කරන්නාගොඩගේ පෙත්සමට පංචපුද්ගල විනිසුරු මඬුල්ලක්

30

මෙයට වසර 16කට පමණ පෙර එනම් (2008) වසරේ දී සුදු වෑන් භාවිත කරමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දී තරුණයන් ඇතුළු 11දෙනකු පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලීම, ඔවුන් ඝාතනය කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ 14 වන විත්තිකරු ලෙස නම් කොට තිබූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකර ඇති රිට් පෙත්සම විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කිරීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) තීරණය කළේය.

තමා විත්තිකරුවකු ලෙස නම් කර ඇති එම අධිචෝදනා පත්‍රය බලරහිත කරනා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වසන්ත කරන්නාගොඩ මහතා ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන් හමුවේදී ඊයේ (07දා) කැඳවිණි.

නීතිපතිවරයා විසින් පෙත්සම්කාර අභියාචක වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනුකර එම නඩුව පවරා ඇත්තේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ වන බැවින් මෙම පෙත්සම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවීම වඩා සුදුසු බව පෙන්වා දෙමින් අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඬුල්ල ලබන 25 වැනිදා අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී එම පෙත්සම කැඳවීමට නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment