ජී. 20 සමුළුවට සහභාගි වීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 9 වැනිදාය. 10 වැනිදා උදෑසන වන විට ඔහු ඉතාලියේ රෝම අගනුවර ෆුලෙන්සෝ ගුවන් තොටින් එරටට ඇතුළු විය.
අග‍්‍රාමාත්‍යවරයාට නවාතැන් ගැනීම සඳහා ඉතාලියේ බොලෙන්නේ් නගරයේ සුවිශේෂී හෝටලයක් සූදානම් කර තිබූ අතර ඊට ඉතා දැඩි ආරක්‍ෂාවක් ලබා දෙන්නට ඉතාලි රජය විශේෂ අවධානයක් යොමුකොට තිබීම කැපී පෙනෙන කාරණාවක් විය.
මහින්ද රාජපක්‍ෂ ඉතාලිය බලා පිටත්ව යන්නට පෙර සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් ම ඔහුගේ ඉතාලි ගමනට බාධා පමුණුවමින් යම් යම් විරෝධතා සංවිධානය කර තිබෙන බව කල්තියාම අගමැති ආරක්‍ෂක අංශයට අනුබද්ධ බුද්ධි අංශ විසින් වාර්තා කර තිබිණි.
ඊට සමගාමීව ලංකාවේ ද මතවාදී ලෙස යම් යම් විරෝධතා ගොනු කිරීම සඳහා සූදානම්ව තිබූ වැඩසටහන් කිහිපයක් ද විය.
අගමැතිවරයා ඉතාලි සංචාරය ආරම්භ කරන්නට ඔන්න මෙන්න තිබියදී ශ‍්‍රී ලංකාවේ කතෝලික සභාව ද මේ රජය දෙස ඇඟිලි දිගු කරමින් යම් යම් විරෝධතා මතු කරන්නට පටන් ගෙන තිබීම විශේෂයකි. පාස්කු ප‍්‍රහාරය නිම වී මේ තරම් සැලකිය යුතු කාලයක් ගත වී ඇතත් රජය ඒ සම්බන්ධයෙන් මුණිවත රකිමින් පරීක්‍ෂණ කටයුතු ප‍්‍රමාද කර ඇතැයි යන චෝදනාව කතෝලික සභාව පැත්තෙන් ඉතා ප‍්‍රබලව නැගෙන්නට පටන් ගෙන තිබිණි. කාදිනල්තුමා පවා මේ පිළිබඳව සංවේදීව ඉතා වේගවත් හා උණුසුම් ප‍්‍රකාශ ගණනාවක් නිකුත් කර තිබීම කැපී පෙනෙන කාරණාවක් විය.
ලංකාවේදී කතෝලික සභාව නැගූ හඬ ඉතාලියේදී අගමැතිවරයාට එරෙහි නිහඬ විරෝධතාවක් ලෙස සංවිධානය කරන්නට ද යම් සංවිධානාත්මක පිරිසක් පියවර ගෙන තිබිණි.
ඒ අතර රාජපක්‍ෂවරුන්ට එරෙහි සියලූ බලවේග ඉතාලියේදී ඒකරාශී කරන හොඳ වේදිකාවක් බවට මෙම විරෝධතා ව්‍යාපාර වර්ධනය විය. යුක්තිය සාධාරණත්වය හා සමගිය ප‍්‍රාර්ථනා කරන සාමකාමී කිතුණුවන්ගේ සටන අවසානයේ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව හා රාජපක්‍ෂවරුන්ට එරෙහි පොදු විරෝධතාවක් ලෙස කැපී පෙනුනේ අතරමඟදී සංවිධානාත්මකව ඊට සම්බන්ධ වු සිංහල දෙමළ විවිධ දේශපාලන පක්‍ෂ හා බලවේග නිසාය.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ නතරව සිටි ඉතාලියේ බොලොන්නෝ නුවර මහ හෝටලයට යාබද ස්ථාන කිහිපයකදීම අගමැති මහින්ද රාජපක්‍ෂට මගතොටේදී දිස්වන ආකාරයෙන් මෙම විරෝධතා පවත්වන්නට සංවිධායකයෝ උත්සුකව සිටියහ.
සාමකාමී නිහඬ කතෝලිකයන් පවත්වන්නට නියමිත උද්ඝෝෂණවලට සම්බන්ධ වී ඒවා සටන්කාමී ලෙස මෙහෙයවමින් අගමැතිවරයාට එරෙහි විරෝධතා ව්‍යාපාර පවත්වන්නට සූදානම් වන පිරිසක් ගැන ඒ වන විටත් ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ තොරතුරු සොයාගෙන තිබිණි. දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පිරිස් ද ඒ අතර සිටින බවට ආරංචි පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඊට ප‍්‍රතිචාර දක්වන්නට ද ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයෝ සූදානම් වුයේ ඒ අතරතුරය.
උද්ඝෝෂණය තුළ ද පිල් පිල් අතර ප‍්‍රශ්න මතුවිය. සජබෙ හා එජාප ගැටුම ද එහිදී ඉස්මතු වූහ. ඒ අතර ඇතැම් කතෝලික පාර්ශ්වයන් කල්තියාම මේ උද්ඝෝෂණයෙන් ඉවත් වූයේ ඊට මැදිහත් වන යම් යම් පිරිස් උද්ඝෝෂණයට දේශපාලන අර්ථකථනයන් දීමට හා මහින්දට හූ කියන්නට සූදානම්ව සිටින බව දැනගත් පසුය.
මේ අතර දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂයේ නායක සුගත් හේවාපතිරණ මහින්ද රාජපක්‍ෂට හා ශ‍්‍රී ලංකා රජයට සහයෝගය දක්වන්නට ද මෙම ස්ථානයේදීම වෙනම උද්ඝෝෂණයක් සැලසුම් කළේය. ඒ සඳහා පොලිසියෙන් අවසර ගන්නට උත්සාහ කළත් ඊට අවසර නොලැබුණි. කල්තියා අවසර ඉල්ලීමට එහි නීතියක් ක‍්‍රියාත්මකව තිබූ නිසාය.
කෙසේ වෙතත් උපක‍්‍රමශීලීව ඉතාලියේ සමාජ මාධ්‍යයන් ද, හිරු නාලිකාවේ වාර්තාකරුවන් ද සංවිධානය කරගත් සුගත් වෙන වෙනම සංවිධානය කරන ලද කුඩා කණ්ඩායම් කිහිපයක් හැටියට උද්ඝෝෂකයන් තැන් තැන්වලින් ගෙන්වා ගන්නට සැලසුම් කළේය. අවසානයේ බොලොන්නෝ නගරයේ උද්ඝෝෂණය පැවති ස්ථානයට මේ පිරිස ඒකරාශී කළ සුගත් මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට හා ශ‍්‍රී ලංකා රජයට සහාය පළකරමින් උද්ඝෝෂණ පුවරු යොදා ගනිමින් සාමකාමී ලෙස උද්ඝෝෂණය සංවිධානය කළේය.
අගමැති මහින්දට හා ශ‍්‍රී ලංකා රජයට පක්‍ෂ හා විපක්‍ෂ උද්ඝෝෂණ දෙක මේ අයුරින් සංවිධානය වූයේ එකම ස්ථානයක පාරක් දෙපසය. එහෙත් පොලිසිය මැදිහත්ව ලොකු වාහන යොදා උද්ඝෝෂණයකට අනිත් උද්ඝෝෂණය නොපෙනෙන ලෙස මඟ අවුරා දමා තිබීම කැපී පෙනෙන සිද්ධියක් විය.
ඇමරිකාවට යන්න
ජනාධිපති සූදානම්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ සිය අවධානය වඩාත් යොමු කළ කාරණා කිහිපයක්ම තිබිණි. ඒ අතරින් ප‍්‍රධානත්වයක් ගත් කාරණාව වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුවේ 76 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා නියමිත ඇමරිකානු සංචාරය යි.
ජනාධිපති ගෝඨාභයට මෙම සංචාරය කාරණා දෙකක් නිසා ඉතාමත්ම වැදගත් විය. පළමු කාරණාව ගෝඨාභය මැතිතුමා ජනාධිපති වූවාට පසු මෙවන් සමුළුවක් සඳහා දිවයිනෙන් බැහැරව යන ප‍්‍රථම සංචාරය මෙය වීම ය. දෙවන කාරණාව වන්නේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන පළමු අවස්ථාවද මෙය වීමයි. සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ වන මෙම සමුළුවේ ආරම්භක දිනයේදීම සමුළුව ඇමතීමට ජනාධිපතිවරයාට ආරාධනා කර තිබීම තුළ විශේෂත්වයක් ද විය.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුව හමුවේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලබන අදහස් දැක්වීම ගැන පසුගිය දිනවල අධ්‍යයනයක නිරතව සිටියේය. එහිදී ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඇතුළු ප‍්‍රධානීන් හා මාධ්‍ය ප‍්‍රධානීන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.
ජනාධිපතිවරයාගේ අදහස වූයේ අත්‍යාවශ්‍යම පුද්ගලයන් සීමිත පිරිසකගෙන් සැදුම්ලත් දූත පිරිසක් පමණක් මෙම සංචාරය සඳහා සහභාගි කර ගත යුතු බවකි. ඒ අනුව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් ජයනාත් කොළඹගේ ඇතුළු තවත් දෙදෙනෙක් පමණක් මෙම සංචාරය සඳහා එක්කර ගැනීමට නියමිත වූහ.
රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියට ද මෙම සංචාරය සඳහා සහභාගි විය හැකි වුවත් ඇය යන්නේ නම් එතුමිය පුද්ගලික වියදමින් ඊට සහභාගි විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහස විය.
දෙවනුව ඔවුන් අවධානය යොමු කළේ මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා සමුළුව අමතා කරන කතාව හා යෝජනා කෙරෙහිය. ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ව්‍යාපෘති හා ඒවා සාර්ථක කර ගැනීම සඳහා අනුගමනය කරන උපක‍්‍රම ගැන මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව ආරම්භ කර ඇති කාබනික කෘෂිකර්මාන්තය ගැන මේ වෙලාවේ ලෝකයේම අවධානය යොමු වී ඇති බැවින් අපේ කාබනික කෘෂිකාර්මික වැඩපිළිවෙළ ගැන අදහස් දක්වන්නට ද යෝජනා විය. අනතුරුව කොරෝනා අර්බුදය හමුවේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂිත හා එන්නත්කරණ වැඩපිළිවෙළ ලබා ඇති සාර්ථකත්වය ගැන ලොවට කරුණු කියන්නට ද සාකච්ඡා කෙරිණි.
මෙම සංචාරයේදී තවත් බලවත් රාජ්‍ය නායකයින් ගණනාවක් ම හමුවී ද්වි පාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පවත්වන්නට යෝජිතව තිබෙන නිසා ඔවුන් සමග ඇතිකර ගතයුතු එකඟතා හා ගිවිසුම් ගැන ද අවධානය යොමු විය. විදේශ වෙළෙඳාම්, සංචාරක හා ආයෝජන ප‍්‍රවර්ධන අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ගිවිසුම් කිහිපයකට එළඹීමට ද මෙහිදී මෙම සාකච්ඡාවේ අවධානය යොමුකොට තිබිණි.
මේ සාකච්ඡා ඉතාමත්ම කඩිනම්ව නිම කරන්නට අවශ්‍ය වූයේ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මෙම සතියේ 17 වැනි සිකුරාදා රාත‍්‍රී දිවයිනෙන් බැහැරව යෑමට තිබූ නිසාය.
දඬුවම කාටත් එකයි
ලොහාන්ට වැඩ වරදියි..

මෙම සාකච්ඡා යමින් තිබූ අතර වාරයේ අසන්නට ලැබුණු එක්තරා පුවතක් නිසා ජනාධිපතිවරයා තරමක් කලබලයට පත්විය. එම පුවත වූයේ රජයේ එක්තරා තරුණ රාජ්‍ය අමාත්‍යවරයකු වැලිකඩ හිරගෙදරට ඇතුළු වී කරන ලැබූ කලබලයක් පිළිබඳ ආරංචියකි.
ඒ මොහොතේම ජනාධිපතිවරයා තම ආරක්ෂක අංශ ප‍්‍රධානියෙකු ලවා එම ආරංචිය පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන්නට විය.
ඒ වනවිටත් එම පුවත අදාළ රාජ්‍ය ඇමැතිවරයාගේ නම් ගම් ද සහිතව සමාජ මාධ්‍ය ජාලා තුළින් ඒ මේ අත හුවමාරු වන්නට පටන් ගෙන තිබිණි. විපක්ෂය එම පුවත ප‍්‍රයෝජනයට ගනිමින් අදාළ ඇමැතිවරයාගේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් ඒ තුළින් රජය වෙත ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.
අදාළ අමාත්‍යවරයා වූයේ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ හා භූ මැණික්, ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාය.
ඒ වන විට ලොහාන්ට සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. එකක් මිතුරන් පිරිසක් සමග වැලිකඩ හිරගෙදරට
ගොස් ඇමැතිවරයකුට නොගැලපෙන අන්දමින් හැසිරෙමින් නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සම්බන්ධයෙනි.
අපේ රටේ සමාජ මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබුණේ සුරූපී රූප රාජිනියක් ද තවත් මිතුරන් කිහිප දෙනකුද සමඟ රොහාන් ඇමැති බීමතින් මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදුණ බව වාර්තා කරමිනි.
අනිත් චෝදනාව ඊටත් වඩා බරපතළ එකක් විය.
පසුගිය ඉරිදා දිනයේ අනුරාධපුරයේ බන්ධනාගාරයට ගොස් දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනෙක් හමුවී ඔවුන්ව දනගස්වා පිස්තෝලයක් රැගෙන ඔවුන්ට තර්ජනය කළ බව චෝදනා පත‍්‍රයේ සඳහන් විය. පිස්තෝලය අතට ගෙන සිරකරුවන්ට තර්ජනය කරමින් සිටියදී ලොහාන් අතින් පිස්තෝලය බිම වැටී ඇති බව ද සමාජ මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබිණි.
කෙසේ වෙතත් සත්‍ය පුවත හා සමාජ මාධ්‍ය මගින් උත්කර්ෂයට නගා තනන ලද පුවත අතර වෙනස ජනාධිපතිවරයා නිවැරදිව තේරුම් ගෙන තිබුණේ බුද්ධි අංශ වාර්තාවලට අනුව ය.
ඒ කවරක් වුවත් බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙහිදී බලවත් වරදක් කර ඇතැයි යන මතයේ ජනාධිපතිවරයා සිටියේය.
ඒ නිසා ඔහු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර හා ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග හා අනෙකුත් ආරක්ෂක ප‍්‍රධානීන් එක්ව මේ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කළහ. මේ නිලධාරීන්ට අමතරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු රජයේ සිටින ජ්‍යෙෂ්ඨ ම අමාත්‍යවරු පිරිසක් සමඟ ද ජනාධිපතිවරයා මේ පිළිබඳ සාකච්ඡා කළේය.
”කොහොමටත් මේ වැඬේ අපට අනුමත කරන්න බැහැ… විෂය භාර ඇමැතිවරයා බන්ධනාගාරයට ගියා කියන එක ප‍්‍රශ්නයක් නොවෙයි. එයාට රාජපක්ෂ පවුලේ අය සමඟත් හුඟක් ළඟ සබඳතා තියනවා. හැබැයි ඒ එකක්වත් මේ වරද සම්බන්ධයෙන් අදාළ වන්නේ නැහැ. මේ ගැන මට දැඩි තීන්දුවක් ගන්නම වෙනවා.”
මෙසේ අදහස් පැහැදිලි කිරීමෙන් අනතුරුව රට සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් අවධානයට ලක්විය. මේ වෙලාවේ මෙම ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට බලපාන අන්දම ගැන සාකච්ඡා විය. එය රට මත තැවරුණු කිසිවකින් වසා දැමිය නොහැකි විශාල කළු පැල්ලමක් බව බොහෝ දෙනෙකු අදහස් කළහ. මෙම 17 වැනිදා සිට ආරම්භ කෙරෙන ඇමෙරිකානු සංචාරයේදී බොහෝ දෙනෙක් මේ ප‍්‍රශ්නය මතු කරන්නට ඉඩ ඇති බව සමහරු කීහ.
”ජාත්‍යන්තරය හමුවේ අපට දැන් තියෙන ප‍්‍රශ්න මදිවට මේ ප‍්‍රශ්නයත් අලූතෙන් එකතු වුණා.”
”අපි කමිටුවක් පත්කරලා මේ පිළිබඳව තීන්දුවක් ගනිමු. කොහොමටත් මට දැඩි තීන්දුවක් ගන්න වෙනවා. ඒක කමිටුවකින් තීරණය කරන එක තමයි වඩාත් හොඳ…” ජනාධිපතිවරයා කීවේය. ඒ අනුව ජනාධිපතිවරයා කමිටුවක් පත් කරන්නට සූදානම් විය.
ඒ අතරතුර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකථනයෙන් සම්බන්ධ වූයේය.
ජනාධිපති ගෝඨාභය ඒ මොහොත වනවිට සිටියේ දැඩි කේන්තියකින් වුවත් ලොහාන් සමඟ කතා කිරීමට අකමැති වූයේ නැත. ඔහු මෙම සිද්ධිය ගැන කනගාටුව පළ කරමින් ජනාධිපතිවරයාගෙන් සමාව ගත්තේය.
සමාව ගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා සියලූ වැරදිවල වගකීම් බාර ගනිමින් ඉල්ලා අස් වන්නට සූදානම් බව ජනාධිපතිවරයාට කීවේය.
”ඉල්ලා අස්වෙන එක හොඳයි. කොහොමත් මම අස් කරන්න තමයි හිටියේ… ජනාධිපතිවරයා ලොහාන්ට කීවේය.
”ඒක තමයි මේ වෙලාවේ කළ යුතු එකම පිළියම. මේවා පිළිබඳ පරීක්ෂණ අපි අගමැතිතුමා ආවම කරලා ඉවර කරමු… ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකු කීවේය.
බදාදා දහවල් වන විට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවට සකස් කරන ලද ලිපියක් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබිණි. එහෙත් රත්වත්තේ ළඟ තවත් ඇමති ධුරයක් සුරැකීව තිබිණි. ඒ වූ කලී මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයයි.
ඒ අතර විපක්ෂය චෝදනා කරන්නට වූයේ අමාත්‍යවරයා වහාම එම අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවකි.
ගිලන් වූ අත් බෝම්බ
කොළඹ රෝහල්වල
රටේ දේශපාලන තත්ත්වය මෙසේ තිබියදී රට තුළ කොවිඞ් මර්දනය පිළිබඳ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එක්ව ගෙන ගිය ක‍්‍රියාන්විතය සතුටුදායක සාර්ථකත්වයක් අත්පත් කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබිණි. මේ සතිය වන විට ශ‍්‍රී ලංකාව ද රටේ ජනතාවගෙන් හරි අඩකට වඩා එන්නත් දෙකම ලබාදී එන්නත්කරණය සාර්ථකව කරමින් සිටින රටවල් කිහිපය අතරට පැමිණ සිටියේ ය. ඊට සාපේක්ෂව රට තුළ කොරෝනා පැතිරීමේ වේගය අඩු වන්නට පටන් ගෙන තිබිණි.
මේ වන විට රට වසා දමා මාසයකටත් ආසන්න වෙමින් තිබූ අතර රටේ සෞඛ්‍ය අංශය එහි ප‍්‍රතිඵල අත්පත් කරගනිමින් තිබිණි. දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව රට වසා නොදැමූ දිනවල 200 ඉක්මවූ අගයන්වල පැවතියත් මේ සතියේ ආරම්භ වන විට එය තිබුණේ 130ටත් අඩු අගයකය. දෛනික හමුවන කොරොනා රෝගීන්ගේ සංඛ්‍යාවද සතුටුදායක මට්ටමකින් අඩු වී තිබිණි. මේ තිබෙන තත්ත්වය තුළ රජය අවධානය යොමු කරමින් සිටියේ රට නැවත විවෘත කිරීම ගැනය.
අග‍්‍රාමාත්‍යවරයාත් විදේශ සංචාරයක නිරතව සිටි මෙම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට නැවතත් විවෘත කිරීමට ඇති ඉඩකඩ සොයා බලමින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳ විමසමින් සිටින අතරතුර එක්තරා අන්දමක අනතුරුදායක පුවතක් ගැන තොරතුරක් ලැබුණි.
එම තොරතුර වූයේ කොළඹ ඉහළ පෙළේ පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ තිබී ජීව අත්බෝම්බයක් හමු වීමය. මෙම බෝම්බ සිද්ධිය නිසා ඒ වන විටත් එම රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන් ඉමහත් කලබලයකට පත්ව සිටියහ.
ජනාධිපතිවරයාට මෙම ආරංචිය ලැබුණු මොහොතේම පොලිසිය, රහස් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවූයේය.
”මේක අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන බොහොම සැලකිල්ලෙන් කල්පනාවෙන් සිටිය යුතු අවස්ථාවක්. අපේ රටට විරුද්ධව අන්තර්ජාතිකවත් ජාතිකවත් කුමන්ත‍්‍රණකරුවන් ක‍්‍රියාත්මක ඉන්න වෙලාවක්. ඒක නිසා අපේ රටේ සුළු වරදක්වත් සිද්ධ වෙන්න බෑ. මේ අත්බෝම්බය පිළිබඳ සිද්ධිය කාගෙ හරි අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්. වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න. පැයක් ඇතුළත සිද්ධියේ ඇත්ත නැත්ත ගැන මට වාර්තාවක් ලබා දෙන්න.
කඩිගුලක් ඇවිස්සුණාක් සේ ආරක්ෂක අංශ වැඩ පටන් ගත්හ. ජනාධිපතිවරයා නිරතුරුවම සිය බුද්ධි අංශ ප‍්‍රධානියාට කතා කරමින් සිද්ධියේ අලූත්ම තත්ත්වය සොයා බලන්නට විය. ඒ කොතෙක් ද යත් පැය භාගයක් ඇතුළත ඔහු 11 වතාවක් සිය බුද්ධි අංශ ප‍්‍රධානියාට කතා කර තිබිණි. සිද්ධිය පිළිබඳ සියලූ නිවැරදි තොරතුරු ජනාධිපතිවරයාට භාර දෙන්නට ඔහුට පැයක් ගත වූයේ නැත.
කිළිනොච්චිය ප‍්‍රදේශයේ සිට පැමිණ රෝහලේ සුව සේවාව භාර කම්කරු අංශයට එක් වූ තරුණයකු විසින් මෙම අත් බෝම්බය සඟවා තබා ඇති බව ආරක්ෂක අංශ සොයාගෙන තිබුණේ ඔහු පිළිබඳ සියලූ වග විස්තර ද සහිතව ය. රහස් පොලිසිය පරීක්ෂණ කටයුතු අරඹා තිබිණි.
”මේක යම් යම් දේශපාලන කුමන්ත‍්‍රණවලටත් ක‍්‍රියාත්මක වෙන්න පුළුවන් කාලයක්. ඔය වගේ බෝම්බයක් රෝහලේ තිබී හමුවීම නෙමෙයි ප‍්‍රශ්නය. කොහොමද මේක රෝහලට ගෙනාවේ කියන එකයි. ඒකෙන් පේන්නේ එතන ආරක්ෂාව පිළිබඳ නොසැලකිල්ල. මීට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා රෝහලේ ආරක්ෂක අංශවලට දැනුම් දෙන්න. ඊට සමගාමීව රෝහල අවට ඉන්න අපේ ජාතික ආරක්ෂක අංශවල අයටත් උපදෙස් දෙන්න.”
”එක් පැත්තකින් ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වෙනවා. අනිත් පැත්තෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. මේ වගේ වෙලාවක අපේ විරුද්ධවාදීන්ට අවශ්‍ය වෙන්නේ මොකක් හරි උණුසුම් සිද්ධියක්. අපි රටක් හැටියට මේ වෙලාවේ හුඟක් පරිස්සම් වෙන්න ඕන ඒකයි…” එතන සිටි ඉහළ නිලධාරියකු කීවේය.
මේ අතර තවදුරටත් මේ ආකාරයෙන් රට වසා දැමිය යුතුද නැති ද යන ප‍්‍රශ්නය රටේ දැඩි ලෙස සාකච්ඡා වන්නට විය.
කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සෞඛ්‍ය හා ආරක්ෂක ඒකාබද්ධ වැඩපිළිවෙළ නිසා රට තුළ කොරොනා පැතිර යෑමේ අවදානම ටිකෙන් ටික අඩු වන්නට පටන් ගෙන තිබිණි. සියලූ සංඛ්‍යා ලේඛන සතුටුදායක අන්දමට අනිත් අතට හැරී පහත වැටෙමින් තිබියදී දේශපාලන බල අධිකාරියට අවශ්‍ය වූයේ රට විවෘත කිරීමට ය. රට විවෘත කර ප‍්‍රමාද වී තිබූ සියලූ සංවර්ධන හා කෘෂිකාර්මික ව්‍යාපෘති පටන්ගෙන යළි රට යථා තත්ත්වයට පත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වූහ.
විශේෂයෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීමට වෙනම වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්නට සූදානම්ව සිටියේය. ඔහුට අවශ්‍ය වූයේ ඉතා ඉක්මනින් රට විවෘත කර පොදු ජනතාව අතර මුදල් සංසරණය වන මාර්ග විවෘත කර, රටේ මූල්‍ය හා ආර්ථික කටයුතු වේගවත් කර සතුටුදායක ප‍්‍රතිඵල අත්පත් කර ගැනීමටය.
එහෙත් තවදුරටත් රට වසා තැබීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය අංශවල යෝජනාව විය. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මේ පිළිබඳ දැඩි ව සිටියේ ය. ඔවුන් මෙම කාරණාව පිළිබඳ විශේෂ සංදේශයකින් රජයට දැනුම් දීමක් කළේය.
රට වසාදමා මසක් සපිරෙන්නට පැමිණ තිබුණත් පූර්ණ අන්දමේ රට වසා දැමීමක් සිදු නොවූ බව ඔවුන්ගේ අදහස විය. එමනිසා ඉලක්කගත වේගයකින් කොවිඞ් පැතිරීම පාලනය නොවූ බව ඔවුන් කීය. මෙම වසා දැමීම ලිහිල් එකක් වුවත් එය තුළ ද යම් සතුටුදායක පාලනයක් සිදුව තිබෙන බව පිළිගත් ඔවුන් රජයෙන් තවදුරටත් ඉල්ලා සිටියේ මෙම ලිහිල් වසා දැමීම තුළ සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කර ගන්නට නම් ඔක්තෝබර් මාසය වන තුරුම මෙම වසාදැමීම දීර්ඝ කළ යුතු බවකි.
එහෙත් මෙම යෝජනාව පමණ ඉක්මවූ යෝජනාවක් බව දේශපාලන අධිකාරියේ මතය විය. මේ වන විට අවදානම් අඩියක පසුවන මේ රටේ ආර්ථික සංවර්ධනය යළිත් සුපුරුදු මාවතට ඔසොවා තබන්නට නම් වහාම රට විවෘත කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ශක්තිය වර්ධනය කිරීම පමා නොකළ යුතු බව දේශපාලන අධිකාරියේ මතය විය.
අවසානයේ කොවිඞ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ කමිටු රැස්වීම තුළ මෙම කාරණාව මෙවර වඩාත් දැඩි ලෙස සාකච්ඡාවට ලක් වීමට නියමිත විය. ජනාධිපතිවරයා රටෙන් පිටත්ව යාමට පෙරාතුව මෙම කමිටුවට එක්වී තවදුරටත් රට වසා දමනවාද, නැත්නම් රට විවෘත කර ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉක්මන් පියවර ගන්නවාද යන කාරණා දෙක සම්බන්ධයෙන් ඉතා හොඳ සාධනීය තීන්දුවක් ගනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය විය.
කළු පැල්ලම ගැන
සජිත් කියපු කතාව

අජිත් නිවාඞ් කබ්රාල් මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වි මහ බැංකුවේ අධිපති ධුරය ලබාගැනිම ගැන රට තුළ බොහෝ විවේචන මතුවිය. ජනතා විමුක්ති පෙරමුණ ඒ පිළිබඳව දැඩි විවේචන ගෙන ආවේය.
ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම සමගි ජනබලවේගය ද මේ පිළිබඳව දැඩි ලෙස අප‍්‍රසාදය පළ කරමින් විවේචන ගෙනඑන්නට විය. පසුගිය සතියේ සමගි ජනබලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම වෙනම රැස්වී මේ ගැන සාකච්ඡා කරන්නට වුණේ මෙසේය.
‘‘මෙයාලා මහ බැංකුව ආයෙත් වතාවක් දේශපාලනීකරණය කරන්නයි හදන්නේ.’’ සජිත් මුල පටන් ගත්තේ එසේය.
ජාත්‍යන්තර ආයෝජකයෝ එන්නේ නැහැ කියනවා. ජාත්‍යන්තර ආයෝජකයෝ හොයනවා මහ බැංකුව ඇතුළේ මේ වගේ ප‍්‍රශ්න තිබෙනකොට ජාත්‍යන්තර ආයෝජකයෝ එයිද? හර්ෂ ප‍්‍රශ්නයක් මතු කළේය.
ඔව්….. ගජමිතුරන්ව මහ බැංකුවේ මහ පුටුවට පත්කරවල රටේ ආර්ථිකය කඩාවට්ටපු රටවල් පිළිබඳ උදාහරණ ලෝකයේ ඕන තරම් තියෙනවා. ගජමිතුරන්ගේ සාක්කු පිරෙනවා. රටේ උද්ධමනය වැඩි වෙනවා. ආර්ජන්ටිනාව, හංගේරියාව, සිම්බාබ්වේ වගේ රටවල් හොඳ උදාහරණ’’ කබීර් හෂීම් කීවේය.
‘‘කබ්රාල් මහ බැංකුවේ මහ පුටුවේ හිටපු කාලේ තමයි නරකම ගනුදෙනු හුඟක්ම වුණේ. තෙල් සංස්ථාව බිම වට්ටපු කුප‍්‍රකට හෙජින් ගනුදෙනුව, ග‍්‍රීක බැඳුම්කර නිකුතුව, අර්ථසාධක හා සේවා නියුක්තික අරමුදල් අවභාවිත කිරීම වගේ දේවල් වුණා. අමතක කරන්න නරකයි මේවා…’’ එරාන් කීවේය.
‘‘ලෝකයම රට දිහා බලාඉන්න මේ වෙලාවේ කළු පැල්ලම් කිසිත් නැති හොඳ ආර්ථික විද්‍යාඥයෙක් මහ බැකුවට පත් කරන්නයි රජයට තිබුණේ…’’ සජිත් එසේ කියද්දී සරත් ෆොන්සේකා විහිළුවක් කළේය.
‘‘ඒ කියන්නේ අර අර්ජුන මහේන්‍ද්‍රන් පත්කළා වගේද? අපි මේ වෙලාවේ යූ.ඇන්.පී. එකේ ස්ථාවරය මොකක්ද කියලා අහන්නත් ආසයි.
සියල්ලෝම සරත් ෆොන්සේකාගේ කතාවට හිනාවෙන්න පටන් ගත්හ.
‘‘ඒගොල්ලොද, ඒගොල්ලො තවම වෙඩින් එකට ගිය අර්ජුන මහේන්‍ද්‍රන් ලංකාවට එනකන් බලා ඉන්නවලූ…’’ මරික්කාර් කීවේය.
සජිත් ඇතුළු සමගි ජනබලවේගය හැම දෙයක්ම විවේචනය කර කර ඉන්නවා විතරයි. අඩුම තරමින් කොවිඞ් සුව කරන්න රෝහලකට ඩිස්ප‍්‍රීන් පෙත්තක්වත් අරන් දීල නෑ. විවේචන විතරමයි. කියා ලොකු විවේචනයක් තිබිණි. ආණ්ඩු පක්‍ෂයේ බොහෝ මැති ඇමැතිවරු සමගි ජනබලවේගයේ විවේචන ගැන ප‍්‍රතිචාර දැක්වූවේ මෙබඳු ප‍්‍රතිචෝදනා ඉදිරිපත් කරමිනි.
ඒ අතරතුර සමගි ජනබලවේගය ‘හුස්ම’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. අඩු පහසුකම් සහිත දුෂ්කර පළාත්වල රෝහල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය මෙවලම් සැපයීම මෙම හුස්ම ව්‍යාපෘතියේ අරමුණ විය.
හුස්ම වැඩසටහන යටතේ පසුගිය සතියේ දෙබරවැව මූලික රෝහලට අඩුපාඩුවක්ව පැවැති උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමකට සජිත් සහභාගි විය. රෝහලේ රේඩියෝග‍්‍රැෆි යන්ත‍්‍රය සඳහා අවශ්‍ය මෙම උපකරණ හා මෙවලම් තොගයේ වටිනාකම මිලියන තුනක් පමණ විය.
මෙම අවස්ථාවේ මන්ත‍්‍රීවරු සමඟ සජිත්ගේ සාකච්ඡාවක් ඇතිවිය.
‘හුස්ම’ තුළින් මිනිසුන්ට උදව් උපකාර කරන්න ඔබතුමා ලොකු ලොකු පරිත්‍යාග ගණනාවක් ම කළා. තවම ආණ්ඩුව මේ ගැන කිසි සද්දයක් නැහැ.‘‘ දිලිප්් වෙදආරච්චි කීවේය.
‘‘ඔව්… අපි මේ කරන්නේ 26 වන සමාජ සත්කාරය. මෙහෙම දේවලූත් අපි කරනවා කියලා ජනතාව දැනගන්නත් ඕන..’’ සජිත් කීවේය.
ලොහාන් රත්වත්ත අමාත්‍යවරයා බන්ධනාගාර කිහිපයක කරන ලදැයි කියන ‘යකා නැටිල්ල’ ගැන සජිත් දැනගත්තේ තරමක් ප‍්‍රමාද වීය. ඒ පිළිබඳ ඇසූ මොහොතේ පටන් ඔහු එම සිද්ධියේ යටගියාව හොයන්නට පටන් ගත්තේය.
‘‘බන්ධනාගාර ඇමැතිවරු ඉන්නේ හිරකරුවන්ගේ සුබසාධන කටයුතු ඉටු කරන්න මිස හිසට පිස්තෝල එල්ල කරමින් දණගස්වා තර්ජනය කරන්න නම් නොවෙයි.
මේක ගැන අපි හොඳින් හොයා බලන්න ඕන. ඒ විතරක් නොවෙයි හිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ නීතිමය පැත්ත හොයල බලල අදාළ ඇමැතිවරයාට එරෙහිව නීතිය ක‍්‍රියාවේ යොදවන්නත් අපි වගබලා ගන්න ඕන.’’ කියමින් සජිත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර හොයා බලන්නට පක්‍ෂයේ නීතිඥ කණ්ඩායමේ අවධානය යොමු කළේය.
එපමණකින් නොනැවතී සජිත් එම සිද්ධිය පිළිබඳ අප‍්‍රසාදය හා විරෝධය පළ කරමින් ‘ට්විටර්’ පණිවිඩයක් නිකුත් කරන්නට ද අවධානය යොමු කළේය.
නාගරික කාංසියට
නාමල්ගෙන් පිළියමක්
කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ දැන් මාසයකට ආසන්න කාලයක් නිවෙස්වලම රැඳී සිටිමින් පාළුවෙන් කාංසියෙන් ඒකාකාකරීව ජිවත්වන නාගරික ජනතාවගේ මානසිකත්වය වර්ධනය කරන්නට මොනවා හෝ සෞන්දර්යාත්මක වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයාගේ යෝජනාවකි.
නාමල් ඇමැතිතුමාට පුළුවන් මේ ගැන මොනව හරි කරන්න. රටේ තරුණ පිරිස ඉන්නේ එයත් එක්කනේ….. ඇමැතිවරු කිහිපදෙනෙක් ම මෙහිදී නාමල්ගේ නම යෝජනා කළේ අමාත්‍යාංශය තුළින් ඔහුට ලැබී ඇති ප‍්‍රතිපාදනවල ශක්‍යතාවය ගැන දන්නා නිසාය.
මෙම යෝජනාව අනුව ක‍්‍රියාත්මක වූ නාමල් රාජපක්‍ෂ මේ පිළිබඳ තම අමාත්‍යාංශ නිලධාරීන් හා හිත මිතුරන් සමඟ සාකච්ඡා කරද්දී ජාතික තරුණ සේවා සභාවේ සභාපති අමිත වික‍්‍රමරත්න ඒ පිළිබඳ වගකීම භාර ගත්තේය.
අපට පුළුවන් රෝඞ් ෂෝ එකක් කරන්න. යොවුන් සංගීත කණ්ඩායම් හා නැටුම් කණ්ඩායම් යොදාගෙන මහල් නිවාස සංකීර්ණ අසලටම ගිහින් ජනතාව මහල් නිවාසවලම සිට ඒවා නරඹන්න හැකි විදිහට අපි රෝඞ් ෂෝ සංවිධානය කරමු.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ නිලධාරීහු පසුගිය සතිය පුරාම යොවුන් සංගීත කණ්ඩායම් හා නර්තන කණ්ඩායම් රැගෙන නාගරික මහල් නිවාස සංකීර්ණ වෙත යමින් ජංගම සංගීත සංදර්ශන පවත්වන්නට වූහ. ජනතාවගේ නොමඳ ප‍්‍රතිචාර ඒවාට වඩ වඩාත් ලැබෙන්නට විය.
අපට පුළුවන් මේවා රෝහල්වලට ගෙනයන්න, ඒ වගේම කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන යන්නත් පුළුවන්. නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න ප‍්‍රතිකාර ලබන රෝගීන්ටත් මේ වැඩසටහන් තුළින් ලොකු සතුටක් වින්දනයක් මානසික සුවයක් ලබන්න පුළුවන්. නාමල් කීවේය.
පසුගිය සතියේ බන්ධනාගාරවලට ගිය ඇමැතිවරු ගැන සමාජය වැඩි වැඩියෙන් කතාබහ කරන්නට වූහ. යෝජනා චෝදනා බොහෝමයක් තිබිණි.
ඒ අතර පසුගිය සතියේ බ‍්‍රහස්පතින්දා නාමල් රාජපක්‍ෂත් හදිසියේම බන්ධනාගාරයකට ගියේය. ඒ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ලිපියක් මගින් නාමල් රාජපක්‍ෂ ඇමැතිවරයාට කරන ලද ආරාධනාවකට අනුවය. ඇමැති ලොහාන් රත්වත්තේ මෙන් නාමලූත් මෙහිදී ගොස් තිබුණේ අනුරාධපුර බන්ධනාගාරයටය.
නාමල් එහි ගොස් තමන්ට ලිපියක් මගින් ආරාධනා කළ රැඳවියන් පිරිස හා සාකච්ඡා කළේය.
අපි නොමඟ ගිය බව ඇත්ත. ඒත් අපි ඒ වරදට දැන් අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳිමින් අපේ තරුණ විය හිරගෙයි ඇතුළෙ දියකර හරිනවා. අපි ඔබතුමාට ලිපියක් ලියන්න කල්පනා කළේ ඔබතුමා පාර්ලිමේන්තුව ඇතුළේත් අපි ගැන විශේෂයෙන් කතා කරන නිසයි. ඔබතුමා කරපු කතාවකට අනුව පසුගිය දවස්වල අපිත් එක්ක හිටපු රැඳවියෝ 16 දෙනෙක් දඬුවමින් නිදහස් වෙලා ගෙවල්වලට ගියා. එහෙම ගිය සමහර අයට ඔබතුමා මැදිහත්වෙලා ගෙවල් පවා ලබා දුන්නා. කරුණාකරලා ඇමැතිතුමනි, අපි ගැනත් බලන්න.
නාමල් ඔවුන්ගේ දුක් ගැනවිලිවලට හොඳින් සවන් දෙමින් ඔවුන් හා කතාබහ කළේය. මේ අතර තවත් තරුණයෙක් ටිකක් වෙනස් කතාවක් කීවේ මෙසේය.
මට තව අවුරුදු 2 කින් ගෙදර යන්න පුළුවන්. ඒත් සර් මට යන්න ගෙයක් නෑ. මම කරපු දේවල් නිසා අම්මා මාත් එක්ක තරහයි. මාව ගෙටවත් ගන්නේ නැහැ. ඉන්නේ මල්ලි විතරයි. මල්ලිත් අම්මා එක්ක. මට යන්න තැනක් නැහැ.
‘‘හරි…. අපි ඔයා ගැනත් බලාගන්නම්. තව ටික කාලයක් තියෙනවනේ නිදහස් වෙන්න. ’’ නාමල් ඒ තරුණයා අස්වසාලමින් එසේ කීවේය.
කොරෝනා ගැරිල්ලට
වැට බඳින ප‍්‍රසන්න
ඉකුත් සඳුදා හවස සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඇමතුමක් ලැබිණි.
”ප‍්‍රසන්න”
”ඔව් ජනාධිපතිතුමා”
”කටුනායක ගුවන් තොටුපොළේදී ලංකාවට පැමිණෙන සංචාරකයින් හා ශ‍්‍රී ලාංකිකයන් අපහසුතාවයට පත්වීම වළක්වන විදියේ ක‍්‍රමයක් හදන්න ඕනේ.”
”මම කොහොමත් හෙට කටුනායකට යන්න දාගෙන තියෙන්නෙ. හෙටම ඒ ගැනත් බලන්නං ජනාධිපතිතුමා” යි ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.
මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩි කාලයක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ‍්‍රය තුළ රඳවා තබා ගැනීම වළක්වමින් කඩිනම් පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමේ අරමුණෙන් නවීන තාක්ෂණයෙන් යුත් පර්යේෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපොළ පරිශ‍්‍රය ආසන්නයේ ඉදි කෙරුණේ සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ මඟ පෙන්වීම අනුවයි. පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කළ හැකි මෙවැනි නවීනතම පර්යේෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපළ පරිශ‍්‍රයක් තුළ ඉදි කෙරුණේ පළමු වතාවටයි. මෙම පරීක්ෂණාගාරය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා පසුගිය අඟහරුවාදා ගුවන්තොටුපළ පරිශ‍්‍රයට පැමිණියේය.
ඉදිරි කාලය තුළ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි හෙයින් ඉතා ඉක්මනින් මෙම පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කළ යුතුව ඇතැයි එහි දී අමාත්‍යවරයා සඳහන් කළේය.
”දැන් සංචාරකයෝ ලංකාවට එන්න පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොටත් දවසකට තුන් හාරසියයක් සංචාරකයෝ පැමිණෙනවා. ඉස්සරහට දෛනික සංචාරක පැමිණීම 1500- 2000ත් අතර ප‍්‍රමාණයකට වර්ධනය වෙන්න පුළුවන්. දැන් යුරෝපීය රටවල ශීත සෘතුව පටන් ගන්නවා. ඒ නිසා මේක තවත් කල් දාන්න එපා” අමාත්‍යවරයා ගුවන්තොටුපළ සභාපතිවරයාට කීය.
ඒ අනුව එළැඹෙන විසි වෙනිදා නව පර්යේෂණාගාරය කටයුතු ආරම්භ කිරීමට තීරණය විය.
පරීක්ෂණාගාරයේ නිරීක්ෂණ කටයුතු අවසන් කළ අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපොළට පැමිණියේ පෙරදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කී පණිවිඩයකට අනුවයි. ඒ වන විටත් රේගු අධ්‍යක්ෂකවරයා, ආගමන විගමන පාලකවරයා, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් එතැනට පැමිණ සිටියහ.
”ඊයේ ජනාධිපතිතුමා මට කතා කළා. අපේ ගුවන්තොටුපළ දැන් විවෘත කරලා. කටුනායක ගුවන් තොටුපොළ හරහා ලංකාවට පැමිණෙන සංචාරකයින් ශ‍්‍රී ලාංකිකයින්ට බාධාවකින් තොරව පැමිණීමේ ක‍්‍රමවේදයක් සකසන්නයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. මෙරටට පැමිණෙන සංචාරකයින්ට හෝ ශ‍්‍රී ලාංකිකයින්ට බාධාවක් වෙන විදියේ යමක් සිදුවෙනවා නම් ඒ දේවල් නතර වෙන්න ඕනේ” උපදෙස් දුන් අමාත්‍යවරයා ගුවන් තොටුපොළ පරිශ‍්‍රය ද නිරීක්ෂණය කළේය.
ගුවන් යානයකින් බැස ඩියුටි ෆ‍්‍රී ෂොප් හරහා පැමිණෙන ගුවන් මගීන්ට පළමුව හමු වන්නේ ශ‍්‍රී ලංකා සංචාරක අධිකාරිය තොරතුරු මධ්‍යස්ථානය හා විදේශ මුදල් හුවමාරු කර ගැනීම සඳහා ඇති බැංකු කිහිපයයි. සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරු ආයතනය හැර එම කොටසේ තිබූ කිසිදු ආයතනයක සේවකයෙක් පී.පී. කිට් (ආරක්ෂක ඇඟලූම්) ඇඳ සිටියේ නැත. නමුත් සංචාරක අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානය නිලධාරීන් පී.පී කිට් ඇඟලාගෙන සිටියේය.
මෙය දුටු ඇමැතිවරයා ”පීපී කිට් ඇඳලා ෆ්ලයිට්වල යන්න එපා කියන්නෙ, ඒ ඇඳුම්වලින් සංචාරකයින් පිළිගන්න එපා කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරි සභාපතිතුමියයි. ඒ උනාට මෙතන ඔයගොල්ලෝ ඇරෙන්න කිසිම කෙනෙක් පීපී කිට් ඇඳලා නැහැ” කී ඇමැතිවරයා නැවතත් මේ ”මේ අයගේ ෆොටෝ එකක් අරගෙන මට දාන්න. ඔයා කිව්වට ඔයාගේ අය මෙහෙමයි කරන්නේ කියලා සභාපතිතුමියට යවලා පෙන්නන්න” යි සිනහසෙමින් පැවසීය. ඇමැතිවරයාගේ ප‍්‍රකාශයට එතැන සිටි සියලූ දෙනා සිනාසුනි.
’දදප තාක්ෂණය ඔස්සේ ප‍්‍රාදේශීය සභා, නගර සභා සභාපතිවරු සමග ”ගම සමඟ පිළිසඳරක්” වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත් බදාදා පැවැත්විණි. ”අපිට කොවිඞ් එක්ක ඉස්සරහට යන්න වෙනවා. කොවිඞ් කියලා වැඩ නොකර ඉන්න බැහැ. ඒ නිසා ගමේ ආර්ථිකය නංවන්න, ගම සංවර්ධනය කරන්න ගම සමග පිළිසඳරක් යටතේ ඉදිරිපත් වුණු යෝජනා අපි ක‍්‍රියාත්මක කරන්න ඕනෑ” එහිදී අමාත්‍යවරයා සියලූම පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දුන්නේය.
ජේ. ආර්. කියා දුන්න
දේශපාලන පාඩම
එක්සත් ජාතික පක්‍ෂයේ 75 වන සංවත්සර උත්සවයෙන් පසු පක්‍ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරන්නට රනිල් තම සමීප දේශපාලනඥයන් සමඟ සාකච්ඡා කළේය.
පක්‍ෂ සම්මේලනයට සමගාමීව රටම ආවරණය වන පරිදි සුළු සම්මේලන මාලාවක් පවත්වන්නට තීරණය කළේ එහිදීය. මේ සම්මේලන මාලාවේ පළමුවැන්න මේ මස 17 වැනිදා ආරම්භ කරන්නට යොදා ගත්තේ ද විශේෂ හේතුවක් නිසා ය.
හේතුව එජාපයේ කීර්තිමත් නායකයකු වන ජේ. ආර්. ජයවර්ධනයන්ගේ 115 වැනි ජන්ම දිනය එදිනට යෙදී තිබීමය.
‘‘ජේ. ආර්. ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනම සමරන්නයි අපට වුවමනා වුණේ. ඒත් මේ කොවිඞ් තත්ත්වය එක්ක ඔක්කොම වෙනස් වුණා. අඩුම තරමින් මේ වෙලාවේ එදිනට මේ සම්මන්ත‍්‍රණ මාලාව ආරම්භ කරන්නට ඉඩ ලැබීමත් ලොකු දෙයක්.’’ රුවන් විජේවර්ධන කීවේය.
‘‘එතුමා පක්‍ෂයට වගේම මේ රටටත් වෙනසක් ගෙනාපු නායකයෙක්. රටට එතුමා හඳුන්වා දුන්නේ විප්ලවීය වෙනසක්. ඒකත් මතක් කරමින් ම එතුමාගේ උපන් දිනය දවසේම පක්‍ෂයට නව වෙනසක් ගේන මේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට ලැබීමත් වාසනාවක්.’’ වජිර කීවේය.
‘‘පාර්ලිමේන්තුවෙන් පිටත ඉදන් හටන් කරල පාර්ලිමේන්තුවේ බලය අල්ලන කාර්යභාරය එදා එතුමා අපට කියා දුන්නා. අපිටත් ඒ සටනේදී භාරදූර රාජකාරි පැවරුවා. අපිට අත්දැකීම් ලබාගන්න ඉඩහැරියා. පක්‍ෂයේ හිටපු තරුණ ජවසම්පන්න නායකයන්ට වෙන වෙනම මතුවෙන්න එතුමා ඉඩ දුන්නා. ඒක නිසා තමයි ලලිත්, ගාමිණී, රණසිංහ පේ‍්‍රමදාස, රනිල් වික‍්‍රමසිංහ වගේ නායකයන් රැසක් එක්සත් ජාතික පක්‍ෂය තුළින් බිහිවුණේ. ඒ ඔක්කොම එතුමාගේ නූතන දර්ශනය හා දැක්ම නිසා සිදුවුණ දේවල්.
අපි අද කරන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත ඉඳන් පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න කරන සටනක්. පාර්ලිමේන්තුවේ අද ඉන්න 225 දෙනාම ජනතාවට පිළිකුල් වෙලා තිබෙන මේ වගේ වෙලාවක අපට එතුමාගේ එම පාඩම රටේ බලය ලබා ගන්න ලොකු පිටිවහලක් වේවි.’’ රනිල් විස්තර කළේය.
‘‘පක්‍ෂයේ සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩසටහන අපි ආරම්භ කරන්න ඕන..’‘ වජිර කීවේය.
‘‘ඔව් අපි ලබන 17 වැනිදා ඉඳලම ඒ වැඩපිළිවෙළ ආරම්භ කරලා සාමාජික ලේඛනය ප‍්‍රතිශෝධනය කරමු. රුපියල් 10 ක කාඞ්පතක් ලබාගෙන නම ලියාපදිංචි කිරීම තුළින් සාමාජිකත්වය ලබාගන්න පුළුවන්. අපි තරුණ පරපුර අතරට එක්සත් ජාතික පක්‍ෂයේ නව සාමාජික ප‍්‍රවර්ධන වැඩපිළිවෙල ගෙන යා යුතුයි.’’ රනිල් පෙන්වා දුන්නේය.
රුවන් විජේවර්ධන එම යෝජනාව අනුමත කරමින් කතා කළේය.
පසුගිය බදාදා රනිල් වික‍්‍රමසිංහ දුරකතනයෙන් පක්‍ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාරට කතා කළේය.
අර ලොහාන් රත්වත්ත කළාය කියන සිද්ධිය ගැන ඔයා මොනවද දන්නේ.
ඒ කතාව ඇත්ත. බන්ධනාගාරවලට ගිහින් පිස්ටල් එක පෙන්නලා මහ නරක බලපෑමක් කරල තියෙනවා. බලය අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීමක්. රංගේ තමන් දන්නා තොරතුරු නායකයා හමුවේ හෙළිදරව් කළේය.
හරියටම තොරතුරු ටික හොයාගන්න. නිවැරදි තොරතුරු වෙලාවල් සංඛ්‍යාලේඛන විස්තර හොයාගත්තට පස්සේ ඒ ගැන නිවේදනයක් නිකුත් කරන්න. ඔය ෂෝෂල් මීඩියාවල යන ගොසිප්වලින් නිවේදන නිකුත් කරන්න එපා. නායකයා රංගේට හොඳ අවවාදයක් ලබා දුන්නේ එසේය.
ඉන් අනතුරුව නැවතත් එජාප නායකයා බ‍්‍රහස්පතින්දා සූම් තාක්‍ෂණය ඔස්සේ ඉදිරි පෙළ දේශපාලනඥයන් සමඟ සාකච්ඡා කළේ මෙසේය.
‘‘මානව හිමිකම් සමුළුව ජිනීවාවල තිබුණ නිසා ලොහාන් තනතුරින් ඉල්ලා අස්වෙලා රජය වෙත හිමිවන අපකීර්තිය අවම කළා. නැත්නම් ඉතින් ඔතන මිනියක් මැරුණත් ඉල්ලා අස්වෙන පුතයෙක් නොවෙයි ලොහාන්,. සංදිත් සමරසිංහ කීවේය.
ලොහාන් එක තනතුරකින් ඉවත් වුණා විතරයි. තම ඇමැතිකමක් එයාට තියෙනවා. ඒක වුණත් දැන් එයාට හිමිද නැද්ද කියලා ප‍්‍රශ්නයක් තියෙනවා. වජිර විස්තර කළේය.
‘‘මේක බරපතළ තත්ත්වයක්නේ. ගජේන්‍ද්‍ර කුමාර් පොන්නම්බලම් මේ ගැන කරපු ප‍්‍රකාශය ගැන අද ජාත්‍යන්තරයේ කතාබහ වෙනවා. මානව හිමිකම් කොමිසමේ මෙරට නියෝජිතවරියත් මේ ගැන කලබල වෙලයි ඉන්නේ. අගමැතිතුමා තමයි මෙච්චර කාලයක් ලොහාන්ලාගේ ආරක්‍ෂාවට හිටියේ. මට ආරංචියි එයත් කතා කරලා ලොහාන්ට හොඳටම බැණවැදුනයි කියලා. ’’ රංගේ තමා දැනගත් තොරතුරු හෙළිදරව් කළේ එසේය.
ඇමැතිකම් එකකින් ඉල්ලා අස්වුණාම අනිකත් අහිමි වෙනවද කියලා අපට තර්ක කරන්න බෑ. ඒ මොකද මිනිහා දිවුරුම් දීලා තියෙන්නේ ඇමැතිකම් දෙකේ දෙපාරකට.
‘‘නමුත් මෙතන ඊට වඩා ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. මොකද මෙයා මෙතන ඉල්ලා අස්වෙන්නේ සිරකරුවෙකුට තර්ජනය කිරීම පිළිබඳ වරදකාරයෙක් හැටියට වගකීම බාරගෙන. එතන තියෙනවා නීතිමය ගැටලූවක්.’’ රනිල් නීතිඥයෙක් ලෙස කතා කළේය.
‘‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මේ රට බරපතළ විදියට හිර කරන්න සූදානම් වෙන බවයි පේන්නේ. නමුත් රජය මේ ගැන කිසි සැලකිල්ලක් නෑ. විදේශ ඇමැතිවරයාගේ කතාවෙන් වුණත් පේන්නේ ඒකයි.’’ රුවන් කීවේය.
ලබන 21 වැනිදා ඉඳලා රට අරින්න ආණ්ඩුව සුදානම් වෙනවලූ. ආශු මාරසිංහ කතාව වෙනතකට ගනිමින් කීවේය.
රටක් මේ විදිහට වහල තියාගන්න බැහැ. නමුත් මේ රජය අද රට වහලා තියෙන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවෙයි. ඒ නිසා මේ විදිහට රට වහලත් ප‍්‍රයෝජනයක් නැහැ. රට වහන තීන්දුව පහුගිය ජූලි මාසයේදී ගත්තා නම් මේ වෙනකොට රට සුවපත් වෙලා ඇරලත් ඉවරයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ… රනිල් පෙන්වා දුන්නේය.
මේ අයුරින් එම කතා බහ අවසන් විය.
බුලිත ප‍්‍රදීප් කුමාර