ජනාධිපතිගේ ලිබර්ල්වාදී ආර්ථික ක්‍රමවේදයට රට ගොඩගන්න බෑ
සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
අපේ නායකයා චරිතවත් නායකයෙක්
නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම
සැප්තැම්බර් 21 දා බිහිවන්නේ ජාතික නායකයෙක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර
ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ හැකි සන්ධානය මෙයයි
ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්
මහ බැංකු කැඩිල්ලට වඩා සිය ගුණයකටත් වැඩියි වීඑෆ්එස් වංචාව
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්
සජිත් ජනතාවගේ දුක හඳුනාගත් නායකයෙක්
කඳුරට ජනතා පෙරමුණේ නායක පී. රාධක්‍රිෂ්ණන්
සමහරු රට ගොඩගත්තැයි කිව්වත් දරිද්‍රතාවය ඉහළ ගිහින්
නිදහස ජනතා සභාවේ කණ්ඩායම් නායක ජී. එල්. පීරිස්
සමගියෙන් ගොඩනැගුනු සමගි ජන බලවේගය සහ සමගි ජනසන්ධානය විනාශ කිරීමට ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන බවත් සමගි ජන සන්ධානය මත්පැන් බලපත්‍රවලට, වරදාන වරප්‍රසාදවලට වෙන්දේසි කිරීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වංචනික දේශපාලන රටාවෙන් බැහැරවී රටේ දුක්විඳින ජනතාවට විසඳුම් ලබාදෙන සන්ධානය ආරම්භ කළ බව හෙතෙම කියා සිටියේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඊයේ (08දා) පැවැති සමගි ජන සංධානය එළිදැක්වීමේ සහ ගිවිසුම්ගතවීමේ උත්සවයේදීය.
මෙවර ජනාධිපතිවරණය සහ ඉදිරි සියලුම මැතිවරණ සඳහා සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන සන්ධානය සමග පසුගියදා එක් වු අනෙකුත් පක්ෂ රාශියක් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (8 දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සිදු විය.
‘සමගි රටක් සැමට ජයක්’ යන තේමාව පෙරටු කර ගත් මෙම සම්මුතිය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක රාධක්‍රිෂ්ණ, නිදහස් ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පුරවැසිකම බහුජන ව්‍යාපාරයේ නායක අර්ජුන රණතුංග, රාමසාමී රාජේන්ද්‍රන්, ඊ. එල්. බී. සබීල්, විජය සුරේන්ද්‍රම් රමේෂ්, ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරු සහ දේවිකා කොඩිතුවක්කු මහත්මිය ද අත්සන් තැබූ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද අත්සන් තැබීය.
මෙහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කියා සිටියේය.
අද ඓතිහාසික දවසක්. ශ්‍රී ලාංකීය දේශපාලන වංශකතාවේ ඓතිහාසික යුග මෙහෙවරකට මුල පුරණ අවස්ථාවේ දී අප මාතෘභුමියේ ලක්ෂ 220 කගේ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා සමගි ජන බල සංධානය අද ගොඩ නැගෙනවා.
රටේ ජනතාවගේ දුක, කඳුල, වේදනාව තේරුම් ගන්නා සන්ධානය පමණක් නොවෙයි. උප්පරවැට්ටි, කුප්‍රකට, වංචනික දේශපාලන රටාවෙන් බැහැර වී මේ රටේ දුක් විඳින ජනතාවට උත්තර ලබා දෙන සන්ධානයයි මේ අද බිහි වුණේ.
අපේ පක්ෂයත්, අපේ සංධානයත් එකමුතුකමෙන් බිහිවූයේ. අපි බිහිවුනේ ලක්ෂ 220කගේ ජනදුක නිවන්නයි. ඒ වගේම ජනතාවාදී සංවර්ධන යුගය නිර්මාණය කරන්නයි. කුමන භාෂාවක් කතා කළත්, කුමන ජන ප්රබේදයකට අයත් වුණද අපේ බලාපොරොත්තුව එක්සත් නොබෙදුනු රටත් බිහි කිරීමයි.
විනයකින් යුක්තව, අභිමානවත් වැඩ පිළිවෙළක් තුළ විශිෂ්ට රටක් නිර්මාණය කිරීමයි අපේ අරමුණ. නමුත් ඉතා ශෝචනීයම තතත්වය අපි හැම අතකින්ම බෙදිලා ඉන්නේ. බෙදෙනවා පමණක් නොවෙයි මේ බෙදුනු, කඩා වැටුණු දේශය අපි අපේ මතු පරපුරට දායාද කරන්න බලන් ඉන්නවා. මේ තත්ත්වයෙන් අපි රට මුදා ගෙන යහපත් දේශයක් අපේ උප නූපන් පරම්පරාවට දායාද කළ යුතුයි.
බෙදීම පැත්තකින් තියලා. අපේ රටේ පුරවැසි පරපුරට මෙන්ම බිහිවීමට සිටින දරු පරපුරට ශක්තිවන්ත අනාගතයක් අපි තිලිණ කළ යුතුයි. ඒ සඳහා අපි හැමෝම එකමුතුකමින් කටයුතු කළ යුතුයි. අද මමත්වය පැත්තක දමා මේ එක්වුනු සියලු කණ්ඩායම්වලට මා සුබ පතනවා. මට පෙර රට කියන සංකල්පය වගේම ශ්‍රී ලංකාවට පළමු තැන කියන සංකල්පයෙන් යුතුව අද අපත් සමග එක්වූ සියලුදෙනාට මා නැවතත් සුබ පතනවා. මා රටේ ජනතාවට කියන්න කැමතියි මේ රට ගොඩ නගන පළමු පියවර පමණයි.
විශේෂයෙන්ම සමගියෙන් බිහිවූ සමගි ජන බලවේගය, සමගි ජන සංධානය විවිධ කුමන්ත්‍රණ හරහා විනාශ කරන්න, බෙදන්න ජනාධිපති ඇතුළු ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියා දාමයක් ක්‍රියාත්මක කරනවා. ඒ අය හිතනවා වයින් ස්ටෝර්ස්වලට, බියර් පර්මිට්වලට, වරදසාන වරප්‍රසාදවලට අපේ ආත්ම ගරුත්වය පාවා දෙන්න සූදානම් කියලා. නමුත් අපේ රටේ ජනතාවට මා පොරොන්දු වෙනවා. මේ ජරා ජීර්ණ වූ අසික්කිතවූ බංකොලොත් භාවයේ පතුලටම ඇදවට්ටවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, බල තන්හාව, කෑදරකම කේන්ද්‍ර කර ගත් මේ දේශපාලන රටාව අපි සහමුලින්ම වෙනස් කරනවා. අපි ළඟ බියර් බලපත්‍රවලට, තමන්ගේ අම්මා, තාත්තා වුණත් පාවාදෙන කිසිම මහජන නියෝජිතයෙක් නෑ.
අපි මේ සංධානය නිර්මාණය කළේ කුමක් සඳහා දැයි මා කිව යුතුයි. එක්දහස් නවසිය විසි ගණන්වලදී ඇමරිකාවේ ආර්ථික අවපාතය ඇතිවූ පසුව එහි ජනාධිපති ෆ්රැන්ක්ලින් රූස්වෙල් ඒ රට ආර්ථික අවපාතයෙන් ගොඩ ගන්න මහා දැවැන්ත සමාජ ගිවිසුමක් ක්‍රියාත්මක කළා. පොදු ජනතාවත් සමග සම්මුතියක් ඇති කර ගත්තා.
ඒ සම්මුතියත් සමග වසර කිහිපයක් තුළ ඒ මහා සම්මුතියත් සමග ආර්ථික අවපාතයෙන් රට මුදා ගත්තා. අද මේ නිර්මාණය වන මේ සංධානය නිර්මාණය වෙන්නේම මේ රටේ සුවහසක් ජනතාවගේ දුප්පත්කම මුදවාගන්නයි.
දූෂිත, වංචනික ක්‍රියාදාමයන් තුළින් රට බංකොලොත් කරපු ඒ ආර්ථික අපරාධකරුවන් අධිකරණය ඉදිරියට ගෙනැවිත් නීතිය හමුවේ ඒ යුතුකම් ඉෂ්ඨ කරනවා පමණක් නොවෙයි ඒ හැම රුපියලක්ම අපේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඒවා යොමු කරනවා.
ඒ වගේම සෑම ග්‍රාම සේවා වසමකම නිෂ්පාදන ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කරන්න අපි කටයුතු කරනවා. මගේ පියා ඇඟලුම් කම්හල් 200 ක්‍රියාත්මක කරනකොට කුහකයෝ පිරිසක් කිව්වා ඕවා කරන්න පුළුවන් වැඩද කියලා. ඒ වගේ අදත් එහෙම කුහකයෝ කොට්ඨාසයක් සිටිනවා. ලබන මාසේ 21 වැනි දාට ඔබ ලබාදෙන ශක්තියෙන් 22දා සිට මා මේ කියන සියල්ල මහ පොළොවේ යථාර්ථය බවට පත් කරනවා. හැමෝගෙම හදවතට, කනට, ඇඟට දැනෙන්න ඒ මහා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරනවා කියලා මා කියන්න ඕන. ඒ නිසා තවදුරටත් කුහක විවේචන නොකර සමගි ජන සංධානය සමග එක්වෙන්න කියා මා ඒ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ ඇමැතිකම්, තනතුරු, සභාපතිකම් බෙදා හදාගන්න නොවෙයි. සමගි සංධානය කැප වෙන්නේ රට ගොඩ නංවන්නයි. හැමෝම පොඩ්ඩක් අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න සූදානම් වෙන්න. ඒ ආදර්ශය ඉහළින් ලබා දෙනවා කියා මා කියනවා. ඔබ සූදානම් වන්න රට ගොඩ නගන්න.
අපි රට තුළ තොරතුරු තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරනවා. එය දැන් අපි පාසල් මට්ටමින් ආරම්භ කර තිබෙනවා. අපි එය තවදුරටත් පුළුල් කරගෙන මේ රට තුළ දැවැන්තම තොරතුරු තාක්ෂණ විප්ලවය සිදුකොට තොරතුරු තාක්ෂණ නිපුනතාවය සහිත මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන පාරාදීසයක් බවට අපේ මාතෘභූමිය පත් කරනවා.
කෘෂි ක්ෂේත්රය, ධීවර, ඒ වගේම තේ, පොල්, රබර් වගා ක්ෂේත්‍රයත්, කර්මාන්ත ක්ෂේත්රය, ස්වයං රැකියා, ඇඟලුම් ඇතුළු ක්ෂේත්රයන් අපි දැවැන්ත ලෙස සංවර්ධනය කිරීමට බලා පොරොත්තු වෙනවා.
අපේ රටේ ජාතික සම්පත් රකිනවා. අපේ රාජ්‍ය ආයතන පාඩු වෙන්න නොදී ඒකාබද්ධ පුද්ගලික හා රාජ්‍ය ව්‍යපෘති වශයෙන් අපි ලාභ ලබන තත්ත්වයකට පත් කරනවා. ගෞරවණීය රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා. පළාත් නවයේම ගම් නියම් ගම්වල සියළුම ජන කොට්ඨාස අපි ගොඩ නගනවා. උතුරු නැගෙනහිර පළාත්වල දුක්විඳින ජනතාව ඒ දුකෙන් අපි මුදවා ගන්නවා. වතු ප්‍රජාවට අපි නිශ්චිත විසඳුම් ලබා දෙනවා. ජනවරමක් ලැබුනු මොහොතේ සිට අපි ක්‍රියාත්මක කරන මහා සංවර්ධන ගමනට සියලුම දෙනා එක්කර ගන්නවා.
අපේ ගමන සමාජ ප්රජාතන්ත්රවාදී සමාජ වෙළෙඳපොල ක්‍රමයයි. ලුම්පන් ධනවාදය බැහැර කරනවා අපි අන්තවාදී සමාජවාදය බැහැර කරනවා. අපි ශක්තිමත් මැද මාවතක ගමන් කරනවා. අද අපේ රටේ අඩකට වඩා ප්‍රමාණයක් අන්ත දිළිඳුකමෙන් පෙලෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස දුප්පත්කම තුරන් කරන්නට ජනසවිය ක්‍රියාත්මක කළා. අපි කියනවා ජනසවියටත් වඩා ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කරමින් සීමා සහිත කාලයකට දුප්පත් ප්‍රජාවට ලබා දිය යුතු සහන සහ ශක්තීන් ලබා දෙමින් කෙටි කාලයක් තුළ මේ රටේ දුප්පත් ප්‍රජාවට දුප්පත්කමින් මිදෙන්නට අපි නිශ්චිත වැඩ සටහනක් අපි එළිදක්වනවා.
අපි මේ රටේ පොදු ජනතාව ජයග්‍රාහී තැනකට ගෙන එනවා. මේ ගමන තනි පුද්ගල ගමනක් නොවෙයි. මා කියනවා රට ගොඩ නගන්න පුළුවන් උගත්, බුද්ධිමත්, විශිෂ්ටයින් කණ්ඩායම සිටින්නේ අප සමගයි. හඬක් නොමැති නිහඬ බහුතරයේ හඬ බවට අපි පත් වෙනවා. ඒ නිසා ගම් නියම් ගම් කරා ගොස් අපේ ජයග්‍රහණය තහවුරු කරවන්න කැප වෙන්න. මේ ජයග්‍රහණය පවුලක ජයක් නොවෙයි. අපි පවුල්වාදය හරහා දේශපාලනය කරන්නේ නෑ. මගේ පවුලේ සාමාජිකයන් මොනම අවස්ථාවකදීවත් මේ පක්ෂයේ දේශපාලනය සින්නක්කරව ලියාගන්නවත් ක්‍රියා කරන්නේ නෑ. සමහරු මේ රටත් ලියා ගන්න ක්‍රියා කළා. නමුත් ඒ අසික්කිත පවුල්වාදයට අපි නැවතීමේ තිත තබනවා.
එන්න එකතුවෙන්න. ඔවු අපිට දිනන්න පුළුවන්. මැතිවරණය විතරක් නොවෙයි කඳුලෙන් පිරුණ මේ දේශයේ කඳුළු පිස දමන, හැම දෙනාම දිනන ගමනට එන්න එකතුවෙන්න කියා මා ආරාධනා කරනවා. ශ්‍රීමත් ගරු නම්බුනාම අපි ප්‍රතික්ෂේප කරනවා. කවදා හරි රට දිනවපු යුගය සමගි ජන සංධාන යුගයයි කියන තත්ත්වයට අපි මේ රට දියුණු කරනවා.
මා ඔබ හැම සියලුදෙනා මගේ පවුලේ සාමාජිකයන් ලෙසයි සලකන්නේ. ඔබේ ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට අපිට කළ හැකි උපරිම කැපවීම කරනවාමයි කියමින් රටට, ජනතාවට ජයවේවායි මා ප්‍රාර්ථනා කරනවා.
සමගි ජන බලවේගය මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා-
අද සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා සමගි ජන සංධානය පිහිටුවීමට අපත් සමග එක්වූ ඒ දේශපාලන පක්ෂ සහ ඒ පක්ෂ නායකයන් සමග මේ රටේ පුළුල්ම ජයග්‍රාහී සංධානය අද බිහිවෙනවා. අපේ රට මේ මොහොතේ අභියෝගයකට මුහුණ දී සිටිනවා. එක් පැත්තනික් ආර්ථික අර්බුදය. ඒ වගේම දේශපාලන අර්බුදය. සමාජ අර්බුද තිබෙනවා. අද රටේ නීතිය සහ සාමය කඩා වැටිලා. එහෙනම් මේ රට ගොඩගන්න ප්රශ්නය අඳුනගෙන නිවැරදිව තීන්දු තීරණ ගනු ලබන නායකත්වයක් අවශ්‍යයි. අද රටේ ජනතාවට බදු බර වැඩි වෙලා. ජනතාවට කන්න, අඳින්න අමාරු තත්ත්වයකයි ඉන්නේ. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න පුළුවන් වෙන්නේ කාටද? අපි දන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමවේදයට මේ රට ගොඩ ගන්න බෑ.
ජනතා විමුක්ති පෙරමුණට කලු සල්ලි සුදු කරලා ආර්ථිකය ගොඩ ගන්න බෑ. නාමල් රාජපක්ෂට මේ රට බංකොලොත් කළ කණ්ඩායමත් එක්ක ආර්ථිකය ගොඩගන්න බෑ. නව දර්ශනයක්, නව වැඩපිළිවෙළක් යටතේ යන සජිත් ප්‍රේමදාස මහතා සමාජ වෙළෙඳපොළ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරලා මේ රට ගොඩනගන්න පුළුවන් ක්‍රමවේදය ආරම්භ කරනවා.
නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා- මේ වේදිකාව අපට ආගන්තුක වේදිකාවක්. අපි හිටි කඳවුර අත්හැරලා තීන්දුවක් අරගෙන බැහැරවෙන්න සිද්ධවුනේ ජනතාව දුන් අසීමිත ජනවරම උද්ච්චකම, ආත්මාර්ථකාමීත්වයේ, චෞරත්වයෙන් පාවා දුන් නිසායි. දැන් මේ වේදිකාව නිර්මාණය වෙලා තිබෙන්නේ කඩා වට්ටපු ආර්ථිකය යළි නගා සිටුවීම වෙනුවෙන්. ඒ වගේම සිව් දිග වෙසෙන නොයෙක් ජාති, ආගම්වලට අයත් ජාතීන් සමගි සම්පන්න කිරීමටයි. ඒ වගේම ජනතාව මුහුණ දුන්නු අසීමිත දුක් කම් කටොලුවලින් ගොඩ නැගුනු වේදිකාවක් මේක.
අපේ නායකයා චරිතවත් නායකයෙක්. ඔහුගේ චරිතවත්බව මා අඳුනගත්තේ 2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ලබා මැතිවරණ කොමිසමට ආවා. නමුත් කව්රුවත් අපේක්ෂා කළේ නෑ පරාජිත අපේක්ෂකයාත් ඒ ස්ථානයට එයි කියා. එවැන්නක් සිදු වන්නේ ඇමරිකාවේ පමණයි. පරාජිතයා ඇවිත් ජයග්රාහකයාට සුබ පතනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි එහෙම වුණේ.
රට ගොඩනගන්න නායකත්වයක් එතුමාට තිබෙනවා. අපි අපේ රට ගොඩනගන වැඩ පිළිවෙළ ඉදිරි දින කිහිපයේදී එළිදක්වන්න කටයුතු කරනවා. කේඩෑරී වී ගිය මේ රට ගොඩ නගන නායකයා සජිත් පමණයි. කඳවුරු තුන හතරකට මේ ඡන්ද බෙදෙන්නේ නෑ. දෙවැනි මනාපය ගනින්න වෙන්නේ නෑ. ඒ ගැන සැක හිතන්න එපා. සැප්තැම්බර් 22 මේ රටට එළිය කරන්නේ සජිත් ප්‍රේමදාස ජනාධිපති ලෙස රටේ භාරකාරත්වය භාර දෙමින්.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා-
දින කිහිපටකට පෙර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජනාධිපතිවරණයේදී සහාය දක්වන්නේ කාටද කියලා තීරණය කරන්න අපේ උත්තරීතර මණ්ඩලය රැස්වුණා. එහිදී හැමෝම කිව්වේ සජිත් ප්‍රේමදාස දිනනවා කියලයි. අතලොස්සක් රනිල් සහ ජේවීපි එක ගැනත් කතා කළා. නමුත් අවසන් තීරණය ගන්න නායකතුමාත් මන්ත්‍රී කණ්ඩායමත් එකමුතුව ගන්න ඕනා කියලායි. මම කිව්වේ අපේ තේරීම වහාම ප්‍රකාශයට පත් කරනවා. අපේ අපේක්ෂකයා සජිත්.
පික්පොකට් ගහන කෙනාටත් ඒ ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනා. අයිතිකරුට නොදැනෙන්න පර්ස් එකට ගහන්න ඕනා. ඒ වගේ ගැහිල්ලක් තමයි මහබැංකු කැඩිල්ල. ඒක කළේ මැතිවරණයක් අභියස තියාගෙනයි. දැනුත් ඒ වගේම ඊට වඩා සිය ගුණයකට වඩා වැඩියෙන් කැබිනට් පත්‍රිකාවකින් වීඑෆ්එස් වංචාවක් කරන්න කටයුතු කළා. අපි ඊට විරුද්ධව අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ගත්තා. අපි කියනවා ඒ ඕනෑම අයෙකුට එන්න ඕනෑ තැනකදී අපි මේ ගැන විවාදයකට එන්න සුදානම්.
ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා – මම අද දැක්කා දෙමළ පත්තරවල ජනාධිපතිවරයා මගේ නම සඳහන් කරලා ප්‍රකාශයක් කර තිබුණා. මනෝ ගනේෂන්ලා සමගි සංධානය එක්ක එකතුවෙලා දැන් ඒ ගැන සාධාරණීකරණය කරන්න කාරණා හොයනවා කියලා. අපි කියන්න ඕන නෑ ඒක වැරදියි. අපේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් සංධානය මේකයි. මොනවාද ඒ ඒවා තමයි ජාතිකත්වය. හැමෝමටම එක්වෙන්න පුළුවන් වේදිකාව මේකයි. රටේ ආර්ථික ප්රශ්නය විසඳන්න පුළුවන් කණ්ඩායමත් ඉන්නේ අපි සමගයි. නැති බැරි දුප්පත්, කොන්වුනු ජනතාව අපේ නායකතුමා කවදාවත් අමතක කරන්නේ නෑ. මේ කාරනා නිසායි අපි මේ සංධානය එක්ක ඇවිත් සජිත් ප්‍රේමදාස සමග එක්වෙලා ඉන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා-
අවුරුදු 30ක යුද්ධයකට පසුව අපේ රටේ විශාල බෙදීමක් ඇති වුණා. දමිළ ජනතාවගේ හදවත් දිනාගන්න ඔවුන්ට කතා කරන්න ඒ සඳහා පාලමක් හදන්න කිසිම නායකයෙක් කටයුතු කළේ නෑ. ඒත් ඊළඟ ජනාධිපතිවරයා පත් වෙන්නේ මේ රටේ දමිළ, සිංහල, මුස්ලිම් ඇතුළ් සියලුම ජාතිකයන්ගේ එකමුතුවෙන් ඒ තමයි සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා කියන එක අපි භය නැතිව කියන්න ඕනා. මේ රටේ සියලුදෙනාටම අපේ ජනාධිපති කියලා කියන්න පුළුවන් ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහත්තයා පත් වෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපි සමග එතුමා කතා කළා. එහිදී විශ්වාශය ඇතිව හදවතින් අපි එකඟවුණා මේ වේදිකාවට එන්න. එතුමා ප්‍රකාශයක් කළා මම අන්ත දක්ෂිනාංශිකත් නොවෙයි. අන්ත වාමාංශිකත් නොවෙයි. ඒ නිසා අපි ඉන්නේ මැද මාවතේ සමාජ, ප්‍රජාතන්ත්‍රවායට එහා ගිය මානුෂීය ප්රජාතන්ත්රවාදයේ කියලා කියන්න ඕනා. 2015දී ශ්‍රීලනිප මහ ලේකම්වරයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා. 2019 දී සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්ද ලැබුනේ ඡන්ද ලක්ෂ 55යි. අපි මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්ද ලක්ෂ 55න් එහාට ගහින් ලක්ෂ 65 පමණක් නොවෙයි ලක්ෂ 69ක් 70ක් ගන්න පුළුවන් ශක්තිය ලබා දෙනවා. ඒ සඳහා මේ නායකයන් සමග අත්වැල් බැඳ ගන්නවා. අද රනිල් වික්‍රමසිංහ කම්බ හොරුන්ට නායකත්වය දෙන නායකයෙක් බවට පත් වෙලා තිබෙනවා. අපිට ඒ ගැන ලැජ්ජයි. නන්නත්තාර වෙලා තිබෙන මේ රටෙන් රිසිසේ හොරකම් කරන්න අර පොහොට්ටුවෙන් පැන්න හොරුන්ට අවස්ථාව ලබා දීලා අහක බලන් ඉන්නවා. ඔහුගේ කාලයේ තමයි පොහොට්ටුවේ දේශපාලනඥයන් 44 දෙනෙක්ට විරුද්ධව නඩු දාලා ඒ නඩු ටික වරද්දගත්තේ. ඒත් ඔහු කිව්වේ නෑ ඒ වැරදි ටික හදලා ආපහු නඩු දාන්න කියලා. ඒ වෙනුවට ඔහු කළේ නඩු දානවා වෙනුවට නඩු ඉල්ලා අස්කර ගත්ත එකයි. එහෙම කරලා දැන් කියනවා ඒක උසාවියෙන් බලාගන්න කියලා. මා කියන්නේ හොරුන්ට සමාව දෙන්න ලෑස්ති වෙන්න එපා. ඒ අයට නීතිමය පියවර අරගෙන හිරේ දාන වැඩ පිළිවෙල අධිකරණයට භාර දෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාට කාටවත් හොරෙක් කියන්න බෑ.
නිදහස ජනතා සභාවේ කණ්ඩායම් නායක ජී. එල්. පීරිස් මහතා- මට රණසිංහ ප්‍රේමදාස මහත්තයා සමග වැඩ කරන්න ලැබුනා. ඒ කාලේ මා කොළඹ විශ්ව විiාලයේ උපකුලපති. ඒ කාලය ඉතා කලහරකාරී, දුෂ්කර යුගයක්. එතුමා මට ආරාධනා කළා තරුණ අසහනය සම්බන්ධයෙන් පත් කළ කොමිසමේ මූලික වගකීම ගන්න කියලා. එය ඉතාම ඵලදායී අත්දැකීමක්. අපි මහන්සියෙන් වැඩ කරලා ඒ වාර්තාව ලබා දුන්නා. එතුමා මගෙන් ඇහැවා මා දැන් කොතනින් පටන් ගන්නද කියලා. මම කිසිම පැකිලීමකින් තොරව කිව්වේ තරුණ නියෝජනය ඇති කරන්න කියලා. එතුමා එය පිළිගත්තා. සජිත් ප්‍රේමදාස මහතා සමග මට වැඩ කරන්න පුළුවන් වුනේ දැනට අවුරුදු 02කට පෙරයි. ඒ කාලය තුළ මා පැහැදිලිව දැක්කා අද අපේ රට ගොඩ ගන්න පුළුවන් නායකත්ව ලක්ෂණ කිහිපයක්ම මා දැක්කා. එතුමා දිවා රෑ බලන්නේ නැතිව මහන්සියෙන් වැඩ කිරීම. ප්‍රතිපත්ති ගරුක නායකත්වය. ඒ වගේද දැනුම ඇති ශක්තිමත් කණ්ඩායමක් ඔහුට සිටිනවා. අදහස්වලට ගරු කරලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එතුමාගේ ලක්ෂණයක්. දැන් සමහරු කියනවා රට ගොඩ ගත්තාලු. ඒත් දරිද්‍රතාවය ඉහළ ගිහින්.
කඳුරට ජනතා පෙරමුණේ නායක පී. රාධක්‍රිෂ්ණන් මහතා-
මා පසුගිය දිනවල හැටන් පාසලකට ගියා. ඒ වෙලාවේ මා ඇහුවා මේ රටේ දැන් ජනාධිපති කවුද? මීළඟ ජනාධිපතිවරණය කවදාද කියලා. ඒ ළමයි ඒවාට නිවැරදි පිළිතුරු දුන්නා. ඊළඟට මා ඇහුවා මේ රටේ මීළඟ ජනාධිපති කවුද කියලා. එතන හිටිය හැමෝම කිව්වා සජිත් ප්‍රේමදාස කියලා. මම හිතන්නේ ඒ ළමයින්ගේ දෙමව්පියන් ඇත්තෙත් ඒ ස්ථාවරයේමයි. පහුගිය ටිකේ ජනාධිපති කිව්වා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 ක් කරනවා කියලා. නමුත් ඔහු දැන් කියනවා තමන් එහෙම දෙයක් කිව්වේ නෑලු. මම හිතන්නේ එතුමා බොරුකාරයෙක් කියලාය. ඒත් අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස එහෙම බොරුකාරයෙක් නොවෙයි. මොකද ඔහුගේ පියා රණසිංහ ප්‍රේමදාසයි. එතුමා අපේ ජනතාවගේ දුක හඳුනගත්තු නායකයෙක්.
මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ප්රමුඛ වෘත්තිකයන් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.
අකිත පෙරේරා