කන්දකාඩුව ගිනිගත් අඩුපාඩු

38

පසුගියදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදු වූ අවාසනාවන්ත සිද්ධිය ඉතා සංවේගයෙන් යුක්තව අපි හෙළා දකිමු. මෙම සිදුවීම පරිපාලන අධිකාරියෙහි වගකීම් විරහිතව ක්‍රියාවක් ලෙස අපට සැකයක් මතුව ඇත. පුනරුත්තාපන මධ්‍යස්ථානයක නේවාසිකයෙකු ළඟ දුම්කොළ ළඟ තබාගැනීම මිනිස් ජීවිතයක් බිලි ගැනීමට තරම් හේතුවක් වීම පරිපාලනයෙහි අදූරදර්ශී බව පැහැදිලිය.

මෙම පුනරුත්ථාපන වැඩසටහන ආරම්භයේදී එකල සිටි නිලධාරීන් රජයෙහි අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය ඇතුළු පෞද්ගලික ආයතනයන්හි විශේෂ පුහුණුවක් ලබා ගත් අතර නිවැරැදි ඉදිරි දැක්මක් සහ නිසි විද්‍යාත්මක පර්යේෂණාත්මක සහ තාක්ෂණික මෙවලම් ද භාවිත කොට මෙම දරුවන් විශෝධන ක්‍රියාවලියකට යොමුකරවීම සම්බන්ධව විශේෂ පුහුණුවක් සහ මඟපෙන්වීමක් අප සංසදය තුළින් ලබා දුන්නේය. එම නිලධාරීන් අතුරින් කිහිප දෙනකුටම අප ආයතනවලින් ලබා ගත් පුහුණුව බැහැර කොට ඔවුන්ගේම වූ ක්‍රමයක් ඉදිරිපත් කිරීම අවශ්‍යව තිබුණි. රජයද අනවශ්‍ය ලෙස මේ සඳහා ධනය වැය කළ අතර ප්‍රතිඵලයන් කෙරෙහි අවධානය යොමු නොවූ බැව් පැහැදිලිය. යොදා ගත් ක්‍රමවේදය කෙතරම් දුරට දරුවන්ට ප්‍රතිඵල ගෙන දෙන්නේ දැයි සත්‍ය තොරතුරු මත විශ්ලේෂණය නොකළ බව ද මගේ මතයයි.

දරුවන්ගේ නේවාසික සංඛ්‍යාව සහ වර්ෂයකට ස්ථානයෙන් පිට කළ සංඛ්‍යාව මත සාර්ථකත්වය මැන බැලූ අතර දරුවන්ගේ සැබෑ වෙනස් කිරීම වෙනුවෙන් ඔවුන් ක්‍රියා නොකළ බැව් සහතිකය. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අප සංවිධානය කරුණු පෙන්වා දී ඔවුන් වෙත සහාය දීමට ඉදිරිපත් වූ නමුත් ඔවුහු ශ්‍රී ලංකාවේ ඇති ඉතා හොඳම මධ්‍යස්ථානය ලෙස තමන්ව නම් කර ගනිමින් එම මගපෙන්වීම් ප්‍රතික්ෂේප කළහ. අවසාන වරට කොළඹ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අමාත්‍යවරු සහ උසස් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් මා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් නිසි ක්‍රමවේදයක්, උපදේශන ක්‍රියාවලියක්, සායනික ක්‍රියාවලියක්, විශෝධන පටිපාටියක් හෝ නොමැතිව මෙවැනි වැඩසටහන් කිරීම ඵල රහිත බැව් තරයේ ප්‍රකාශ කළේය. එමෙන්ම මෙහිදී බැලූ බැල්මට මෙවැනි සිදුවීමකට තුඩු දුන් සුවිශේෂී කරුණු සොයා බැලිය යුතුය.

LTTE සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියේ යෙදුනු නිලධාරීන්ට සහ එවැනි තැනැත්තන් වෙනුවෙන් අනුගමනය කළ ක්‍රියාමාර්ග කෙතරම් දුරට මෙම කාර්යයේදී සාර්ථක වන්නේදැයි සොයා නොබැලීම. මත්ලොලියකු වෙනස් කිරීම සහ සුවපත් කිරීම සඳහා සුවිශේෂි වූ පුහුණුවක් දැක්මක් සහිත කාර්යමණ්ඩලයක් නිසි ලෙස යෙදවීද යන්න. මෙම දරුවන් චර්යාත්මකව, ආකල්පමය සහ මනෝ මූලිකව වෙනස් කිරීම සඳහා වූ සුවිශේෂ ක්‍රමයක් පැවතියේද, එය කෙතරම් ප්‍රයෝගිකද? ඒ සඳහා සුදුසු කාර්යමණ්ඩලයක් පුහුණුවක් යෙදවිද? අවම වශයෙන් සති පතා ඔවුන්ගේ ප්‍රගතිය සමාලෝචනය වන (දත්ත මත පමණක් පදනම් වූ ක්‍රමය බැහැරව) විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබේද, ඒ සඳහා පුහුණු නිලධාරීන් සිටීද යන කාරණාව. එකවර නේවාසික වන සංඛ්‍යාව අනුව උපදේශකවරුන් ප්‍රමාණවත්ව යොදවා තිබුණේද යන්න. මෙපමණ විශාල සංඛ්‍යාවක් ස්ථානගත කිරීමේදී අනුගමනය කරන ලද වර්ගීකරණය කුමක්ද?

වයස, භාවිත ද්‍රව්‍ය, මානසික තත්ත්වය, නැවත නැවත වැටීමේ ස්වභාවය, පවුල් පසුබිම, අධ්‍යාපනය, සෞඛ්‍ය, රැකියා, වෘත්තිමය හැකියාවන්, සමාජගත වීමෙන් පසු රැකවරණ සැපයීම, විශේෂයෙන්ම මේ සැම දරුවෙකු වෙනුවෙන්ම වෙන් වෙන් වශයෙන් ප්‍රතිකාරාත්මක සැලැස්මක් (treatment plan), දිනපතා ඔවුන්ට කාලසටහනක් පැවති නමුත් එම කාලසටහනට අනුව දරුවන්ව හැසිරවීමේදී ඔවුන්ට පුහුණුවක් ලැබේද?, ඒ ලැබෙන පුහුණුව කෙතරම් දුරට යහපත් අමද්‍යපික දිවියකට හේතු කාරක වන්නේද?

මෙවැනි දරුවන් වෙනුවෙන් සුවිශේෂී වූ ක්‍රමවේදයක් මිස පරිපාලන පහසුව හෝ පටු දේශපාලනික අවශ්‍යතාවන් ඉටු කරලනු පිණිස හෝ ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන්ම නැවත නැවතත් මත්ද්‍රව්‍ය භාවිතාවට දරුවන් යොමුවීම වළක්වා ගත නොහැක. කෙසේ වුවද එකම ක්‍රමයක් සෑම මධ්‍යස්ථානයකම තිබිය යුතු යැයි මම නොපවසමි. එමෙන්ම මධ්‍යස්ථානයක තුළ වුවද එකම ක්‍රමයක මූලධර්මයන්ට හානියක් නොවන පරිදි ක්‍රියාකාරකම්හි යම් වෙනස්වීම් විද්‍යාත්මක ක්‍රම මගින් හඳුනාගත යුතුය. ඒ අනුව අවශ්‍ය තැන්හිදී එම ක්‍රමවේදයන් අනුගත කළ යුතුය.

එමෙන්ම නිලධාරී මට්ටමින් විශේෂයෙන්ම හමුදා නිලධාරීන් යෙදවීමේ නිල ඇඳුම් සහ අවි ආයුධ සහිතව පරිසරය සංවිධානය කිරීම් තුළින් අපේක්ෂිත ප්‍රතිඵලවලට ළඟා විය නොහැක. එමෙන්ම මෙවැනි විශාල සංඛ්‍යාවක් එක් භූමියක රඳවා තබා ගැනීමද ඔවුන්ගේ මානසික පීඩාවට හේතු වනු ඇත. ආයතනය තුළ හෝ බාහිරව යොදාගන්නා සම්පත් තැනැත්තන් කෙතරම් දුරට මෙම දරුවන්ගේ අධ්‍යාපනික, මානසික, අධ්‍යාත්මික කුසලතා සංවර්ධනය වන්නේදැයි වසරෙහි අවස්ථාවන් කිහිපයකදීම සලකා බැලිය යුතුය. මෙයට අමතරව දරුවන් වෙත පියෙකු නොවන නිලධාරීන් යෙදවීමෙන් සහ කෲර අදහස් ඇති තැනැත්තන් මෙන්ම යම් යම් වංචනික ක්‍රියාවන්ගේ හුරු තැනැත්තන් යොමුකරවීමෙන්ද අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැක.

පසු රැකවරණ වැඩසටහන දත්ත සපුරාලීම සඳහා පමණක් වුවහොත් එයද අර්ථ ශූන්‍යය. මෙවැනි දරුවන් සමාජගත කිරීමේදී ඔවුන්ගේ පවුල් පසුබිම අනුව ක්‍රියාත්මක වන වැඩසටහන් හඳුන්වා දීම ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. සෑම මොහොතකම මෙවැනි මධ්‍යස්ථානයන්හි නිසි ක්‍රමවේදයක් නොමැතිව සහ එම ක්‍රමවේදය භාවිතයේ යෙදවුම සම්බන්ධයෙන් නිසි ක්‍රමානුකූල වැඩපිළිවෙළක් අවශ්‍යය. එමෙන්ම පුහුණු කාර්යමණ්ඩලය අවශ්‍ය පහසුකම්, නිසි ආහාර පාන ආදිය පමණක් නොව ඉතා සුවිශේෂී අධ්‍යාත්මික, මනෝමූලික විද්‍යාත්මක සහ ප්‍රතිඵල මත පදනම් වූ, දිගුකාලීන අත්දැකීම් මත පිහිටා ගොඩනඟාගත් ක්‍රමවේදයක් තුළින් පමණක්ම මෙවැනි දරුවන් වෙනස් කළ හැකි බැව් මම තරයේ විශ්වාස කරමි. අවසාන වශයෙන් හුදු කාරුණික මෙත් සිතකින් මෙවැනි දරුවන් මතින් මුදා ගැනීමේ පරමාර්ථයෙන්ම සේවා ආයතන ඇරඹීම හෝ පවත්වාගෙන යෑම කෙරෙහි විශේෂ අවධානය යොමු කරවන මෙන් ආයතන සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි නියාමනයක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මගින් සිදුවිය යුතුය. ඒ සඳහා අවශ්‍යව මඟපෙන්වීම් පනත් මගින් දක්වා ඇත. එමෙන්ම මෙවැනි මධ්‍යස්ථානයන්හි සේවාලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් කාලය ද සැලකිලිමත් විය යුතුය. දීර්ඝ කලක් මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් විනාශ වූ කායික හා මානසික පෞර්ෂයන්, නොපෙනෙන ආබාධිත තත්ත්වයන් යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙහි ලා මාස 3ක් 6ක් වැනි සුළු කාලයකදී කළ නොහැකි බැව් මිතුරු මිතුරෝ පර්යේෂණ මගින් සනාථ කර ඇත. දුම්කොළ කැබැල්ලක් ළඟ තබා ගැනීම මෙවැනි ආයතනයකදී ජිවිත හානියක් දක්වාම වර්ධනය වූවේ නම් එයද මෙම ආයතනයේ අසාර්ථකත්වය මැන බැලීමේ කදිම සාධකයක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික වගකීමක් ඇති නිලධාරීන් විසින් සමස්ත සේවා ස්ථානයන් පිළිබඳව වෙන වෙනමත්, සාමූහිකවත් සොයා බලා ජාතික ප්‍රතිපත්තියක් තුළ ක්‍රියාකිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් විද්වතුන් පමණක් නොව අත්දැකීම් සහිත තැනැත්තන්ගෙන් යුත් කාර්යසාධක මණ්ඩලයක් මගින් අවශ්‍ය නිර්දේශ ලබා ගත යුතු බැව් නිර්දේශ කරමි.

පූජ්‍ය කුප්පියාවත්තේ බෝධානන්ද හිමි
මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැළැක්වීම සඳහා වූ රාජ්‍ය නොවන සංවිධාන සම්මේලනයේ ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment