කදුරුගොඩ කැණීම්වලින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගල් මෙවලම් හමුවෙයි…
එකම හැඩයේ චෛත්‍ය රාශියක් තිබෙන ලොව එකම තැන කදුරුගොඩ…
කදුරුගොඩ සංවර්ධනය වෙනවට උතුරේ දේශපාලනඥයෝ කැමැති නෑ…
පුරාවිද්‍යා භූමිය හතර වටින් ප්‍රදේශවාසීන් අල්ලගෙන…
චුන්නාකම් කොඩ්ඩියාවත්ත දාගැබේ ගල් කෝච්චි පාර හදන්න අරගෙන…
පෝල් පීරිස් සොයාගත් චුන්නාකම් දාගැබට වෙච්ච දෙයක් නෑ…
තල් අරඹේ සැඟවුණ අපේ උරුමය 04
ස්වභාවික හුනුගල් කුහර සහිත කීරුඩාවෙල් පුරාවිද්‍යා ස්ථානයෙන් පිටත් වූ අපි කදුරුගොඩ බලා ගමන් ආරම්භ කළෙමු. වක ගැසුණු මාවත් ඔස්සේ ඉදිරියට ඇදුණු වෑන් රථය ජන ශුන්‍ය ප්‍රදේශයකට හැරවිණි. කඩතොලු සහිත පුළුල් මාර්ගයකි. දෙපස වල් බිහි වී ගිය පාළු මුඩු බිම් ය. උස් ගස්වලට ඇත්තේ තල් ගස් පමණි. යටිරෝපණය කටු සහිත වන වදුලුය. සෙමින් ධාවනය වෙමින් තිබූ වෑන් රථය කෙඳිරි ගෑවෙන තරමට මාර්ගය අබලන් ය. අඩ හෝරාවකට වැඩි කාලයක් එම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථය ජනාකීර්ණ ප්‍රදේශයකට සේන්දු විය. කඩමණ්ඩි පසු කරමින් ඉදිරියට ඇදුණු වෑන් රථය චුන්නාකම් නගරයට ඇතුළු විය. චුන්නාකම් දුම්රිය පොළ ආසන්නයෙන් වාහනය ධාවනය කෙරෙනවිට විනුක විදානපතිරණ හඬ අවදි කළේය.
“ආචාර්ය පෝල් පීරිස් මහත්තයා 1900 ගණන්වල දිනක දුම්රියෙන් කන්කසන්තුරේට ගමන් කරනවිට චුන්නාකම් දුම්රිය පොළ අසල දී වෙනස් ගොඩැල්ලක් ඇහැ ගැටිලා තියෙනවා. එතුමා එවකට යාපනයේ දිසා විනිසුරුවරයා. පසුව ඔහු එම ස්ථානයට පැමිණ පරීක්‍ෂා කර බලා දාගැබක් බව හඳුනාගෙන තියෙනවා. 1902 වර්ෂයේ දී එම ස්ථානයේ කැණීමක් කර තියෙනවා. 1917 වර්ෂයේ දී චුන්නාකම් ඉපැරැණි දාගැබ ගැන පෝල් පීරිස් සටහනක් ද පළ කරලා තියෙනවා…” පුරාවිද්‍යා ගවේෂණයට අතිශය උනන්දුවක් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විනුක විදානපතිරණ, චුන්නාකම් ඉපැරැණි දාගැබ ගැන දීර්ඝව පැහැදිලි කිරීමක් කළේය.
චුන්නාකම් දාගැබ් ගොඩැල්ල පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ඓතිහාසික ස්ථාන ගැන සොයා බලන පෝල් පීරිස් මහතාට වසර 50කට පෙර හෑරුව ළිඳකින් ලැබුණු හුනුගලින් නිර්මාණය කරන ලද කොත් කැරැල්ලක් කෝපායි ප්‍රදේශයෙන් හමු වී තිබේ. කොත් කැරැල්ලට පහළින් දාගැබට සවි කිරීමට තිබූ කුඩිමිබිය සහ ඉහළින් ලෝහමය සිළුමිණක් රැඳවීමට කළ ලකුණු ද එම කොත් කැරැල්ලෙන් දිස් වී තිබේ. එම පුරාවස්තුවේ ඓතිහාසික වටිනාකම ප්‍රදේශවාසීන්ට තේරුම් කර දුන් පසු කැමැත්තෙන් එය පීරිස් මහතාට ලබා දී ඇත. අනතුරුව පීරිස් මහතා එම පුරාවස්තුව යාපනයට රැගෙන ගොස් ආරක්‍ෂා කරගෙන තිබේ. පුරාවස්තුව සොයාගත් ස්ථානය පිළිබඳ පැහැදිලි තොරතුරක් නැති මුත් එම කොත් කැරැල්ල අදට ද යාපනය කෞතුකාගාරයේ සුරක්‍ෂිතව සංරක්‍ෂණය වන බව සැබෑය. එමෙන්ම යාපනයේ උද්‍යානයක තැන්පත් කර තිබූ චුන්නාකම් කොඩ්ඩියාවත්ත ප්‍රදේශයෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාව පිළිබඳ අවධානය යොමු කළ පීරිස් මහතා බුදු පිළිමය හමු වූ ස්ථානය පරීක්‍ෂා කර බෞද්ධ විහාරයක නටබුන් සොයාගෙන තිබේ. අනතුරුව රජයෙන් රුපියල් 150ක මුදලක් ලබා ගන්නා පීරිස් මහතා එම ස්ථානයේ තිබූ ගොඩැල්ල ද කැණීම් කර තිබේ. මළුවක් මත ඉදිකර තිබූ දාගැබක් බවත් මධ්‍යයට ගල් කුට්ටි යොදා පිටත ගඩොලින් බැඳ ඇති බව ද තහවුරු කරගෙන ඇත. එහි ගර්භය ද එසේ නිම කොට ඇති අතර අඟල් තුනක පමණ හුනුගල් බදාම ස්ථරයකින් ආවරණය කර තිබෙන බව ද වාර්තා කර තිබේ. පේසා වළලු සහ සතරැස් කොටුව අලංකාරවත් ලෙස කැටයම් කර කොරල්ගලින් නිම කරවා තිබූ බවත් කාලයාගේ ඇවෑමෙන් එහි කැබැලි ගැලවී ගොස් තිබූ බව ද වාර්තා කර තිබේ.
1902 වර්ෂයේ දී සිදු කරන ලද කැණීමෙන් අනතුරුව වසර 6ක් ගතවන තෙක් එම දාගැබ් වහන්සේ අඩි 12ක් පමණ උසට තිබී ඇති බවත් පසුව එම දාගැබට හානි කර, ගල් ගලවා කරත්ත පිට පටවා දුම්රිය මාර්ගය ඉදිකිරීමට භාවිත කර ඇති බව ද වාර්තා කර තිබේ. වසර කිහිපයක් ගතවන තෙක් එම දාගැබේ පාදමේ කොරල්ගල් ආරක්‍ෂා වී තිබී ඇති බවත් කාලයත් සමග එම නටබුන් ද විනාශ වී තිබේ. ඊට අමතරව තවත් පුරාවිද්‍යා ස්මාරක රාශියක් එම භූමියේ තිබුණු බව ප්‍රකාශ කරන පීරිස් මහතා රජයෙන් ලැබෙන ප්‍රතිපාදන හිඟතාවය නිසා එම පුරාවස්තු කැණීම් කිරීමට නොහැකි වූ බව සඳහන් කර තිබේ. අනතුරුව එම වාර්තාවේ විස්තර කරනුයේ කදුරුගොඩ හෙවත් කන්දරෝඩෙයි පුරාවිද්‍යා ස්ථානය ගැන ය. කාලය ගෙවී යන බව නොහැඟිණි. විනුක විදානපතිරණ පැහැදිලි කළ ඉතිහාස කතාව එතරම් ම රසවත් ය.
පලාලි, කන්කසන්තුරෙයි මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථය මාවඩ්ඩිපුරම් කෝවිල අසලින් හැරී ගම්මාන මැදින් සැතපුම් කිහිපයක් ඉදිරියට ධාවනය කෙරිණි. ගහකොළ බහුල, තණබිම් සහිත ගෙවතු, හිස් බිම් අතර මද සිසිලක් ද පැතිරේ. යාපනයේ වෙනත් ප්‍රදේශවලදී දැනෙන ගත වියළෙන කර්කශ උණුසුම මේ ප්‍රදේශයේ දී නොදැනේ. සෞම්‍ය කාලගුණයක් පවතින බව දැනේ. ඇස ගැටෙන සෑම නිවසකම ගෙවත්ත තල් අතු හෝ පොල් අතුවලින් ආවරණය කර ඇති බව ද පෙනේ. සිමෙන්ති තාප්පයකින් ආවරණය කර ඇති ගෙවත්තක් ඇස ගැටුණේ කලාතුරකිනි. එමෙන්ම ඇස ගැටෙන බොහෝ නිවෙස් ඉදිරිපිට චෛත්‍යයක හැඩයට පිදුරු ගොඩවල් තිබිණි. පිදුරු ගොඩගසා තිබුණු ආකාරය කලාත්මක හැඩයකින් යුක්ත බව ද සැබෑය. රියැදුරු මහතා පානදුරේ, පින්වත්තේ තරුණයෙක් වුවද යාපනයේ පාරවල් හොඳින් දැන සිටී. විනුක හෝ සමිත් කල්හාර ගූගල් තාක්‍ෂණයේ පිහිට පැතීමට පෙර රියැදුරු තැන අදාළ මාර්ගයට වෑන් රථය හරවා අවසානය. එම මාර්ගයේ ටික දුරක් ධාවනය කළ වෑන් රථය හද්ද පිටිසර ගම්මනායක් මැදින් පැමිණ කදුරුගොඩ පුරාවිද්‍යා ස්ථානය ආසන්නයේ වාහන නැවතුම්පළේ නතර කෙරිණි. කදුරුගොඩ පුරාවිද්‍යා ස්ථානයට ගමන් කළ හැකි ප්‍රධාන මාර්ගය අප පැමිණි මාර්ගයයි. තවත් මාර්ග කිහිපයකි. පොසොන් පෝයට පසුදා බැවින් දෙස්, විදෙස් සංචාරකයන් මෙන්ම බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් එම පුරාවිද්‍යා ස්ථානය නැරැඹීමට පැමිණ සිටින බව ද පෙනේ. ඔවුන් පැමිණි වාහනවලින් නැවතුම්පළ අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් ය. වාහන නැවතුම්පළ කෙළවරේ රසකැවිලි වෙළෙඳසලෙන් වතුර බෝතලයක් මිලදී ගන්නා අතරේ අපි කඩ හිමියාව කතාවට සම්බන්ධ කර ගත්තෙමු. ඇසුවේ පුංචි ප්‍රශ්නයකි. වෙළෙඳසලේ තරුණයාගෙන් ලැබුණේ දීර්ඝ පිළිතුරකි.
“නිවාඩු දවස්වලට විතරයි සෙනඟ එන්නේ. සතියේ දවස්වලට මැස්සො ඇහිරෙනවා. සංචාරකයෙක්ට ඇවිත් වැස්සකටවත් නොතැමි ඉන්න මෙතැන තැනක් නෑ. මේ ස්ථානය දියුණු වෙනවට මේ ගමේ මිනිස්සු හරිම සතුටුයි. ඒත් උතුරේ දේශපාලනඥයෝ කැමැති නෑ. උන්ට ඕන මේ ස්ථානත්, අපිවත් ප්‍රශ්නවල පටලවලා තියන්න. ඒකෙන් උන් යැපෙනවා. අපි හිඟමනට වැටෙනවා…” ඔහුගේ කතාව දීර්ඝ ය. එමෙන්ම දුක්බර ය. තරුණයකුගේ මුවින් එවැනි වචන ඇසීම ද හදවත කම්පනයට පත් කරවන්නකි.
වතුර උගුරක් තොලගෑ මම පුරාවිද්‍යා ස්ථානයට ඇතුළු වුණෙමි. අපිළිවෙළ රජයන ඒ භූමිය දින ගණනාවකින් පිරිසිදු කර ඇති බවක් නොපෙනේ. බුදු කුටිය ටකරන් මඩුවකි. එය දකින බෞද්ධයන්ගේ හදවත් දැවෙන බව නම් සැබෑය. කම්බි වැටෙන් එපිට විවිධ ප්‍රමාණයේ දාගැබ් සමූහයකි. එම දාගැබ් සමීපයට යෑමට අවසර නැත. පුරාවිද්‍යා නිලධාරීන් සහ හමුදා නිලධාරීන් එම ස්ථානයේ ආරක්‍ෂාවට යොදා තිබීම නම් සතුටට කාරණයකි. එසේ නොවෙන්න දාගැබ් කුඩු කරගෙන ගම පුරාවිද්‍යා භූමියට ඇතුළු වන බව නම් නොරහසකි. මේ වනවිටත් කදුරුගොඩ පුරාවිද්‍යා භූමිය හතරවටින්ම ප්‍රදේශවාසීන් අල්ලගෙන බව අවටින් අපට සැල විය. අඹ ගස යට වට බැම්ම මත මම හිඳගත්තෙමි.
එල්ලාවල මේධානන්ද හාමුදුරුවන් විසින් රචිත ‘නැඟෙනහිර පළාතේ හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය’ ග්‍රන්ථයේ සඳහන් ආකාරයට කදුරුගොඩ වචනයේ කදුරු (කඳුරු) යනු පාලි කන්දර නාමයට සමානය. දියලු බිමක්, දිය ඇළක් යන අර්ථය එහි ගැබ් වී තිබේ. ඒ අනුව විහාරය ඇළක් අසල ගොඩැල්ලක පිහිටි බව අදහස් වෙයි. පසුකාලීනව කන්තරෝඩ වූයේ එම වචනයයි. කදුරුගොඩ විහාරය අසලින් ගලා බසිනා වලුක ආරුව මේ ඇළ වීමට ඉඩ තිබේ. පෘතුගීසි ලේඛනවල මේ පුරාවිද්‍යා ස්ථානය ‘කන්දර කුඩ්ඩේ’ යනුවෙන් හැඳින් වේ. ඒ කදුරුගොඩ යන සිංහල වචනයේ පෘතුගීසි උච්චාරණයයි. කන්තරෝඩය පිළිබඳ ප්‍රථමයෙන් වාර්තා කර ඇත්තේ යාපනයේ දිසා විනිසුරුවරයෙක්ව සිටි ආචාර්ය පෝල් පීරිස් මහතා ය. ඒ 1917 වර්ෂයේ දී ය. එම වාර්තාවට අනුව කන්තරෝඩය සොයා ගිය පුරාවිද්‍යා කොමසාරිස් සී. ඊ. ගොඩකුඹුරේ මහතා 1965 වර්ෂයේ දී එහි කැණීමක් කර තිබේ. තැන, තැන මතුවී තිබුණු ගොඩැලි පාදම් කොටස්, ගල් කණු ආදී විවිධ ශේෂ ඇති එහි සිදු කළ කැණීම්වලින් ස්තූප 20ක් පමණ පාදා මතුකර ගෙන තිබිණි. කැණීම් කළ යුතු ගොඩැලි 30ට වැඩි සංඛ්‍යාවක් තිබෙන බව ද වාර්තා වේ. කැණීම් කළ ස්තූපවලින් විශාලම එක වට අඩි 23.5කි. කුඩාම ස්තූපය වට අඩි 6කි. සියලු ස්තූප එකම ආකෘතියකට අයත් වේ. ඉන්දියාවේ සාංචි ස්තූපයේ මෙන් කදුරුගොඩ ස්තූපවල ගරාදි වැට මනා ලෙස නිරූපණය කර ඇති අතර ඡත්‍රය සවිකර තිබූ සිදුරක් ද විය. ඡත්‍රවලීන් අතර වළලු නවයක ඡත්‍රාවලියක් දැකගැනීමට හැකි වේ. එමෙන්ම එකම ස්ථානයකින් මෙබඳු ස්තූප සමූහයක් හමු වී ඇති ප්‍රථම අවස්ථාව කදුරුගොඩ පමණි. මෙපමණ කාලයකට තවත් එබඳු ස්ථානයක් හමු වී නැත.
එමෙන්ම එම ස්ථානයේ පැරැණි ගොඩනැඟිල්ලක කණු පාදම් ගල් රැසකි. එම ගොඩනැඟිල්ල කුමක්දැයි හඳුනාගැනීමට තවම කැණීම් කර නැත. කැණීම්වලදී හමු වූ විවිධ පුරාවස්තු අතර බුදුපිළිම හතරක කොටස්, හුනුගල් නිර්මාණයක් වූ කොත් පියන් රහිත ගල් කරඬු, ළා කොළ පැහැති වීදුරු කොතක්, කුඩා වාමන රූපයක්, ගල් ගරාදී වැටක කොටසක්, පූර්ණඝට සහිත මුරගල්, පාද ලාංඡන ශිලා ඵලක, බෝධිසත්ත්ව හිසක්, සෙල්ලිපි කොටසක් හා වර්ණ කළ දාර සහිත උළු ද වේ. විවිධ පබළු වර්ග 26,000ක්, ගඩොල් කැට, වළං හා පාත්‍ර කැබැලි, උළු කැබැලි විශාල ප්‍රමාණයක් ද හමු වී තිබේ. එමෙන්ම කාසි වර්ග සමූහයක් ද හමු වී තිබේ. එම කාසි අතර I වන පැරකුම්බා, සාහසමල්ල, ලීලාවතී, ධර්මාශෝක, බුවනෙකබාහු ආදී රජවරුන්ගේ කාලයට අයත් කාසි බව පැහැදිලිය. 1615 වර්ෂයේ නිකුත් කළ I වන ජෝර්ජ් රජුගේ තුට්ටු භාගයේ කාසියක් ද සොයාගැනීම විශේෂත්වයකි. ලක්‍ෂ්මි තහඩු ආදී තවත් බොහෝ පුරාවස්තු කදුරුගොඩ කැණීමෙන් සොයාගෙන තිබේ.
කැණීම්වලින් පසු ස්තූප කීපයක් මුලින් පැවැති තත්ත්වය උපකල්පනය කර තහවුරු කර තිබූ බවත්, එසේ කරන ලද වර්ෂය ස්තූප පාදමේ 1975, 1976 වශයෙන් සටහන් කර තිබුණු බවත් ‘නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය’ ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. භූමියේ කෙළවරක මඩුවක් තනා ඇතැම් පුරාවස්තු කොටස් එහි තැන්පත් කර තිබූ බවත් තවත් කිහිපයක් එළිමහනේ තබා තිබූ බව ද වාර්තා කර තිබිණි. කන්තරෝඩේ පුරාවිද්‍යා භූමිය මැදින් උඩුවිල්, කන්තරෝඩේ මාර්ගය වැටී ඇති බැවින් එම භූමිය දෙකට බෙදී ඇත. එවකට පුරාවිද්‍යා භූමිය වශයෙන් වෙන් කර තිබූ අක්කර 3යි පර්චස් 33යි රූඩ් 8ක වපසරිය මිනිසුන් අල්ලගෙන සිටින බව ද ‘නැඟෙනහිර පළාතේ හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය’ ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ කදුරුගොඩ ප්‍රදේශයේ සංචාරය කරනවිට පුරාවිද්‍යා භූමියට ආසන්නයේ තල්, පොල් වතු ඇතුළු විවිධ වගා බිම් තුළ විවිධාකාරයේ පුරාවස්තු දැකගැනීමට තිබූ බව වරක් උන්වහන්සේ මා සමග පැවසූහ. එමෙන්ම කදුරුගොඩ පුරාවිද්‍යා භූමිය ගොඩවී ඇති බවත්, ස්තූපවල පාදම් හා පේසා වළලුවලටත් උසින් පස් පිරී තිබීමෙන් එය පැහැදිලි වූ බව ද උන්වහන්සේ පැහැදිලි කළහ. කදුරුගොඩ ප්‍රදේශයේ සාර්ථක කැණීමක් කරන්නේ නම් අක්කර 50ට වැඩි භූමිභාගයක් පුරා වටිනා පුරාවස්තු විසිරී තිබෙන බවට විශ්වාස කරන බව ද උන්වහන්සේ පැවසූහ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන සහ එම විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ හිටපු කථිකාචාර්ය සමීර ප්‍රසංග යන මහත්වරු ද එය සනාථ කළහ.
“චුන්නාකම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කදුරුගොඩ පුරාවිද්‍යා ස්ථානය මහනුවර යුගයට අයත් ‘නම් පොතේ’ සඳහන් කර තිබෙන්නේ ‘කදුරුගොඩ විහාරය’ නමිනි. උතුරු පළාතේ තිබුණු ප්‍රධානතම විහාරස්ථානයක්. ඒ වගේම පහුගිය කාලේ මේ ස්ථානයේ සිදු කළ කැණීම්වලින් පූර්ව ඓතිහාසික යුගයට අයත් ජනාවාස හමුවෙලා තියෙනවා. එම සාධක අනුව ක්‍රිස්තු පූර්ව හය හත්සීයක දුරාතීතයට දිවෙන ස්ථානයක් බව සනාථ වෙමින් තිබෙනවා. ඒ වගේම මේ ස්ථානයේ කැණීම්වලින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති ගල් මෙවලම් හමුවෙලා තියෙනවා. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ක්‍රමානුකූලව ජනාවාස ඇති වී එම ජනාවාස ක්‍රමිකව වර්ධනය වී පූර්ව ඓතිහාසික යුගයේ ජනාවාස බවට පත් වී ඓතිහාසික යුගයේ බෞද්ධ මධ්‍යස්ථානයක් විදිහට වර්ධනය වී ඇති බව පෙන්නුම් කරනවා. එම වර්ධනය ක්‍රි. ව. 10 වැනි සියවස අවසානය දක්වා අඛණ්ඩව දකින්න පුළුවන්…” වැස්ස අපට බාධා කරයි. සමීර ප්‍රසංගයන්ගේ කතාව තවම අවසාන නැත.
ඉතිරි කොටස ලබන සතියට
තරංග රත්නවීර