උතුරු මැද පළාතේ යාන්ඔය නිම්නය අතිශයින් සංවේදී ජාතික උරුම සහිත ප්‍රදේශයකි. ප්‍රාග් ඓතිහාසික සොහොන්වලින් හෙළිවන ආදි මිනිසා පිළිබඳ කතාව මෙන්ම අනුරාධපුර මහා ශිෂ්ටාචාරයට සම්බන්ධ විශේෂිත සිද්ධස්ථානයන්හි නටබුන් විශාල වශයෙන් පැතිර පවතින ප්‍රදේශයකි. පදවිය වාහල්කඩ සහ නාම්බකඩ යන මහා වාපී ශිෂ්ටාචාරයේ ඉහත්තාව වන මේ කලාපය තුළ ඉපැරණි වාරිමාර්ග නෂ්ටාවශේෂයන් රාශියක නටබුන් ද හමුවන බව කිව යුතුය. යාන්ඔය හරස් කර තැනූ ගල් අමුණු සහ ඒ සම්බන්ධව ලියැවුණු ශිලා ලේඛන පවා එහි දක්නට ඇත. හුරුළුවැව ජල පෝෂක ප්‍රදේශයෙන් ඇරඹෙන යාන්ඔය උතුරු දෙසට ගමන් කර නැඟෙනහිරට හැරී පුල්මුඩේ වෙරළ තීරයෙන් මුහුදුට එක්වන බැවින් රජරට සශ්‍රීකත්වය මොනවට කියා පෑ වටිනාකම් රැසක් ඉස්මතු කළ හැකි තෝතැන්නකි.
අතීතයේ දී හොරොව්පතාන ආසන්නයේ බැඳි ගල් අමුණක් ආශ්‍රයෙන් දිය හරවා ගෙන ගොස් පදවියට දැමීම සඳහා විශාල යෝධ ඇළක් තිබුණි. එවැනි යෝධ ඇළවල් හි සරල තාක්ෂණයන් මගින් ජලය ගෙන යෑම පිළිබඳ නිදර්ශනයන් මේ ප්‍රදේශයේ ඇත. හොරොව්පතානෙන් පැමිණි ඇළ දුටුවැව තුලානේ කපුගොල්ලෑව වැවේ දිය කඩුල්ලෙන් පන්නවා ඉදිරියට ගෙන ගොස් ඇත. කපුගොල්ලෑව කුඩා කපුගොල්ලෑව, වීරසෝලේ, කුංචිකුලම, මරදන්මඩුව වැනි ගම්මාන රැසකින් සමන්විත මේ කලාපය අතිශය සශ්‍රීක ය. දිය උල්පත් ගහන කලාපයකි. මේ නිසා ජනතාව ජීවත් කරවීමට මහත් ආයාසයක් දැරිය යුතු නොවේ. මෙම නිම්නයේ පැවැති ඓතිහාසික ගම්මානයක් වශයෙන් සැලකෙන කපුගොල්ලෑව නුවර යුගයේ දී ඉතා වැදගත් රාජකීය ගමක් බවට පත් වීමේ ඉතිහාසයක් මතු කර ගැනීමට හැකි තුඩපතක් නැති නම් තල්පතක් එම ගම්මානයේ වර්තමානයේ ජීවත් වන මුදලිනායක වෙද මහතාගේ නිවසින් මතු කරගන්නට හැකි වුණි. සර්වාංග වෙද පරපුරක වර්තමාන පුරුක වශයෙන් සැලකෙන ඔහුගේ නිවසේ ඇඳක් යට ට්‍රන්ක පෙට්ටියක සැඟව තිබූ මේ තුඩපත මේ ප්‍රදේශයේ ඉතිහාසයට වැදගත් ආලෝකයක් සපයන බව පෙන්නුම් කළ හැකිය.
පදවිය සහ වාහල්කඩ යන මහා වැව් දෙකට ඉස්මත්තේ පිහිටා තිබෙන මෙම ගම්මානය අනුරාධපුර යුගයේ සිට ඓතිහාසික පුවත් සැපයූ පෙදෙසක් වෙයි. කපුගොල්ලෑවට නුදුරින් වූ තාමර වැව ටැම් ලිපිය, කුංචිකුලම ටැම් ලිපිය, ඉරිපින්නියාව ටැම් ලිපිය ආදී ශිලා ලේඛනවලින් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ දී මහා විහාරය සතු පිරිවෙන් සඳහා ප්‍රත්‍ය සැපයීමට මේ පෙදෙස් වෙන්ව තිබූ ආකාරයයි. කපුගොල්ලෑව පන්සල අසලින් හමු වූ කැඩී බිඳී ගිය ටැම් ලිපියෙන් ද අනාවරණය වන්නේ අනුරාධපුර යුගය අවසාන භාගයේ කුසලාන් කොට මේ ගම් දුන් වගයි. මහ කපුගොල්ලෑව, කුඩා කපුගොල්ලෑව අසලින් ගලා යන යෝධ ඇළ වාහල්කඩත් පදවියත් අසල පැන්නුමකට ළඟාවී ඒ මහා ජලාශ පෝෂණය කර ඇත. ඉතින් මේ ඓතිහාසිකතත්වය පසුබිමේ සිට නුවර යුගයේ ලියන ලද කපුගොල්ලෑව තුඩපත විශ්ලේෂණය කළ යුතුය.
මේ තුඩපතේ හැටියට මහනුවර රාජ්‍ය සමයේ දී පුංචිරාළ නම් වෛද්‍යවරයකු රජ වාසලේ වෙදනාවන් වශයෙන් සහ මහ ගබඩාවේ නිලමේ වශයෙන් සේවය කර තිබේ. එකල උඩරට බෙහෙත් ගෙයි අත්පොත නම් ග්‍රන්ථයක් තිබුණේලු. රජ වාසලේ සිටින කුමර කුමරියන්ට රජුන්ට වැළඳෙන ලෙඩ රෝග සමනය කර දීමට මේ වෙදනාවන් අත තිබූ බලගතු ඖෂධ උපයෝගී වූ බව පැහැදිලි වෙයි. රජු ඉදිරියේ වෙදනාවන් කළ දස්කම් ගැන අපේ රටේ එතරම් සාහිත්‍යයක් නිර්මාණය වී නැත. කොරියානු දේශයේ රජුන්ගේ මහ වෙදනා ගැන රචනා කළ කතාවක් ටෙලි නළුවෙක් විලස කලකට ඉහතදී ප්‍රචාරය විය. එහෙත් අප රටේ ඒ පිළිබඳව හෝ ඔවුන්ගේ පෞරුෂයන් ගැන ඉස්මතු කරන්නකූ දක්නට නොහැකිය. කපුගොල්ලෑව වෛද්‍යවරයා සෙංකඩගල මහනුවර රජ වාසලේ වෛද්‍යවරයකු වූවා සේම රදළ පවුලට නෑකම් කියූවෙක් බව පැහැදිලිය. මේ වෙදකමෙන් කළ දස්කම් නිසා ඔහුට ගම්වරයක් ලැබුණි. ඒ හුරුළු පළාතේ මහ පොතාන කෝරලයේ දුටුවෑ තුලානේ පිහිටි කපුගොල්ලෑවයි. මේ ඒ තුඩපතේ ඇතුළත් විස්තරයයි.
‘ශකවර්ෂයෙන් එක්වා දහස් හයසිය දහයට පැමිණි මෙම වර්ෂයෙහි පොසොන් මස ගුරු දින පංචවිතත තිථිය ලත් මේ හුරුලු පත්තුව බද දුටුවෑ තුලානේ කපුගොල්ලෑවෙ භූමි ප්‍රවේනි සැලැස්ම ගැන කපුගොල්ලෑවට සෙන්දු දුන්වත්තෙගොමත් සහා භූමි ප්‍රවේනි සැලැස්ම පිණිස මහ වාශලට පුංචිරාළ නිලමෙ වෙදකන් කරපු බවට ලියා දෙන තල්පොත.
මා ඉන් නැගෙනඉරට කිරවනාහින්නද බස්නාඅතට ඔයද ශවුමට මූණමල ගහද වුතුරට ගොඩවලද මෙම මයින් සහ ගොඩ මඩ ඇතුළුව කොරලේ ගමට පුන්චි රාල නිලමේට ගැබඩැ රාකාරිය අත්හැර මෙගන්දෙක ලැබුනා ඇත. මීට වගත් මෙගෙම සළු වඩන නිලමෙද මහසැතපෙනගෙ මුහන්දිරම ද මහ අරමුදලෙ වන්නකු නිලමෙ ද රන් ආවුධ මණ්ඩප්පෙ ලෙකමද අතපත්තුවෙ මුරෙ සිටින මුහන්දිලමද වහල්කඩ මොහන්දිරමද වන්නි දෙදිශාවෙ නිලමෙද වුඩකට්ටුවෙ විදානෙද වුඩුනුවර රට දවටලෙ වඩිගත්තුනද නුවර කලාවිය දිශාව ඇතුළව මහනුවර මහඅදිකාරන් නිල මෙහෙවර වන පිලිමතලව්වේ රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත රාළහාමි වම්හ.’
ශක වර්ෂයෙන් 1610 යනු ක්‍රි.ව.යෙන් 1688 ලෙසට දැක්විය හැකිය. දෙවන රාජසිංහ රාජ්‍ය කාලය ක්‍රි.ව. 1687 න් අවසන් වන අතර දෙවන විමලධර්මසූරිය රජුගේ පළමුවන රාජ්‍ය වර්ෂය 1688 ට යෙදි ඇත. මේ රජුගේ පත්වීමට තිබුණු බාධක බොහෝය. හිටපු රජුගේ යම් අයථා ක්‍රියා නිසා ඇතිවූ නිලඹේ කැරැල්ලෙන් පසු රජුගේ අතිජාත පුත්‍රයා පවා මරණයට පත් වූ බව පැවසේ . ඉන්පසු වයස්ගත රජු සමග විවාහ වූ ලාබාල බිසවකගේ කුමරුවා දෙවන විමලධර්මසූරිය විය. මේ කලබලකාරී කාල පරිච්ඡේදයේ රාජකීය වෛද්‍යවරුන්ට පැවරුණු රාජකාරි සුවිශේෂ වී යැයි සිතන්නට හැකිය. වෛද්‍ය කර්මයට අමතරව පුන්චිරාළ නිලමේට ගබඩාව ද භාර දී තිබේ. ඒ රාජකාරියෙන් ඔහු මුදවා හුරුලු පළාතේ ගමක් අස්වැද්දුමට දී තිබෙන්නේ විශේෂ හේතුවක් නිසා යැයි සිතන්නට හැකිය. මේ තුඩපතින් පුන්චිරාළට බලය පවරා දී ඇත්තේ පිළිමතලව්වේ මහ අදිකාරම් තුමා බව පැහැදිලිය. මේ තුඩපත ද රැගෙන පුන්චිරාළ සමග තවත් සහෝදරයෙක් ද පැමිණි බව කියැවෙන අතර ඔවුන් සමග ගමට බාහිරව පුද සිරිත් ද බෝ වුණ බව පැවසෙයි.
අනුරාධපුර යුගයෙන් පසු වල් වැදුණු මේ ගම් යළි ජනාවාස කිරීම මගින් ලන්දේසීන් ගෙන් වන තර්ජනයන් මගහැර ගැනීමට කල්පනා කළ බවද සිතන්නට හැකිය. වර්ෂ 1688 න් පසු මහනුවර නායක්කර් යුගයේ දී එනම් 1788 දී කපුගොල්ලෑව අසල තිඹිරිවැව ගමේ ලේකම් විසින් වරාගන් දී මෙම ගම මිලට ගත් බව කියැවෙන තුඩපතක් ද දක්නට ඇත. කෙසේ වෙතත් මේ තුඩපතේ දක්වා ඇති සීමා මායිම්වලින් කීපයක් අදටත් දක්නට තිබෙන බව පෙනේ. කිරවනාහීන්න ඒ නමින්ම තිබෙන අතර ගොඩවල ගොඩවල මූකලාන යනුවෙන් සිටී. හල්මිල්ලාව ඔය බස්නාහිරට ඇත. ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ 1975 වර්ෂයේ දී කපුගොල්ලෑව ගම නිරවුල් කිරීමේ දී මෙම තුඩපත පිළිගත් බවට මහනුවර ජාතික ලේඛනාගාරයේ පවතින මේ තුඩපතේ පරිවර්තනයෙන් පෙනේ. ඉඩම් නිරවුල් කිරීම අනුව පුන්චිරාල නිලමේගෙන් පැවතෙන සතරවන පරම්පරාවේ අයට ප්‍රවේනි ඉඩම් වශයෙන් අක්කර 136 ක් ලැබී තිබෙන අතර අක්කර 2229 ක් රජයේ ඉඩම් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ.
පුන්චිරාල නිලමේ ගෙන් පසු ඔහු ළඟ තිබූ සර්වාංග වෙදකම ඔහුගේ දරුවන් අතර බෙදී ගොස් කහටගස්දිගිලිය අසල ගොම්මලෑව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විසින් පවත්වාගෙන ගොස් ඇති බව පෙනේ. ඒ අතර උන්වහන්සේගේ සහෝදරයන් සහ ඥාතීන් සර්ප වෙදකම, ඇස් වෙදකම සහ කැඩුම් බිඳුම් වෙදකම යන විශේෂඥතාවයන් රැකගෙන පැමිණ තිබෙන අතර වර්තමාන පරපුරේ මුදලිනායක වෙදමහතාට පෙර කී ස්වාමීන් වහන්සේ මගින් වෙදකම සත්ත කොට භාර දී තිබේ. ඓතිහාසික වෘත්තාන්තයක් පසුබිමේ පවතින මේ තුඩපත මගින් උතුරු මැද පළාතේ පුරාණ ගමක විත්තිය ද යටත් විජිත සමයේ දී ඇති වූ වෙනස්කම් ද පාරම්පරික උරුමයන් හා වර්තමාන භාවිතයන් අතර වන ගැටීම ද මනාව හෙළි කරයි.
මතුගම සෙනෙවිරුවන්