පසුගිය දිනවල ඇතිවූ ගංවතුරින් නිවස යටවී අවතැන් වූ දරු පවුලකට මිනිසත්කම පෙරදැරිව දින දෙකක් නවාතැන් දුන් මැණික් ව්‍යාපාරිකයකුගේ කෝටි දෙකකට අධික මැණික් ගල් සොරාගත් අවතැන්ව සිටි පවුලේ මව පියා සහ පුත්‍රයකු රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් පෙරේදා (09 දා) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අවතැන්ව මැණික් ව්‍යපාරිකයාගේ නිවසේ සිටින අතර ප්‍රධාන සැකකරු නිවසේ තිබූ මැණික් දැක පසුව සූක්ෂම ලෙස ඒවා සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි.
පසුගිය පළමු වැනිද රත්නපුරට ගැලූ මහා ගංවතුර අවස්ථාවේ රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි දරු පවුලක බිරිඳ, ස්වාමියා, අවුරුදු 14 සහ 12 වයසේ පිරිමි දරුවන් දෙදෙනා සහ අවුරුදු හතරක් වූ දියණිය ඒ ආසන්නයේම ජීවත් වන පතල් ව්‍යාපාරිකයකු වන පී. පත්බේරිය මහතා සිය නිවසේ දින දෙකක් රඳවා ගෙන ආහාරපානද ලබා දී තිබේ.
ගංවතුර බැස ගිය පසු මෙම දරු පවුල මැණික් පතල් හිමියාගේ නිවසින් පිටව ගොස් ඇත්තේ ගෙමිදුල සුද්ධ පවිත්‍ර කරදීම සඳහා යළි එන බව ඔහුට දැනුම් දී කළ සත්කාරවලට ස්තුති කරමිනි. අසරණ වූ අවස්ථාවක තමන්ට කළ උදව් අමතක නැතැයි ද අවතැන් වූ නිවසේ පියා පවසා තිබේ.
පොරොන්දු වූ ලෙසම ඔවුන් පතල් හිමියාගේ නිවසේ මිදුල සුද්ද පවිත්‍ර කිරීමට ගංවතුර සම්පූර්ණයෙන්ම බැස ගිය පසු පැමිණ ඇත. අඹුසැමි යුවළ සහ අවුරුදු දොළහක් වූ පිරිමි දරුවා එලෙස පැමිණ ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පතල් හිමිකරු ඒ අවස්ථාවේ නිවසේ සිට නොමැති අතර සිට ඇත්තේ ඔහුගේ බිරිඳ පමණක් බවත් පතල් හිමිකරු නොසිටි අවස්ථාවක් බලා සැකකරු පැමිණ ඇති බවත් පොලිසිය පවසයි. අවතැන්ව සිටි අසල්වැසි පවුලේ පියා මිදුල පිරිසිදු කරද්දී ඔහුගේ බිරිඳ සහ දොළොස් හැවිරිදි පුත්‍රයා නිවසට ඇතුළු වී එම නිවසේ බුදු මැඳුරේ බෝතල් දෙකක සහ කුඩා කෝප්පයක දමා තිබූ වටිනා මැණික් කැට රාශියක් අවස්ථා තුනකදී සොරා ගන්නා ආකාරය එම නිවසේ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබේ.
මැණික් කැට කීපයක් අතුරුදන් වී ඇති බව දැනගත් මැණික් ව්‍යාපාරිකයා නිවසේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී මැණික් සොරා ගන්නේ තමා විසින්ම කැඳවා අනුකම්පා කර ගංවතුර අවස්ථාවේ නවාතැන් දුන් අසල්වාසි පවුලේ අය බව හෙතෙම දැක තිබේ.
මේ පිළිබඳව රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර යුවළ සහ ඔවුන්ගේ පුත්‍රයා රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මැණික් සොරකම් කළ බව පිළිගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී නැතිවූ මැණික්වලින් කොටසක් පොලිසිය විසින් සොයාගෙන ඇත. තවත් මැණික් කැට කීපයක් පිළිබඳව විමසීමේදී සැකකරුවන් පවසා ඇත්තේ ඔවුන් සොරා ගත්තේ එම මැණික් කැට පමණක් බවයි.
ප්‍රධාන සැකකරු විසින් මැණික් කැට දෙකක් රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකුට විකුණා තිබියදී එම මැණික් ව්‍යාපාරිකයන් ඒවා සිය කැමැත්තෙන්ම පොලිසියට භාර දී ඇත.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන අතර සැකකරුවන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කහවත්ත – සමරවීර නිරෝෂණ