කන්දකාඩු ඛේදවාචකය

1641

දාහත් හැවිරිදි නාලිනි නමැති සිසුවියගේ සත්‍ය කතාවෙන් අද මේ තීරුව අරඹමු. ඇය කොළඹ උසස් පාසලක සිසුවියක් වූවාය. ක්‍රීඩා නායිකාව මෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ද වූවාය. නව යොවුන් සමාජ ක්‍රියාකාරිනියක ද වූ බැවින් ඇය නිතරම නිවසින් පිටත කාලය ගත කළාය. දිනෙන් දින ඇයට වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය වී තිබිණ. ඒ ගැන සොයා බැලීමේදී ඇගේ මා පියන් විසින් හෙළිකර ගන්නා ලද්දේ ඇය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවය. නොපමාව ක්‍රියාකාරී වූ ඔවුහු මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රජයේ මධ්‍යස්ථානයකට ඇය යොමු කළහ. හය මසක් ඇතුළත පුනරුත්ථාපනය වූ නාලිනී උසස් පෙළ සමත්වී අද විශ්වවිiාලයේ අවසන් වසරේ උපාධි අපේක්‍ෂිකාවක ලෙස කටයුතු කරන්නීය.

ඉහත සඳහන් කතාව මත්ද්‍ර්‍යවලට ඇබ්බැහි වූ දැරියක පිළිබඳ සතුටුදායක අවසානයක් ඇති කතාවකි. එහෙත් කන්දකාඩුවේ පිහිටි මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක දී නිලධාරීන්ගේ පහරදීම නිසා මියගිය තරුණයාගේ කතාව එකම ශෝකාලාපයකි. මේ තරුණයා මිය යන්නේ දුම්කොළ කැබැල්ලක් පිළිබඳ සිද්ධියක් නිසාය. ඔවුහු අතේ දුම්කොළ කැබැල්ලක් තිබෙනු දුටු කන්දකාඩුවේ පුනරුන්ථාපන නිලධාරී මැරයෝ ඔහුට පහරදීමට පටන් ගත්හ. මේ පහරදීම නිසා විශාල ආරාවුලක් ඇතිවුණු අතර කඳවුරේ සිටි මත් ලෝලීන් දෙසිය පනහක් පමණ කඳවුරෙන් පැන ගියහ. නිලධාරී මැරයන්ගෙන් දිගටම පහර කෑ මත් ලෝලී තරුණයා මිය ගියේය. මත් ලෝලීන් පුනරුත්ථාපනයට ගෙනගොස් කඳවුරකට දැමූ විට එවැනි අය අත මත්ද්‍රව්‍ය තිබීම බරපතළ වරදකි. ඒ අනුව පෙරකී තරුණයා අත දුම්කොළ කැබැල්ලක් තිබීම බරපතළ වරදක් බව ස්ථිරය. එහෙත් මේ දුම්කොළ කැබැල්ල පැමිණියේ කොතනින්ද? කන්දකාඩුවේ දුම්කොළ වවනු නොලැබේ. මෙතැනට ගෙනෙනු ලබන්නේ පුනරුත්ථාපනය කිරීම පිණිස කැප කෙරුණු මත් ලෝලීන් නිසා ඔවුන් බැලීමට එන වැඩිහිටියන් ද කිසි ලෙසකින්වත් කඳවුර තුළට දුම්කොළ ගෙනෙන්නේ නැත. එසේනම් මේවා ගෙනෙන්නේ කඳවුරේ නිලධාරීන්ම බව අපගේ වැටහීමය. මෙවැනිම තත්ත්වයක් වැලිකඩ හිරගෙදර තුළද තිබේ. බීඩී, සිගරට්, සුරුට්ටු, අරක්කු, ගංජා, කුඩු, විස්කි, බ්‍රැන්ඩි යනාදී සියලුම දේ වැලිකඩ හිරගෙදර තුළ විකිණීමට තිබේ. වැලිකඩ හිරගෙදර බීඩියක අද මිල රුපියල් දෙසීයකි. සිගරැට්ටුවක් රුපියල් හාරසීයකි. කුඩු ග්‍රෑම් එකක් රුපියල් දසදහසකි. මේ හිරගෙදර තුළ වාර්ෂිකව රුපියල් බිලියනයකට වැඩි ආර්ථිකයක් කරකැවේ. ඉහත සඳහන් බඩු හිරගෙදර තුළට ගෙනෙන්නේ ඇතැම් ජේලර්ලාය. මේ බඩු ගැනීමට අවශ්‍ය මුදල් හිරකාරයන්ට ලැබෙන්නේ ගෙදරින්ය. සමහරවිට සිරකරුවන්ගේ ගෙවල්වලට යන ජේලර්ලා සිරකරුවන්ට ගෙනගොස් දීම පිණිස මුදලුත් ලබාගෙන එයින් කොමිස් එකකුත් ගසා කයි. උදාහරණයක් වශයෙන් හිරගෙදර රැඳවියෙකුට රුපියල් පන්දහසක් යවන විට ඉන් රුපියල් දෙදහස් පන්සියයක් ජේලර් ගනී. දෙදහස් පන්සියයක් සිරකරුට ලැබේ. වැලිකඩ බන්ධනාගාරයේ හදිසි වැටලීමක් කරන විට සිරකරුවන් වෙතින් විවිධ දේ අත්අඩංගුවට ගැනීමට පුළුවන. ඒ සියල්ලම වැලිකඩ හිරගෙදර තුළ නිෂ්පාදනය කරන දේවල් නොව පිටතින් ගෙන්වූ දේවල්ය.

කන්දකාඩුවේ මත්ද්‍රව්‍යලෝලී පුනරුත්ථාපනාගාරය ද එක්තරා විදියක හිරගෙදරකි. දුම්කොළ කැබැල්ල සන්තකයේ තබාගෙන සිටි තරුණයාට නිලධාරීන් විසින් පහරදුන් ආකාරය පිළිබඳ සාක්‍ෂි තිබේ. බොහෝ අවස්ථාවලදී මෙවැනි දේ පිළිබඳ ප්‍රසිද්ධියේ සාක්‍ෂි දීමට රැඳවියෝ බිය වෙති. එයට හේතුව හිරගෙදරදී නම් ජේලර්ලා ද, කන්දකාඩුව වැනි තැනකදී නම් නිලධාරීන් ද මහත්වරුන් ද සාක්‍ෂි දෙන්නන්ගේ අතපය පසුකාලයේ දී කඩා දැමීමයි. කන්දකාඩු සිද්ධිය පිළිබඳ බරපතළ පරීක්‍ෂණයක් සිදුකර වරදකරුවන්ට දඬුවම් දීම ආණ්ඩුවේ වගකීමය. එහෙත් අපට ඇති අත්දැකීම් අනුව මෙවැනි සිද්ධීන් පිළිබඳ වරදකරුවෝ නිතර නිදහස් වෙති. එයට හේතුව හැන්ද සහ හොදි හැළිය යන දෙකම එකී වරදකරුවන් අත තිබීමය.

මත්ද්‍රව්‍ය යනු සමාජය තුළ හටගන්නා භයානකම සාධකයකි. මත්ද්‍රව්‍ය ලෝලීයාට ‘කුඩ්ඩා’ ලෙස අපහාස කරනු ලැබේ. එසේ අපහාස කරන්නේ ද සමාජයම විසිනි. මත්ද්‍රව්‍ය මේ රටට එන්නේ 1974 න් පසුවය. එතෙක් ඉන්දියාවේ සිට වල්ලම් නමැති බෝට්ටු වර්ගය මගින් තමිල්නාඩුව හරහා මෙරට ගෙනෙන ලද කේරල ගංජා සමග 1975 දී මුල් වතාවට හෂීස් නමැති මත්ද්‍රව්‍යය වැල්වැටිතුරේට ගෙන එන ලද බව විශ්වාස කෙරේ. තමිල්නාඩුවට හෂීස් ලැබී තිබුණේ සිංගප්පූරුවෙනි. ඊට අමතරව එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී යුරෝපය බලා ගිය ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් නිවාඩුවට සිය රට බලා එද්දී හෂීස්, එල්. එස්. ඩී. වැනි එකල තිබූ ප්‍රබල මත්ද්‍රව්‍ය ගෙනවුත් පාවිච්චි කිරීමට පුරුදුව සිටියහ. ඉන්පසු මත්ද්‍රව්‍ය කර්මාන්තය බෙහෙවින් දියුණු වූ අතර මේ වන විට දිවේ අලවන කුඩා මත් ස්ටිකර දක්වා මත්ද්‍රව්‍යය වර්ධනය වී තිබේ. තලා මරා දැමිය යුත්තේ මත්ද්‍රව්‍යය පාවිච්චි කරන්නන් නොව ඒවා මෙරටට ගෙන්වා බෙදාහරින අයයි. එහෙත් එය බෙදාහරින්නෝ හැමවිටම ආණ්ඩුව සමග සම්බන්ධකම් ඇති හයිෆයි කට්ටිය වෙති. ඒ නිසා නිතරම සිදුවන්නේ මත් ලෝලියාට ගුටි කා මිය යෑමටය. නාලිනීගේ සිද්ධිය වැනි ඛේදවාචක නොවන සුඛාන්ත මේ රටේ හිඟ වන්නේ ඒ නිසාය.

advertistmentadvertistment
advertistmentadvertistment