43 හැවිරිදි පියාගේ නම වෙඩික්කාර දුරයලාගේ සම්පත් ය. 17 හැවිරිදි පුතාගේ නම වෙඩික්කාර දුරයලාගේ පසිඳු ය. මේ තාත්තා හා පුතා මාරක බිස්නස් එකක් කළ දෙදෙනෙකි. ඔවුන් ජීවත් වූ දැදිගම ප්‍රදේශයේ ජයලත් කන්ද නමැති කන්දක් තිබේ. තාත්තා සහ පුතා පතරොම් පිරවූ තුවක්කුවක් ද රැගෙන රෑ මැදියමේදී මේ කන්දට යති. පුතා කඳු පාමුල තුවක්කුවත් මානාගෙන සිටිත්දී කඳු මුදුනට නගින තාත්තා එහි සිටින වල් ඌරන් එලවාගෙන කඳු පාමුලට එයි. මෙවිට පුතා කරන්නේ පහතට දිව එන අසරණ වල් ඌරන් වෙඩි තබා මැරීම ය. ඊළඟට ඒ මස් ත්‍රීවීල්වල පටවා බෙදාහරිනු ලැබේ. වල් ඌරු මස් කිලෝව රුපියල් 2000 ක් පමණ වේ. එක රැයකට රුපියල් ලක්ෂයක පමණ වල් ඌරු මස් ලබාගැනීමට මේ තාත්තාටත් පුතාටත් හැකියාව තිබිණ. මීට දින කිහිපයකට පෙරද තාත්තාත් පුතාත් මෙසේම ඌරු දඩයමට ගියහ. කන්ද පහළ පඳුරු අස්සේ තුවක්කුව මානාගෙන සැඟවී සිටින පසිඳු පුතා හිටිහැටියේම ලොකු වල් ඌරකු පහතට දිව එනු දුටුවේය. ඊළඟට ඔහු වෙඩි තැබුවේය. බිම වැටුණු ඌරා ළඟට ගොස් බැලූ විට ඌරා මිනිසකු වී පසිඳුගේ තාත්තා වූ සම්පත් බවට පරිවර්තනය වී තිබිණ. වෙඩි වැදී තිබුණේ තාත්තාගේ ඔළුවටය. එයින් පදාසයක්ම ගැලවී ගොස් තිබිණි. ජාතක කතා පොතේ එන චුන්ද සූකරික නමැති ඌරු වැද්දා මියගියේ පුරා මාසයක් තිස්සේ මරණයට පත්කරන ඌරකු මෙන් යටි ගිරියෙන් හඬ නගමින් අසූචි කමින් බිම දිගේ බඩගාමින්ය. සාමාන්‍යයෙන් ඌරන්, කුකුළන්, ගවයන් සහ එළුවන් මරණ ඝාතකයා සිය අවසන් මොහොතේදී යටි ගිරියෙන් කෑ ගසමින් මරණයට පත්කරන සතකු ලෙස හැසිරෙන බව කියනු ලැබේ. දිට්ඨධම්මවේදනීය කර්මය යනු on the spot පලදෙන ෂුවර් කරුමයකි. තාත්තාට වෙඩි තබා මැරීමෙන් ආනන්තරීය පව්වලින් එකක් කළා සේ සැලකිය හැකි පසිඳු පුතා දැනට හිර කූඩුවේ ය. සතුන් මරණ මිනිහකුට මිනිහකු මැරීම අපහසු නැත. 17 හැවිරිදි පසිඳු පුතා බාලවයස්කාරයෙකි. පොලිසිය මේ පුද්ගලයා ගැන කල්පනාවෙන් සහ සෙවිල්ලෙන් සිටිය යුතුය. මන්ද යත් ඇප ලබා ගෙදර එන පසිඳු පුතා ඌරු චූන් එක පිට පාරට බැස හතර අතේ වෙඩි තියන්නට පටන් ගතහොත් විශාල අවුලක් සිදුවන බැවිනි. තාත්තා මැරුවත්, ඌරකු මැරුවත් එක සමාන වන අවස්ථාවක් තිබේ. ඒ දෙන්නාගේම පණ එක සමානය. මරණීය වේදනාව එක සමානය. වෙඩි කන විට හෝ මරා දමන විට දෙන්නාටම මළ මුත්‍ර පහ වේ. මේ කතාව මෙතැනින් නිමයි. දැන් අපි අපේ ඊළඟ කතාවට යොමුවෙමු.
ලංකා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිංසන කරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකු ගැන පසුගියදා හෙළිවිය. මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රිනියෝ කිහිපදෙනෙක්ම ස්වකීය පිළිකුල සහ කෝපය ප්‍රකාශයට පත්කරන ලද අතර පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිරිහැර කරන කාම පිස්සන් කවරේද යන්න සොයාබැලීම ඇරඹින. මේ සෙවිල්ල පටන්ගන්නේ ශ්‍රී ලංකාවේ දක්ෂතම පොලිස් නිලධාරිනියක වූ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර යටතේ පවත්නා ළමා හා කාන්තා කාර්යාංශය විසිනි. පරීක්ෂණවලින් පසු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් අතර ඉන් එකෙක් පාර්ලිමේන්තුවේ සහකාර ගෘහ පාලකයකු බවද දැනගන්නට තිබේ. සැකකරුවන් තිදෙනාම ලිංගික අතවරවල පාර්ශ්වකරුවන් බව හෙළිව ඇත. එක් සේවිකාවක් විවාහ වී සේවයට වාර්තා කළ පළමු දිනයේදී ඇය surprise කිරීම සඳහා යැයි කියමින් විශාල රෙද්දකින් වසා අඟපසඟ මිරිකා හිංසා කළ බව සොයාගෙන ඇත. මෙවැනි surprise කරන්නේ නෂ්ටකාමකාරයෝය. කෙළින් කතා කිරීමට කැමැති ඍජු කොන්දක් ඇති සල්ලාලයා ස්වකීය අභිමතය ස්ත්‍රී පාර්ශ්වය සමග කෙළින්ම සාකච්ඡා කරයි. සිය යෝජනාවට ඇය එකඟ නොවන්නේ නම් ඔහු එතැනින් නැවතී වෙනත් ව්‍යාපෘතියකට යොමුවෙයි. පාර්ලිමේන්තුව වැනි තැනක ලිංගික හිංසන සිදුවීම කිසිසේත්ම ලඝුකොට සැලකිය නොහැක. පාර්ලිමේන්තුව යනු රට හදන නීති බිහිකරන පරමාදර්ශී ස්ථානය වේ. අද ඇතැම් විට ගඳ ගසන නමුදු මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මන්දිරයයි. ඒ නිසා පාර්ලිමේන්තුවේ ලිංගික වධකයන්ට විරුද්ධව දැඩි පියවර ගත යුතුය. හැබැයි ඒ මොනවා කරන්නටත් ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය පමණි. මේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් තැන් ඉතාම මෘදු ය.
සේවා ස්ථානයේදී කාන්තාවන්ට ලිංගික හිංසන සිදුවීම ලංකාවේ තිබෙන ඉතාම නරක තත්ත්වයකි. රජයේ සහ රජයේ නොවන ප්‍රසිද්ධ ආයතනවලත්, ස්වේච්ඡා සංගම්වලත්, බාලිකා නිවාසවලත්, අනාථ නිවාස තුළත් මෙවැනි ලිංගික හිංසන සිදුවේ. ලංකාවේ කීර්තිමත් සහ ඉපැරණි ස්වේච්ඡා ආයතනයක් වන බාලදක්ෂ ව්‍යාපාරය තුළ ද ලිංගික හිංසන තිබෙන බව දැනගැනීමට ඇත. මේ ව්‍යාපාරයේ වෙළෙඳසල තුළදී ගැබිනි කාන්තාවකට කිසියම් ලිංගික හිරිහැරයක් සිදුවීද? කිසියම් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම ගැබිනි කත ස්පර්ශ කොට ලෙඩක් දාගත්තේද? මෙවැනි ආරංචි දිගින් දිගටම අප වෙත ලැබෙමින් පවත්නා අතර ඉදිරි කතුවැකියකදී හෙළි කිරීමට ද අපේක්ෂා කරමු. මේ චෝදනා බොරු නම් අපි මේ මොහොතේදීම ඒවා ඉල්ලා අස්කර ගන්නෙමු. එහෙත් අප දන්නේ විත්තිකාර නිලධාරියාට එම පොදු වෙළෙඳසල තුළට පැමිණීම පවා තහනම් බවය. මෙබඳුම අවකල් ක්‍රියා සිදුවන අනාථ නිවාස සහ බාලිකා නිවාස ගණනාවක්ම මේ රටේ ඇත. ඒවා ගැන හෙළිකිරීමේ ජාතික වගකීම අප සතුය. අපි ඒ වගකීම ඉටුකරමු.