කපිතන්ගේ පුත්තු – දයාසේන ගුණසිංහ

542

● උසස් පෙළට සිංහල – 17

1936 ජුනි මස 13 දින කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ගමෙහි උපන් දයාසේන ගුණසිංහ මුලින් ම ගුරුවරයකු ලෙස සේවය කළේ ය. පසු ව ජාතික පුවත්පත් කිහිපයක ම කතුකම කළේ ය. උසස් පෙළට නියමිත කපිතන් ගේ පුත්තු කෙටි කතාව ‘කැනල් පාරේ නිශාචරයෝ’ කෘතියෙන් උපුටා ගැනුණකි.

කපිතන් ගේ පුත්තු කෙටි කතාවට බලපෑ සමාජ සංස්කෘතික පසුබිම

ජනතාව විඳින දුක් පීඩා නො තකා වැඩ කරන ජනතාව නිතර පෙළීමත් අසංවේදී බොරුව රජයන පාලනයටත් එරෙහි ව තරුණ අරගල මතු වීම පුදුමයක් නො වේ. කපිතන් ගේ පුත්තු කෙටි කතාවේ එන තරුණ අරගලය ද ආර්ථික, දේශපාලන, සමාජ නිදහස උදෙසා තරුණයන් කළ අරගලයක් වුව ද කපිතන් ජයවීර ඔවුන් හඳුනා ගන්නා අයුරු “උන් රාජද්‍රෝහී විප්ලවකාරයෝ. හිත් පිත් නැති මිනීමරුවෝ” යන ජයවීර ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. අවුරුදු දෙදහසකට අධික කාලයක් රාජාණ්ඩු පාලන ක්‍රමයක් පැවැති අපේ රටේ තවමත් ඒ රාජාණ්ඩු ක්‍රමය හොල්මන් කරයි. පෙර පැවැති රාජාණ්ඩු ක්‍රමයත් ඉන් පසු ව නැඟී ආ සමාජවාදී සේයාවත් බොරු ප්‍රජාතන්ත්‍රවාදයත් එකට මිශ්‍ර වූ අච්චාරු සමාජ, දේශපාලන, සංස්කෘතික රටාවෙන් මතු වූ අත්දැකීමක් මේ කෙටි කතාවට පදනම් වී තිබේ.

කපිතන් ගේ පුත්තු කෙටි කතාවට පදනම් වූ පරිසර වර්ණනා සහ සංකේත

කපිතන් ගේ පුත්තු කෙටි කතාව පරිසර වර්ණනා සහ සංකේත බහුල කෙටි කතාවකි. කෙටිකතාකරුවා යොදන ඇතැම් සංකේත කතාව හකුළුවා දැක්වීමට ගත් තැතක් බඳු ය. අහිංසකයකුට වෙඩි තැබීම නිසා කම්පිත කපිතන් ගේ හද සසල වීම දක්වන සංකේතයක් කතාවේ මුල දී ම දැකිය හැකිය. “එහෙත් ලන්ද සසල කරමින් බෑවුම පහළට දිව ගිය හාවකු නිසා කපිතන් ගේ ධ්‍යානය බිඳී ගියේ ය.” අරගලයට බට තරුණයින් හාවුන් මෙන් අහිංසක ය යන කෙටි කතාකරුවාගේ කාරුණික හදින් නැඟි අදහස මේ වැකියෙන් එළියට ආ සෙයක් දිස් වේ. “එහෙත් ඔහු පුහුණුව ලබා ඇත්තේ හැම පඳුරක ම දිවියකු දකින්නට ය.” සොල්දාදුවා තුළ සිටින මිනිසා සහ මිනීමරුවා වෙන් කර දක්වනු පිණිස පරිසර වර්ණනා සහ සංකේත කෙටිකතාකරුවා නිර්මාණාත්මක ව යොදා ගනියි.

දෙබස් භාවිතය

මේ කෙටි කතාවේ මුල දී දෙබස් ඉතා අඩුවෙන් භාවිත කළ නමුදු සිනහමුසු මුහුණින් මිය ගිය ජයවීර ගේ ඒ සුන්දර සිනහ රැල්ලට හේතුව දක්වනු පිණිස කෙටි කතාකරුවා දෙබස් යොදා ගනියි. වෙඩි වැදී මිය යන අයකු ගේ මුව සිනහවකින් පිරෙන්නේ කෙසේ ද? යන පැනය පාඨක සිතෙහි මතු වන අතර ජයවීර ගේ ඇතුළු සිත දක්වනු පිණිස කෙටි කතාකරුවා දෙබස් සාර්ථක ව යොදා ගනියි.

කපිතන් ගේ පුත්තු කෙටි කතාවේ චරිත නිරූපණය

කපිතන් ජයවීර ගේ චරිතය

කපිතන් ජයවීර ගේ පිය සෙනෙහස සහ උතුම් මිනිස් හැඟුම් සොල්දාදු ජීවිතය නිසා උපන් දැඩි බවින් වැසී තිබුණි. “ඔබ අභ්‍යන්තර වශයෙන් මායාවන් වැලඳ ගෙන සිටින බැවින් බාහිර වශයෙන් ප්‍රඥාව, යහපත්කම හා ආගමික සංවරත්වය ආරෝපණය කර ගැනීමට අසමත් වන්නේහි ය” යනුවෙන් සම්මානිත මහාචාර්ය පී. බී. මීගස්කුඹුරයන් පරිවර්තනය කළ හජිමෙ නකමුර ගේ ‘පෙරදිග මිනිසුන් ගේ චින්තන විධි’ නමින් පළ කළ කෘතියෙහි සඳහන් වේ. කපිතන් ජයවීර ගේ අභ්‍යන්තර ව වසා ගත් වෘත්තීය මායාව ඉවත් ව යහපත්කම මතු වූ අයුරු අවසන් සිනා රැල්ලෙන් හඳුනා ගත හැකිය.

කපිතන් ජයවීර ගේ සිත කෝපයෙන් පිරී යෑම කෙරෙහි දැඩි ව ඇලුම් කරන සිය එක ම පුතු ඔහු ගෙන් ඈත් වීම හේතු විය හැකිය. “ තම එකම දරුවා තමන් වෙතින් නොදැනීම ඈතින් ඈතට ඇදී ගොස්, සහමුලින් ආගන්තුකයකු බවට පත් වූයේ කෙසේ දැයි ඔහු යළි සිතයි.”

ඩේවිඩ් ගේ චරිතය

හන්දියේ මුට්ට කර ගසා ජීවත් වූ ඩේවිඩ් මළේ ලොරියකට යට වීමෙනි. වෙඩි කා මැරුණේ ඩේවිඩ් ගේ පුතු ය. මළ ඩේවිඩ් ප්‍රශ්න නඟන අයුරින් යෙදූ සංවාද ඇසුරින් ඩේවිඩ් ගේ චරිතය පාඨකයා හඳුනා ගනියි. “ඇයි උඹ මගේ පුතා මැරුවෙ?” පිය සෙනෙහසින් පිරි ඩේවිඩ් කය වෙහෙසා වැඩ කර අම්මා නැති පුතු හදා වඩා ගත් බව කෙටි කතාකරුවා පාඨකයාට දෙබස් ඇසුරින් දැන ගැනීමට සලසනුයේ පාඨක හද කම්පිත කරවමිනි.

උසස් පෙළ විභාගය කල් යෑම ගැන සතුටු වීම හෝ දුක් වීම නො මැනැවි. නො පමා ව වෙහෙස වී අධ්‍යයන කටයුතු කරන්න. ලබන සතියේ සයිමන් නවගත්තේගම මහතා ලියූ ‘ස්නේහය’ කෙටි කතාව ගැන ලියමි. දැන් ඔබට කෙටි කතා රස විඳීම සහ විචාරය ගැන අවබෝධය ඇති හෙයින් ‘කවියකුට අත්දැකීමක්’ සහ ‘ගස්’ යන කෙටිකතා ගැන ඔබේ ම සටහන් සකස් කර ගන්න. මේ ලිපි පෙළ කියවන පාඨකයෝ මහ මඟ දී මා පැසැසූ හ. ඔබේ සිනහමුසු මුහුණු සහ අවංක පැසැසුම් මට මහත් සතුටකි.

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/ අත්‍ථදස්සි කනිටු විදුහල
සංස්කරණය . රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment