කන්න දෙකක වී තියාගෙන කෝටි 16000ක හාල් පිටරටින් ගෙන්වපු ආණ්ඩුවක්

262

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 6000 තිබුණා
දැන් තියෙන්නේ 1000 කට අඩු ප්‍රමාණයක්
බැංකු ණය ගෙවා ගන්න බැරිව වී මෝල් වැහිලා
වී අලෙවි මණ්ඩලය කියන්නේ නිකන් බොරුවට නිලධාරී නඩත්තු කරන ආයතනයක්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2015 පසු තවමත් නිවැරදි සමීක්‍ෂණයක් සිදුකර නෑ
– ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

එදා සිට අපේ රටේ ජනයා තුන්වේලටම බත් කෑ ජාතියකි. තවද එකල අපේ රට සහලින් ස්වංපෝෂිත වූ රටක් බව මුළු ලොවක්ම පිළිගත් කාරණාවකි. ඒ එදා සිට අපේ රට කරවූ රජවරුන් හා පසුකාලීනව මෙරටින් බිහිවූ දූරදර්ශී රටට, ජාතියට, ආගමට ආදරය කළ නායකයන් නිසාවෙනි. එහෙත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින් වෙනස්ය.

එදා පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැඳින්වූ අපේ රටට අද සිදුව ඇත්තේ පිටරටින් සහල් ගෙන්වීමටය. මෙසේ රටේ ඉතිරි ඩොලර් ටිකත් පිරටට ඇදී යද්දී එදා සිට රටට බත සැපයූ ගොවියා අද මහ පාරේය. පසුගිය ආණ්ඩුව විසින් ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ගත් ක්‍ෂණික තීන්දු තීරණ නිසා අද සමස්ත කෘෂිකර්මාන්තයම කඩා වැටී අවසන්ය. රටේ ආර්ථිකයද බංකොලොත්භාවයක තිබෙද්දී මෙරට සහල් අවශ්‍යතාව සපුරාගැනීම පිණිස විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමද මෙරට වැටුණු ආර්ථිකයට තවත් බලපා ඇත. මේවනවිට සහල් ආනයනය නවතා ඇතත් මෙම සහල් ආනයනය සඳහා මේ දක්වා රජය වැයකර ඇති මුදල සුළුපටු නොවේ. ඒ සැබවින්ම දේශීය වී ගොවියා අතට යන මුදල්ය. එසේ තිබියදී රටේ වී ගොවියා හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ද පත්ව ඇති ඉරණම ගැනද අප කතාවට බඳුන්කළ යුතුමය.

● කෝටි 16000 ක් වැයකළ සහල් ආනයනය

මේ කතාව පසුගියදා මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදනකරුවකු වූ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කළේය. එනම් ආණ්ඩුව පසුගිය කාලයේ රුපියල් කෝටි 16000 ක සහල් ආනයනය කොට ඇති බව ඔහු පෙන්වා දෙනු ලැබීය. ඔහුගේ කතාව අනුව රජය මෙසේ වියදම් කොට ආනයනය කරන ලද සහල් ඉදිරි කාලය සඳහාද ඒවා ප්‍රමාණවත් වන බව පෙනී යයි. මෙහි බැරෑරුම් ප්‍රශ්නය වන්නේ මෙරට වී ගොවියා ළඟ කන්න දෙකක වී අස්වනු සතුව තිබියදී ඔවුන්ට නිසි මිලකට විකුණාගත නොහැකිව වී පුස්කද්දී රජය විසින් ඉන්දීය හා වෙනත් රටවල් වලින් සහල් ආනයනය කිරීමයි. මෙරට වී ගොවියා තමන්ගේ අස්වැන්න විකුණාගත නොහැකිව සිටියදී රජය මගින් සහල් ආනයනය කිරීමද අපට කිසිසේත්ම සාධාරණය කළ නොහැක. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුව කර අරින්නේ භාණ්ඩාගාරය තුළ මුදල් නොමැති බව කියාපාමිනි. එහෙත් ඩඩ්ලි මහතා කියා සිටින්නේ ආණ්ඩුව පසුගිය කාලය තුළ සහල් ආනයනයට වැයකොට ඇති මුදලින් මෙරට පළාත් පාලන ඡන්ද 16 ක් තියන්න පුළුවන් බවය.

● වැටුණු වී ගොවියා යළි ගොඩගත හැකිද?

අපේ රටේ කෘෂිකර්මාන්තයට කණකොකා හැඬුවේ පසුගිය කාලයේ පැවැති අදූරදර්ශී ආණ්ඩුව කිසිසොයා බැලීමක් නොකර ගත් කාබනික පොහොර ප්‍රශ්නය සමගය. සමස්ත වී අස්වැන්නෙන් 50% ක් පමණ මෙම කාබනික පොහොර හේතුවෙන් අඩුවූ බව පසුගිය කාලය තුළ පළවූ පුවත් තුළින් අපට දැකගත හැකිවිය. මේ හේතුවෙන් වෙළෙඳපොළ තුළ දේශීය සහල් මිලේ වැඩිවීමක්ද සිදුවිය. මෙවර 2022 මහකන්නයද වී වගාවට දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත. රජය මගින් ලබාදුන් රසායනික පොහොර (යූරියා) නිසි ප්‍රමිතියකට නොතිබීම හේතුවෙන් වී වගාවද කහ පැහැයට හැරී ඇති බව බොහෝ ගොවීහු නගන චෝදනාය. රටේ දේශීය කෘෂිකර්මාන්තකරුවාට අත්වී ඇති ඉරණම ගැන තවමත් කිසිදු පාර්ශ්වයක් මෙයට වගකීමට, පිළියම් සෙවීමට ඉදිරිපත් වන්නේද නැත. මේ සම්බන්ධව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතාද කියා සිටින්නේද මෙවන් අදහසකි.

“සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික්ටොන් මිලියන 2.7 ක් පමණ. මේ සඳහා වී මෙට්‍රික්ටොන් 3.5 ක් පමණ අවශ්‍ය වෙනවා. එයට අවශ්‍ය වී සංචිත අපේ රට තුළ නිෂ්පාදනය වෙනවා. මේ රටේ යල හා මහකන්නය වැඩකරන විට මේ ප්‍රමාණය ලැබෙනවා. රසායනික තෙල් පොහොර තහනම් කරන්න පෙර අපේ වාර්ෂික ලබපු වී අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 4.5 ක්. මෙයින් වාර්ෂික සහල් පරිභෝජනයට අවශ්‍ය වී අස්වැන්න අරගෙන අතිරික්තයකුත් අපේ රටේ තිබෙනවා. හැබැයි මේ රටේ ගෝඨාභය ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ක්‍ෂණික තීරණ නිසා වී අස්වනු ප්‍රමාණය ගැන බරපතළ අර්බුදයකට ලක්වුණා. 2022-2023 මාස් කන්නයේ බරපතළ අර්බුදයක් තිබෙනවා අවිධිමත් පොහොර භාවිතය තුළින්. රසායනික තෙල්, පොහොරත්, කාබනික පොහොර භාවිතය නිසා මේ වන විට වී වගාව තුළ විශාල අර්බුදයක් මතුවී තිබෙනවා. (කහපාට රෝග) වැනි විවිධ රෝග ඇවිත් තිබෙනවා. හැබැයි අපිට දැන් තියෙන වී සංචිත ගත්තාම ලබන 2023 මාර්තු, අප්‍රේල් වෙනකන් සහල් සඳහා අවශ්‍ය වී අස්වැන්න අපේ රටේ තිබෙනවා. පසුගිය කාලයේ රජය ආනයනික සහල් මෙරටට ගෙන්වූවා. 2022 පෙබරවාරියේ ඉඳන් 2022 නොවැම්බර් වෙනකන් රුපියල් මිලියන හැත්තදාහක හාල් ගෙන්වනු ලැබුවා. හැබැයි ගොවියාගෙන් වී ටික මිලදී ගන්න ඉල්ලුවේම රුපියල් මිලියන දෙදහයි අමාත්‍යවරයා විදිහට. ඒත් ඒක මහා භාණ්ඩාගාරයෙන් අනුමත කරේ නැහැ. නමුත් පිටරට පුද්ගලික වෙළෙන්දන් හරහා පිටරටට ඩොලර් නෑ කිව්වට රුපියල් මිලියන හැත්තෑදහසක සහල් ගෙන්වුවා. එතකොට අපේ ගිය අවුරුද්දේ මාස් කන්නයේ වී තවම ගොවියා ළඟ තිබෙනවා. පසුගිය කාලයේ වී මිල රුපියල් 107-108 ට වගේ ගියා. දැන් ආපහු වී මිල රුපියල් 95 ට 100 – 105 ට වගේ ගණන් වලට වී මිල බැහැලා තිබෙනවා. අපි කියන්නේ ඒ රුපියල් 105 ට වී දීලා වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වියදමත් එක්ක දැඩි අර්බුදයකට ගොවියාට මුහුණ දෙන්න වෙනවා. අපේ රටට කිසිසේත්ම සහල් ගෙන්වීමේ අවශ්‍යතාවක් නෑ. හැබැයි සමහර වෙලාවට හෝටල්වලට අවශ්‍ය කරන බාස්මතී වැනි සහල් පමණක් ගෙන්වීමට අවශ්‍යයි. අපි ඒකට එපා කියන්නේ නෑ. නමුත් අද වෙලා තියෙන්නේ පිටරවලින් හාල් ගේන එක ලාභයි කියලා හිතන එක. මේ නිසා අපේ සල්ලි පිට රට යනවා. අපේ නිෂ්පාදනවලට නිසි මිලක් නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වෙනකන් නිසි සංගණනයක් කරලා නෑ වී අක්කරයකට හෝ හෙක්ටයාරයකට වී වගා කරන්න යන වියදම සහ ආදායම. තාමත් තියෙන්නේ 2015 කරපු ගණනය කරපු ඒවා.” අනුරාධ මහතා එසේ කියා සිටින්නේ අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2015න් පසු තවමත් නිවැරදි සමීක්‍ෂණයක් සිදුකර නැති බවද පෙන්වා දෙමිනි.

● වී අලෙවි මණ්ඩලය සුදු අලියෙක්ලු

කන්න දෙකක වී තියාගෙන කෝටි 16000ක හාල් පිටරටින් ගෙන්වපු ආණ්ඩුවක්

“පසුගිය කාලය තුළ ඉන්ධන මිල වැඩිවුණා. මේ නිසා යන්ත්‍රෝපකරණ මිල ගණන් වැඩිවුණා. ශ්‍රමයේ මිල වැඩිවුණා. තෙල්. පොහොර සියයට 10% ගුණයකින් විතර වැඩිවුණා. කෘෂි යෙදවුම් සඳහා මිල ගණන් වැඩිවුණා. අද කවුරුවත් මේ නිෂ්පාදන වියදම් ගණනය කරලා නෑ. මෙය රාජ්‍ය මැදිහත්වීමකින් මෙය සිදුකළ යුතුයි. වී අලෙවි මණ්ඩලය කියන්නේ නිකන් බොරුවට නිලධාරී නඩත්තු කරන ආයතනයක්. වී අලෙවි මණ්ඩලයේ සභාපතිගේ දුරකථනයට ඇමතුමක් ගන්න බෑ. ඔහු එයට ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඕක තමයි තත්ත්වය. ඒ අයව එළවලා දාන්න ඕනා. වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් නිකන් පඩි අරගන්නවා. පසුගිය කාලය තුළ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගෙන වී ටික ගෙන පසුව සත්ත්ව ආහාර වලට අඩු මුදලට විකුණුවා. ඉතින් මේ මණ්ඩලය පාඩුයි. මෙය හිතාමතාම කළ සැලසුමක්. හැම ආණ්ඩුවක්ම කරේ වී අලෙවි මණ්ඩලය වී මිලදී ගෙන වී ටික පුස් කන්න හැරිය එක. අඩුම ගාණේ වී අලෙවි මණ්ඩලයට ඒ ප්‍රදේශයේ තිබෙන සාමාන්‍ය මෝලකින් වී මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් හැටදහසක්, හැත්තෑදහසක්වත් බැරිවුණා. වී දීලා මාසයක් දෙකක් ඉන්න ඕන ගොවීන්ට මුදල් ගන්න.” අනුරාධ මහතා කියා සිටියේය.

● රටින් හාල් ගෙනෙද්දී මෙරට වැහෙන හාල් මෝල්

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් දහය බැගින් මාසිකව වැහෙන බව පසුගියදා එක්සත් සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසා සිටියේය. මෙසේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් වැසීයෑමට ප්‍රධාන හේතුවී ඇත්තේ මෙම ව්‍යාපාරිකයන්ට බැංකු ණය වාරික ගෙවා ගැනීමට නොහැකිවීම හේතුවෙනි. එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා කියා සිටින්නේ පසුගිය වසර කිහිපයේ සිටම බැංකු ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව සිටි ඔවුන්ට බැංකු පොලී අනුපාත ඉහළ දැමීමද මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවය. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් මේ වන විටත් බැංකු වලට සින්න වන බවද ඔහු පෙන්වා දෙයි.

සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් පත්ව ඇති තත්ත්වය ගැනද අප අනුරාධ තෙන්නකෝන් මහතාගෙන් විමසුවෙමු.

“මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටිලා තියෙන්නේ. මීට අවුරුදු 2 කට පෙර මෙරටට අවශ්‍ය සහල් නිෂ්පාදනයට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහල් නිෂ්පාදකයා 70%-75% ක් දායක වුණා. මහා පරිමාණ මෝල් හිමියන්ගේ දායකත්වය තිබුණේ 25%-30% අතර ප්‍රමාණයක්. සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ නියැළී සිටින අයගේ සහල් මෝල් 6000 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලයේ තිබුණා. එයින් අද 1000 කටත් අඩු ප්‍රමාණයක් තිබෙන්නේ. අනෙක් මෝල් ඔක්කොම වැහිලා. බැංකු වලින් ඔවුන්ට සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් කරන්න කියල ගත්තු ණය ගෙවා ගන්න බැරිවුණා. ඔවුන්ගේ නිෂ්පාදන ක්‍ෂේත්‍රය බිඳ වැටිලා. මේ වනවිට ණය පොලී වාරික වැඩිවෙලා. ඉස්සර 6%-7% ගත්ත ණය අද වනවිට හයගුණයකින් විතර පොලිය වැඩි වෙලා. ඒ නිසා ඔවුන්ට මේවා ගෙවා ගන්න බැහැ. අද වනවිට සහල් මෝල් වැහිලා බැංකු වලට සින්න වෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. සහල් මෝල්වල යන්ත්‍ර සූත්‍ර නිරපරාදේ දිරායමින් පවතිනවා.”

පසුගියදා ජනාධිපතිවරයා කියා සිටියේද පසුගිය යල කන්නයේ හා මහකන්නයෙන් මෙරට තුළ වී අතිරික්තයක් ඇති බවය. ඔහු පවසන ආකාරයට වී කිලෝව රුපියල් 100 ක් වැනි මුදලකට තබාගැනීම රජයේ අරමුණ වී ඇත. ඒ සඳහා රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති බව මින් පෙර ඒ සඳහා වෙන්කර ඇත්තේ බිලියන පහක් බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. එහෙත් මෙරට වී ගොවියාගේ ප්‍රශ්නය එයින් විසඳෙන්නේ නැත. වී ගොවියන් පවසන අන්දමට වී කිලෝවක් නිෂ්පාදනය සඳහාම රුපියල් සියයට වැඩි මුදලක් වැයවේ. මෙහිදී වී ගොවියා මුහුණ දෙන අර්බුදය ගැන වගකිවයුතු පාර්ශ්වයක් මේ වනතුරුත් ඉදිරිපත් වී නොමැති බවද පෙනෙන්නට ඇත. ආණ්ඩුව කළ යුත්තේ මෙරට මුදලින් ඉන්දීය ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමද? මෙරට වී ගොවියා වැටී සිටින තත්ත්වයෙන් ගොඩගතයුතුව තිබෙන මොහොතක ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් නොකර පිටරට ගොවියා ශක්තිමත් කිරීම කෙසේ සාධාරණය කළ හැකිද? රජයක් හැටියට මෙරට නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම හා ශක්තිමත් කිරීම වහා කළ යුතුය. කුඩා පරිමාණ මෝල් හිමියන් ගත් ණය සඳහා ඔවුන්ට ණය සහන ලබාදී ඔවුන්ව නැවතත් මෙරට සහල් නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගත යුතුය. ඒ හරහා මෙරට පාරිභෝගිකයාට සහන මිලට සහල් මිලට ගැනීමේ වැඩපිළිවෙළකට යා හැකිය. නැතහොත් එදා සිට මෙරට සහල් මිල තීරණය කරන මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිඳිය හැකිද? කෝටි 16000 ක වැයකොට පිටරටින් සහල් ගෙන්වූ රටක පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් වී ගන්නට මුදල් නැහැ යැයි බේගල් අතඅරින දේශපාලනඥයින්ට දියයුතු දඬුවම ජනතාව මේ වනවිටත් තීරණය කර හමාරය.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment