කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්නය දෛනික වැටුප විතරක් නොවෙයි – ඇමැති ජීවන් තොණ්ඩමන්

34

සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතුයි

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

ඇතැම් දේශපාලන පක්ෂ කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට යැයි පවසමින් අවබෝධතා ගිවිසුම් අත්සන් කළද ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක් මඟකට” යන මැයෙන් ඉකුත් (26)දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙම වසර තුළ ජල ගාස්තු වැඩි කිරීමක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව පැවසූ අමාත්‍යවරයා යෝජිත ජල සූත්‍රය හඳුන්වාදීම ජනතාව පීඩාවට පත්නොකරන ආකාරයකට සිදු කරන බවද පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද පැවසීය.

මෙම වසර තුළ අප ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ. පසුගිය වසරේ අප හඳුන්වා දෙන බව ප්‍රකාශ කළ ජල ගාස්තු සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් වී පවතිනවා. නමුත් එම සකස් කරන ලද ජල සූත්‍රය පිළිබඳ අප තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනවා. ජල සූත්‍රය මඟින් ජනතාවට අනවශ්‍ය බරක් පැටවීමට අප බලාපොරොත්තු වන්නේ නැහැ.

ඇතැම් දේශපාලන පක්ෂ එක්ව කඳුරට දෙමළ ජනතාවගේ ගැටලු‍ විසඳීම සඳහා අවබෝධතා ගිවිසුම් පවා අත්සන් කර තිබෙනවා. කඳුරට දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසඳීමට අවබෝධතා ගිවිසුම් අවශ්‍ය වන්නේ නැහැ. කඳුරට දෙමළ ජනතාව දිගු කාලයක් මෙවැනි සන්දර්ශන දැකතිබෙනවා. දැන් අවශ්‍ය වන්නේ දෙන වචන ක්‍රියාවෙන් සිදු කර පෙන්වීමයි. අප කැපවී සිටින්නේ ඒ සඳහායි. ඇතැම් දේශපාලන නායකයන්ට අනුව වතුකරයේ දෙමළ ජනතාව මුහුණ දෙන එකම ප්‍රශ්නය දෛනික වැටුප ලෙස රු.1500.00ක මුදලක් ලබා ගැනීමයි. මම මගේ ජනතාව එවැනි පහත් මට්ටමක තැබීමට කැමති නැහැ. ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කවර කණ්ඩායමක් දේශපාලනික වශයෙන් කුමන ස්ථාවරයක් දැරුවද සුළු ජන කොට්ටාසයකගේ ගැටලු‍ විසඳීමේදී දේශපාලනික වශයෙන් බෙදීම් නොපැවතිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරයයි. මගේ ස්ථාවරයද එයයි. එම ප්‍රජාවගේ දියුණුව වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදී එලෙස එක්වන ලෙස ආරාධනා කළත් අවාසනාවකට මෙන් බොහෝ දෙනෙකු දේශපාලනික පටු සීමා තුළ කටයුතු කරමින් සිටිනවා.

කඳුකර දෙමළ ජනතාව දිගු කාලයක් පුරා පුළුල්ව පැතිරුණු ගැටලු‍ රාශියකින් පීඩා විඳිනවා. ඔවුන්ගේ නිවාස,ඉඩම්, අධ්‍යාපනය, සෙඛ්‍ය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම ආදී මේ දක්වා නොවිසඳුණු ගැටලු‍ රාශියක් ඔවුන්ට පවතිනවා. මෙම ගැටලු‍ සඳහා තිරසර විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙත් මාගේත් ස්ථාවරය බවට පත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් අප කටයුතු කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment