පියාගෙන් පොලිස් කොමිසමට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත්තේ යැයි අභූත චෝදනා නඟමින් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කිරීමට පියවර ගෙන ඇති 24 හැවිරිදි සිය පුත්‍රයාට සාධාරණයක් ඉටුකිරීමට පියවර ගන්නා ලෙස කඳාන උස්වත්ත ප්‍රදේශයේ පදිංචි ජී. එච්. ඩී. රොයිස්ටන් නමැත්තා ජාතික පොලිස් කොමිෂන් සභාවට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
මෙයට මාස නවයකට පමණ පෙර කඳාන ඉන්ධන පිරවුම්හලේදී කඳාන පොලිසියේ සේවය කරන ප්‍රියන්ත නමැති නිලධාරියා සමඟ ඇතිකරගත් බහින්බස්වීමකින් අනතුරුව එම නිලධාරියා සිය පුත්‍රයාට පහර දී ඇති බවත් “උඹට මං කොයි වෙලාවේ හරි හයිකෝට් එකක් ගහනවා” යැයි තර්ජනය කර ඇති බවත් හෙතෙම එමගින් පෙන්වා දී තිබේ.
අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩුවක සැකකරුවකු වන සිය පුත්‍රයාට නියමිත දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම නිසා එදින අධිකරණය වරෙන්තු නියෝගයක් නිකුත් කර තිබූ නමුත් පසුදිනම ඔහු ඉදිරිපත් කොට එම වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට පියවර ගෙන වරෙන්තු ආපසු කැඳවීමේ නියෝගය කඳාන පොලිසියට භාරදීමට පියවර ගත් බව ද හෙතෙම එමගින් ජාතික පොලිස් කොමිෂන් සභාවට පෙන්වා දී තිබේ.
එසේ තිබියදීත් වරෙන්තුව ආපසු කැඳවා මාසයකට පමණ පසු එනම් පසුගිය දෙසැම්බර් 20 වැනිදා සිය නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් කළ දැනුම්දීමක් මත ඔහු පොලිසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී සිරමැදිරියේ රඳවා තබා යුක්තිය මෙහෙයුමේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අයකු බවට ව්‍යාජ සටහන් යොදා අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, සිය නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයට පවා දිවුරුම් පෙත්සමක් මගින් පැමිණිලි කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
කඳාන පොලිසියේ පලිගැනීමේ ක්‍රියාවලිය නිසා තව මාස කිහිපයකින් විවාහ ගිවිස ගැනීමට නියමිත සිය පුත්‍රයාගේ අනාගතයට දැඩි හානියක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් විමර්ශනයක් ආරම්භ කර සුදුසු පියවර ගන්නා ලෙස ද හෙතෙම එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
ඒ. ජේ. ඒ. අබේනායක