරිතාවයක් පැවතුණි. ඇඹුරුම් වාර දින 160ක් තුළ උක්ගස් මෙටි‍්‍රක්ටොන් 192000ක් ඇඹරීමෙන් සීනි මෙටි‍්‍රක් ටොන් 16320 නිෂ්පාදනය කිරීමට හැකියාව පැවතුණි. එමෙන්ම දින 300ක් තුළදී ස්ප‍්‍රීතු ලීටර් මිලියන 3.6ක් නිෂ්පාදනය කිරීමේ ධාරිතාවයක් පැවතුණි. වර්තමානයේ මෙකී භූමියේ බෙහෙතකටවත් උක් ගසක් සොයා ගැනීමට නොහැකිවී ඇත්තේය. දැනට වසර 25ක සිට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවෙන් කිසිදු නිෂ්පාදන කටයුත්තක් සිදු වන්නේ නැත. අඩුම තරමින් සීනි ඇටයක්වත් මෙකී කම්හලේ නිෂ්පාදනය නොවෙති.

මේ වනවිට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ පැවති වත්කම්වල අයිතිය රජයෙන් ඉවත්වී තිබේ. ඒ මෙකී සීනි කර්මාන්ත ශාලාව යහපාලන රජය සමයේ ප‍්‍රතිවි්‍යුහගත කිරීම සඳහා පුද්ගලික සමාගමක් සමග ගැසූ ගිවිසුමක් හේතුවෙනි. යහපාලන රජය සමයේ ගැසු මජර ගිවිසුම් නිසා රජයට පූර්ණ හිමිකාරීත්වයක් පැවති කන්තලේ සීනි කම්හල් වර්තමානයේ රජයට අහිමිවී තිබේ. එමෙන්ම පුද්ගලික ආයෝජන සමාගමක් වෙත සිංගප්පූරු ඩෝලර් 894,516,83ක් හා ඇමෙරිකානු ඩොලර් 211.913.93ක වන්දි මුදලක් ගෙවීමට ද රජයට සිදුවී තිබේ. මේ තොරතුරු අනාවරණය වන්නේ ජාතික විගණන කාර්යාලය මගින් කරණු ලැබූ විගණනයකදීය. සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා එහි තිබූ යකඩ අලෙවිකිරීම පරීක්ෂා කිරීම සඳහා මෙම විශේෂ විගණනය සිදුකොට ඇත.

අපේ දේශීය කර්මාන්න නැතිභංගස්ථාන වූයේ මේ අයුරිනි. මේ එක් උදාහරණයක් පමණි. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබුනද එවා සාකච්ඡාවලට පමණක් සීමා වී තිබේ.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට 93 වර්ෂයේ දී පුද්ගලික ආයෝජකයකුගේ බැල්ම වැටීමත් සමග එවකට පැවති රජය විසින් මෙකී කර්මාන්ත ශාලාවේ අයිතිය ලංකා ඒජන්සිස් සමාගමට පැවරීමට කටයුතු කරණු ලැබීය. එහෙත් මෙකී ආයෝජකයා විසින් සේවකයන්ට නියමිත පරිදි පාරිතෝෂික දීමනා හා අර්ථසාධක මුදල් නොගෙවීම හේතුවෙන් එම වර්ෂයේදීම සීනි කම්හල නැවතත් රජයට පවරාගනු ලැබීය. කෙසේ වුවද 94 වර්ෂයේ දී කර්මාන්ත ශාලාවේ යන්ත‍්‍ර සූත‍්‍ර ඇතුළු උපකරණ ආරක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලවේ සේවකයන් 230 දෙනකු පමණක් රඳවාගෙන 94 වර්ෂයේ මැදභාගය වනවිට සීනි කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කෙරිණි. කම්හලේ 1,133 ක් වූ සියලූ සේවකයන් සඳහා සේවක ආර්ථසාධක අරමුදල් හා පාරිතෝෂික ලෙස රුපියල් 33,099,502 මුදලක් ගෙවා ස්වෙච්ඡාවෙන් ඉවත් කිරීමට කටයුතු කරණු ලැබීය.

කන්තලේ සීනි කම්හල දිරන්නට හැරියේ කවුද? සීනි ගණන් කියන අයට කන්තලේ අමතකද?

කෙසේවුවද මෙකී සමාගම විසින් රජයට එරෙහිව පවරා තිබූ නඩුව 2003 වර්ෂයේ රාජයට වාසිදායක ලෙස අවසන් විය. ඉන් පසු මෙකී කර්මාන්ත ශාලාව ආයෝජකයකුට බදු දීම සඳහා එවකට පැවති රජයන් කටයුතු කළද සුදුසු ආයෝජකයකු හමුනොවීම නිසා එම කටයුතු ලප්තැනම ලොප්වී ගියේය. කෙසේ වුවද 2015 වර්ෂයේ දී මෙකී කර්මාන්ත ශාලාව ප‍්‍රතිවි්‍යුහගත කිරීම සඳහා එවකට පැවති යහපාලන රජය මගින් කටුයතු කරණු ලැබීය. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවිය. Sri Prabhulingashwar Sugar
Group Of Companies Industries සමාගම වෙත සීනි කම්හල බදු පදනම මත ලබාදෙනු ලැබීය. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරණු ලබන දේශීය සමාගම ලෙස (MG Sugar Lanka (Pvt) Ltd) ආයතනය කටයුතු කරනු ලැබීය. ශ‍්‍රී ලංකා රජයට සියයට 51 හවුල්කාරීත්වයක්ද සමාගමට සියයට 49ක් හවුල්කාරීත්වයක් ලැබෙන පරිදි ව්‍යපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරිණි. ආයෝජන සමාගම විසින් ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරමින් ගිවිසුමේ සඳහන් කොන්දේසිවලට යටත්ව 30 වසරක දිගුකාලීක බදු පදනමක් යටතේ සීනි කර්මාන්තය පවත්වාගෙන යෑමට එක`ගතාවය පළකොට ඇති බව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍යාංශ සංදේශය මගින් දක්වා තිබුණි.

කෙසේ වවුද පසුකාලිකව Prabhulingashwar Sugar Industries Group of Companies සමාගම ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යුහය වෙනස් කරමින් නව ආයෝජන සමාගමක් ලෙස සිංගප්පූරුවේ SLT Development (PTE) Ltd නමින් ව්‍යාපාර ලියාපදිංචි කරණු ලැබීය. එහි ප‍්‍රධාන හවුල්කරුවන් ලෙස තවත් සමාගම් කිහිපයක් කටයුතු කරණු ලැබීය. සීනි කම්හල් ප‍්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ඉඩම් අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරණු ලැබීය. මෙකී සමාගම ප‍්‍රතිව්‍යුහගත කිරීමේ දී අදාළව ටෙන්ඩර් පටිපාටියක් මගින් විවෘත මිල කැඳවීමක් සිදුකර නොමැති අතර ඉඩම් අමාත්‍යාංශය වෙත ලද ආයෝජන යෝජනාවක් හා ආයොජන මණ්ඩලය වෙත ලද ආයෝජන යෝජනාවක් පදනම් කරගනිමින් මෙම ප‍්‍රතිව්‍යුගත කිරීමේ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කොට තිබූ බව විගණනයේ දී අනාවරණය වී තිබේ.

ඒ විතරක් නොව 2015 ජුලි 27 වැනිදින MG Sugars Lanka (Pvt) එම ගිවිසුම සමග පදනම්ව ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් අදාළ සමාගම සමග ඇතිකරගත් කොටස්කාර ගිවිසුමට විවිධ අවස්ථාවල විවිධ පර්ශ්වයන්ගේ බලපෑම් එල්ලවී ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉහත සඳහන් සමාගම සමග ඇතිකරගත් ගිවිසුම වරින්වර වෙනස් කිරීම කර්මාන්තශාලාව ප‍්‍රතිවි්‍යුහගත කිරීමේ දී ඇතිකරගන්න ලද කොටස්කාර ගිවිසුමට නීතිපති නිෂ්කාශනය ලබාගත් පසුවද මුදල් අමාත්‍යාංශයේ නීති කටයුතු දෙපාර්තමේන්තුවේ එවකට සිටි නීති උපදේශක විසින් රජයට අවාසිදායක ලෙස ගිවිසුමට කොටස් එකතුකර ඇති බවද විගණනයේ දී නිරීක්ෂණය වී තිබේ.

මේ අතරතුර සීනි කර්මාන්ත ශාලවේ යකඩ විකිණීම සඳහා ටෙන්ඩර් කරණු ලැබීය. යකඩ විකිණීම සම්බන්ධයෙන් අන්තර්ජාතික බේරුම්කරණ අධිකරණයේ නඩුවක් ගොනුකිරීමට අදාළ ආයෝජන සමාගම මගින් කටයුතු කරණු ලැබීය. ආයෝජන සමාගම විසින් කොටස්කාර ගිවිසුමට ඇතුළත්කොට ඇති කොන්දේසි ශ‍්‍රී ලංකා රජය විසින් උල්ලංඝනය කොට ඇතැයි චෝදනා කරමින් සිංගප්පූරුවේ අන්තර්ජාතික බේරුම්කරණ විනිශ්චය සභාවේ නඩුවක් 2017 සැප්තැම්බර් මස 17 වැනිදින ආයෝජන සමාගම විසින් ගොනුකරණු ලැබීය.

සිංගප්පූරු බේරුම්කරණ අධිකරණයේ ගොනුකොට තිබූ නඩුවේ තීන්දුව 2019 වර්ෂයේ අගෝස්තු 06 වැනිදින ලබාදී තිබුනි.

එම නඩු තීන්දුව අනුව ව්‍යපෘතියේ ප‍්‍රමාදයට ශ‍්‍රී ලංකා රජය හේතුවූ බව තීරණය කරණු ලැබීය. එමෙන්ම ව්‍යාපෘතියේ පිරිවැය සියයට 15කින් වැඩිකර තිබුණි. බේරුම්කරණ නඩුවේ පිරිවැයෙන් සියයට 50ක් එනම් සිංගප්පූරු ඩොලර් 626,877 අතුරු නියෝගය ඇසීමේ පිරිවැය ලෙස සිංගප්පූරු ඩෙලර් 30,070 තීන්දුව ලැබූ දින 30ක් ඇතුළත අදාළ සමාගමට ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. එමෙන්ම පැමිණිලිකරුගේ නීති ගාස්තුවෙන් සියයට 95ක මුදලක් සිංගප්පූරු ඩොලර් 237,569 83 ක රජය විසින් නඩුතීන්දුව ලබාදුන් දිනයේ සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බවට නඩු තීන්දුවේ සඳහන්ව ඇත. පැමිණිලිකරුගේ අමතර පිරිවැය වන සංචාරක හා නවාතැන් වියදම් වන ඇමෙරිකානු ඩොලර් 211,913 93 ශ‍්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතුය. ඉහත නඩු මුදල් රජය විසින් නොගෙවා සිටියහොත් අදාළ මුදල් ගෙවන තුරු සියයට 05 වාර්ෂික පොලියක් තීරණය වූ මුදලට එකතුවනු ඇති බවද තීන්දු කෙරිණි.

ඒ විතරක් නොව කන්තලේ සීනි සමාගමට අයත් සියලූම යටිතල පහසුකම් යන්ත්‍රෝපකරණ ගොඩනැඟිලි හා අනිකුත් උපාංග ගිවිසුමේ ප‍්‍රකාරව ආයෝකයාගේ අභිමතය පරිදි භාවිතා කළ හැකි බවට අන්තර්ජාතික බේරුම්කරණ විනිශ්චය සභාව තීරණය කරඇත. 2017 වර්ෂයේ දී තක්සේරු දෙපාර්තමේන්තුව මගින් කරණු ලැබූ තක්සේරුවේදී පරිශ‍්‍රයේ පවතින වාහනවල මුළු වටිනාකම රුපියල් 13,030,000 ක් බව තක්සේරුකොට තිබුණි. කම්හලේ ට‍්‍රැක්ටර් 120ක් අනිකුත් වාහන 48ක් යතුරුපැදි 06 බරවාහන 41 තිබී ඇත.

රජයට පූර්ණ හිමිකාරීත්වයක් පැවති සීනි කර්මාන්ත ශාලාව රජයට අහිමි වූයේ ඇයි? ඒ විතරක් නොව රජයට අවාසිසහගත ලෙස හා ආයෝජන සමාගමට වාසි සහගත ලෙස කොටස්කාර ගිවිසුම සකස් කිරීම නිසා මහජන මුදල් සිංගප්පූරු ඩෝලර් 894,516,83ක් හා ඇමෙරිකානු ඩොලර් 211.913.93ක වන්දි මුදලක් අදාළ සමාගමට ගෙවීමට ද රජයට සිදුවී තිබේ. කොටස්කාර ගිවිසුමේ වගන්ති වෙනස් කරමින් මුදල් අමාත්‍යාංශයේ එවකට සිටි නීති උපදේශක විසින් කටයුතු කළ ආකාරය විගණනයේ දී හරි අපූරුවට අනාවරණය කොට තිබේ.

2016 වර්ෂයේ අගොස්තු 01 වැනිදින නීතිපති දෙපාර්තමේන්තුව මගින් දෙන ලද නිෂ්කාශන බැහැරකරමින් මුදල් අමාත්‍යාංශයේ එවකට සිටි නීති උපදේශක විසින් කොටම්පත්කර ගිවිසුම පිළියෙල කොට තිබුණි. මෙහි අවසන් ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ නීතිපති නිරීක්ෂණ භාණ්ඩාගාර ලේකම්ගේ අවධානයට ලක්කොට නොමැති බව නිරීක්ෂණය වී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ. ආයෝජකයා විසින් කර්මාන්ත ශාලාවට අත්‍යවශ්‍ය යන්ත්‍රෝපකරණ දක්වා ඇති කොන්දේසියට පටහැනිව ආයෝජකයාට දැනට පවත්නා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයට ගැනීමට හැකියාවක් ඇති බවට අත්සනට එලඹී ගිවිසුමෙහි නව ගිවිසුම් වගන්තියක් මුදල් අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක ඇතුළත්කොට ඇත. එම ගිවිසුම් වගන්තිය නීතිපති නිෂ්කාශනයට යවන ලද අවසන් කෙටුම්පත් කොටස්කාර ගිවිසුමේ ඇතුළත් නොවන බව ද විගණනයේ දී අනාවරණය වී ඇත.

මේ අයුරින් ගිවිසුමේ වගන්ති වෙනස් කිරීම නිසා සිංගප්පූරු බේරුම්කරණ මධ්‍යස්ථානයේ ආයෝජකයන් විසින් ශ‍්‍රී ලංකා රජයට එරෙහිව පවරන ලද නඩුවෙන් රජයට අවාසිදායක ලෙස බලපෑ බව විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම මෙම ගිවිසුමෙහි ආයෝජකයා සම්බන්ධ වගන්ති කෙටුම්පත් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශ විසින් බවට තහවුරුවී ඇත. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත 2018 මාර්තු මස මෙකී නඩුවේ රජයේ ප‍්‍රධාන සාක්ෂිකරුවා ලෙස ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් අයි. එච්. කේ. මහානාම මහතා නම්කරණු ලැබීය. ඔහු විසින් එකි නඩුව වෙනුවෙන් සාක්ෂි ලේඛන වලටද අත්සන් තබා එකී සාක්ෂි ලේඛණ බේරුම්කරණ නඩුවට ගොනුකිරීමද සිදුකොට ඇත. එහෙත් ඉහත නම් සඳහන් ආයෝජකයාගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. බේරුම්කරණ නඩුව විභාගවන අවස්ථාවේ ඔහු රැගෙන යෑම නීතිපති දෙපාර්තමේන්තු විසින් ප‍්‍රතික්ෂේප කරණු ලැබීය.

කෙසේ වුවද නීතිපති දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය බේරුම්කරණ අධිකරණය හමුවේ කරුණු දැක්වීම නිසා ආයෝජකයා විසින් ඔහුට සිදුවූ අලාභය ලෙස තක්සේරුකොට ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක වන්දිය ලබාදීම බේරුම්කරණ මණ්ඩලය විසින් ප‍්‍රතික්ෂේපකරණු ලැබීය. කොටස්කාර ගිවිසුමට අත්සන් කිරීමේ ක‍්‍රියාවලිය සම්බන්ධීකරණය කරණු ලබුවේ ආයෝජන මණ්ඩල විසින්ය. ආයෝජන මණ්ඩලය විසින් ඉදිරිපත් කරණු ලැබූ කෙටුම්පත් කොටස්කාර ගිවිසුම හා මුදල් අමාත්‍යාංශය විසින් ගිවිසුමට එළඹෙන ලද කොටස්කාර ගිවිසුමෙහි වෙනස්කම් තිබුණි. එහෙත් එම වෙනස්කම් තුළින් ශ‍්‍රී ලංකා රජයට වන බලපෑම් ඇගයීමට ලක්කර නොතිබුණි. එමෙන්ම අත්සන් කරණු ලැබූ කොටස්කාර ගිවිසුමෙහි ඇතුළත් වගන්ති ආයෝජන මණ්ඩලය හා ආයෝජකයා විසින් අත්සන් කරණු ලැබූ ආයෝජන ගිවිසුම හා අමාත්‍ය මණ්ඩල තීරණවලට පටහැනි ලෙස ගිවිසුම් වගන්ති ඇතුළත් කරතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ. ඒ පිළිබඳ ආයෝජන මණ්ඩලය නැවත මැදිහත් වූ බවට නිරීක්ෂණය නොවීය. එහෙත් ආයෝජකයා විසින් කරණු ලැබූ ඉල්ලීම්වලට අනුව ආයෝජකයාට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැපයීම ආයෝජන මණ්ඩලය විසින් අවශ්‍ය කටයුතු කරණු ලැබීය.

භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ගිවිසුමේ සඳහන් වගන්ති පිළිබඳ ප‍්‍රමාණවත් අවධානයකින් තොරව ගිවිසුමට අත්සන් කොට ඇති බවද විගණනයේ දී අනාවරණය වී ඇත.

මුදල් අමාත්‍යාංශයේ හිටපු නීති උපදේශක විසින් අත්සන් කරණු ලැබූ කොටස්කාර ගිවිසුම ශ‍්‍රී ලංකා රජයට අවාසිසහගතවන ලෙස හා ආයෝජකයාට හිතකර ලෙස පිළියෙළකොට ඇති බව නිරීක්ෂණය වී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

කන්තලේ සීනි කම්හල දිරන්නට හැරියේ කවුද? සීනි ගණන් කියන අයට කන්තලේ අමතකද?

කෙසේ වුවද ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයක් මගින් ලබාදෙන බේරුම්කරණ තීරණ අධිකරණ තීරණ මෙන් අභියාචනයකට ලක්කළ නොහැකිය. බේරුම්කරණයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩක් නැත. ඒ නිසා මේ වනවිටත් අත්තිකාරමක් වශයෙන් සිංගප්පූරු ඩොලර් 64,704 අදාළ ආයෝජන සමාගම වෙත රජය මගින් ගෙවා ඇත. හොර තක්කඩි නිලධාරීන් නිසා මේ බර පැටවෙන්නේ ජනතාවගේ කර මතටය. එමෙන්ම ව්‍යාපෘතියේ පිරිවැය සියයට 15කින් ඉහළ යෑම සිදුවී තිබුනද පසුගිය වර්ෂයේ ජනවාරි මස දක්වා අදාළ ව්‍යාපෘතිය ආරම්භකොට දේශීය සීනි නිෂ්පාදනය සිදුකිරීමට අදාළ ආයෝජන සමාගම කටයුතු කර නොතිබුණි. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසර 25කට ආසන්න කාලයක සිට කිසිදු නිෂ්පාදන කාර්යයකට දායකත්වය නොමැතිව වසා දමා තිබුණි. ආයෝජකයන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරමින් වර්ෂ 05ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළයුතුව තිබුනද එවැනි කිසිදු ආයෝජනයක් සිදුවී නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ප‍්‍රතිවි්‍යුහගත කිරීම සඳහා ආයෝජකයකු තොරාගැනීමේ දී විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉඩම් අමාත්‍යාංශය හා ආයෝජන මණ්ඩලය වෙත සෘජුව ලැබුණු අයැදුම්පත් දෙකක් පමණක් පදනම් කරගනිමින් ආයෝජන ඇගයීම සිදුකොට තිබුණි.

මෙහිදී ආයොජනය සඳහා යෝජනා කැඳවීම් සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් විනිවිද භාවයක් නොමැති බව විගණනයට නිරීක්ෂණය වී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අදාළ යැයි සැලකෙන කිසිදු ලියැවිල්ලක් තමන් සතු නොවන බවට ඉඩම් අමාත්‍යාංශය මගින් විගණනයට දන්වා ඇත. සීනි කාර්මාන්ත ශාලාව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ දී මේ සඳහා වගකීම් පැවරී ඇති රාජ්‍ය ආයතන වන මුදල් අමාත්‍යාංශය, ඉඩම් ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ආයෝජන මණ්ඩලය එක් එක් අවස්ථාවන්හිදී එකිනෙකට පරස්පර අමාත්‍යාංශ සංදේශ ඉදිරිපත්කර තිබූ බැවින් එම ආයතන අතර මනා සම්බන්ධීකරණයක් නොතිබූ බවද විගණනයේ දී අනාවරණය වී ඇත. මෙම ක‍්‍රියාවලියට සම්බන්ධ බවට සැලකෙන ඉඩම් අමාත්‍යාංශය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සතුව මෙය අදාළ කිසිදු ලියැවිල්ලක් නොමැති බවට විගණනයට දන්වා ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩලය සංදේශ තුළින්ද පෙන්වා ඇති නිරීක්ෂණ තුළින් මෙම ප‍්‍රතිව්‍යුහගතකිරීමේ සමස්ත ක‍්‍රියාවලියෙහි අවිදිමත් භාවය නිරීක්ෂණය වී ඇති බවද විගණනයේ දී අනාවරණය වී තිබේ.

දැනට වසර 25ක සිට කිසිදු නිෂ්පාදන කටයුත්තක් සිදුනොවන කන්තලේ සීනි කර්මාන්ත ශාලවේ සේවය නිරතව සිටි සේවකයන් සඳහා 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාලය තුළ වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 40392ක මුදලක් ගෙවා ඇත. 2015 වර්ෂය වනවිට මෙම කර්මාන්ත ශාලාව සඳහා සභාපතිවරයෙක් හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර නොතිබුණි. ආයතනයේ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සාමාන්‍යධිකාරිවරයකු යටතේ සිදුකෙරිණි. 2020 වර්ෂයේ ජනවාරි මස වනවිට කර්මාන්ත ශාලාව සඳහා සාමාන්‍යාධිකාරිවරයකු නොමැති අතර එහි වත්කම් ආරක්ෂාකර ගැනීමට හා පරිපාලන කටයුතු සඳහා සේවකයන් 35 දෙනකු පමණක් සේවයේ යෙදී සිටින බවද විගණන වාර්තාවේ දැක්වේ.

විගණනය විසින් සිදුකරණු ලැබූ භෞතික පරීක්ෂාවේදී කාර්මාන්තශාලාවට හා ස්කාගාරයට අයත් ගොඩනැඟිලි හා යන්ත‍්‍ර උපකරණ වසර 25කට ආසන්න කාලයක් තිස්සේ දිරාපත්වෙමින් පවතින බවද නිරීක්ෂණය වී ඇත. ස්කාගාරයේ මිල අධික වත්කම් සොරුන්ගේ ග‍්‍රහනයට ලක්ව ඇති බවද විගණනයේ දී අනාවරණය වී ඇත. කමහලට අයත් ඉඩම් අනවසර වගාකරුවන්ගේ ග‍්‍රහනයට ලක්වී ඇත. සීනි කර්මාන්ත ශාලවේ නිල නිවාසවල අනවසර පදිංචිකරුවන් 96 දෙනකු පදිංචිව සිටින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. කන්තලේ සීනි කම්හල වළපල්ලට යවමින් මඩිතරකරගත් හැත්ත බුරුත්තට ද`ඩුවම් ලබාදීම බලධාරීන්ගේ වගකීමකි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment