කන්තලේ සීනි යෝධයා නැගිටුවීම රටට වැඩ නැති ආයෝජකයාට වැඩ ඇති ව්‍යාපෘතියක්ද?

232

කන්තලේ සීනි ගැන යළි කතාවක් පටන්ගෙන ඇත. දශක තුනක් තිස්සේ නිර්වින්දනය කර තිබෙන කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පණගන්වා එහි ආසියාවේ විශාලතම මද්‍යසාර නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරීම මෙවර ව්‍යාපෘතියේ සැලසුම ය. දීර්ඝ කාලයක් තිස්සේ කිසිදු ප‍්‍රයෝජනයක් නොගෙන වල් බිහි වන්නට හැර තිබෙන මහා සම්පතක් එවැනි ව්‍යාපෘතියකින් හෝ ගොඩ ගන්නේ නම් කොතරම් අගනේද… මේ කතාව අසන කවුරුත් මුලින්ම සිතන්නේ එහෙමය. එහෙත් කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ සැලසුම ඇතුලේ ක‍්‍රියාත්මක විමට යෝජිත වැඩපිළිවෙළ මේ රටේ ජනතාවටත් ආර්ථිකයටත් සෙතක් වන්නේදැයි ප‍්‍රශ්නයක් මතු කර ඇත. මේ ප‍්‍රශ්නය පැන නැගෙන්නේ මෙකී ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වීමේ ස්වාභාවය නිසා පමණක් නොවේ. කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ වටිනාකම සහ එහි සාරවත් ඉතිහාසය කියවීම ද අපව එය ප‍්‍රශ්න කරන තැනට තල්ලූ කරන්නේය.

මීට තිස් වසරකට පෙර හබරණ කැලයෙන් එහා ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත කතාව ඉන් මෙහා ලෝකයේ ජීවත් වූ මිනිසුන්ගේ කතාවට වඩා බොහෝ සෙයින් වෙනස්ය. අද තරම් නොදියුණු කාලයක වුව එදා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ජීවත් වන මිනිසුන්ගේ ආර්ථිකය සවිමත් කළ යෝධයන් දෙදෙනෙක් එහි සිටියේය. ඒ ත‍්‍රිකුණාමලයේ ප‍්‍රීමා පිටි කම්හල සහ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවය. ලෝකයේ පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ මේ රටේ ක‍්‍රියාත්මක සෝවියට් හිතවාදී විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් අපට ලැබුණු මහා සම්පතක් වූයේ චෙකොස්ලෝවැකියාවෙන් ලැබුණු මේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ය. 1960 වසරේදී මෙහෙයුම් ආරම්භ කළ සීනි කම්හලට කන්තලේ අග්බෝපුරට මායිම් වන්නට අක්කර 21234 ක භූමි ප‍්‍රමාණයක් අයත් වූ අතර කැලෑව හෙළි කර පස් පෙරළා උක්දඬු කර්මාන්ත ශාලාවට ගෙනෙන තෙක් උසස් තාක්ෂණයෙන් යුතු අදටත් මේ රටේ කොතැනකවත් නොමැති වටිනා යන්ත‍්‍ර සූත‍්‍ර ගණනාවක් අයත් විය. වියළී ගිය භූමිය තෙත් සාරවත් බිමක් කර උක්දඬු සිටවීමට හැකි යෝග්‍ය පරිසරය හැදුවේ කන්තලේ මහා වාපියෙන් ලැබුණු දියවර සහ අහස් දිය ය. එදා ප‍්‍රදේශයේ අනියම් සේවක උක් ගොවීන් විශාල සංඛ්‍යාවකට රැකියා උත්පාදනය කළ එම භූමියේ ස්ථිර සේවකයින් 1500 පමණ නේවාසිකව රැකියාවල නිරත විය. ඒ බොහෝ දෙනෙක් රටේ විවිධ පළාත්වල සිට පැමිණි මිනිසුන්ය. ඔවුන්ගේ ශ‍්‍රමයෙන් බලගැන්වුණු සීනි කම්හලෙන් එහි උච්චතම අවස්ථාව වන විට සීනි මෙටි‍්‍රක් ටොන් 16320 නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත. එය ජාතික ආර්ථිකයකට විසල් ශක්තියක් එක්කළ සම්පතක් විය. කන්තලේ නගරය නොනිදන නගරයක් වී යුද සමයේ පවා කන්තලේ ශක්තිමත් ආර්ථිකයක් හිමි නගරයක් ලෙස නැගී ආවේ මේ සීනි යෝධයා නිසාය.

ආරම්භයේ සිට දශක විසිපහකට වඩා වැඩි කාලයක් ලාභ ලබන කීර්තිමත් ආයතනයක් ලෙස පැවති මේ ආයතනය දිනෙන් දින වළපල්ලට යන තැනට පත්වූයේ අසූව දශකයේ මැද භාගයේ සිටය. 89 පැවති භීම සමයේදී පවා කන්තලේ සීනි ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස ක‍්‍රියාත්මක වී එම පළාතට ආර්ථික සහ සමාජීය සංස්කෘතිකත්වයක් එක් කළ ද එවක පැවති ආණ්ඩුව ගෙන ගිය රාජ්‍ය ආයතන ජනසතු කිරීමේ වැඩපිළිවෙළේ අඳුරු සෙවනැල්ල කන්තලේ සීනි කර්මාන්තශාලාව ද වසා ගත්තේය. එහි ප‍්‍රතිපලය වූයේ 1993 වසරේදී කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ඉතාම අඩුම මුදලකට තක්සේරු කර පුද්ගලීකරණය කිරීම ය. එම ගනුදෙනුවෙන් පසු කර්මාන්ත ශාලා සේවකයන් සහ එහි පාලන අධිකාරිය අතර කාලයක් තිස්සේ ඇදි ගිය අන්වර්ථ ගැටුම කෙළවර වූයේ කර්මාන්ත ශාලාව වසා දමන තැනට ඇද දැමීමෙනි. 1994 දී පැවති රජය සේවක ඉල්ලීම්වලට අනුව නැවත සීනි සමාගම රජයට පවරාගෙන එහි සේවකයන්ට වන්දි ලබා දී කන්තලේ සීනි යෝධයා සදා නින්දකට හැරියේය.

වන්දි ලබාගත් සේවකයන් පවුල් පිටින් ගම් රටවල් හැර යන්නා සේ හබරණ කැලයෙන් මෙහාට ආවේය. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් සම්පූර්ණ වන්දිය වෙනුවට කර්මාන්ත ශාලාව සතු අක්කර විසි එක්දහසක ඉඩමෙන් අක්කර දෙකක් වගා කටයුතු සඳහා ලබාගෙන එහිම පදිංචි විය. පසු කාලයේදී තවත් පිරිසකට බඩ ඉරිඟු වගාව සඳහා එම භූමියෙන් බලපත‍්‍ර ඉඩම් ලැබිණ. ඒ අනුව මේ තාක් වී ගොවිතැන සහ බඩ ඉරිඟු වැනි බෝග වගා කරන ගොවීන් තම දරු පවුල් සමග පණ නළ ගැට ගසා ගන්නේ එම ඉඩම් අස්වැද්දීමෙන් උපයන ආදායමෙනි. කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීිමේ සිහින දකින පිරිස අතර එදා උක් ගොවීන් සහ ස්ථිර සේවකයන් ද අයත්ය.

කන්තලේ සීනි යෝධයා නැගිටුවීම රටට වැඩ නැති ආයෝජකයාට වැඩ ඇති ව්‍යාපෘතියක්ද?

කන්තලේට පමණක් නොව රටටම සම්පතක් වූ සීනි කම්හල වසා දැමීමෙන් පසු අද වන තෙක්ම කාලයෙන් කාලයට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමේ කතා කරළියට පැමිණියේය. ඒ අනුව කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමේ මුල්ම සැලසුම ඉදිරිපත් වූයේ 2004 සහ 2005 අතර කාලයේය. එම ව්‍යාපෘතියේ සැලසුම වූයේ සීනි කර්මාන්ත ශාලාව දේශීය සමාගමකට ලබා දී කර්මාන්ත ශාලාවට අයත් ඉඩම් උක් වැවීම සඳහා ගොවීන්ට ලබා දීමය. ගොවීන්ගෙන් උක් මිලදී ගෙන සීනි නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම නිසා ඉඩම් ගොවීන් අතර බෙදී යෑමත් නව රැකියා උත්පාදනයත් එහි ජනතා හිතකර සාධක විය.

කර්මාන්ත ශාලාව ඇරඹීමේදී අභියෝගයක් වූ අනෙක් සාධකය වූයේ උක් වගාව සහ කර්මාන්ත ශාලාවට අවශ්‍ය ජල අවශ්‍යතාව සපුරා ගන්නේ කෙසේද යන්නය. 2006 ඉදිරිපත් වූ මුල් සැලසුමේදී ඒ සඳහා සාර්ථක විසඳුමක් ලෙස කළුගඟ ව්‍යාපෘතියෙන් එම අභියෝගයට විසඳුම් ඉදිරිපත් විය. මහවැලි ගංගාවේ අතු ගඟක් වන කළු ගෙඟන් ලබා ගන්නා ජලය සහ කර්මාන්ත ශාලාවල අයත් භූමියේ ඇති කුඩා වැව් 16 න් ජල අවශ්‍යතාව සපුරා ගැනීම එම විසඳුම ය. ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය ජනතා හිතකර සාධනීය එකක් විය. එහෙත් විවිධ හේතූන් මත ඊට බාලගිරි දෝෂය පැමිණ සිනී කම්හල ඇරඹීම දිනෙන් දින කල් ගියේය.

සීනි කම්හල ගැන නැවත අවධානය යොමු වූයේ 2015 යහපාලන රජය බලයට පැමිණි පසුය. එහිදි සීනි කර්මාන්ත ශාලාව ගොඩනැගීමේ නව සැලසුමක් ඉදිරිපත් විය. එන්. ජී. ෂුගර් ලංකා ප‍්‍රයිවට් ලිමිටඞ් නමින් සමාගමක් ස්ථාපිත කර එම සමාගම සතු කොටස්වලින් සියයට 51 ක් රජය සතුව තබාගෙන ඉතිරි කොටස් 49 එස්. එල්. අයි. ඩිවලොපර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් නමැති සමාගමකට ලබා දුන්නේය. එස්. එල් අයි. ඩිවලොපර්ස් නමැති එම සමාගම ලියාපදිංචි කර තිබුණේ සිංගප්පූරුවේ ය. ඒ නිසා එය සිංගප්පූරු සමාගමක් ලෙස හැඳින්වුවද සැබවින්ම එම සමාගමේ ප‍්‍රාග්ධන හිමිකාරිත්වය සහ එහි පාලන අධිකාරිය හොබවන්නේ ඉන්දියානුවන්ය. 2016 වසරේ දී මීට අදාළ කොටස් හිමිකරිත්වය බෙදා ගැනිමේ ගිවිසුමක් පවා අදාළ පාර්ශ්වයන් අතර අත්සන් කෙරිණ. එදා මේ සීනි නිෂ්පාදන ව්‍යාපෘතිය ඇරඹීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන සියයක් අවශ්‍ය බවට තක්සේරු කර තිබිණ. සීනි කම්හලේ මෙහෙයුම් ආරම්භ කිරීමේ සැලසුම වූයේ එයින් ඩොලර් මිලියන 200 ක් මහා භාණ්ඩාගාරයෙන් ද ඉතිරි ඩොලර් මිලියන 100 සිංගප්පූරු සමාගමෙන් ද යෙදීමෙන්ය.

මෙකී සැලසුම 2004 ව්‍යාපෘතියට වඩා වෙනස් වූයේ කර්මාන්ත ශාලව සහ පරිශ‍්‍රය වසර තිහකට සිංගප්පූරු සමාගමට ලබාදීම යන කාරණයේදීය. කළුගඟ ව්‍යාපෘතියෙන් සීනි කර්මාන්ත ශාලාවට වතුර ලබා ගැනීම සහ ගොවීන්ට උක් ඉඩම් ලබාදීම යන කරුණු දෙක මෙහිදී ද වෙනස් නොවීය.

සියල්ල එසේ සිදුවෙද්දී රජය විසින් සීනි කර්මාන්ත ශාලාව සතු භාවිතයට ගත නොහැකි යන්ත‍්‍ර සූත‍්‍ර පරණ යකඩවලට විකිණීමට මේ ව්‍යාපෘතියේ කොතැනකවත් නැති සමාගමකට පැවරුවේය. රජයේ එම තීරණය අලූත් අර්බුදයකට මග පෑදුවේය. සිංගප්පූරු එස්. එල්. අයි. සමාගම එම යකඩ විකිණීමට විරුද්ධව සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධිකරණයක පිහිට පැතුවේය. එයින් ලැබුණු තීන්දුව වූයේ ශ‍්‍රී ලංකා රජය විසින් ඉන්දීය හිමිකාරිත්වය ඇති සිංගප්පූරු සමාගමට දඩයක් ගෙවීමට නියම විමය. වර්තමාන රජය බලයට පත්වන තෙක්ම කන්තලේ සීනි කර්මාන්ත ආයතනය යළි ඇරඹීමේ ව්‍යාපෘතිය ඇදි ඇදී ආවේ එපරිදිය.

මේ රජය ද කන්තලේ සීනි යෝධයා අවදි කිරීමට අදහස් කළේය. ඒ සඳහා මේ රජය ද සිංගප්පූරු සමාගම සමග නැවත අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගත්තේ 2021 වසරේ අගෝස්තුවේ ය. පසුගියදා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් බහුජන සංවිධාන එකමුතුවේ පුබුදු ජාගොඩ ඇතුළු පිරිස මේ ගැන පුවත්පත් සාකච්ඡාවක් මගින් රජයෙන් ප‍්‍රශ්න කර සිටියේ එම ගිවිසුම මගින් ගොවීන්ට සහ රටට සිදුවන පාඩුව ගැනය.

‘‘මේ ගිවිසුමට අනුව මෙහෙයුම් ආරම්භයේදී සිංගප්පූරු සමාගම මුලින් දෙන්න එකඟ වෙලා තියෙන්නෙ ඩොලර් මිලියන හැත්තෑවයි. ඉතුරු එක දෙනවා කියන්නෙ පස්සෙ. හැබැයි ලාභ බෙදා ගනිද්දි කොටස් හිමිකාරිත්වය අනුව නෙවෙයි මේ ගිවිසුමට අනුව ලාභ බෙදන්නෙ. රජයට සියයට පනස් එකක කොටස් තියෙද්දි, ගන්න ලාභයෙන් සියයට අසූපහක් මුල් අවුරුදු දහය තුළදි යන්නෙ සිංගප්පූරු සමාගමට. දෙවෙනි අවුරුදු දහයෙදිත් ලාභයෙන් සියයට හැත්තෑ පහක් යන්නෙ සිංගප්පූරු ආයෝජකයාට. අනික ඩොලර් මිලියන තුන්සියක මුළු මුදලින් දෙමිලියනයක්ම රජය දානව නම්, සියයට 51 කොටස් හිමිකාරිත්වයක් රජයට තියනව නම් මොකටද ලාභයෙන් සියයට සියයට අසූ පහක් ආයෝජකයට දෙන්නෙ. ඒක තමයි ලොකුම ගැටලූව.

ඒ වගේම මේ ගිවිසුමට අනුව මීට පෙර ගොවියන්ට උක් වවන්න දෙනවා කිව්ව ඉඩම් ටිකත් ආයෝජකයට දෙන්න එකඟ වෙලා තියෙන්නෙ. එතකොට කන්තලේ උක් ගොවීන්ට මොකද වෙන්නෙ.’’

ඔවුන් එසේ ප‍්‍රශ්න කරන්නේ සීනි කර්මාන්ත ශාලාව නැවත ඇරඹීමට විරුද්ධව නොව එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී ඇතිකරගෙන තිබෙන අහිතකර එකඟතාවයට විරුද්ධව ය. දැනගන්නට ලැබෙන පරිදි සිංගප්පූරු සමාගම කන්තලේ සීනි කර්මාන්තායතනය පසුබිම් කරගෙන ව්‍යාපෘති තුනක් සිදුකිරීමට නියමිතය. ඉන් පළමුවැන්න කර්මාන්ත ශාලාවට හිමි ඉඩම් අක්කර විසිඑක්දහස ද ලබාගෙන සීනි නිෂ්පාදනය කිරීමය. දෙවැන්න වන්නේ ඉන්දියාවේ සිට පිරිපහදු නොකළ සීනි මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ පනස් දහසක් වාර්ෂිකව ගෙන්වා ඒවා කන්තලේ කර්මාන්තායතනය තුළ පිරිපහදු කිරීම ය. එම පිරිපහදුවේදී ලැබෙන අතුරු ඵලය වන ස්පී‍්‍රට් යොදාගෙන මහා පරිමාණ අරක්කු කම්හලක් ඇරඹීම එහි තෙවෙනි සැලසුමය. සිංගප්පූරු සමාගම මේ සියල්ල සිදුකිරීමට සැලසුම් කර තිබෙන්නේ ශ‍්‍රම ශූක්ෂම ව්‍යාපෘතියක් ලෙස නොව පරිගණක තාක්ෂණය භාවිත ව්‍යාපෘතියක් ලෙසය. ඒ නිසා එයින් රැකියා උත්පාදනය වීම සිදුවන්නේ ද සීමිත සංඛ්‍යාවකටය. කන්තලේ සීනි කර්මාන්ත ආයතනය යළි ඇරඹීමට දැන් සැලසුම් වී ඇත්තේ එහෙමය.

රටක් වටිනා ජාතික සම්පතක් නිකරුණේ දිරා පත්වෙන්නට හැර බලා සිටිනවා වෙනුවට එහි ස්කාගාරයක් හෝ ඉදිකිරීම පැසසුම් කටයුක්තක්මය. එහෙත් ගැටලූව ඇත්තේ මෙවර ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන ආකාරය අනුව අඩුම තරමේ එම පළාතේ උක් ගොවීන්ටවත් එයින් සෙතක් සැලසෙන බවක් පෙනෙන්නට නොතිබීම ය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment