ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකෙරෙන සිව් මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03දා) පෙරවරු නවයට විවෘත කිරීමට නියමිතය. මහල් හතරකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණය වර්ග අඩි 26,000ක ගොඩනැඟිල්ලකි. මෙහි මහල් දෙකක රෝගී දරුවන් 76 දෙනකුට අවශ්‍ය සුවපහසු ඇඳන්, නවීන සනීපාරක්ෂක උපකරණ සහිත වැසිකිළි කැසිකිලි පහසුකම්, දරුවන්ගේ දෙමව්පියන් සඳහා වැසිකිළි කැසිකිලි පහසුකම්, රෝගී දරුවන් රැකබලා ගන්නා මව්වරුන්ට නිදාගැනීම සඳහා විශේෂ ඇඳන් ද ස්ථාපිත කර ඇත. එසේම රෝගී දරුවන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පරිදි ඔවුන්ගේ මව්වරුන්ට පිළියෙල කර දියහැකි විශේෂ මුළුතැන්ගෙයක් ද මෙහි ඉදිකර තිබේ. තවද නවීන තාක්ෂණයෙන් සමන්විත පරිගණකගත කළ විද්‍යාගාරයක්, පුස්තකාලයක්, කුඩා ළමා උයනක් ද එහි ඉදිකර තිබේ.
එමෙන්ම දරුවන් සිවුදෙනකුට එකවර ඇටමිදුළු බද්ධ කළ හැකි ශල්‍යාගාර හතරක් ද මෙහි පිහිටුවා ඇත. මාස 11ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ඉදිකිරීම් නිම කිරීමට හැකිවීම ද විශේෂත්වයකි. කතරගම දේවාලය වෙත බැතිමතුන් වෙතින් ලැබෙන පඬුරු සහ සෙසු ආධාර මුදල් යොදාගනිමින් සිදු කළ මෙම වාට්ටු සංකීර්ණය ඉදි කිරීම පිණිස රුපියල් මිලියන156ක මුදලක් වැය වී තිබේ. මෙම ඉදි කිරීම සම්බන්ධ තාක්ෂණික සහ ශිල්පීය ක්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාදී තිබේ. නමුදු මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම සම්බන්ධ තවත් සුවිශේෂත්වයක් තිබේ. එනම් මෙහි විශේෂ ආරාධිතයන් වශයෙන් දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් යැයි සම්මත කිසිවකුත් සහභාගී නොවීමය. මෙම විවෘත කිරීම මේ වනවිට අපේක්ෂා රෝහලේ නේවාසිකව හිඳින දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරෙන අතර එම විවෘත කිරීම සම්බන්ධ විශේෂ සමරු ඵලකයක් නිරාවරණය නොකිරීම ද මෙහි පවත්නා විශේෂත්වයකි. ඒ වෙනුවට එහි “කතරගම සුරිඳුන්ට පින් අනුමෝදන් වේවා” යන සඳහන පමණක් යොදන බව මෙම ළමා වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ මූලික සංකල්පයේ සිට එය සැලසුම් කිරීම, ඉදිකිරීම ආදී සියලු කටයුතුවල අධීක්ෂණය භාරව සිටි කතරගම රුහුණු මහා දේවාලයේ ඩිෂාන් ගුණසේකර බස්නායක නිලමෙවරයා සඳහන් කොට ඇත.
ශ්‍රී ලංකාවේ ඇති සියලු දේවාල අතුරින් අතිශය ජනප්‍රියත්වයට පත් වූ රුහුණු කතරගම මහා දේවාලය දුරාතීතයේ සිට පැවැත එන්නක් බවට සාක්ෂි තිබේ. එහෙත්, කතරගම දේවාලය හා දුටුගැමුණු රජතුමන් සම්බන්ධ ප්‍රවාද යටත් විජිත යුගයේ ජන මූලාශ්‍ර මත පදනම් වූ මෑත කාලීන ඒවා ය. ඉතිහාසයේ විවිධ යුගවල ජනප්‍රියතාව අඩු වැඩි වෙමින් පැවැති මෙය 1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති මුල්යුගයේ පාලකයන්ගේ විවිධ කෙනෙහිලිකම්වලට ලක්වීම මත වැසී යෑමට ආසන්න මට්ටමක් දක්වා පරිහානියට පත්ව තිබේ. 1818 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජෝන් ඩේව් නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයා An Account of the interior of Ceylon and its inhabitan සබය්ඉසඒබිනම් සිය කෘතියේ කතරගම දේවාලය සම්බන්ධයෙන් තබා ඇති මෙම සටහන ඊට කදිම නිදසුනකි. “වසරින් වසර මෙහි පැමිණෙන වන්දනා කරුවන්ගේ ගණන අඩු වෙමින් තිබේ. ගොඩනැඟිලි ද ගරා වැටෙමින් පවතී. ඒ අනුව තව වසර කිහිපයක් ඇවෑමෙන් ඒවා මහ පොළොවට සමතලා වීමේ ඉඩක් පවතී. ඉන් පසුව මෙහි පැමිණෙනවුන්හට ඒවා තිබූ තැන්වත්
සොයාගැනීමට නොහැකි වනු ඇත.”
ඔහුගේ එම අනාවැකිය පරිදි ඉන්පසු ජනප්‍රියත්වයෙන් හීන වෙමින් පැවැති කතරගම පුදබිම ඇසළ සමයට පමණක් වන්දනාකරුවන් සුළුතරයක් පැමිණි පුදබිමක් වූ අතර ඉංග්‍රීසි ජාතික පළාත් සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සටහන්වලට අනුව 1877 ඇසළ කතරගම පුදබිමට ගොස් ඇත්තේ වන්දනාකරුවන් දාහතරදෙනකු පමණි.
නමුදු ඉන්පසුව ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉන් කිලෝමීටර් විසි හතරක් දුරින් පිහිටි ක්‍රි.පූ තුන් වන සියවසේ රුහුණේ රජ කළ මහානාම රජු ඉදි කරන ලදැයි සැලකෙන තිස්සමහාරාම වැව 1871 වසරේ ප්‍රතිසංස්කරණය කොට ඒ අවට විවිධ ප්‍රදේශවලින් කැඳවූ ගොවි ජනතාව පදිංචි කරවීමත් එතෙක් ගරා වැටී තිබූ තිස්සමහාරාම දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමත් සමග තිස්සමහාරාමය බෞද්ධ පුදබිමක් සේම කෘෂිනිෂ්පාදන හා වෙනත් භාණ්ඩ අලෙවි හා හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රකට වී තිබේ. එම ප්‍රදේශය හැඳින්වීම පිණිස සම්මත නාමය ද එම බෞද්ධ පුදබිමේ නම වූ අතර ප්‍රදේශවාසීන් අතර එය එදා සිට ම අද දක්වා ප්‍රකටව ඇත්තේ තිහව යන නමිනි.
නමුදු තිස්සමහාරාමයේ සිට කතරගම දක්වා යන මඟ මුළුමනින්ම වනගහනයෙන් වැසී තිබූ අතර එහි වනඅලින්, වලසුන්, දිවියන් වැනි වනසතුන් පිරී සිටීමත් නිසා එවක තිස්සමහාරාමයේ සිට කතරගම යෑම සඳහා ඉතා හුරුපුරුදු ගැල්කරුවන් සහිත බර කරත්තවල සේවය ලබාගැනීමට වන්දනා කරුවන්ට සිදුවිය. ඒ අනුවිදැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ යන ජන පිරුළ එම ගැල්කරුවන් විසින් පතුරුවා හරින ලද පිරුළක් ලෙස සමාජ ගත් වූවක් සේ සැලකේ. නමුදු 1913 වසරේ Village in the jungle (බැද්දේගම) නම් නවකතාව ජාතියට තිලිණ කළ විසිවන සියවසේ මුල් භාගයේ හම්බන්තොට සහකාර ආණ්ඩුවේ ඒජන්ත ලෙනාඩ් වුල්ෆ් සඳහන් කරන අන්දමට 1910 වසරේ ඇසළ උත්සව සමයන් හි වන්දනාකරුවන් හාරදහසක් පමණ කතරගමට පැමිණ තිබේ. පසුව තිස්සමහාරාමයේ සිට කතරගම දක්වා වූ වනගත මාර්ගය කෙමෙන් එළිපෙහෙළි වීම මත එහි පැමිණෙන වන්දනාකරුවන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවුණු බවක් පැවසෙයි. ඒ අනුව 1930 දී පමණ දසදහස් පහළොස්දහසක් පමණ වූ එය 1950 දශකයේ දී ලක්ෂයක් වූ බව ද පැවසෙයි. පසුව කතරගම පුදබිමේ ජනකාන්ත භාවය කෙතෙක් ප්‍රවර්ධනයවී ද යත් 1973 වසරේ එහි පැමිණි වන්දනාකරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ අටක් පමණ වූ බව රාජ්‍ය සංඛ්‍යාලේඛන උපුටා දක්වන ගණනාථ ඔබේසේකර සූරීහු තම Social change and the deities (The rise of Kataragama cult in modern Sri lanka කෘතිය මගින් අනාවරණය කරති. ඒ අනුව මේ වනවිට දේවාලයේ පූජා චාරිත්‍ර භාරව කටයුතු කරන කපු පරම්පරා තුන ද දහනව වන සියවස අග භාගයේ හෝ විසිවන සියවස මුල් භාගයේ ඉතා අහඹු හා සූක්ෂම ලෙස ඒ සඳහා අවතීර්ණ වූ බාහිර පුද්ගලයන් ගෙන් පැවැත එන්නවුන් බව පෙනේ. ඒ ඊට වඩා පරම්පරාගත ඉතිහාසයක් සනාථ කළ හැකි කිසිදු මූලාශ්‍රයක් ඔවුන් තුළ නොමැති බව කතරගම සම්බන්ධ පර්යේෂකයන් විවිධ අවස්ථාවන් හි අනාවරණය කර ගෙන ඇති බැවිනි. එමෙන්ම එම කපුවන් සමග සිදු කළ සාකච්ඡා ආදිය මගින් එම පර්යේෂකයන් වැඩිදුරටත් තහවුරු කරගෙන ඇත්තේ කතරගම දේවාලය සම්බන්ධ විධිමත් පාරම්පරික යාදිනි, කන්නලව්, ස්ත්‍රෝත්‍ර සම්ප්‍රදායක් ද එම කපුවන් අතරේ නොමැති බවකි.
එහෙත්, මේ වනවිට දිනෙන් දින ජනාකීර්ණ වන අතිශය ජනකාන්ත පුදබිමක් වන රුහුණු කතරගම දේවාලය වෙත වාර්ෂිකව දිවයින පුරා බැතිමතුන් ගෙන් ලැබෙන මිල මුදල්, රන් රිදී ආභරණ සහ වෙනත් වටිනා දේ සම්බන්ධයෙන් ලොබ බැඳගත් කපුවන් දිගින් දිගටම පැහැර ගැනීම මත ඒවායේ බරපතළ අවභාවිතාවක් සිදු වෙමින් තිබිණ. ඒ සම්බන්ධයෙන් මුල් වරට ජන මාධ්‍ය මගින් ප්‍රබල අනාවරණයක් සිදුවූයේ දේවාලයකට ලැබුණු රුපියල් ලක්ෂ හතළිහකටත් වඩා වටිනා පවුම් තිස් අටක රන් තැටියක් දේවාලයේ ප්‍රධාන කපුවා විසින් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙනි. මේ වනවිටත් එම සිදුවීම සම්බන්ධ අධිකරණ කටයුතු සිදුවෙමින් පවතී.
1931 අංක 34 දරන විහාර හා දේවාලගම් පනත ප්‍රකාරව කතරගම දේවාලයේ සියලු පරිපාලන කටයුතු එහි බස්නායක නිලමෙවරයා වෙත පැවරී තිබේ. නමුදු එහි කපුවන්ට හිමි තත්ත්වය කුමක්ද? කිවහොත් කපු වෘත්තිය සම්බන්ධ කිසිදු සඳහනක් එම පනතේ කොතැනක වත් නැත. එහෙත් කතරගම දේවාලය වෙත බැතිමතුන් ගෙන් ලැබෙන මිල මුදල් සහ රන් අබරණ ප්‍රමාණය ඉහළ යත්ම දේවාලයේ පාරම්පරික සැබෑ හිමිකරුවන් කපුවන් වන තමන් මිස වසර පහකට පත් වන බස්නායක නිලමෙවරයා නොවන බව ජනමාධ්‍ය මගින් පැවසීමට තරම් එහි ප්‍රධාන කපුවා ළඳ බොළඳ වූ අන්දම ද අපි දනිමු. එම පනත ප්‍රකාරව වසර පහ බැගින් පදවිය යාවත් කාලීන කර ගැනීම මගින් බස්නායක නිලමෙවරයකුට දිවි ඇති තුරාවට එම පදවිය දැරිය හැක. නමුත් එම කපුවන් කිහිපදෙනෙක් බස්නායක නිලමෙවරයාගේ නිල ආධිපත්‍යයට පා පහර දෙමින් ඇතැම්විට හිටපු බස්නායක නිලමෙවරයකුට මැර ප්‍රහාර පවා එල්ල කරමින් බස්නායක නිලමෙ සතුව තිබිය යුතු දේවාලයේ යතුරු පවා තමන් භාරයට ගෙන එහි මිල මුදල් හා රන් ආභරණ
ගසා කෑමේ යාන්ත්‍රණය දිගට ම පවත්වා ගෙන ගියහ.
ඒ අතර පසුගිය ඇසළ උත්සව සමයේ දේවාලයේ තේවාව බෙදාගැනීම සම්බන්ධයෙන් එක් කපු පරම්පරාවක සාමාජිකයකු විසින් තවත් කපු පරම්පරාවක සාමාජිකයකුට පහර දී ඔහු රෝහල් ගත වන තැනට වැඩ කිරීමෙන් මෙම කපුවන් ගේ විනය, සංවරය හා සදාචාරය කෙබඳු දැයි අපට වටහා ගන්නට පුළුවන. නමුත් කපුවන්ගේ මෙම අභියෝගයට නොසැලී මුහුණදුන් වත්මන් බස්නායක නිලමෙවරයාට තමන් එම තනතුර භාර ගන්නා සමයේ බස්නායක නිලමෙ කාර්යාලයට ලැබුණු රුපියල් මිලියන පනහේ වාර්ෂික ආදායම මේ වනවිට රුපියල් මිලියන හාරසීය දක්වා අට ගුණයකින් ඉහළ නැංවීමට හැකි වී තිබේ. එමෙන්ම කතරගම දේවාලයට පැමිණෙන බැතිමතුන් දෙවියන් ගේ නාමයෙන් දෙන ආධාර දේවාලයේ කපුවන් වෙතින් මකර කටට යැවීම අඩු කොට පිළිකා රෝගයෙන් පීඩා විඳින අසරණ දූ දරුවන් ගේ සුවසෙත පිණිස දේවාලයේ බස්නායක නිලමෙ කාර්යාලය වෙත භාර දීමේ අර්ථවත් සම්ප්‍රදායකට මුල පුරා තිබේ. රුපියල් මිලියන 156ක වියදමින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කෙරෙන මෙම වාට්ටු සංකීර්ණය එහි සමාරම්භක පියවර පමණි. ඒ මෙවැනිම තවත් සුවිසල් ව්‍යාපෘතියක් ඒ සමගම ඇරඹීමට කටයුතු සලසා ඇති බැවිනි.
කතරගම දෙවියන් කියා සැබැවින්ම කිසිවකු සිටී ද? එසේ සිටී නම් ඒ භෞතික රූපකායකින් යුතු පුද්ගල රූපී අයකු ද? නැතහොත් කතරගම දෙවියන් යනු කිසියම් පාර භෞතික ශක්ති පදාර්ථයක් ද? එමගින් මිනිසාට සහ පොදුවේ ලෝකයට යහපතක් ඉටු කර ගතහැකිද? යන්න අපට අදාළ නැත. එහෙත්, කතරගම දෙවියන් ගේ නාමයෙන් මෙබඳු මිනිසත් බවේ උත්තරීතර ක්‍රියාදාමයන් සිදු වන්නේනම් අපට නිගමනය කළ හැක්කේ ඒ ක්‍රියාව තුළ දෙවියකු හිඳින බවය. ඒ අනුව මෙම උතුම් මානව සත්කාරය මගින් කතරගම දෙවියන් ජීවමානවම ව මහරගම අපේක්ෂා රෝහලට වැඩම කොට ඇති බව මෙහි ලා සටහන් කිරීමට අපි මැළි නොවන්නෙමු.
රේණුකා දමයන්ති